2021 ඔක්තෝබර් 23 වන සෙනසුරාදා

ටී.එන්.ඒ. මීළඟ නායකයා සුමන්තිරන්ද?

 2021 ඔක්තෝබර් 23 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 35

දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා පසුගියදා කිලිනොච්චිය කණ්ඩාවලෙයි ප්‍රදේශයේ තමන්ට අයත් කුඹුරුයායක සාම්ප්‍රදායික අයුරින් ගවයින් යොදා සී සෑමට එක් වූ අතර, කුඹුරේ කිරි උතුරා කිරිබත් පිසීම, තල්පතේ ආහාර ගැනීම වැනි කටයුතුවලටද සම්බන්ධ විය. මේ පිළිබඳ ඡායාරෑප සහ වීඩියෝ දර්ශන සමාජ මාධ්‍යන්හි, රූපවාහිනි නාලිකාවල මෙන්ම පුවත්පත්වලද සංසරණය විය. ඔහු මෙවැනි ක්‍රියාවක නිරත වූයේ පළමුවරටය. එහෙයින් මෙම ක්‍රියාව කිසියම් ප්‍රචාරයක් අපේක්ෂාවෙන් කරන ලද්දක් විය හැකි බැව් ඇතැමුන්ගේ මතය විය. ඒ සම්බන්ධයෙන් දේශය කළ විමසුමේදී සුමන්තිරන් මහතා ප්‍රකාශ කළේ එය කිසිදු ප්‍රචාරක අරමුණකින් සිදු නොකළ බවය. එහි මුඛ්‍ය අරමුණ වූයේ මේ වනවිට මහ කන්නයේ ගොවිතැන් කටයුතු ආරම්භ වී ඇති නමුදු රට පුරා සිටින ගොවීන් පොහොර නොමැතිව විශාල ගැටලුවකට මුහුණ පා සිටින හෙයින් එම ගැටලුවට විසඳුම් ලබාගැනීම සඳහා හඬක් නැඟීමට යැයි සුමන්තිරන් මන්ත්‍රිවරයා ප්‍රකාශ කළේය. ඉදිරි දින කිහිපයේ උතුරේ ස්ථාන කිහිපයකම පොහොර ඉල්ලා උද්ඝෝෂණයක් කිරීමට කටයුතු කරන බවද ඔහු ප්‍රකාශ කළේය.

පාර්ලිමේන්තු මන්ත්‍රී මතියාපරනම් ඒබ්‍රහම් සුමන්තිරන් නොහොත් එම්.ඒ. සුමන්තිරන් මන්ත්‍රිවරයා දෙමළ ජාතික සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශකවරයාය. දෙමළ ජනතාවගේ නියෝජිතයකු ලෙස ඔහු උතුරේ ජනතාව අතර ප්‍රචලිත චරිතයකි. දෙමළ ජාතික සන්ධාන නායක  ආර්. සම්පන්දන් මහතාගේ සමීපතමයාය. සෘජුව කතාකරන පුද්ගලයකු ලෙසද සුමන්තිරන් ප්‍රසිද්ධය. එය දෙමළ ජාතික සන්ධානයේ ඇතැම් පක්ෂ නායකයන්ට නොරිස්සන බව පෙනෙන්ට තිබේ. ඊට හොඳම උදාහරණය පක්ෂ නායකයන් පිරිසක් පසුගිය 29 දා සම්පන්දන් මහතාගේ නිවෙසට ගොස් සුමන්තිරන් පිළිබඳ ගතු කීමය. ඊට මුල්වූයේ ජිනීවා මානව හිමිකම් කොමිසමට යැවූ ලිපියකි. ආර්. සම්පන්දන් මහතා මානව හිමිකම් කොමිසමට ලිපියක් යොමුකර තිබිණි. එය යොමු කරන්නට පෙර අනෙකුත් පක්ෂ නායකයන්ටද පෙන්වා තිබූ අතර එම අවස්ථාවේ ඒ පිළිබඳව ඔවුන්ගෙන් කිසිදු විරෝධයක් මතු වූයේ නැත. එහෙත් පසුව සන්ධාන නායකයාට නොදන්වා තවත් ලිපියක් මානව හිමිකම් කොමිසමට යැවීමට පිරිසක් කටයුතු කර තිබිණි. එය දෙමළ ජනතා ජාතික සන්ධානයේ සී.වී. විග්නේස්වරන්ගේ ප්‍රධානත්වයෙන් යවන ලද්දකි. විග්නේස්වරන් දෙමළ ජාතික සන්ධානයේ සාමාජිකයකු නොවේ. ඔහුගේ ලිපියට දෙමළ ජාතික සන්ධානයේ ටෙලෝ සහ ෆ්ලොට් පක්ෂවල නායකයින් අත්සන් තබා තිබිණි.

