2021 ඔක්තෝබර් 23 වන සෙනසුරාදා

පිළියන්දලට ගෙනයන්න හදන දෙහිවල සතුන්වත්ත

 2021 ඔක්තෝබර් 23 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 47

දෙහිවල සත්වෝද්‍යානය පිළියන්දලට ගෙනයන කතා විටින් විට මතුවේ. ඒ කතා පිටුපස සිටින්නේ වත්මන් ආණ්ඩුවේ ප්‍රබලයෙක් වන කැස්බෑව ඡන්ද කොට්ඨාසය නියෝජනය කරන විදුලිබල ඇමැති ගාමිණි ලොකුගේය. දැන් යළිත් එවැනි කතාවකින් දෙහිවල සත්වෝද්‍යාන සේවකයන් ඇවිස්සී තිබේ.

මෙය රුගෙන යන බව පැවසෙන්නේ  සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවට බාරවී ඇති  පිළියන්දල කහපොළ  ප්‍රදේශයේ අක්කර 72ක පමණ භූමි භාගයක පිහිටි රෙජිඩේල් වත්තටය. එහි එළිමහන් සත්වෝද්‍යානයක් ඉදිකිරීමට විදුලිබල අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා කලක පටන්ම උත්සාහ දරමින් සිටී. මේ උත්සාහයට සත්වෝද්‍යාන වෘත්තීය සමිති නියෝජිතයන්ගේ සහ සත්වෝද්‍යාන සේවකයන්ගේ දැඩි විරෝධයක් එල්ල වී ඇතැයි වාර්තා වෙයි.  මේ තීරණය නිසා යළිත් වෘත්තිය සමිති උද්ඝෝෂණ ඇතිවුවහොත් ආණ්ඩුව අපහසුතාවයට පත්වනු ඇති බව සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව අයිති වනජීවී රාජ්‍ය ඇමැති විමලවීර දිසානායක අගමැති මහින්ද රාජපක්ෂ මහතාට කරුණු පෙන්වා දී ඇතැයිද පැවසේ.

මේ සම්බන්ධයෙන් අගමැතිවරයාගේ මූලිකත්වයෙන් විශේෂ සාකච්ඡාවක් ඉකුත් (13) වැනිදා පවත්වා තිබූ අතර, එළිමහන් සත්වෝදන්‍යානයක් අනිවාර්යයයෙන් ඉදිකළ යුතු බව එහිදී ලොකුගේ ඇමතිවරයා අවධාරණය කර ඇති අතර මේ නිසා සාකච්ඡාව විසඳුමකින් තොරව අවසන් වී තිබේ. 

ලොකුගේ මහතාගේ මෙම උත්සාහයට විරෝධය පළකරමින් සත්වෝද්‍යාන සේවකයන් පෝස්ටර් ව්‍යාපාරයක්ද ආරම්භ කර ඇතැයි වාර්තා වේ.

පිළියන්දල ඉඩම මහා භාරකාර දෙපාර්තමේන්තුවෙන් සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවට හිමිවූවකි. දෙහිවල සත්වෝද්‍යානයේ සතුන් සඳහා රෝහලක් සහ සතුන්ට ආහාර නිෂ්පාදනය කරන නිෂ්පාදනාගාරයක් ඉදිකිරීමට කාලයක සිට යෝජනා වී තිබුණත් එය ක්‍රියාත්මක වුණේ නැත. මේ ඉඩම මහා භාරකාර දෙපාර්තමේන්තුවට අන්තිම කැමැත්තෙන් පරිත්‍යාග කර ඇත්තේ සමරකෝන් නම් කැස්බෑවේ පදිංචිව සිටි ව්‍යාපාරිකයෙකි. ඔහු මෙම ඉඩමද ඇතුළුව දේපළ රාශියක් මහා භාරකරුට පවරා ඇති අතර මෙම ඉඩම බෞද්ධ කාර්යයකට යොදාගත යුතු බව ඔහු අවසන් කැමැත්තේ සඳහන් කර ඇත. නමුත් දැන් සිදුවන්නට යන්නේ එයට හාත්පසින්ම වෙනස් වැඩකට බවයි අපට පේන්නේ. පිළියන්දල කහපොළ බොල්ගොඩ ජලාශයට නුදුරින් පිහිටා ඇති රෙජිඩේල් වත්ත ප්‍රදේශයේ ඉතිරිව පවතින එකම විශාල තනි ඉඩමයි. නගරයට එතරම් දුර නොවුවද සුන්දර ග්‍රාමීය වටපිටාවකින් යුත් මේ වතුයාය තැනින් තැන වනවදුලුවලින් සමන්විත උස් බිමක පිහිටා තිබේ.

මෙම ඉඩම පැවැති රජයන් විසින් අවස්ථා හතරකදී විවිධ ව්‍යාපෘති සඳහා යොදාගත්තද ඒ සියල්ල අසාර්ථක විය. වත්මන් අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ ජනාධිපති ධූරය දැරෑ සමයේදී 2014 වසරේදී එළිමහන් සත්වෝද්‍යානයක් ඉදිකිරීම සඳහා එහි මුල්ගල් තැබීය. එහෙත් එයද මුල්ගලකට පමණක් සීමා විය. ඉන්පසු යහපාලන ආණ්ඩුව පැවති සමයේ එම ඉඩම බුද්ධශාසන අමාත්‍යංශයට පවරාගෙන ශාක්‍ය ජනපදය සහ ජාත්‍යන්තර බෞද්ධ සන්නිවේදන මධ්‍යස්ථානයක් ඉදිකිරීමට මුල්ගල තැබුණි. ඒ වර්ෂ 2017දීය. එහි වියදම රු. කෝටි 50ක් විය. එය අතරමග නැවතුණු අතර මෙම වත්ත නැවත සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවටම පවරා දෙන ලෙස අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා බුද්ධශාසන, සංස්කෘතික ආගමික කටයුතු අමාත්‍යංශයට 2020දී උපදෙස් දී තිබුණි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන වෘත්තීය සමිති නියෝජිතයන් පවසන්නේ දෙහිවල සත්වෝද්‍යානය නුදුරු ස්ථානයක පවතිද්දී එළිමහන් සත්වෝද්‍යානයක් මෙලෙස ඉදිකිරීම අනවශ්‍ය මෙන්ම නිශ්ඵල ක්‍රියාවක් බවයි.

