2021 ඔක්තෝබර් 16 වන සෙනසුරාදා

ලංකා නර්තන කලාවේ නොනැසෙන අලංකාරය චන්ද්‍රලේඛා පෙරේරා

 2021 ඔක්තෝබර් 16 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 668
බොරැල්ලේ සිට ආචාර්ය ඇන්.ඇම්. පෙරේරා මාවත දිගේ ඇවිදගෙන ඉදිරියට යන විට පරණ ඇත්ත පුවත්පත් ආයතනය පසුකොට වම් පැත්තේ චන්ද්‍රලේඛා මාවත හමුවෙයි. එය කලින් හැඳින්වූයේ ආබත්නට් මාවත කියාය. 1952 වසරේ සිට එම මාවත අද දක්වා චන්ද්‍රලේඛා මාවත ලෙස භාවිත වෙයි.
 
*චන්ද්‍රලේඛා පෙරේරා යනු සිංහල කාන්තාවන් උඩරට නාට්‍ය කලාව කෙරෙහි යොමුකිරීමේ පුරෝගාමී වූ භාරත නාට්‍ය කලාව ලක්දිව ප්‍රචලිත කිරීමේ බලවත් පරිශ්‍රමයක් දැරෑ වනිතාවන් අතර මුල්තැනක් ගන්නීය.* යනුවෙන් %සිංහල විශ්වකෝෂය^ දසවැනි කාණ්ඩය සටහනක සරත්චන්ද්‍ර ජයකොඩි ලියා ඇත.
කාන්තාව හා නර්තනය ගැන විරෝධතා ඇතිවූ වකවානුවක චන්ද්‍රලේඛා පෙරේරා, මීරියම් පීරිස්, ජොයිස් බ්ලේකල් ප්‍රසිද්ධියේ දේශීය හා විදේශීය නර්තනවල යෙදී ඇති බව මහාචාර්ය තිස්ස කාරියවසම් කියා ඇත. කාන්තාවන් අතුරින් අභීතව කැපීපෙනුණේ චන්ද්‍රලේඛාය.
%චන්ද්‍රලේඛා^ නමින් හැඳින්වුණු ඇය 1911 අගෝස්තු 07 වැනිදා උපත ලැබුවේ වෛද්‍ය ඩී.ඊ. කරුණාතිලක නම් සිංහල පියකුට හා බර්ගර් කාන්තාවකට දාව එකම දියණිය ලෙස වැල්ලවත්තේදීය. කොළඹ මෙතෝදිස්ත විද්‍යාලයේ ඉගෙනුම ලැබූ ඇයගේ මුල් නම බ්‍රින් හිල්ඩා ඔගස්ටා කරුණාතිලකය.
 
කුඩා කල සිටම කලාවට ඇලුම් කළ ඕ මුලින්ම දස්කම් පෑවේ බටහිර පියානෝ වාදනයටය. චිත්‍ර කලාවටද සිත ගිය ඇය එය වැඩිදුර ඉගෙනීමට එකල මරදානේ ටෙක්නිකල් කොලිජියට ගියාය. ඇගේ චිත්‍ර ගුරුවරයා වූයේ ජාත්‍යන්තර කීර්තියට පත් විශිෂ්ට චිත්‍ර ශිල්පියකු වූ කලාගුරු ජේ.ඩී.ඒ. පෙරේරාය. ගුරුවරයාගේ සිත ශිෂ්‍යාව වෙත යොමුවිය. ඇය ඒ සඳහා යහපත් ප්‍රතිචාර දැක්වූවාය. එවකට 20 හැවිරිදි වියේ පසුවූ ඇය තරුණ වියේදීම 1931 දෙසැම්බර් 20 වැනිදා ජේ.ඩී.ඒ. ගුරුවරයාගේ බිරිය වූවාය. එතැන් පටන් ඇය ශ්‍රීමතී චන්ද්‍රලේඛා නමින් කලා ලෝකය අලංකාර කිරීමට සමත් වූවාය.
 
