පාතාලයත් කුඩු ජාවාරමත් ගසට පොත්ත මෙන් බැඳුණු එකක් බව කෙරුවාවෙන් දකින්නට ලැබෙයි. ඒ නිසා කුඩු ජාවාරම, පාතාලය, සංවිධානාත්මක අපරාධ හා එවැනි කල්ලි අතර ඇත්තේද මහා දැන හැඳුනුම්කමකි. මුදල් ගනුදෙනුවකට අවි ජාවාරමකට නොව එක වචනයක පරහට අත පය කපන්නට මිනී මරන්නට උන් පසුබට වන්නේ නැත.
බණ්ඩාරගම වල්ගම සුනාමි නිවාස සංකීර්ණය ආසන්නයේදී තරුණයන් දෙදෙනකුගේ දෑත්වලට තියුණු ආයුධවලින් පහර දී බරපතළ තුවාල සිදු කිරීම සම්බන්ධයෙන් පවතින්නේ හෙරොයින් ජාවාරමක් පිළිබඳ සිදුවීමක්ද? එකී ජාවාරමක් සම්බන්ධයෙන් පොලීසියට ලබා දුන් ඔත්තුවක් ගැන කරුණු හෙළිවීමක්ද? යන්න පවතින සැකයකි. පහරදීම සිදු කර දින ගණනක් ගෙවී ඇතත් ඒ සම්බන්ධයෙන් පවතින්නේ තවමත් අබිරහසකි.
මත්ද්‍රව්‍ය ජාවාරමක් මුල්කරගෙන පහරදීම සිදු කර ඇතැයි දැනට වාර්තා වන නමුත් පහරකෑමට ලක්වූ අය පැමිණි බව කියන ත්‍රිරෝද රථයේ තියුණු ආයුධ කිහිපයක් තිබී ඇතැයිද පැවසේ. සිද්ධිය සම්බන්ධයෙන් පැතිකඩ කිහිපයක් ඔස්සේ විමර්ශන සිදුකෙරෙන අතර පහරකෑමට ලක්වූ අය පැමිණි ගමන් මග හා පහරදුන් අය පලා ගිය ගමන් මගෙහි ඇති සී.සී.ටී.වී කැමරා දර්ශන විමර්ශනයට ලක් කරමින් පරීක්ෂණ ක්‍රියාත්මකය.
මේ අතර නිශ්චිතවම තොරතුරු නැතත් වාර්තා වන පොලිස් ආරංචි මාර්ග අනුව පැවසෙන්නේ මත්කුඩු ජාවාරමක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගතව සිටි සැකකරුවකු දින කිහිපයකට ඉහතදී නිදහස්ව පැමිණ ඇති බවකි. ඔහු බණ්ඩාරගම වල්ගම ප්‍රදේශයට නුදුරු පදිංචිකරුවකු බවද කියැවේ. මොහුට හිතවත් පිරිසක් බණ්ඩාරගම මස්විල ප්‍රදේශයේ සිට ඇතැයිද ඔවුන් පෙර කී අය හා එක්ව හෙරොයින් ජාවාරමේ නිරතව ඇති බව කියති. එම පුද්ගලයාට බන්ධනාගාර ගත වීමට සිදුවන හේතුව පිටුපස මෙම පහරකෑමට ලක්වූ අය සිටින බවට සැකයකි. එම සැකය කාලයක පටන් බන්ධනාගාරගතව සිට නිදහස්ව පැමිණි අයගේ සිතේ තිබී ඇතැයිද ඊට පලිය ගත යුතුව ඇතැයි සිතා සිටි බවද එක් ආරංචියකි. කෙසේ හෝ යම් පණිවුඩයක් ලබා දෙමින් මස්විල පදිංචි දෙදෙනා වල්ගම නිවෙසට හෝ වෙනත් ස්ථානයකට කැඳවා තිබෙන බව කියැවේ. එහිදී පහරකෑමට ලක්වූ අය ඇතුළු පිරිස සතුටු සාමීචියේ යෙදී ඇතැයිද වාර්තා වේ. අනතුරුව දෙදෙනා යළිත් පිටත්ව ගොස් තිබෙන අතර ත්‍රිරෝද රථයකට නැගී ඇත්තේ එම අවස්ථාවේය. එහෙත් රථයේ රියැදුරු එම අවස්ථාවේ සිටි බවක් වාර්තා වන්නේ නැත. ඔහු අතුරුදන්ව සිටි අවස්ථාවේ ප්‍රහාරය එල්ල වී ඇත්නම් ඔහුද මෙම ප්‍රහාරයට සබඳතාවක් ඇතැයි පවතින්නේ බරපතළ සැකයකි.
