අපේ රටේ පසුගිය දිනවල කිරිපිටි අර්බුදයක් ඇතිවිය. හදිසියේ කිරිපිටි හිඟවීම නිසා පාරිභෝගිකයන්ට තම දෛනික අවශ්‍යතාවට පැකට්ටුවක් මිලට ගැනීමට වරු ගණන් පෝලිම්වල සිටීමට සිදුවිය. මෙලෙස කිරිපිටි හිඟවූයේ වෙළෙඳපොළේ කිරිපිටි පැකට් නොමැතිවීම නිසාය. එයට හේතුව ඒවා ආනයනය කරන බහුජාතික සමාගම් කිරිපිටි පවතින මිලට දීමට නොහැකි බව පවසා ආනයනය නොකර සිටීම යැයි ප්‍රචාරය විය. රට තුළ විවිධ තැන්වල තිබූ කිරිපිටි පැකට් අලෙවි වී අවසන් වූ පසු කිරිදරුවන් සඳහා අවශ්‍යම කිරිපිටි මිලට ගත නොහැකි වීමෙන් දෙමාපියෝ අමාරුවේ වැටුණහ. අන්තිමට මෙම ගැටලුව ආණ්ඩුව පතුරු ගසන දේශපාලන අර්බුදයක් බවට පත්විය.
සැපයුම්කරුවන් ඉල්ලන මිල රජය අනුමත නොකිරීම නිසා මිල තීරණය කිරීම සඳහා දෙපාර්ශවය කඹ ඇදිල්ලක නිරත විය. සති දෙක තුනක් කල්මැරීමෙන් පසු සමාගම් ඉල්ලූ මිලට වඩා අඩුවෙන් මිල ඉහළ නැංවීමට අවසර ලැබුණි. පසුගිය 15දා සිට ක්‍රියාත්මක වන පරිදි ආනයනික කිරිපිටි කිලෝව රුපියල් 1190 දක්වා සහ ග්‍රෑම් 400 පැකට්ටුව රුපියල් 480 දක්වා මිල වැඩිවුණි. මිල වැඩිවීම ප්‍රකාශයට පත්කළ දිනට පසුව මෙතෙක් කල් අතුරුදන්ව තිබූ කිරිපිටි වෙළෙඳපොළට පැමිණියේය. මෙහිදී ගම්‍ය වනුයේ මෙම කිරිපිටි හිඟය සත්‍ය හිඟයක් නොව මිල වැඩිකර ගැනීම සඳහා බහුජාතික සමාගම් යෙදූ උපක්‍රමයක් බවය.
මෙම තත්ත්වය මෙයට පෙරද කිරිපිටි මිල වැඩිකර ගැනීමට සමාගම් ගත් උත්සාහයම බවද අපට මතකය. අද එය යළිත් ඔවුන් ක්‍රියාවට නංවා තිබේ. කිරිපිටි පමණක් නොව බොහෝ පාරිභෝගික භාණ්ඩවල මිල වැඩිවීමට ආසන්නයේ මෙම හිඟවීම ඇතිවන බව අපට නොරහසකි. එහෙත් කිසිදු විසඳුමක් නොලැබී ප්‍රශ්නය අවසන් වෙයි.
එහෙත් මෙම ලිපියෙන් අප සාකච්ඡාවට භාජනය කරන්නේ බහුජාතික සමාගම් කිරිපිටි මිල වැඩිකිරීම පමණක් නොව ස්වජාතික සමාගම් ඒ සමගම කළ මිල වැඩි කිරීමට හේතුවූ කරුණු පිළිබඳවය. ආනයනික කිරිපිටි මිල ඉහළ නැංවූ දින සිටම අපේ රටේ කිරිපිටි සාමාගම් දෙකම ආනයනික මිලට සම වන සේ මිල ඉහළ නැංවීය. එය රජයේ අනුමැතියකින් කරන ලද්දක්ද යන්න පිළිබඳ අපට නිශ්චිතව වාර්තා වී නැත. බොහෝවිට මෙය සමාගම්වල තීරණයක් වන අතර ආණ්ඩුව ඒ පිළිබඳ මුනිවත රුකි බව පෙනෙන්නට තිබේ. මිල්කෝ කිරිපිටි සමාගම කිලෝව රුපියල් 1170 දක්වා පැකට්ටුව රුපියල් 225කින් වැඩිකළ අතර පැලවත්ත සමාගම කිලෝව රුපියල් 1165 ක් වන සේ කිලෝව රුපියල් 200කින්ද ග්‍රෑම් 400 පැකට්ටුව රුපියල් 80කින් වැඩිකළේ නව මිල රුපියල් 460ක් වන පරිදිය. මිල්කෝ සමාගම ග්‍රෑම් 400 පැකට්ටුව රුපියල් 90කින් වැඩි කිරීම නිසා පැකට්ටුවක මිල රුපියල් 470ක් විය.