තම සැමියාගෙන් ඇයගේ කලා ජීවිතය ඔපවත් විය. චිත්‍ර කලාවේ ප්‍රවීණතා දැක්වූ ඕ තොමෝ නාට්‍ය කලාවට කැපවූවාය. ලංකාවේ පාසල් අටක නැටුම් ආචාර්යවරියක වූ චන්ද්‍රලේඛාගේ කලා ජීවිතයේ උච්චතම අවස්ථාව උදාව ඇත්තේ 1941 දී බව මහාචාර්ය තිස්ස කාරියවසම් විසින් ලියූ %ශ්‍රී ලාංකික නර්තනයේ විකාශනය (1908 – 1978) කෘතියේ සඳහන් වෙයි. තම නර්තනය දුක් විඳින අයට පිහිට වීමට යොදාගත් උදාර පරිත්‍යාගශීලී නාට්‍යාංගනාවක වූ ඇය 1941 වසරේ රීගල් සිනමාහලේදී අග්‍රාණ්ඩුකාරයා ඉදිරියේ යුද්ධාධාර සඳහා සංදර්ශනයක් පැවැත්වූවාය. ඉන්දියානු නාට්‍ය කලා මණ්ඩලයේ ශිල්ප උගත් ඇය ට්‍රුවන්කෝර්හි මහරාජා ඉදිරියේදී රුඟුම් පෑ බවත්, භාරතයෙන් කථකලි ඉගෙන පැමිණ කොළඹ විශ්වවිද්‍යාලයේ පූර්ව දිග නාට්‍ය කලා අංශයේ නැටුම් භාරව සිටි ඇය උඩරට නැටුමට විශිෂ්ට සේවයක් කළ බවත් මහාචාර්ය කාරියවසම් පවසා තිබිණි.
චන්ද්‍රලේඛා රංගම ගුණමාලා ගුරුන්නාන්සේ හා අල්ගම කිරිගණිත ගුරුතුමාගේ ශිෂ්‍යාවකි. ඔරියන්ටල් ක්ලැසිකල් ඩාන්සින් යනුවෙන් හැඳින්වෙන ඇගේ නර්තන සඳහා බෙර වාදනය කර ඇත්තේ පණිභාරත විසිනි. චිත්‍රසේනයන්ද ඇගේ නර්තනයට එක්වී ඇත
 
කලාගුරු ජේ.ඩී.ඒ. පෙරේරා (ජුවන්විඩම්රාල්ලාගේ දොන් එබ්‍රහම් පෙරේරා) නම් චන්ද්‍රලේඛාගේ සැමියා ඉතා විශිෂ්ට ගණයේ ප්‍රතිරෑප හෙවත් ආලේඛ්‍ය චිත්‍ර ශිල්පියකුද වූ අතර ලංකාවේ ප්‍රධාන පෙළේ උගතුන්, දේශපාලනඥයන් හා ප්‍රසිද්ධ පුද්ගලයන්ගේ උඩුකය රෑප ගණනාවක් සිතුවම් කළේය. හේවුඩ් (රජයේ ලිලිත කලා ආයතනයේ) ප්‍රථම අධිපති වූ ඔහු නාට්‍ය නිෂ්පාදකවරයෙක්ද විය. වෙස්සන්තර, හරිස්චන්ද්‍ර, කැප්පෙටිපොළ, සිරි සඟබෝධි, ශ්‍රී වික්‍රම නම් ඔහු නිෂ්පාදනය කළ නාට්‍ය අතිශයින්ම ජනප්‍රිය වී ඇති බව වාර්තා වේ. 
 
