2021 ඔක්තෝබර් 16 වන සෙනසුරාදා

රට ඇරියත් ප්‍රයිවට් බස් නෑ

 2021 ඔක්තෝබර් 16 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 51

නිරෝධායන ඇඳිරිනීතිය අවසන් වුවද තවත් දෙසතියක් දක්වා පළාත් අතර පොදු ප්‍රවාහනය ක්‍රියාත්මක කිරීමට අවසර නොදෙන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ මේ මාසය ආරම්භයේදීමය. ඒ කතාව අනුව නම් පොදු ප්‍රවාහනය ආරම්භ වීමට නියමිතව තිබුණේ පසුගිය 14 වැනිදාය. පළාත් අතර සංචරණය එළැඹෙන 21 දක්වා දීර්ඝ කිරීමත් සමග එම අදහස ඉටුවූයේ නැත. පළාත තුළ පමණක් ක්‍රියාත්මක පොදු ප්‍රවාහන සේවාව යම් තරමකට ක්‍රියාත්මක වුවද කොළඹ ඇතුළු තදාසන්න ප්‍රදේශවල පවතින්නේ එහි බරපතළ අඩුපාඩුවකි. මේ වනවිටත් රට සාමාන්‍ය ලෙස ක්‍රියාත්මක වුවද පෞද්ගලික බස්රථ ධාවනය සිදු නොවන තරම්ය.

වසර එකහමාරකට අධික කාලයක් පැවති කොවිඩ් වසංගතය නිසා පෞද්ගලික බස්රථ ඇතුළු පොදු ප්‍රවාහන සේවාව සම්පූර්ණයෙන්ම බිඳ වැටුණේය. ජීවිකාව ගෙනයාමේ අපේක්ෂාවෙන් පෞද්ගලික බස් රථ රියැදුරන් කොන්දොස්තරවරු මෙන්ම බස් රථ හිමිකරුවන්ද වෙනත් රැකියාවල නිතරව තිබුණේ පවතින ආර්ථික අර්බුදය නිසාය. රට යථා තත්ත්වයට පත්වෙමින් ඇතත් පෞද්ගලික බස් රථ සේවා ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය බස් රථ සේවකයන්ගේ උග්‍ර හිඟයක් පවතී. නිරෝධායන ඇඳිරි නීතිය ලිහිල් වීමෙන් පසු බස් රථ සේවකයන් 50,000කගෙන් 30,000කට අධික ප්‍රමාණයක් සේවය අතහැර ගොස් ඇතැයි ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පැවසීය. දීර්ඝ කාලයක පටන් බස් රථ සේවකයන්ගේ ජීවනෝපාය අහිමිවිම නිසා ඔවුන් වෙනත් රුකියා සඳහා යොමුවීම නිසා මෙම තත්ත්වය උද්ගතව තිබෙන බව ගැමුණු විජේරත්න මහතා වැඩිදුරටත් කීය.

කොරෝනා වසංගතයට පෙර බස්නාහිර පළාත ආශ්‍රිතව පෞද්ගලික බස්රථ 6800ක් පමණ ධාවනය කළ බවත් ඇඳිරි නීතිය ලිහිල් වීමෙන් පසුව මේ වනවිට සේවයට යොදවා ඇත්තේ බස්රථ 800ක් පමණ සංඛ්‍යාවක් බවද ඒ මහතා පැවසීය.
අවුරුදු ගණනාවක පටන් පෞද්ගලික බස්රථ කර්මාන්තය කඩාවැටීමේ අවදානමක් පැවති බව ගැමුණු විජේරත්න මහතාගේ අදහසය. එම සංගමය පවසන්නේ සියලුම ආණ්ඩුවලින් මෙම බස් රථ කර්මාන්තය සඳහා කුඩම්මාගේ සැලකිල්ලට ලක්වූ බවය. එහි උච්ඡතම අවස්ථාවට දැන් පෞද්ගලික බස්රථ කර්මාන්තය මුහුණ පා සිටියි. කාලයක පටන් මෙරට පොදු ප්‍රවාහන සේවාව සංවර්ධනය වී නොමැත. ඒ හේතුවෙන් එම ප්‍රවාහනය භාවිත කළ බොහෝ මගීන් විකල්ප සඳහා යොමුව ඇත. මේ සමඟ ජනතාව පෞද්ගලික රථවාහන හෝ වෙනත් කාර්යාල ප්‍රවාහන ඇතුළු සේවාවන් වෙත යොමුව සිටිති. 

පොදු ප්‍රවාහන සේවාවේ බස් රථ 20,000ක් පමණ වෙයි. ඉන් 3000ක් පමණ අන්තර් පළාත් ධාවනයට යොදවා ඇත. එය මධ්‍යම ආණ්ඩුව යටතේ ක්‍රියාත්මකය. ඉතිරි බස් රථ 17,000න් 15,000ක් පමණ පළාත් සභාව යටතේ පාලනය වෙමින් ධාවනය කෙරෙයි. ජාතික ගමනාගමන කොමිෂන් සභාව ආරම්භ කොට ඇත්තේ 1991 වසරේදී පමණය. ප්‍රවාහන අධිකාරිය ආරම්භ කොට ඇත්තේ 1992 වසරේදීය. එහෙත් පෞද්ගලික බස්රථ සේවාව නිසි නියාමනයකට ලක්වී නොමැති බවත් එම ආයතනවල පැවැත්ම සඳහාත් දේශපාලනඥයන්ගේ සුඛවිහරණය සඳහා පහසුකම් භුක්ති විඳිම පමණක් සිදුකර ඇති බව ගැමුණු විජේරත්න මහතා චෝදනා කරයි.

