2021 ඔක්තෝබර් 23 වන සෙනසුරාදා

කාබනික - රසායනික පොහොර අලකලංචියට මැදි වූ නැනෝ!

 2021 ඔක්තෝබර් 23 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 53

ලංකාවට ගෙනා කාබනික පොහොර රසායනික පොහොරද? මේ දිනවල විශාල වශයෙන් සාකච්ඡාවට බඳුන් වී ඇති ගැටලුවකි. එම නිසාම මෙහි සත්‍ය අසත්‍යතා විමසා බැලීමට අපි තීරණය කළෙමු. මේ මොහොත වනවිට පළවී ඇති විද්වත් මත කිහිපයක් මෙහිදී සාකච්ඡාවට බඳුන් කරමු.

මහ කන්නය සඳහා අවශ්‍ය දියර පොහොර ගෙන්වීමේ පළමු අදියර ලෙස ඇණවුම් කළ නැනෝ නයිට්‍රජන් දියර පොහොර ලීටර් ලක්ෂයක තොගයක් පසුගිය අඟහරුවාදා (19) මෙරටට ලැබුණි. මෙම පොහොර හඳුන්වන්නේ නයිට්‍රො රජා නමිනි. ඉන්දියානු රජයට අනුබද්ධිත සමාගමක් විසින් මෙම පොහොර නිෂ්පාදනය කොට තිබේ. මේ වනවිට මෙම පොහොර තොගය අම්පාර, මඩකලපුව, ත්‍රිකුණාමලය ඇතුළු මහ කන්නයේ වී වගාව දැනටමත් ආරම්භකර ඇති දිස්ත්‍රික්කවල ගොවිජන සංවර්ධන මධ්‍යස්ථාන හරහා ගොවීන්ට ලබාදීම  සිදුවෙමින් පවති.

මෙම පොහොර කාබනික පොහොර නොවන බවටත් තවමත් ක්ෂේත්‍රයේ සාර්ථක අත්හදා බලා නොමැති පොහොරක් බවටත් චෝදනා නැගෙයි. ප්‍රධාන වශයෙන් විද්වතුන් තර්ක කරන්නේ මෙරටට ආනයනය කළ පොහොර පොටෑසියම් ක්ලෝරයිඩ් මියුරේට් ඔෆ් පොටෑෂ් ලෙස භාවිත කරන රසායනික පොහොරක් යන්න පිළිබඳවය.

ශ්‍රී ජයවර්ධපුර විශ්වවිද්‍යාලයේ රසායන විද්‍යා පිළිබඳ මහාචාර්ය එස්.ඩී.එම්. චින්තක මහතා:
නයිට්‍රජන්වලට අපි මුලින් පාවිච්චි කළේ යූරියා. යූරියා දැන් ලංකාවට ගෙන ඒම තහනම් නිසා නැනෝ යූරියා පොහොරක් ආනයනය කරලා තියෙනවා. මේ පොහොර සම්පූර්ණයෙන්ම රසායනික පොහොරක්. මේක ඉන්දියාවේ පර්යේෂණ මට්ටමින් සිදුකරලා, ක්ෂේත්‍ර පරීක්ෂණත් සිදුකරලා ගොවියන් සඳහා නිකුත් කරලා තියෙන්නේ දැනට මාස 2කට ඉස්සෙල්ලා. තාම මේක ඉන්දියාවෙවත් ගොවීන් අතර භාවිත කරලා ගොවීන්ගේ අත්දැකීම් කිසිවක් නැති පොහොරක්. මේක ලංකාවේ එකපාරටම දානවාට වඩා ලංකාවේ ක්ෂේත්‍ර පර්යේෂණ කරලා ඒ හරහා ලැබෙන ප්‍රතිඵල විශ්ලේෂණය කරලා තමයි ලංකාවට හඳුන්වාදිය යුත්තේ කියලා තමා මම නම් විශ්වාස කරන්නේ.
එමෙන්ම ආනයනික පොහොර තීන්දුව සම්බන්ධව මෙම විද්වත් මතය ඉතාම විශේෂිතය. ලැබී ඇති තොරතුරු අනුව ඉන්දියාවේ ක්ෂේත්‍ර අත්හදා බැලීම සාර්ථක වී ඇති නමුත් මෙතරම් විශාල භූමියක මෙම පොහොරින් වගා කටයුතු සිදුකොට නොමැත. ගොවීන් වෙත මෙම පොහොර බෙදාදෙන්නේද ශ්‍රී ලංකාවේ ක්ෂේත්‍ර අත්හදා බැලීමකින් තොරවය. එසේම මෙම පොහොර භාවිතයද ප්‍රායෝගික ගැටලු ඇති බව විද්වතුන් පෙන්වා දෙයි.
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂිවිද්‍යා පිඨයේ පාංශු සරුබව සහ පෝෂක කළමනාකරණය පිළිබඳ මහාචාර්ය සමන් ධර්මකීර්ති මහතා:
මේ පොහොර සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ 