සැමියාගේ නොමඳ අනුග්‍රහය සහිතව විවාහයට පෙර භාරතයට ගොස් ශ්‍රී ගෝපිනාත් යටතේ භාරත නැටුම් ඉගෙනීමට ට්‍රුවන්කෝර් කලායතනයට ගිය චන්ද්‍රලේඛාගේ විශිෂ්ට නර්තන කුසලතාවය ගැන භාරතයේ උසස්ම කලා සඟරාව වූ Art and culture හි ඇයට විශේෂ ප්‍රසංශාවක් කර ඇත. ඇගේ නර්තන විලාසය නිරෑපණය ඇතුළු ඡායාරෑප කිහිපයක් පෙන්වන විශේෂ කලාපයට %චන්ද්‍රලේඛා යනු ලංකාවේ නොනැසෙන අලංකාරය^ මැයෙන් ඇගේ ගුරු භාරතයේ නර්තන විශාරද ශ්‍රී ගෝපිනාත් විශේෂ ලිපියක් ලියා තිබිණි. ලංකාවේ මෙවැනි ප්‍රසංශාවක් ලැබූ මුල්ම නර්තන ශිල්පිනිය චන්ද්‍රලේඛාවන්ය. 1937 ලංකාවට පෙරදා පැමිණි ඕ තොමෝ කොළඹ එම්පයර් නෘත්‍ය ශාලාවේදී %තම්බපණ්ණි^ මුද්‍රා නාට්‍ය ඉදිරිපත් කළ අතර එම වසරේම භාරතයේ සිට ලංකාවට පැමිණ උඩරට නර්තනය ඉගෙන ගනිමින් සිටි නටරාජ් වශී සමඟ ශිව දේව කෝපය බැලේ නාටකය ඉදිරිපත් කරමින් රීගල් නෘත්‍ය ශාලාවේ ප්‍රසංගයක් පවත්වා ඇති බව මහාචාර්ය තිස්ස කාරියවසම් පවසා තිබිණි.
චන්ද්‍රලේඛාගේ නිර්මාණ අතර පත්තිනි, නාරිලතා වන්නම, ශාරි නැටුම හා විජය රාජ පුවත යන නර්තන මුල්තැනක් ගෙන ඇති අතර මේ හැම නිර්මාණයකම සෙවණැල්ලක් මෙන් සිට ප්‍රසංගයේ පසුතල නිර්මාණය හා රංග ප්‍රයෝග භාරව සිටි අනාගත සැමියා වූ ජේ.ඩී.ඒ. ය. චන්ද්‍රලේඛාගේ නර්තන කණ්ඩායමට එකතු වූ පිරිස අලුත් නම්වලින් පෙනී සිටියහ. රංජනා (තංගරාජා) වසන්ත (කුමාර), කුමාරගුප්ත, මංගලිකා නිමල්, කාදම්බරි, හේමා, සෝමා, සාගරිකා, ප්‍රියංවදා ආදී වශයෙනි. 
චන්ද්‍රලේඛා ප්‍රකට පාසල් කිහිපයක බටහිර සංගීත උපදේශිකාවක හා නැටුම් ගුරුවරියක ලෙස කටයුතු කර ඇති අතර දෙමටගොඩ ශාන්ත මැතිව් විද්‍යාලයේදී ඇගෙන් සංගීතය හා නර්තනය ඉගෙනගත් දක්ෂ සිසුවියක වී ඇත්තේ ඩේසි ඩැනියල් (පසුව මෙරට සිටි දක්ෂ නිළියක ගායිකාවක වූ රුක්මණී දේවිය)යි.
 