විදේශීය හා දේශීය සමාගම් මිල වැඩිකිරීම්වල සාධාරණ අසාධාරණ බව ගැන අපට බොහෝවිට කතා කරන්නේ මිල වැඩිවූ ආසන්න දිනවල දීය. ක්‍රමයෙන් එම සාකච්ඡා වියැකී යන අතර කර්මාන්තය ප්‍රවර්ධනය පිළිබඳ කිසිදු පියවරක් නොගනී. මෙවර සිදුවීම පිළිබඳවද අවසාන ප්‍රතිඵලය එය වෙයි. කෙසේ වුවද වඩාත් ප්‍රමුඛත්වය දිය යුතු වන්නේ මෙරට දියර කිරි අලෙවිය ප්‍රවර්ධනය කිරීමට නොව දේශීය කිරිපිටි නිෂ්පාදනය ඉහළ නැංවීමට බව බොහෝදෙනාගේ අදහසය. එහෙත් ස්වදේශීය සමාගම්වලට ඒ සඳහා අතහිතදීමට වගකිවයුත්තන් උනන්දු වන පාටක් පෙනෙන්නට නැත. බහුජාතික සමාගම්වලින් පිරිනමන විවිධ වරප්‍රසාදවලට යටවෙන ඇතැම් බලධරයන් ජාතික කර්මාන්ත වලපල්ලට යවා රටේ සාරය සූරාගන්නා විදේශික බලවේගවලට නතුව ක්‍රියාකරන බව පෙනෙන්නට තිබේ. එදා සිදුවූ ඒ අපරාධය අදද එලෙසම කරළියට එයි. එයින් සිදුවන්නේ දේශීය ගොවියා සහ පාරිභෝගිකයා යන දෙඅංශයම අමාරුවේ වැටීමකි. එහෙත් ඒ අකටයුත්ත පිළිබඳ වැඩිදෙනාට වගේ වගක් නැතුවා සේය. ගොවියන් කිරි ලීටරයකට රුපියල් 20ක් වැඩිකරන ලෙස ඉල්ලා සිටියද සමාගම් දී ඇත්තේ රුපියල් 7ක් වැනි සුළු මුදලකි. එහිදී ගොවියාට සෙතක් සිදුවී නැත.
දැනට රටේ පවතින ඩොලර් හිඟයට විසඳුමක් ලෙස අපේ රටේ අවශ්‍ය මුළු කිරිපිටි ප්‍රමාණය නිෂ්පාදනය කිරීමට පුළුවන් බව පැල්වත්ත කිරි කර්මාන්ත ආයතනයේ සභාපති ආරියශීල වික්‍රමනායක කියයි. රටේ කිරි අතිරික්තයක් තිබෙන නමුත් කවුරුත් මේ ගැන සංවාදයක නිරත වෙන්නේ නැතිවීම කනගාටුවට කරුණක් බව ඔහුගේ අදහසය. ගමේ නිවෙස්වල නිෂ්පාදනය කරන කිරි ගැන නිවැරදි සංඛ්‍යාලේඛන නොමැති බව ඔහු කියයි.