පසුගිය 2020 වසරේ අගෝස්තු මාසයේදීද සත්වෝද්‍යානය සංචාරක අමාත්‍යංශයට අයත්ව තිබියදී දෙහිවල සතුන්වත්ත පිළියන්දලට ගෙන යන බවට සංචාරක ඇමැති ප්‍රසන්න රණතුංග මහතා පැවසුවේය. ඔහු එහිදී සඳහන් කළේ දෙහිවල සත්වෝද්‍යානයේ ඇති ඉඩකඩ අවම වීම නිසා එය වෙනත් තැනකට ගෙන යාම අවශ්‍ය බවයි. සතුන් කූඩුකර නැරඹීමේ ක්‍රමවේදය වර්තමානයේ යල් පැන ගිය ක්‍රමවේදයක් බැවින් නවීන ලෝකයට ගැ‍ළපෙන පරිදි සකස් කිරීම අත්‍යවශ්‍ය බවත් එය සත්ව හිංසනයක් සිදු නොවන ආකාරයෙන් සිදුකළ යුතු බවත් අමාත්‍යවරයා එහිදී පෙන්වා දී තිබුණි. මේ යෝජනාවට  එහි සේවක සේවිකාවන් දැඩි විරෝධයක් පළ කළ අතර උද්ඝෝෂණයක්ද සංවිධානය කළ අතර එය අත්හිටුවනු ලැබුවේ සංචාරක අමාත්‍යාංශ ලේකම්වරයා   විසින් කහපොළට රුගෙන යෑම ස්ථිර අදහසක් වී නොමැති බව සේවක සේවිකාවන්ට දැනුම් දීමෙන් පසුවයි.

ජාතික සත්වෝද්‍යානය දෙහිවල පිහිටුවා වසර 85 ක් ගත වී ඇත. එහි විශාලත්වය අක්කර 23කි. 1920 ගණන්වල ඇරඹූ දෙහිවල සත්තු වත්තේ ආරම්භකයා ජෝන් හාග්න්බෙක් නම් ජර්මන් ජාතිකයාය. යුරෝපා රටවල සත්වෝද්‍යානවලට සතුන් යැවීම සඳහා සතුන් ඒකරාශී කරන ස්ථානයක් ලෙස මෙය මුල් කාලයේ පවත්වාගෙන ගොස් තිබේ. පසුව ආණ්ඩුවට පවරාගත් දෙහිවල සත්වෝද්‍යානය මහජන ප්‍රදර්ශනය සඳහා 1939දී නිල වශයෙන් විවෘත කෙරිණි.

මුලින්ම සත්ව කූඩු යටතේ සතුන් රඳවා තැබූවද අද වනවිට ‘සත්ව අරණ’ යන සංකල්පය ක්‍රියාත්මක වන්නේ සත්ව කූඩු සංකල්පය දැන් යල්පැන ගොස් ඇති සංකල්පයක් වන බැවිනි. 1982ට පෙර මෙය වනජීවී අමාත්‍යාංශයට අයත් වුවද එතැන් සිට ජාතික සත්වෝද්‍යාන පනත යටතේ දෙපාර්තමේන්තුව ස්ථාපිත කෙරිණි. මෑතකදී ජාතික සත්වෝද්‍යාන සංචාරක අමාත්‍යාංශයට අයත් කර තිබුණද මෑතකදී යළිත් වනජීවී අමාත්‍යංශයටම පවරා තිබේ. පින්නවල වාගොල්ල, හම්බන්තොට රිදීගම සෆාරි උද්‍යානය සහ හොරණ ගෝනපොළ ගොවිපොළ දක්වා ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ කාර්යභාරය පුළුල් වී තිබේ.

ජාතික සත්වෝද්‍යානයක් පිහිටුවීමේ මූලික අරමුණ වන්නේ සතුන් නරඹා විනෝදයක් ලබාගැනීමයි. අධ්‍යාපනය සහ පර්ෙය්ෂණ අරමුණුද ඒ හා බැඳී පවතී. මේ අතර දෙහිවලද සත්ව අරණ සංකල්පය ක්‍රියාත්මක කරමින් සිටී. සත්වෝද්‍යාන සේවකයන් පවසන්නේ දැනට පවතින සත්වෝද්‍යානවල සකස් කර සංවර්ධනය කළයුතු තැන් රාශියක් තිබියදී අලුත් සතුන් වත්තක් ආරම්භ කිරීමට අතිවිශාල මුදලක් වැයකිරීම මෙවැනි අවස්ථාවක නොකළ යුත්තක් බවයි.  එමෙන්ම එය මේ දුෂ්කර අවදානම් කාලයේ රටේ සල්ලි නාස්ති කිරීමක් බවයි.

 කුසුම්සිරි විජයවර්ධන

 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:05