1956 දී රුක්මණී දේවි විසින් ලියූ මගේ ජීවිත විත්ති කෘතියේ ඇය මෙසේ සඳහන් කළාය.
නිළියක වීමේ ආශාව එකල මා තුළ හීනෙන්වත් නොතිබුණේය. රඟපෑම හෝ නැරඹීමට මම කිසිවිටෙක ආශා නොකළෙමි. නැටීමේ ආශාව තිබුණා නම් සුප්‍රකට නැටුම් ගුරුවරියකගෙන් අධ්‍යාපනය ලැබීමේ අවස්ථාව එකල මට තිබිණි. මා දෙමටගොඩ සැන්ට් මැතිව් පාසලේ ඉගෙන ගන්නා කාලයේ දක්ෂ නිළියක වූ චන්ද්‍රලේඛා (ජේ.ඩී.ඒ. පෙරේරා මැතිනිය) මට නැටුම් හා ගායනය පුහුණු කළාය. (මගේ ජීවිත විත්ති 5 පිටුව)
මහාචාර්ය මුදියන්සේ දිසානායක හා මහාචාර්ය තිස්ස කාරියවසම් විසින් ලියන ලද ශ්‍රී ලාංකේය නව නර්තන කලාවේ පුරෝගාමියෝ^ කෘතියේ චන්ද්‍රලේඛා ගැන පරිච්ඡේදයක් වෙන්කර තිබිණි.
 
සිංහල කාන්තාවන් උඩරට නර්තන කලාව කෙරෙහි යොමුකිරීමේ පුරෝගාමී වූ චන්ද්‍රලේඛා භරත නාට්‍ය කලා ලක්දිව ප්‍රචලිත කිරීමෙහි බලවත් පරිශ්‍රමයක් දැරෑ වනිතාවන් අතර මුල් තැනක් ගන්නීය.* යනුවෙන් සඳහන් වෙයි.
අවුරුදු හතට වැඩි ශිෂ්‍යාවන්ට නැටුම් ඉගැන්වීම තහනම් කළ යුතු යැයි ගම්පහ ගුණවර්ධන නැමැත්තකු හඬ නැගූ අතර පරම විඥානාර්ථවාදී බෞද්ධ සමාගමේ පාසල් සාමාන්‍යාධිකාරී පී.ටී. පණ්ඩිත ගුණවර්ධන පාලනය කළ පාසල්වල එවැනි නීතියක් ක්‍රියාත්මක කළ යුගයක් විය. ඒවාට එරෙහි වූ චන්ද්‍රලේඛා නායකත්වයෙන් මීරියම් පීරිස් හා ජොයිස් බ්ලේක්ලි දේශීය හා විදේශීය නර්තන කලාවට ඉදිරියට ගෙන ගියහ.
මහාචාර්ය කාරියවසම් කියන ආකාරයට ලංකාවේ නර්තනය දියුණු කළේ චන්ද්‍රලේඛා, චිත්‍රසේන, ශාන්ති කුමාර්, සූර්ය ශාන්ත (ශංකර්), පණිභාරත හා වසන්ත කුමාර බවය. සමස්ත භාරතීය නර්තන උළෙලේදී %චන්ද්‍රලේඛා නෘත්‍ය නාටකය^ නටන්නට තාගෝර්ගේ මිණිබිරිය වන නන්දිතා ක්‍රිපලවනි සමඟ චිත්‍රසේන රඟපා ඇත.
 
චන්ද්‍රලේඛාගේ නර්තන අතර රාජකීය විද්‍යාලයේ දී තාරා චෞද්‍රි නම් භාරතීය නිළිය හා ඇය එක්ව රැඟුම් පෑම, විශේෂ වන්නේ ලෝක ප්‍රසිද්ධ තාරා සමඟ කරට කර සිටින්නට චන්ද්‍රලේඛාට හැකිවීම නිසා බව මහාචාර්ය කාරියවසම් පවසා තිබිණි.
1941 දී කොළඹ රීගල් සිනමාහලේ පැවැත්වූ ප්‍රසංගයෙන් පසු රෝගාතුර වූ චන්ද්‍රලේඛා මඳ කලක් අසනීපව සිට 1941 ජූලි 20 වැනිදා තමා පදිංචිව සිටි කෝට්ටේ පාරේ (අද ආචාර්ය ඇන්.ඇම්. පෙරේරා මාවත) ආබත්නට් මාවතේ නිවෙසේදී 31 වැනි වියේදී හරියටම මීට වසර 80කට පෙර 1941 ජූලි 23 වැනිදා අවසන් ගමන් ගියාය. මේ අවසන් කටයුතු සඳහා ඇගේ සොහොයුරන් වන හැරී කරුණාතිලක හා හෙක්ටර් කරුණාතිලක හා සැමියා ජේ.ඩී.ඒ. පෙරේරා ඇතුළු විශාල පිරිසක් සහභාගි වූ බව වාර්තා වේ.
 
