දකුණු සිරිලක හැඳින්වෙන්නේ රෝහණ නාමයෙනි. මුලසිටම මෙම රෝහණ දේශය ලංකාවේ දේශපාලන, ආර්ථික, ආගමික හා සංස්කෘතික ඉතිහාසය හැඩගැස්වීමෙහිලා කරන ලද බලපෑම අතිවිශාලය. අනුරාධපුර රාජධානිය පරසතුරු ආක‍්‍රමණික පාලකයන් යටතේ පවතින කල්හි සිංහාසනය හිමි ලාංකික රජ කුමාරවරුන් ආරක්‍ෂාව ලැබුවේ මෙම පුණ්‍යවන්ත භූමියේය. වෙනත් හේතූන් නිසා දේශපාලන පරාජය ලැබූ බොහෝ අය රෝහණය බලය වර්ධනය කර ගැනීමේ හා සටන් සංවිධාන කිරීමේ මධ්‍යස්ථානයද කරගත්හ. රජරට ප‍්‍රදේශයේ වාතාවරණය භික්‍ෂූන් වහන්සේට අහිතකර වූ විටත් උන්වහන්සේලා ආරක්‍ෂාව සොයා පැමිණියේ රෝහණ ප‍්‍රදේශයටය.
ක‍්‍රි:පූ: 6 වැනි ශත වර්ෂයට පෙරත් ඉන්පසුවත් දිවයිනට පැමිණි විවිධ ජන කොටස් හා ඔවුන්ගේ ව්‍යාප්තිය නිසා රෝහණ ප‍්‍රදේශය ජනාවාස වූයේය. මෙම ජනාවාස තුළින් ක‍්‍රි:පූ: 3 වැනි ශතකය වනවිට සුළු සුළු රාජධානි රෝහණ ප‍්‍රදේශයේ බිහිවූ බව කාචරගාම, චන්දනගාම ක්‍ෂත‍්‍රියයන් පිළිබඳ වංශකථාව කරන සඳහනෙන් පැහැදිලිය. එසේම ඒ යුගයේදීම අනුරාධපුරයේ දෙවැනි පෑතිස් මහරජුගේ සහෝදර මහානාග රෝහණයට ඒමත් සමග මෙම ප‍්‍රදේශයේ ක්‍ෂත‍්‍රිය පාලකයෝ අනුරාධපුර රජවරුන්ට සම්බන්ධ වෙති.
අනතුරුව යටාලතිස්ස, ගෝඨාභය, කාකවණ්ණතිස්ස රෝහණයේ දේශපාලන ඒකාබද්ධතාවය ගොඩ නඟන අතර එම පසුතලය තුළින් ඉදිරියට එන දුටුගැමුණු රජුගේ කාලය රෝහණයේ පමණක් නොව මුළු දිවයිනේම දේශපාලන ආගමික හා සංස්කෘතික ඉතිහාසයේ අමරණීය කාල පරිච්ඡේදයක් උදා කළේය. ධාතු වංශයට අනුව ගෝඨාභය මහවැලි ගඟින් එගොඩ විහාර පන්සියයක් හා මෙගොඩ විහාර පන්සියයක් ඉදිකළේය. මාගම කේන්‍ද්‍ර කොටගෙන කාකවණ්ණතිස්ස රජු අනුගමනය කළ ක‍්‍රියාපද්ධතිය තුළින් රෝහණයේ විශාල විහාර සංඛ්‍යාවක් බිහිවීම වංශකථා සාහිත්‍යයේ සඳහන් වේ. ක‍්‍රමිවක විකාශනය වූ මෙම පසුතලය විමසා බලනවිට රෝහණය මුලසිටම භික්‍ෂූන් වහන්සේගේත් විහාරයේත් මනා තෝතැන්නක් වී තිබුණු බව පෙනේ.
