2021 ඔක්තෝබර් 16 වන සෙනසුරාදා

දිගටම ඇවිලෙන ගුරු-විදුහල්පති වැටුප් සටන

 2021 ඔක්තෝබර් 16 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 215

අයනු ආයනු කියා දෙන්නට දිසාපාමොක්වරු තක්සලාවට නොයන බව නැවතත් සපථ කළහ. ගුරු වර්ජනය නිමාවීම පිළිබඳ ගෙවුණු සතියේ දැල්වුණු බලාපොරොත්තු දිනක් තුළදී බිඳවැටුණි. එළෙඹන සතියේදී නිල වශයෙන් පාසල් ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය මේ වන විටත් නිවේදනය කර හමාරය. ඉදිරි සතියේ කුමකින් කුමක් සිදුවේද යන්න තවමත් පැහැදිලි නැත. එම නිසා ගතවූ සති කිහිපය පිළිබඳ සිදුවූ දෑ පිළිබඳ සංවාදයක් ගොඩනැගීමට අපි බලාපොරොත්තු වෙමු. 

ගුරු විදුහල්පති වෘත්තීය සමිති නියෝජිතයන් අඟහරුවාදා (12) දින පස්වරුවේ අරලියගහ මන්දිරයට කැඳවූ මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයා ගුරු ගැටලුවට විසඳුම් යෝජනා කළේය. ඒ අනුව යෝජිත වැටුප් වර්ධකය අදියර දෙකකින් ලබා දීමට රජය එකඟතාව පළ කරන බව ගුරු විදුහල්පති වෘත්තීය සමිති නියෝජිතයන් හමුවේ අග්‍රාමාත්‍යවරයා කියා සිටියේය. දරුවන්ගේ අධ්‍යාපනය තවදුරටත් බාධාවකින් තොරව කරගෙන යාමේ අවශ්‍යතාව මත රජය මෙම විසඳුම් යෝජනාව ඉදිරිපත් කරන බවද අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.

ගුරු විදුහල්පති වැටුප් විෂමතා ඉවත් කිරීම සඳහා පත් කළ අමාත්‍ය අනු කමිටුවේ යෝජනාව පරිදි කොටස් තුනකින් වැඩි කිරීමට යෝජිත වැටුප් වර්ධකයේ පළමු අදියර 2022 අයවැය තුළින් ද ඉතිරි කොටස් දෙක 2023 අයවැය මගින් ද ලබාදීමට මෙහිදී යෝජනා විය. ඊට අමතරව ගුරු, ගුරු උපදේශක, විදුහල්පති සේවා සංවෘත සේවා ලෙස ප්‍රකාශයට පත් කිරීමට අදාළ විධිවිධාන නොවැම්බර් මාසයේ දී ප්‍රකාශයට පත් කිරීම ඇතුළු අනෙකුත් නිර්දේශ මාස 06ක් තුළ ක්‍රියාත්මක කිරීමට රජය එකඟතාව පළ කළේය. ගුරුවරුන් සහ විදුහල්පතිවරුන්ගේ ගැටලුව පිළිබඳව රජය සංවේදී වන බවත් වැටුප් විෂමතා ඉවත් කළ යුතු බවත් තමන් පිළිගන්නා බවත් මහින්ද රාජපක්ෂ මහතා පැවසීය. කොවිඩ්-19 වසංගතය හමුවේ මහා භාණ්ඩාගාරයට මුදල් ලැබීම් සීමාවීම නිසා එකවර මෙම ඉල්ලීම් ලබා දීමට නොහැකි බවද අග්‍රාමාත්‍යවරයා මෙහිදී ගුරු සංගම් වෙත පැහැදිලි කළේය.

වැටුප් ගැටලුවට දිගින් දිගටම මැදිහත් වූ බස්නාහිර පළාත් ප්‍රධාන සංඝනායක මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ ද මෙම හමුවට වැඩම කළහ. රජය වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඇතුළු අමාත්‍යවරුන් වන ගාමිණී ලොකුගේ, ඩලස් අලහප්පෙරුම, මහින්ද අමරවීර, උදය ගම්මන්පිල, රාජ්‍ය අමාත්‍යවරුන් වන සුසිල් ප්‍රේමජයන්ත, පියල් නිශාන්ත ද සිල්වා, අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත්, අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා ඇතුළු රජයේ නියෝජිත පිරිසක් ද ඊට එක්ව සිටියහ. ගුරු විදුහල්පති සංගම් නියෝජනය කරමින් සමස්ත ලංකා එක්සත් ගුරු සංගමයේ යලේවෙල පඤ්ඤාසේකර හිමි, ලංකා පිරිවෙන් ගුරු සංගමයේ මීගහජඳුරේ සීලානන්ද හිමි, අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමයේ උලපනේ සුමංගල හිමි, පොදුජන අධ්‍යාපන සේවා සංගමයේ වසන්තා හඳපාන්ගොඩ, ලංකා ගුරු සංගමයේ ජෝසප් ස්ටාලින්, ලංකා ගුරු සේවා සංගමයේ මහින්ද ජයසිංහ ඇතුළු නියෝජිතයන් රුසක් මෙම හමුවට එක්වූහ.