පහරකෑමට ලක්වූ අය ත්‍රිරෝද රථයේ සිටියදී යතුරුපැදියක් එම ස්ථානයට පැමිණි බවට රාවයක් පවතී. එසේ පැමිණි දෙදෙනකු විසින් තියුණු ආයුධවලින් පහර දී ඇතැයිද ඉන් බේරීමට උත්සාහ කරන අවස්ථාවේ ඔවුන්ගේ අත්වලට ප්‍රහාර එල්ල කර ඔවුන් පලා ගොස් ඇතැයිද කියැවේ. පසුව වාර්තා වී ඇත්තේ එම පහරදීම සඳහා මීට ටික දිනකට පෙර බන්ධනාගාරගතව සිට නිදහස ලබා පැමිණි පුද්ගලයාද සිට ඇති බවය. මේ අනුව ප්‍රහාරය සැලසුම් සහගතව සිදුව තිබෙන බවද ඊට බන්ධනාගාරගතව සිට පැමිණි අයගේ සබඳතාවක් ඇති බවද ප්‍රධාන සැකයකි. මේ අනුව එම සැකකරුගේ නිවෙස පරීක්ෂා කිරීමට විශේෂ පොලිස් කණ්ඩායමක් යොදවා තිබිණි. පහරදීම සඳහා භාවිත කරන්නට ඇතැයි සැක කෙරෙන යකඩ පොල්ලක් නිවෙසේ තිබී ඇතිමුත් සැකකරු ප්‍රදේශයෙන් පලා ගොස් ඇති බව හෙළි වී ඇත.
තියුණු ආයුධවලින් පහරකෑමට ලක්වූ දෙදෙනාගෙන් අයකු ලේ පෙරාගෙන බණ්ඩාරගම වල්ගම සුනාමි නිවාස සංකීර්ණය අසල සිට දිව යද්දී වල්ගම සුසාන භූමිය ඉදිරිපිට පාරේ ඇදවැටී ඇතැයි කියති. එම පුද්ගලයාගේ අත් දෙකට බරපතළ කැපුම් පහර එල්ල වී තිබිණි. අනෙක් පුද්ගලයා පිහි පහර කාගෙන එක එල්ලේම දුවගොස් තිබුණේ බණ්ඩාරගම පොලිස්ථානය වෙතය. එහිදී පහර කෑ විස්තරය පිළිබඳ කියා ඇත. ඔහුගේ තොරතුරු අනුව සුසාන භූමිය ඉදිරිපිට වැටී සිටි පුද්ගලයාද සොයාගෙන හොරණ මූලික රෝහල වෙත ප්‍රතිකාර සඳහා යොමුකර තිබිණි. එහිදී අත් දෙකම බරපතළ ලෙස කපා දමා තිබූ තැනැත්තා වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහල වෙත මාරු කර යවා ඇති බව රෝහල් ආරංචි මාර්ග වාර්තා කරයි.
මෙතෙක් සිදු කළ විමර්ශන අනුව හෙළි වී ඇත්තේ පහරකෑමට ලක්වූ අයට මුසා බස් කියා සූක්ෂම ලෙසින් වල්ගම සුනාමි නිවාස සංකීර්ණය ආසන්නයට ගෙන්වා ප්‍රහාරය එල්ල කර ඇති බවය. එසේ සිදු කළ පිරිස ප්‍රධාන පෙළේ මත්කුඩු ජාවාරම්කරුවකුගේ ගෝලයකු බවද කියැවේ. කෙසේ වෙතත් පහරදීම සම්බන්ධයෙන් පහරකෑමට ලක්වූ අය හෝ මේ වන තෙක් නිශ්චිතව ප්‍රකාශයක් ලබා දී නැත. දෙපාර්ශ්වයම මත්කුඩු ජාවාරමුන් වේ නම් පහරදීම සැලසුම් කළ පාර්ශ්වය වෙතින්ද නිශ්චිත කටඋත්තරයක් ලබාගැනීමෙන් පසුව ප්‍රහාරයට හේතුව අනාවරණය වනු ඇත. එතෙක් ප්‍රහාරය පිළිබඳව වාර්තා වන්නේ විවිධ කතා හා වාර්තා මගිනි.
මේ අතර ඇතැම් මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ මාස කිහිපයකට පෙර හෙරොයින් කිලෝ 40ක් අත්අඩංගුවට ගැනීම හා ඊට ඔත්තුවක් ලබාදුන්නැයි සැකයෙන් පහරදීම සිදු කර ඇති බවය. නමුත් එම තොරතුර අසත්‍ය එකක් බව අප සිදු කළ ගවේෂණයේදී අනාවරණය විය. කෙසේ නමුත් විදේශයක සිට මෙරට මත්කුඩු ජාවාරම මෙහෙයවන නඳුන් චින්තක හෙවත් හරක්කටා සහ ඔහුගේ සමීපතම ගෝලයෙක් වන පානදුර සලිදුමල්ලී බරපතළ ලෙස හෙරොයින් ජාවාරම හා පාතාලය මෙහෙයවමින් සිටිති. පානදුර, කළුතර හා බණ්ඩාරගම සිට කොළඹ දක්වා එම ජාවාරම ව්‍යාප්තව පවතී. එබැවින් බණ්ඩාරගම සුනාමි නිවාස සංකීර්ණය ආසන්නයේදී අත් කපා දැමීම පසුපස ඔවුන්ගේ බලය හා උපදෙස් පවතින්නේද යන්න බරපතළ සැකයකි.
බස්නාහිර පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් මත පානදුර කොට්ඨාස බාර පොලිස් අධිකාරී සමන්ත වෙදගේ, සහකාර පොලිස් අධිකාරී පී.බී. විජේසිරි යන මහත්වරුන්ගේ උපදෙස් මත බණ්ඩාරගම පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එස්.ආර්. ගුණසේකර, අපරාධ අංශ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක වල්පොල යන මහත්වරු ප්‍රධාන පොලිස් කණ්ඩායමක් විමර්ශන සිදු කරති.
සමන්ත විල්තෙර