ක‍්‍රි:ව: 1753 ඇසළ පුර පසළොස්වක් පොහෝ දින වැලිවිට අසරණ සරණ සරණංකර නාහිමියන්ගේ අප‍්‍රතිහත ධෛර්යයත් කීර්ති ශ‍්‍රී රාජසිංහ රජුගේ රාජ්‍ය අනුග‍්‍රහයත් නිසා දීර්ඝ කාලයක් අභාවයට පත්ව තිබූ උපසම්පදාව සියම් දේශයෙන් වැඩම වූ උපාලි මාහිමිපාණන් වහන්සේගේ ප‍්‍රධානත්‍වයෙන් පිහිටුවන්නට හැකිවිය. මේ හේතුවෙන් දිවයිනේ බොහෝ පළාත්වලින් දිසාවලින් පැමිණි සිල්වත් පිරිස ඓතිහාසික සෙංකඩගල පුරයේදී උතුම් උපසම්පදාව ලබාගත්හ. ඒ අතර ප‍්‍රමුඛත්‍වයක් ගන්නා ලද වේහැල්ලේ ධම්මදින්න මහා ස්වාමීන්‍ද්‍රයාණන් වහන්සේ දැක්විය හැකිය.
ක‍්‍රි:ව: 1728 දී මහනුවරට වැඩමවා ශාසනික හා ශාස්ත‍්‍රීය කටයුතුවල යෙදුණ ධම්මදින්න හිමියෝ 1751 දී කීර්ති ශ‍්‍රී රාජසිංහ රජතුමා විසින් කුට්ටාපිටිය හා පැල්මඩුල්ල විහාර හා ශ‍්‍රීපාද විහාර නායක පදවියද තඹ සන්නසකින් පුදකළ අතර මාතර පළාතේ හා සපරගමු පළාතේ ශාසනික ධර්ම ශාස්ත‍්‍රීය සත්ක‍්‍රියාවන්හි නිරත වූහ. ක‍්‍රි:ව: 1775දී රත්නපුර කරන්ගොඩ පොත්ගුල් රජමහා විහාරයේදී නිධනප‍්‍රාප්ත වූහ.
සඟරජ මාහිමියන් වෙතින් මහණ උපසම්පදාව ලබාගත් දෙහිගස්පේ අත්‍ථදස්සි හිමියෝ උන්වහන්සේගේ ශිෂ්‍යයන් අතර සයවැන්නා වූහ. මාතර පාලටුව ආදී විහාරස්ථාන රුසක සමාරම්භකයාණන් වූයේ උන්වහන්සේය. මෙම පාලටුව සඟ පරපුරෙහි හත්වැනියා වූයේ පාලටුවේ සෝණුත්තර හිමිපාණන්ය. උන්වහන්සේගේ ශිෂ්‍යයන් වහන්සේ වූයේ ඇටම්පල රතනපාල හිමියන්ය.
පාලටුවේ සෝණුත්තර හිමියන් තම ශිෂ්‍ය නම කොළඹ හුණුපිටියේ ගංගාරාම විහාරස්ථානයෙහි නතරකොට මාලිගාකන්දේ විද්‍යෝදය පිරිවෙණේ අධ්‍යාපනය ලැබීමට පහසුකම් සැලැස්වූහ. හික්කඩුවේ ශ‍්‍රී සුමංගල, මහගොඩ ඤාණේශ්වර මාහිමියන් වහන්සේලා ඇසුරෙහි දැනඋගත්කම් ඇතිකරගත් උන්වහන්සේ පාලටුවේ බෞද්ධෝදය පිරිවෙණ ඇරඹීය.
එම ඇටම්පල රතනපාල හිමියන්ගේ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යයන් වහන්සේ වූයේ මාලිම්බ ගුණරතන නාහිමියන් වහන්සේය. උන්වහන්සේ සුවිශාල ධර්මශාස්ත‍්‍රීය සේවාවක් පාලටුව, උනැල්ල, අත්තුඩාව හා මාලිම්බඩ යන ප‍්‍රදේශවල ඇති කළහ. ප‍්‍රදේශයේ දූ දරුවන්ගේ නැණ-නුවණ පෑදීමට එය හේතු විය. මාලිම්බඩ චන්‍දරතන හිමියන්ගේ ශිෂ්‍යනමක් වූ පාලටුවේ ජිනරතන ස්වාමීන්‍ද්‍රයාණන් වහන්සේ අද මෙම පාලටුව ඛෙත්තාරාම විහාරස්ථානයේ ආධිපත්‍යයට පත්ව සිටිති.