හරියට කළොත් රටටම කිරිපිටි ලංකාවෙම හදන්න පුළුවන්
අපේ කිරි ආනයනික කිරිපිටිවලට වැඩිය සියයට සියයක් පිරිසිදුයි. අපේ කිරිපිටිවලට සමකළ හැකි කිරිපිටි වර්ගයක් මුළු ලෝකයේම නැහැ. මුළු රටටම අවශ්‍ය තරම් කිරිපිටි නිෂ්පාදනය කරන්න පුළුවන්. එහෙත් එයට නිසි වැඩපිළිවෙළක් නැති බවයි පැවසිය යුත්තේ. බොහෝ වෙලාවට දියර කිරි අපතේ යනවා. දෙවියන් නාවන්න වගේ දේවල්වලට නිස්කාරණයේ කොතරම් කිරි නාස්ති කරනවාද? එසේම මුදවාපු කිරි නිෂ්පාදනය කිරීමට ග්‍රාමීය වශයෙන් විශාල ලෙස දියර කිරි යොදා ගන්නවා. එහෙත් මෙලෙස නිෂ්පාදනය කරන දියර කිරි පිළිබඳ නිවැරදි සංඛ්‍යා ලේඛන නැහැ. මේ සියල්ල නිවැරදිව කළමනාකරණය කරනවා නම් රටට අවශ්‍ය පිටිකිරිවලින් විශාල කොටසක් ආවරණය කළ හැකියි.*
ඔහු පවසන්නේ තම නිෂ්පාදන ආයතනයෙන් මසකට කිරිපිටි මෙට්‍රික් ටොන් 500ක් පමණ නිපදවන බවයි. මෙය රටේ සමස්ත ඉල්ලුවෙන් සියයට විස්සක් පමණ වන අතර ඒ ප්‍රමාණය තවදුරටත් වර්ධනය කළ හැකි බවට ඔහු සහතික වෙයි. එසේම ඔහු අවධාරණය කරන්නේ කිරි කර්මාන්තය වැඩි වියදමක් නැතුව දියුණු කළ හැකි කර්මාන්තයක් බවය. ගම් මට්ටමෙන් සෑම නිවෙසකම කිරි හරකෙක් නඩත්තු කළ හැකි අතර ඒ සඳහා විශාල වියදමක් දරන්නට සිදු නොවන අතර පිටිකිරි දියකර බොනවා වෙනුව මෙම කිරි හරකාගේ කිරි ගෙදර අයට බීමට ගත හැකිය. එය පිටිකිරිවලට වඩා සංඝටක අඩංගු පෝෂ්‍යදායී ආහාරයක් වන බව ඔහුගේ අදහස වේ.
රටේ කිරිපිටි ප්‍රචලිත කිරීමට උනන්දුව අඩුයි. අනවශ්‍ය ලෙස ප්‍රචාරණ වියදමක් දරලා එම වියදමද කිරිපිටි පැකැට්ටුවේ මිලට එකතු කරනවා. පිටිකිරිවලට පුරුදු වූ අය තුළ දියර කිරි බීමට අකමැති මානසිකත්වයක් ඇතිවෙලා තියෙන නිසා අපි එම තත්ත්වය ඉවත්කළ යුතුය. මම රටපුරාම කිරි එකතු කරන අතර ගොවීන්ට කිරි ලීටරයට රුපියල් 100ක් ගෙවනවා. දිනපතා එකතු කරන දියර කිරි පසුදා උදය වනවිට පිටිකිරි බවට පත්කරලා කිරිපිටි ටොන් 30-40 අතර ප්‍රමාණයක් නිෂ්පාදනය කරනවා. අනිත් එක පිටිකිරි කල් තබා ගැනීම සදහා විවිධ රසායනික සංඝටක එකතු කරනවා. ඒ සමහර ඒවා ශරීරයට අහිතකරයි. අපි තනන කිරිපිටිවලට කිසිදු රසායනිකයක් යොදන්නේ නැති බවට සහතික කළ හැකියි. අපේ රටේ දරුවන්ගෙන් සියයට 15 පමණ දියවැඩියා රෝගයට ගොදුරුවෙලා තියෙන්නේ පිටිකිරි පානය කිරීමෙන්, පිටි කිරි නිසා ඇතිවන බෝ නොවෙන රෝග පාලනයට රජයට විශාල මුදලක් වැය වෙනවා. දේශීය කිරිපිටිවලට පුරුදු වුණොත් අපට නිරෝගී මතු පරපුරක් ඇතිකළ හැකියි.