   

මෙය සුමන්තිරන්ගේ දැඩි දෝෂදර්ශනයට ලක්වූ අතර ඔහු ඔවුන් ප්‍රසිද්ධියේ විවේචනය කළේය. මෙම කණ්ඩායම පසුගිය සැප්තැම්බර් 29දා සම්පන්දන් මහතා සමඟ සාකච්ඡාවක් පැවැත්වීය. සුමන්තිරන් තමන් විවේචනය කළ බවට ඔවුහු සම්පන්දන්ට පැමිණිලි කළහ. එම සාකච්ඡාවට සුමන්තිරන් මන්ත‍්‍රීවරයාටද ආරාධනා කළ යුතුයැයි සම්පන්දන් කියා සිටියද එම පිරිසට අවශ්‍ය වූයේ සුමන්තිරන් නොමැතිව ඔහුට ඇති චෝදනාව ඉදිරිපත් කිරීමය. 
ඒ අනුව දෙමළ ජාතික සන්ධානයේ දෙපිරිසක් අතර කාලයක සිට සීතල යුද්ධයක් පවතින බව පෙනී යයි. කෙසේ නමුදු ප්‍රශ්නය එම සාකච්ඡාවෙන් පසු නිරාකරණය වී තිබේ. මේ සම්බන්ධයෙන් අප සුමන්තිරන් මහතාගෙන් විමසූ අවස්ථාවේ ඔහු ප්‍රකාශ කළේ ඇතැම් පිරිස් අන්තවාදීව කටයුතු කරන බාහිර පුද්ගලයන් සමඟ සම්බන්ධ වෙමින් විවිධ ක්‍රියා සිදු කරන බවත් තමන් රුඩිකල් පිරිසක් බව ජනතාවට පෙන්වීම  ඔවුන්ගේ අරමුණ වී ඇති බවත්ය.

දෙමළ ජාතික සන්ධානය යනු  උතුරේ  දෙමළ පක්ෂවලින් සැදුම්ලත් දේශපාලන සන්ධානයකි. එය පිහිටුවනු ලැබුවේ 2001 වසරේය. මෙම සන්ධානයේ පක්ෂ වන්නේ ඉලංකෙයි තමිල් අරසු කච්චි, (ITAK) ඊළාම් ජනතා විප්ලවවාදී විමුක්ති පෙරමුණ, (EPRLF) දෙමළ ඊළාම් ජනතා විමුක්ති සංවිධානය (PLOT) සහ දෙමළ ඊළාම් විමුක්ති සංවිධානය (TELO) යන කණ්ඩායම්ය. දෙමළ ජාතික සන්ධානයේ නායකයා රාජවරෝතියම් සම්පන්දන් මහතාය. පරිනත දේශපාලනඥයකු වන ඔහු 2015 වසරේ පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකයාද විය. 1933 උපත ලද ඔහු දැන් 88 හැවිරිදිය.

සම්පන්දන් මහතාගෙන් පසු පක්ෂයේ හා සන්ධානයේ නායකත්වයට සුදුසුම පුද්ගලයා ලෙස බොහෝ දෙනකු අනුමත කරන්නේ සුමන්තිරන් මහතාය. මින් දෙවසරකට පමණ ඉහත සම්පන්දන් මහතා අසනීපයෙන් වූ අවස්ථාවේ ඔහු දෙමළ ජාතික සන්ධානයේ අනුශාසකවරයා වශයෙන් පත් කොට සන්ධාන නායකත්වය සුමන්තිරන් මහතාට ලබාදීමට පක්ෂය තුළ සාකච්ඡාවක්  පැවැති බව ඊ. සරවනබවන් ප්‍රකාශ කර තිබිණි. දෙමළ ජාතික සන්ධානයේ මීළඟ නායකත්වයට ජ්‍යෙෂ්ටත්වය අනුව පත්විය යුත්තේ සෝමසුන්දරම් (මාවෙයි) සේනාධිරාජාය මහතා වුවද ඔහුගේ අසනීප තත්ත්වය හා මෙවර පාර්ලිමේන්තුවට තේරී පත් නොවීම හේතුවෙන්  සුමන්තිරන් මහතාට නායකත්වය සඳහා වැඩි සුදුසු කමක් පවතී.
සුමන්තිරන්ට උතුරේ හා දකුණේ බොහෝ දේශපාලනඥයන් අතර මෙන්ම ජාත්‍යන්තරයේද පිළිගැනීමක් තිබේ. විශේෂයෙන්ම විදේශගත දෙමළ ජනයාගේ සහය ඔහුට තිබේ. පසුගිය කාලයේ කොරෝනා මර්දනය සඳහා උතුරට අවශ්‍ය එන්නත් හා උපකරණ මිලදී ගැනීමට අවශ්‍ය මුදල් හා අත්‍යවශ්‍ය  උපකරණ ලබා දීමට විදේශගතව සිටින දෙමළ ජනයා සුමන්තිරන්ට කැමැත්ත පළකර තිබිණි. එහෙත් ඊට රජයේ අවසරයක් ලැබුණේ නැත.
සුමන්තිරන්  සම්පන්දන්ගේ ඉමහත් විශ්වාසයක් දිනාගත් නියෝජ්‍ය නායකයාය. වසර තුනක සිට ඉන්දියානු රජයෙන් සාකච්ඡාවක් සඳහා සම්පන්දන් මහතාට ආරාධනා කර තිබේ. එම සාකච්ඡාව සඳහාද සම්පන්දන් මහතා සමඟ සහභාගී වීමට නියමිතව සිටින්නේ සුමන්තිරන්ය. පළාත් සභා මැතිවරණය ප්‍රමාදවීම, දහතුන්වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය නිසි ලෙස ක්‍රියාත්මක නොවීම වැනි කරුණු සම්බන්ධයෙන් ඔවුන් අගමැති මෝදි සමඟ සාකච්ඡා කිරීමට නියමිතව තිබේ. එහෙත් තවමත් ඒ සඳහා දිනයක් තීන්දු වී නොමැත.