පාලටුවේ ඛෙත්තාරාම විහාරස්ථානයේ ස්වර්ණමය යුගය වන්නේ පාලටුවේ ජිනරතන හිමියන්ගේ කාලවකවානුවයි. පිරිහී විනාශ වී තිබූ විහාරස්ථානයට නව පණක් එක්කරමින් විහාරාංග ඉදිකරමින් අද දැකුම්කළු දර්ශනීය විහාරස්ථානයක් බවට පත් කොට ඇත.
1962 මාර්තු 15 වන දින පැවිදි බිමට පත්වූ පාලටුවේ ජිනරතන හිමියන් 1963.11.08 වන දින කොළඹ ගංගාරාමස්ථ ශ‍්‍රී ඥානෙශ්වර විද්‍යායතන පිරිවෙණට ඇතුළත්ව සිංහල පාලි සංස්කෘත ආදී පෙරදිග භාෂා මෙන්ම ඉංග‍්‍රීසි භාෂාවද හදාරා 1982 වසරේදී ඇමෙරිකාවේ නිව්ෙයා්කිහි කොළඹ ගංගාරාම මහා විහාරාධිපති ආචාර්ය ගල්බොඩ ඤාණිස්සර නාහිමියන් ආරම්භ කළ බෞද්ධ විහාරස්ථානයට වැඩමවා එහි වැඩ වසමින් ආගමික සාමාජික කටයුතුවල වසර 15ක් පමණ නියුතු වෙමින් තම උසස් අධ්‍යාපන කටයුතුද සපුරා ගත්හ. විවිධ ක්‍ෂෙත‍්‍රවල පුහුණුව ලබමින් ඩිප්ලෝමා සහතික රුසක්ම හිමිකර ගත්හ.
2002 වසරේදී ශ‍්‍රී ලකාවට නැවත පැමිණි පාලටුවේ ජිනරතන නාහිමියෝ තම පරම්පරාවෙන් තමා වෙත උරුම වූ පාලටුවේ ඛෙත්තාරාම පුරාණ විහාරස්ථානයේ පාලනය බාරගෙන පරිහාණියට පත්ව තිබූ මෙම විහාරස්ථානය සංවර්ධනය කිරීමට පුරෝගාමී වූහ. කොළඹ ගංගාරාම මහා විහාරාධිපති ආචාර්ය ගල්බොඩ ඤාණිස්සර නාහිමියන්ගේ ඉල්ලීම මත ගංගාරාම විහාරස්ථානයේ ආගමික කටයුතුවල නිරත වන අතර 2012 ජනවාරි 31 වැනි දින අබලන්ව පැවැති ධර්මශාලා ගොඩනැගිල්ල ඉදිකරවා නාමල් රාජපක්‍ෂ, සාගල රත්නායක මන්ත‍්‍රී දෙපළගේ සහභාගිත්‍වයෙන් විවෘත කළහ.
සිව්දෙසින් වඩිනා මහා සංඝරත්නයේ සුව විහරණය සලකා නේවාසික භික්‍ෂූන්ට පහසුකම් ඇති නව සංඝාවාස ගොඩනැගිල්ලද ඉදිකරවා 2018 ඔක්තෝබර් 24 වැනි දින ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මැතිතුමන් ප‍්‍රධාන ප‍්‍රභූ පිරිස සහභාගී කොටගෙන ආචාර්ය ගල්බොඩ ඤාණිස්සර නාහිමියන්ගේ අනුශාසනා පරිදි විවෘත කරන ලදී.
විහාරස්ථානයක පැවතිය යුතු විහාරාංග වන චෛත්‍යය හා බෝධිය පිළිසකර කරවා සැදැහැවතුන්ට වන්දනා මාන කිරීමට පහසුකම්ද ඇති කළහ.