අපි පැලවත්ත කිරි නිෂ්පාදනය ආරම්භ කළේ කිරි ලීටර් මිලියන 150ක් වැනි සුළු ප්‍රමාණයකින්. දැන් අපි ලීටර් මිලියන 500ක් දක්වා එය වර්ධනය කරලා තියෙනවා. මේ වනවිට රටේ කිරි ගොවියන් ලක්ෂ 13ක් සිටින අතර, ගවයන් ලක්ෂ 3 ½කට අධිකයි. මේ සියල්ල රටේ සම්පත්. ජනතාවට දේශීය කිරි පානය කිරීමට උනන්දු කළ යුතුයි. ප්‍රමිතිය අතින් අපේ කිරි ආනයනික කිරිපිටිවලට වඩා ඉහළ බව ඕනෑම පරීක්ෂණයකින් සනාථ කළ හැකියි. ඒත් ගැටලුව වී තිබෙන්නේ එය ප්‍රවර්ධනය නොකිරීමයි. විවිධ හේතු නිසා වගකිවයුත්තන් ජනතාව උනන්දු කරවන්නේ බහුජාතික සමාගම්වලින් ආනයනය කරන කිරිපිටි පරිභෝජනය ඉහළ නැංවීමටයි. දේශීය කිරිපිටිවල උසස්කම පිළිබඳ බොහෝ දෙනෙක් දැනුවත් වෙලා නැහැ. ඒ නිසා පෝලිමේ ඉඳල හරි ආනයනික කිරිපිටිවලට තමා උනන්දු වෙන්නේ.
මෙවර අපි කිරිපිටි මිල ඉහළ දැම්මේ මෙම කර්මාන්තය ප්‍රවර්ධනය කර ගොවියාට සාධාරණය ඉටු කිරීමටයි. මේ වනවිට නිෂ්පාදන වැය වැඩිවෙලා තියෙනවා. ඒ නිසා අපි ඒවාට මුහුණ දිය යුතුයි. ඒත් අපි පාරිභෝගිකයා සූරා කන්නේ නැහැ. ඒ අයට සාධාරණය ඉටු කරනවා.
කිරිපිටි සමාගම්වල කොන්දේසිවලට දේශීය කර්මාන්තය යටවෙලා
දේශ හිතෛෂි ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර:
&මෙම ගැටලුවේ මුල පිළිබඳ බැලිය යුතු වෙනවා. මෙය පාරිභෝගිකයාගේ මෙන්ම ගොවියාගේ පැත්තෙන්ද බැලිය යුතු ප්‍රශ්නයක්. දියර කිරි නිෂ්පාදනය ආරක්ෂා වුණොත් පමණයි දේශීය පිටිකිරි කර්මාන්තය ආරක්ෂා වෙන්නේ. නිතරම සිදුවෙන්නේ කිරිපිටි ආනයනකරුවන්ගේ කොන්දේසිවලට යටත් වෙන්නයි මෙලෙස කටයුතු කිරීමෙන් දේශීය කර්මාන්තය ආරක්ෂා කරගන්න බැහැ. අපේ රටේ ගොවීන්ගෙන් සියයට 75කට ඇත්තේ බිම් අක්කර 2 ½ පමණ බව සමීක්ෂණවලින් හෙළිවෙලා තියෙනවා. එහෙත් භෝග වගාවෙන් පමණක් ඔවුන්ගේ ජීවිත සංවර්ධනය කරන්න බැහැ. ඒ නිසා භෝග වගාවට කිරි නිෂ්පාදනයද එක්කළ යුතු වෙනවා.