මේ ආකාරයට පෞද්ගලික බස්රථ කර්මාන්තය වෙනුවෙන් නිසි කාලසටහනක් සැලැස්මක් හෝ නියාමනයක් නොකළ බවද ලංගම බස් රථ අයාලේ ධාවනය කරමින් අන්තර් පළාත් ප්‍රවාහන බස්රථද එසේ අත්හැර දමා තිබූ බව ගැමුණු විජේරත්න මහතා ප්‍රකාශ කරයි. මේ සම්බන්ධයෙන් විසඳුමක් සොයා අධිකරණයට කරුණු කීවද පලක් නොවූ බව විජේරත්න මහතාගේ අදහසය. මේ අතර ජාතික ගමනාගමන කොමිසම ඇතුළු ආයතන හා ව්‍යාපාරික බස් හිමියන් අතර බලපත්‍ර ජාවාරම් සිදුකරන බවද නොරහසකි. එහිදී පගාව ලබාදීම හරහා නීතියට පිටින් අවශ්‍ය කටයුතු කර ඇතැයිද ඒ සඳහා මෙතෙක් කල් අදාළ තනතුරු හෙබවූ දේශපාලනඥයන් හා පාලනාධිකාරිය කටයුතු කර තිබෙන බවටද චෝදනා පවතී.
මේ අයුරින් වාර්තා වන්නේ අධිවේගී මාර්ග අන්තර්පළාත් බස් ධාවන බලපත්‍රයක් රුපියල් කෝටි 4කට අධික මුදලකට අත යට ගනුදෙනු හරහා විකිණී ඇති බවය. ජාවාරම්කරුවන් සමඟ ඇතැම් මැති ඇමැතිවරු එසේ කටයුතු කිරීම නිසා පෞද්ගලික බස්රථ කර්මාන්තය කඩා වැටුණු බව ගැමුණු විජේරත්න මහතා පෙන්වා දෙයි.

මේ හේතුවෙන් පෞද්ගලික බස් රථ අවේලාවේ ධාවනය, සෙමෙන් හා අක්‍රමවත් ධාවනය, ඇතැම් සේවකයන්ගේ නොමනා හැසිරීම හා බස්රථ අනතුරට ලක්වීම වැනි ක්‍රියා හරහා බස්රථ කර්මාන්තය කඩා වැටෙමින් තිබිණ. මේ හේතු මත මීට වසර 3කට පෙර පටන් දෛනිකව බස් මගීන් 1500ක් පමණ එම සේවාව මගහරිමින් සිටි බව කියැවේ. මේ අතර පගාව හා කප්පම් ගෙවීමට සිදුවීම නිසාද පෞද්ගලික බස්රථ ධාවනය විශාල ගැටලුවක්ව පැවතිණ. මේ හේතු අතර පොදු ප්‍රවාහනය සංවර්ධනය සඳහා විකල්ප අදහස් බලධාරීන්ට ඉදිරිපත් කළද කිසි ඵලක් නොවූ බව ගැමුණු විජේරත්න මහතා කියයි.

මෙවැනි පසුබිමක බලපෑ කොවිඩ් අවදානම බස් රථ කර්මාන්තයට මරු පහරක් එල්ල කර තිබේ. මේ තුළ පෞද්ගලික බස් රථ කර්මාන්තය නඟා සිටුවීම සිතිය නොහැකි අසීරු කටයුත්තක් බව බස් රථ සංගම් ප්‍රධානීහු පෙන්වා දෙති. දැනට බස් රථ මගින් පෞද්ගලික බස් රථ ප්‍රතික්ෂේප කිරීමත්, පාසල්, අමතර පන්ති හා විශ්වවිද්‍යාල ආරම්භ නොවීමත් තුළ පෞද්ගලික බස් රථ කර්මාන්තයෙන් ආදායමක් ඉපයීම අසීරුය. ආදායම නොලැබීම තුළ බස් සේවකයන් සේවයට වාර්තා කරන්නේද නැත. මේ අයුරින් දැනට පෞද්ගලික බස් රථ සේවයට යොදවා ඇත්තේ 30ක් පමණය. ඉන් 50ක්ම හිමිකරුවන් විසින් බස් රථ ධාවනය කරති. දැනට බොහෝ බස් හිමියන්ට ඉන්ධන සපයා ගැනීම හෝ අසීරු වී තිබෙන බව වාර්තා වේ.
මේ ආකාරයට පෞද්ගලික බස් රථ කර්මාන්තය රට යථාවත් කිරීමෙන් පසුව හෝ ක්‍රමවත් කිරීම බරපතළ ගැටලුවකි. එහෙත් නාගරිකව පවතින රථවාහන තදබදය උග්‍රව පවතී. ඒ තුළ සිදුවන පාරිසරික හානිය තවත් බලපෑමකි. සියල්ල අතර පෞද්ගලික බස් රථ, ලංගම බස් රථ දුම්රිය ඇතුළු සියලු පොදු ප්‍රවාහන සේවාවන් ප්‍රතිසංවිධානය විය යුතුය.

 සමන්ත ප්‍රදීප් විල්තෙර