කෙසේ වෙතත් මෙම හමුවෙන් පසුව ගුරු සංගම් නියෝජිතයන් මාධ්‍යයට කියා සිටියේ බදාදා වන විට සාකච්ඡා කොට සිය තීරණය දැනුම් දෙන බවයි. රට පුරා දරුවන් දෙමාපියන් තුළ බලාපොරොත්තු දැල්වී තිබිණි. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සාකච්ඡාව අවසානයේ දී ගුරු වෘත්තීය සමිති නායක ජෝසප් ස්ටාලින් මහතා සමඟ සුහදව සාකච්ඡා කිරීම පිළිබඳව ද සමාජ කථිකාවක් නිර්මාණය විය. එහෙත් ගතවූයේ දිනක් පමණි. සමස්ත රටේම බලාපොරොත්තු බිද වැටිණි. 
ගුරු විදුහල්පති වෘත්තීය සමිති 31ක සහභාගීත්වයෙන් පැවැති සාකච්ඡාවක දී එම තීන්දුව ගෙන තිබිණි. පාසල් ආරම්භ කිරීමට සැලසුම් කර ඇති ලබන 21 වැනිදාට පෙර වැටුප් විෂමතාවට විසඳුමක් ලබා නොදුනහොත් වර්ජනය අඛණ්ඩව දියත් කරන බව එම සාකච්ඡාවෙන් පසු පැවැතිමාධ්‍ය හමුවකට එක්වෙමින් ලංකා ගුරු සේවා සංගමයේ ලේකම් මහින්ද ජයසිංහ ප්‍රකාශ කළේය. විදුහල්පති සන්ධානයේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අඛණ්ඩව ඉදිරියට ගෙන යන බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා කීවේය.

පැහැදිලිවම අපි තීරණයක් අරන් තියෙන්නේ. ගුරු සහ විදුහල්පති සන්ධානය හැටියට අපේ වෘත්තීය ක්‍රියාමාර්ගය අපි ඉදිරියට අරන් යනවා. 21 වෙනකොට අපි ඉල්ලන ඉල්ලීම දුන්නේ නැත්නම් 21 පාසල් ආරම්භ කිරීම සම්බන්ධයෙන් තීරණයක් ගන්නවා ගුරු විදුහල්පති සන්ධානය. අපි අපේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ඉදිරියට කරගෙන යනවා. අපි දැන් දින 94ක් අදට. මේ ඔන්ලයින් ක්‍රියාවලිය මීට කලින් විසඳාගන්න තිබුණා මේ සාකච්ඡා කලින් කරලා තිබුණා නම්. අනුකාරක සභාවේ යෝජනාව කැබිනට් මණ්ඩලය සම්මත කළේ අගෝස්තු 30. මේ සම්බන්ධයෙන් සාකච්ඡා කළේ කොච්චර කාලෙකට පස්සේද? අපි දිගින් දිගටම සාකච්ඡාවක් ඉල්ලුවා. සාකච්ඡාවක් ලබාදීම ප්‍රමාදවීම තුළ තමයි මේක ඉස්සහට ගියේ.

මේ අනුව නිර්මාණය වූයේ අවිනිශ්චිත තත්ත්වයකි. ආණ්ඩු හිතවාදී ගුරු සංගම් කිහිපයක් 21 ක් වැනිදා පාසල් ආරම්භ කිරීමට සහයෝගය ලබාදෙන බව කියා සිටියේය. ඒ අනුව ශ්‍රී ලංකා පොදුජන අධ්‍යාපන සේවා සංගමයේ සභාපති වසන්තා හඳපාන්ගොඩ මහත්මිය පැවසුවේ අගමැතිවරයා සමඟ පැවති සාකච්ඡාවේදී යෝජනා කිසිවකට විරෝධයක් නොදැක්වූ වෘත්තීය සංගම් නියෝජිතයන් සාකච්ඡාවෙන් පසුව මෙවැනි තීරණයක් ගැනීම දරුවන්ගේ අනාගතය අඳුරට යවමින් පටු දේශපාලන අරමුණු ඉටුකර ගැනීමට දරණ උත්සාහයක් බවයි. එවැනි කූඨ උත්සාහ පරාජය කරමින් දරුවන්ගේ අනාගතය සුරක්ෂිත කිරීම වෙනුවෙන් එක්වන්නැයි සියලු ගුරු - විදුහල්පතිවරුන්ගෙන් ඉල්ලා සිටින බවද ඇය කියා සිටියාය.

කෙසේ වෙතත් පාසල් ආරම්භ වනතුරු ගුරු වර්ජනය සම්බන්ධව අනාගත පහදා ගැනීම පහසු නැත. දෙමාපිය විරෝධතා ද එන්න එන්නම ප්‍රබල වෙමින් තිබේ. මේ අර්බුදය තවදුරටත් නොවිසඳුණහොත් මෙරට තුළ විශාල සමාජයීය අර්බුදයක් හටගනු නොඅනුමානය.

 චමිඳු නිසල් ද සිල්වා