චන්ද්‍රලේඛා මිය යාමට පෙර ඔහු සිය බිරියගේ ආලේඛ්‍ය චිත්‍රයක් (portrait) ඇඳ තිබුණත් එය නිම කිරීමට නොහැකි විය. ඇගේ මරණයෙන් බලවත් කම්පාවට පත් ට්‍රුවන්කෝර්හි වැසියන් තම අගනුවර වූ ත්‍රිවන්දුම්හි කඩ සාප්පු වසා දමා කොඩි ඔසවා චන්ද්‍රලේඛාගේ කීර්තිනාමයට උපහාර දැක්වූ බවත්, ට්‍රුවන්කෝර් කලා නිකේතනයේ අධිපති කලාගුරු ශ්‍රී ගෝපිනාත් තම ශෝකය පළ කළ බවත් සඳහන්ය.
මෙබඳු වැනුම් පමණෙකින් අපට සැනසිය නොහැකිය. ජාතික ඛේදාලාපයක් මෙබඳු ප්‍රශංසාවන්ගෙන් තුනී කරගත හැක්කේ කාටද? පෙරදිග පුබුදු කොට මුළු රටම ආලෝකවත් කළ චන්ද්‍රලේඛාව මිය ගියාය. එහෙත් ඇගේ නම ජාතිය සමඟ ජීවත් වෙයි.
 
මේ බව ශ්‍රී ලාංකේය නව නර්තන කලාවේ පුරෝගාමියෝ^ කෘතියේ මහාචාර්ය මුදියන්සේ සහ මහාචාර්ය කාරියවසම්හු දක්වති.
ශ්‍රී ලංකාවේ නර්තන ශිල්පිනියක නමින් මාවතක් නම් කළ ප්‍රථම අවස්ථාවද මෙය වන අතර %චන්ද්‍රලේඛා මාවත^ අදත් නිරුපද්‍රිතව වැජඹෙන්නේය.
පී.බී. අල්විස් පෙරේරා විසින් 1942 දී ලියන ලද සොබාදහම කාව්‍ය සංග්‍රහයේ %චන්ද්‍රලේඛාගේ මිනීවල ළඟදී^ පද්‍ය පන්තියකින් ඇගේ අකල් මරණය ගැන වැලපී ඇත. මේ එම පද්‍ය පන්තියෙන් පැදි හතරකි.
 
රඟ පිටයෙහි තුනු සිරි දිසි මෙවුළු හැඳ
ලෙළවා උකුල ළැම තාලෙට ඇඟිලි බැඳ
පෙරදිග නැටුම් දැක්වූ නෙත් පහර විඳ
සඳ ලේකාව සොහොනෙහි සැප නිදිද? අද
 
ගීයෙන් සඟවමින් නද පය කිකිණි වැටී
පොල්තෙල් පහන් සිල මෙන් මඳ සුළඟ දිටී
සොම්නස් සාගරේ පෙණ පිඬු හමුවෙ නැටී
ඔබ අද සොහොන් බිම තනියම නිදන හැටී
 
වීණාවෙයි - නලාවෙයි - සරපි නාවෙයි
ආලෝකයෙයි - පෙණ පිඬුවෙයි හි නාවෙයි
පිනි බින්දුවෙයි - ලෞකික කල්ප නාවෙයි
රසයට මුලා වුණු කවියා ගො නාවෙයි
 
යනුවෙන් සිරුර සඟවා මේ පොළොව යට
අමතන්නෙහිද? මී මැසි නාදයෙන් මට
සැතපෙන් නිළිය! අතරෙහි පස් පහන් කැට
මම එන්නෙමි යළිත් ඔබ වළ ළඟට හෙට