පර් යේෂණ පිළිබඳව මා දැනුවත්ව නෑ. නමුත් ඉන්දියාවේ පවා කරලා තියෙන 
පර් යේෂණලින් පෙන්වන්නේ සාමාන්‍ය නයිට්‍රජන් පොහොර යූරියා විදිහට යොදලා වර්ධන අවස්ථාවල මේ නැනෝ පොහොර වාර දෙකක් යෙදීම තමයි. මේ නැනෝ යූරියා දියර පොහොරේ 4යි නයිට්‍රජන් තියෙන්නේ. බීජ හදන්න කිලෝග්‍රෑම් 50ක් ශාකයට අවශ්‍ය කරනවා. ඒ සඳහා අපි ලබාදෙන්නේ ග්‍රෑම් 100ක් වැනි කුඩා ප්‍රමාණයක් මේ දියර පොහොර හරහා. මේ දියර පොහොර පැය කිහිපයකට වරක්වත් ගැහුවොත් තමයි ශාකයට අවශ්‍ය කරන නයිට්‍රජන් ප්‍රමාණය ලබාදෙන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා මේක කිසිසේත්ම ප්‍රායෝගික ක්‍රියාවලියක් නොවන බව තමයි මගේ විශ්වාසය.

කෘෂිකර්මය සම්බන්ධයෙන් මෙරට සිටින ඉහළම පෙළේ විද්වතුන්ගේ මෙම මත බැහැර කිරීමට කිසිවෙකුට නොහැකිය. චීනයෙන් ගෙනා පොහොර වල අහිතකර දෑ අඩංගු බව නිශ්චිතවම තහවුරු කරනු ලැබුවේ මෙම විද්වතුන්ය. මෙහිදී නැගෙන බරපතලම චෝදනාව නම් මේතාක් එමෙන්ම පොහොර හරහා ක්ෂේත්‍රයේ වගාව සාර්ථක බවට සහතිකයක් නොලැබීමයි. කෙසේ වෙතත් කෘෂිකර්ම අමාත්‍යංශය පාර්ශව මෙම චෝදනාවලට යම් පමණකට පිළිතුරු බැඳ තිබේ. ආනයනය කරන ලද පොටෑසියම් ක්ලෝරයිඩ් කාබනික පොහොර පිරිසිදු ඛණිජ සම්භවයක් ඇති පොහොර වර්ගයක් බව කෘෂිකර්ම දෙපර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය අජන්ත ද සිල්වා මහතා සඳහන් කරයි.
කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය අජන්ත ද සිල්වා මහතා:
මේ ප්‍රභවය ශාකයේ පත්‍රවලට දියරයක් ලෙස ලබාදුන් පසු ඒක ශාකය අභ්‍යන්තරයට ගමන් කරනවා. ඒ සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව කාලයන් හදලා තියෙනවා, මේ පොහොර කොහොමද භාවිත කරන්නේ කියලා. ගොවීන්ට කිසිම බයක් නැතුව මේ පොහොර පාවිච්චි කරන්න පුළුවන්.

කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය උදිත් ජයසිංහ මහතාද මේ සම්බන්ධව අදහස් දක්වා තිබේ. ඔහු ක්ෂේත්‍රයේ විද්වතකු නිසාවෙන් එම මතයද බැහැර කළ නොහැකිය. එහෙත් ඇතැම් විද්වතුන් ලේකම්වරයාගේ ප්‍රකාශ අභියෝගයට ලක්කර තිබේ. මෙම විශේෂිත පොහොර ලෝකයේ දියුණුම නැනෝ තාක්ෂණය භාවිතා කොට නිෂ්පාදනය කර ඇති බවද මෙය පරිසර හිතකාමි ඉහළ සාර්ථකත්වයක් පෙන්වා ඇති පොහොරක් බවද කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්වරයා අවධාරණය කරයි. එසේම ඉන්දියාවේ IFFCO ආයතනය මඟින් නිපදවන ලද මෙම පොහොර ලෝකයේ උසස් ප්‍රමිතියෙන් යුත් නිෂ්පාදනයක් ලෙස පිළිගෙන ඇති බව ඔහු පෙන්වා දෙයි.
විවිධ මත මෙසේ පළ වුවද අවසානයේ සඳහන් කළ යුත්තේ මෙරට ප්‍රධාන ආහාරය බත බවයි. කෙත පිළිබඳ වියවුල් සහගත තීන්දු මෙරට සියලු පුරවැසියන්ට බලපානු ලබයි. මෙය හුදෙක් ගොවීන්ට පමණක් බලපානු ලබන ගැටලුවක් නොවේ. එම නිසාම සියලු පාර්ශ්ව මේ සම්බන්ධව තවදුරටත් සංවේදී විය යුතුය.

 චමිඳු නිසල් ද සිල්වා

 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:05