ඉන්දියාව වැනි රටවල ගොවියන්ගෙන් සියයට 70ක පමණ කිරිදෙනුන් සිටිනවා. කිරි නිෂ්පාදනය ගෘහ කර්මාන්තයක් බවට පත්වෙලා. මේ නිෂ්පාදන ක්‍රියාවලි දෙකම එකිනෙකට සම්බන්ධයි. සතුන් ගොවිබිම් ආශ්‍රයේ ජීවත් වෙනවා. එසේම ගොවි බිම්වලට අවශ්‍ය පොහොරද සතුන්ගෙන් ලැබෙනවා. ඒ නිසා මේ දෙඅංශය එකිනෙකට සම්බන්ධ කිරීම වැදගත්. මෙහිදී කිරි ගොවියාගේ නිෂ්පාදනවලට සාධාරණ මිලක් ගෙවිය යුතුයි. ගොවියා සූරා කාලා කිරිපිටි මිල අඩුවෙන් තබාගෙන පාරිභෝගිකයා ආරක්ෂා කළයුතු නොවෙයි. එහෙම කළොත් ගොවියාට වැඩි ආයුෂයක් ඉතිරි වන්නේ නැහැ. මේ වනවිට පැල්වත්ත කිරි සමාගමෙන් පමණයි ගොවියාට කිරි ලීටරයට රුපියල් 100ක් ගෙවන්නේ. අනිත් සමාගම්වලින් රුපියල් 80-90 පමණයි දෙන්නේ. කිරිපිටි කිලෝවක් තැනීමට කිරි ලීටර් 8.3ක් පමණ වැයවෙනවා. මේ අනුව ප්‍රවාහනය ආදියද ගත්විට පිටි කිලෝවකට රුපියල් 850-900 විතර වියදම් වෙනවා. ගොවියා දියර කිරි කර්මාන්තය කරගෙන යන්නේ බොහොම අමාරුවෙන්. අද දෙනුන්ගේ ආහාර, රසායන, ඖෂධ ආදියට විශාල මිලක් යනවා. ගොවියාගේ යැපුම් වියදම්ද ඉහළයි. ඒ නිසා කර්මාන්තය පවත්වාගෙන යාම සඳහා සාධාරණ මිලක් ගෙවිය යුතු වෙනවා. එහෙම නොවුණොත් තවත් විදේශ සමාගම් පෝෂණය වෙනවා. එවිට දේශීය ගොවියා දුර්වල වන අතර වැඩියෙන් විදේශ විනිමය වැයවීමෙන් රටේ ආර්ථිකයටද හානියක් වෙනවා.
පසුගිය යහපාලන රජයෙන් කිරිපිටි මිල අඩු කිරීමට යැයි කිරි ආනයනකරුවාට විවිධ සහන දුන්නා. මුලින් තිබූ කිරිපිටි කිලෝවට ආනයන බද්ද වූ රුපියල් 203 රුපියල් 3ට බැස්සුවා. එහෙත් ඒ දුන් සහනයෙන් කිරිපිටි මිල අඩුවුණේ නැහැ. අඩුකළ බදු මුදල් ජාවාරම්කරුවන්ගේ සාක්කුවලට ගියා. වර්තමාන ආණ්ඩුවෙන්ද බදු වර්ග කිහිපයක් අඩුකළා. එහෙත් පාරිභෝගිකයාට සෙතක් සිදුවූයේ නැහැ. දේශීය කිරි ව්‍යාපාරය වැඩිදියුණු කිරීමට නම් කළයුතු වන්නේ බදු වැඩිකර ආනයනය අධෛර්යමත් කිරීමයි.
කිරිපිටි සඳහා අනවශ්‍ය ප්‍රචාරයක් ලබාදෙනවා. එහෙම ප්‍රචාරයක් අවශ්‍ය නැතිවුණත් එය කරනවා. විවිධ නම්වලින් හැඳින්වුවත් හැම පැකට්ටුවකම ඇත්තේ එකම වර්ගයේ කිරිපිටි තමා අපේ රටේ දියර කිරි ප්‍රචාරය කළ යුතු යැයි කියන්නේ බහුජාතික සමාගම්. ඒ අය දන්නවා එවිට කිරිපිටි ආනයනය දියුණු වෙන බව. දේශීය දියර කිරිවල මිල වැඩියි. දැනට ලීටරය රුපියල් 200ට වැඩියි. එසේම දියර කිරි වැඩි කාලයක් තබාගන්න බැහැ. ශීතකරණයක වුවත් අපහසුයි. ඉක්මණින් නරක් වෙනවා. අනිත් අතට දියර කිරි මිලට ගන්න විට ගොවියා නිෂ්පාදනය කරන මුළු ප්‍රමාණයම මිලට ගන්න බැහැ. කාලගුණය අනුව පාරිභෝජනය අඩු වැඩි වෙනවා. එවිට ගොවියාගේ කිරි අලෙවි කරගන්න බැරිවෙනවා. ඒ නිසා කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමට නම් පිටි කළ යුතුමයි. නවසීලන්තය වැනි රටවල ජනතාව දියර කිරි පානය කළාට ඒ අය කිරිපිටි නිෂ්පාදනය කරලා ආනයනය කරනවා. අපි බොන්නේ ඒ පිටියි. ඒ නිසා කිරි කර්මාන්තය නගා සිටුවීමට නම් අපිත් කිරිපිටි නිෂ්පාදනය ප්‍රවර්ධනය කළ යුතු වෙනවා.
යසවර්ධන රුද්රිගු