විහාර මන්දිරය ජීවමාන බුදුරජාණන් වහන්සේ වැඩ සිටින අයුරින් නිර්මාණය කෙරෙන ස්ථානයයි. බුදුරජාණන් වහන්සේද සැදැහැවත් කුලපුත‍්‍රයකු විසින් දැක පහන් සංවේගය උපදවා ගත යුතු ස්ථාන හතරක් දක්වා ඇත. ඒ අනුව බුද්ධ පරිනිර්වාණයෙන් ඉතිරි වූ ධාතු නිධන් කළ චෛත්‍යයද බුද්ධත්‍වයට පත්වීමට උපකාරී වූ ජයශ‍්‍රී මහා බෝධියද අප විහාරස්ථානවල චෛත්‍යය බෝධිය දෙකින් නිර්මාණය කළහ. බුදු උපත සිදුවූ බරණැස ඉසිපතනාරාමයද විශේෂිත ස්ථාන දෙකකි. ඒ ස්ථාන දෙක නිර්මාණය විහාර මන්දිරය තුළ සකසනු ඇත.
දඹදිව වන්‍දනාවට යා නොහැකි වුවත් තම ගමේ පන්සලේදී මෙම ස්ථාන වන්‍දනාමාන කිරීමට සද්ධාව පුබුදුවාලීමට ශ‍්‍රී ලංකාවේ මේ නිර්මාණයන් ශාරීරික උද්දේශික පාර්භෝගික යැයි ත‍්‍රිවිධ චෛත්‍යය නිර්මාණය වේ.
කොළඹ මාතර ගරාජ් අධිපති ජී.කේ. ජිනදාස මහතා සහ චන්‍ද්‍රා පියසීලි මහත්මියගේ දායකත්‍වයෙන් පරලෝ සැපත් ලනිල් ගල්බොඩ තරුණ පුතුට පිං අනුමෝදන් කිරීමේ දසවස් සපුරණ අනුස්මරණයට සමගාමීව පෞරාණික විහාරය සම්පූර්ණයෙන් ප‍්‍රතිසංස්කරණය කොට බුදු සිරිතේ වැදගත් අවස්ථා හා ජාතක කථා චිත‍්‍රයට නංවා අලංකාරවත්ව සැදැහැ සිත් පුබුදුවාලන විහාර මන්දිරයේ වැඩකටයුතු විහාරාධිපති පාලටුවේ ජිනරතන නාහිමියන් විසින් කැපවීමෙන් හා අනුශාසකත්‍වයෙන් ඉදිකොට අවසන් වී ඇත. ඒ වෙනුවෙන් මෙම ඔක්තෝබර් 28 දින තිස් පෑ තුනේ මහා පිරිත් දේශනයක් පවත්වාලීමටද කටයුතු යොදා ඇත.
අග‍්‍රාමාත්‍ය මහින්‍ද රාජපක්‍ෂ මහතා ප‍්‍රධාන මැති ඇමතිවරු ප‍්‍රධාන සම්භාවනීය ගිහි පිරිසකගේ සහභාගිත්‍වයෙන් ඔක්තෝබර් මස 30 වැනි දින සවස 3.00 ට අභිනව විහාර මන්දිරය විවෘත කරනු ලැබේ. වාර්ෂික කඨින චීවර මහා පූජාවද ඊට සමගාමීව සිදුවේ.
දකුණු සිරිලක මාතර පාලටුව ඛෙත්තාරාම මහ වෙහෙර දැකුම්කළු අංග සම්පූර්ණ විහාරයක් බවට පත් කරළීමට පුරෝගාමී වූ විහාරාධිපති ගෞරවාර්හ පාලටුවේ ජිනරතන ස්වාමීන්‍ද්‍රයාණන් වහන්සේගේ මෙම ආගමික සාමාජික සංස්කෘතික හා සමාජ සේවා උදාර මෙහෙවර අගයා ශ්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයෙන් දකුණු පළාතේ සම්භාවනීය නායක පදවියකින්ද සම්මානිත කොට ඇත.
රාජකීය පණ්ඩිත, ත‍්‍රිපිටකාචාර්ය, ශාස්ත‍්‍රපති
තන්තිරිමුල්ලේ සරණ නාහිමි
උභය විහාරාධිපති
සිරි පරම විසුද්ධාරාමය ගඟුල, පානදුර
ශ‍්‍රී ජනෙන්‍ද්‍ර චෛත්‍යාරාමය එගොඩඋයන,
මොරටුව.