යාපනයේ උපත ලබා කොළඹ හැදී වැඩී රාජකීය විද්‍යාලයෙන් අධ්‍යාපනය ලද සුමන්තිරන් මානව හිමිකම් හා ව්‍යවස්ථාව පිළිබඳව මෙරට සිටින කීර්තිමත් නීතිඥවරයෙකි. ඔස්ට්‍රේලියාවේ මොනෑෂ් විශ්වවිද්‍යාලයෙන් නීතිය පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය උපාධිය දිනූ ජනාධිපති නීතිඥවරයෙකි. ඔහු දේශපාලනයට පිවිසියේ සම්පන්දන්ගේ ඇරියුමිනි. 2010 ඔහු ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙස පාර්ලිමේන්තුවට පිවිසියේය. 2015 හා 2020 පාර්ලිමේන්තු මැතිවරණවලදී ඉලංකෙයි තමිල් අරසු පක්ෂයෙන්  යාපනය දිස්ත්‍රික්කයට තරග කොට ජයග්‍රහණය කළේය. 

සුමන්තිරන් මෙතෝදිස්ත කිතුනුවෙකි. ඔහුගේ මව්පියෝ යාපන වැසියෝය. ඔහුගේ පියා උඩුප්පිඩි ඡන්ද කොට්ඨාශයේ කරවෙඩ්ඩි ප්‍රදේශයේය. මව පේදුරුතුඩුවේ කුඩාතානෙයි ප්‍රදේශයේය. ඔහුගේ සීයාවරු දෙදෙනාම එම ප්‍රදේශයේ ඉමහත් ගෞරවයට පාත්‍ර වූ ගුරුවරුන්ය. වර්තමාන දේශපාලන කරළියේ සුමන්තිරන් ස්ථාවරත්වයක් ගොඩ නගාගෙන තිබේ. ඔහුට සන්ධාන නායකත්වය ලබා ගැනීමට සුදුසුකම් තිබේදැයි ඇතැම් අය ඔහුගෙන් විමසති. එයට ඔහු දෙන පිළිතුර වන්නේ &ඔව්* යන්නයි. සන්ධාන නායකත්වය ඔබට ලැබුණොත් ඔබ එය භාර ගැනීමට සූදානම්දැයි අපි ඔහුගෙන් විමසීමු. පක්ෂය තුළ හෝ තමා තුළ හෝ තවම එවැනි අදහසක් නොමැති වුවද ජනතාව තුළ එවැනි අපේක්ෂාවක් පවතින බවත් යම් හෙයකින් තමා නායකත්වයට නම් කළහොත් එය බාර ගැනීමට සූදානම් බවත් එහෙත් සම්පන්දන් මහතා සිටින තෙක් ඔහු එම තනතුරේ සිටිය යුතු බවත් සුමන්තිරන් ප්‍රකාශ කළේය.

2020 මැතිවරණයෙන් ඉලංකෙයි තමිල් අරසු පක්ෂයෙන් පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරුන් සය දෙනෙක් තේරි පත් වූහ. සම්පන්දන්, සුමන්තිරන්, ශ්‍රීධරන්, රාසමානික්කම්, කලෙයරසන් සහ චාල්ස් නිර්මලනාදන් එම මන්ත්‍රිවරුන් සය දෙනාය. මේ සියලු දෙනා සුමන්තිරන් සමඟ සහයෝගයෙන් කටයුතු කරන පිරිසකි. යම් හෙයකින් සුමන්තිරන් පක්ෂ නායකත්වට පත්වුවහොත් සියල්ලන් සමඟ එක්ව ගමනක් යෑමේ හැකියාව ඔහුට තිබේ. ඒ ඔහු දැනටත් සන්ධානයේ සියලු කටයුතු නියෝජනය කරන බැවිණි.

 ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා