2021 ඔක්තෝබර් 23 වන සෙනසුරාදා

රතන හිමිද? ඥානසාර හිමිද?

 2021 ඔක්තෝබර් 23 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 25

එදා චූලෝදර මහෝදර අසුනේ ගැටුම වළකාලන්නට දඹදිව් තලයේ සිට බුදුරදුන් වැඩි සේක. අද බුදු පුතුන් එකිනෙක හා ගැටෙන අපේ ජනබල පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අසුනේ ගැටලුව විසඳාලන්නට කිසිවෙක් නොමැති සෙයකි. අපි මෙම ගැටුම පිළිබඳ සොයා බැලීමට තීරණය කළෙමු.

2020 වසරේ අගෝස්තු මස 05 වැනිදා පැවැත් වූ පාර්ලිමේන්තු මැතිවරණයට අපේ ජනබල පක්ෂය ඉදිරිපත් වූයේය. විවිධ සංවිධාන පක්ෂ කිහිපයක් ඒකාබද්ධ කර ගැනීමෙන් පසු ඔවුන් මීට ඉදිරිපත් විය. ඔවුන්ට එක් ජාතික ලැයිස්තු මන්ත්‍රි ධුරයක් හිමි වුණි. කෙසේ වෙතත් හිමිවූ එම මන්ත්‍රී අසුනට එම පක්ෂයෙන් නම් කිහිපයක් යොජනා වීමත් සමඟ අර්බුදයක් නිර්මාණය විය. එම අර්බුදය හේතුවෙන් මාස හතරක පමණ කාලයක් අපේ ජනබල පක්ෂට හිමිවූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට කිසිවකු නම් කෙරුණේ නැත. අතුරලියේ රතන සහ ගලගොඩඅත්තේ ඥානසාර හිමිවරු මන්ත්‍රී අසුන වෙනුවෙන් සටනට අවතීර්ණ වී සිටියහ. එහෙත් අවසානයේ ඇතිවූ එකඟතාවන්ට අනුව 2021 වසරේ ජනවාරි මස 5 වැනිදා අපේ ජනබල පක්ෂය පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරය වෙනුවෙන් අතුරලියේ රතන හිමි දිවුරුම් දුන්හ.

මන්ත්‍රී අසුන වෙනුවෙන් අතුරලියේ රතන හිමියන් පත් කළද මෙම අර්බුදය නිම නොවුණි. පසුගිය සතියේ එය උච්චතම අවස්ථාවට පැමිණියේය. ඒ අනුව අතුරලියේ රතන හිමියන්ගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කර ඇතැයි එම පක්ෂය මැතිවරණ කොමිෂන් සභාවට පසුගියදා දැනුම් දුන්නේය. පක්ෂය විසින් ගනු ලබන තීරණ පිළිබඳ සැලකිල්ලක් නොදැක්වීම සහ පක්ෂ ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීම හේතුවෙන් එම තීරණය ගත් බව ඔවුහු කියා සිටියහ. අතුරලියේ රතන හිමියන්ගේ ක්‍රියාකලාපය හේතුවෙන් මැතිවරණයේදී අපේ ජනබල පක්ෂයට ඡන්දය ලබාදුන් ඡන්දදායකයින්ට අසාධාරණයක් සිදුව ඇතැයි එම පක්ෂයේ ජාතික සංවිධායක සුසන්ත කොඩිතුවක්කු මහතා කොළඹදී ඉකුත් 16 වැනිදා මාධ්‍ය හමුවක් පවත්වමින් කියා සිටියේය.
පසුගිය මැතිවරණයෙන් අපේ ජනබල පක්ෂයට ඡන්ද 67,000ක් හිමිවුණි. ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් එම පක්ෂයට හිමිවූයේද ඒ හේතුවෙනි. එහෙත් ආරම්භයේ පටන්ම ඡන්දදායකයන්ගේ අවශ්‍යතාව එම පක්ෂය හරහා නිරෑපණය වූයේද යන්න ගැටලු සහගතය. කෙසේ හෝ අවසානයේ රතන හිමියන් එම මන්ත්‍රී ධුරය සඳහා පත්කරනු ලැබුවේ කොන්දේසි සහිතව බව කියැවුණි. මාධ්‍ය වාර්තා කළ පරිදි පක්ෂය තීරණය කළේ මාස 06 ක කාලයක් සඳහා අතුරලියේ රතන හිමියන් එම මන්ත්‍රි ධුරය සඳහා පත්කර යැවීමටය.

මූලික එකඟතාව අනුව රතන හිමියන්ගේ ධුර කාලය ජූලි මස 05 වැනිදා අවසන් වූ නමුත් උන්වහන්සේ මන්ත්‍රී ධුරයේ ඉල්ලා අස්වීම ප්‍රතික්ෂේප කළහ. තොරතුරු වාර්තා වූ පරිදි මෙහිදී ගොඩනැගී තිබූ එකඟතාවය නම් රතන හිමියන් සිය කැමැත්තෙන් ඉල්ලා අස් වී එම මන්ත්‍රි ධුරය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ලබාදීමටයි. මෙම පොරොන්දුව ඉටුනොවූ වටපිටාවක් තුළ අපේ ජනබල පක්ෂය විසින් රතන හිමියන්ට විරුද්ධව විනය පරීක්ෂණයක් පැවැත්වීමට තීරණය කළේය. පක්ෂයෙන් ඉවත් කිරීමේ තීරණය පිටුපස ඇත්තේ එම විනය පරීක්ෂණයයි.

රතන හිමිට පක්ෂයෙන් චෝදනා හතරක් ඉදිරිපත් කර තිබිණි. අදාළ චෝදනා හතරටම රතන හිමි වැරුදිකරු බව පක්ෂය තීරණය කළේය. කෙසේ වෙතත් පක්ෂ අභ්‍යන්තරයේද රතන හිමි ඉවත් කිරීමේ තීරණය පිළිබඳ මතභේදාත්මක තත්ත්වයක් ඇතිව ඇතැයි වාර්තා වේ. පිරිසක් රතන හිමියන් වෙනුවෙන්ද තව පිරිසක් ඥානසාර හිමියන් වෙනුවෙන්ද පෙනී සිටිති. රතන නියෝජනය කරන්නේ පක්ෂය සමඟ සන්ධානගත වූ වෙනත් සංවිධානයක් බව ඔවුහු කියා සිටිති. කෙසේ වෙතත් මෙම ගැටලුව ඉතා වියවුල් සහගතය.

කෙසේ වෙතත් අපේ ජනබල පක්ෂය රතන හිමියන් වෙනුවට පාර්ලිමේන්තු මන්ත්‍රීධූරය සඳහා ඥානසාර හිමියන්ව හිමියන් යෝජනා කිරීමට සූදානමින් සිටී. ඥානසාර හිමියන්ද පාර්ලිමේන්තුවට පැමිණීමට කැමැත්තෙන් සිටින බව කියැවේ. පසුගිය සතිය පුරා අවස්ථා කිහිපයකදීම අපි ඥානසාර හිමියන් සම්බන්ධ කර ගැනීමට උත්සාහ දැරුවෙමු. එම සියලු උත්සාහයන් ව්‍යාර්ථව ගිය අතර බොදුබල සේනා සංවිධානයේ ක්‍රියාකාරී සාමාජිකයෝද මේ සම්බන්ධව අදහස් ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටියහ.
මේ අතර අපේ ජනබල පක්ෂයේ මහ ලේකම් නිශාන්ත රත්නායකගෙන් මාධ්‍ය කළ වීමසීමකදී රතන හිමියන් ඉවත් කිරීමට හේතුව ලෙස සුවිශේෂී කරුණක් සඳහන් කොට තිබේ. කොළඹ වරාය ආර්ථික කොමිෂන් සභා පනතට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කිරීමට අපේ ජනබල පක්ෂය තීන්දු කර තිබුණත්, එම තීන්දුව නොතකා තම පෞද්ගලික අභිමතය පරිදි රතන හිමි පනතට පක්ෂව ඡන්දය ප්‍රකාශ ඇති බව ඔහු සඳහන් කරයි. ඔහුට අනුව මේ චෝදනාවද ඇතුළු තවත් චෝදනා හතරක් විනය පරීක්ෂණයේ තීන්දුව හේතු වී තිබේ. කෙසේ වෙතත් අපේ ජනබල පක්ෂය සභාපතිවරයා පවසා ඇත්තේ මෙම ගැටලුව ඥානසාර හිමියන් සහ රතන හිමියන් එක්ව විසඳාගත යුතු බවයි. ඒ අනුව අපේ ජනබල පක්ෂය ප්‍රධාන තනතුරු අතරද එකඟතාවක් නොමැති බව පෙනී යයි.

මෙවන් තත්ත්වයක් තුළ රතන හිමියන්ගේ හිමියන්ගේ පාර්ශ්වයෙන්ද තොරතුරු විමසීමට අපි උත්සාහ දැරුවෙමු. රතන හිමියන් හිමියන්ද මේ සම්බන්ධව අදහස් දැක්වීමෙන් වැළකී සිටි අතර උන්වහන්සේ වෙනුවෙන් උපුල් දෑල බණ්ඩාර මහතා අප වෙත අදහස් දැක්වූයේය. මෙම තීරණය නීති විරෝධී බව ඔහුගේ අදහස විය. මෙම ලිපියට අදාළ ඔහුගේ ප්‍රකාශයෙන් කොටසක් ඉහත දක්වා තිබේ.

මේ සම්බන්ධ අවසාන තීරණය මැතිවරණ කොමිසම පාර්ලිමේන්තුව මත මේ වනවිට රැඳී පවතී. මැතිවරණ කොමිසමේ සභාපති නීතිඥ නිමල් පුංචිහේවා මහතා මාධ්‍ය වෙත පවසා ඇත්තේ පක්ෂයේ මහ ලේකම්වරයා තමන්ට ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය පිළිබඳ දැනුම් දී ඇති බවයි. මේ පිළිබඳව පාර්ලිමේන්තු මහ ලේකම්වරයාද ලිඛිතව දැනුවත් කළ බවක්ද ඔහු පවසා ඇතැයි කියැවේ.
කෙසේ වෙතත් මේ වනවිටත් නොවිසඳුණු  අපේ ජනබල පක්ෂය පක්ෂයේ පාර්ලිමේන්තු අසුනෙහි අර්බුදය හුදු මහත් බෞද්ධයන් තුළ ඇතිකරන්නේ කලකිරීමකි. එහෙත් මෙම අසුනේ ගැටලුව විසඳන්නට ජීවමාන බුදුවරයකු මිහිපිට නොමැති බැවින් අප කිසිවකුට කළ හැකි යමක් නොමැත.

 

රතන හිමි අපේ ජනබල පයේ නෙවෙයි

ආයුර්වේද වෛද්‍ය උපුල් දෑලබණ්ඩාර මධ්‍යම කාරක සභික විජයධරණී ජාතික සභාව

මෙතන ගැටලුවක් තියෙනවා. ඉදිරිපත් කරන චෝදනාවල ස්වභාවය එක ගැටලුවක්. එක චෝදනාවක් තමයි පක්ෂයේ සාමාජික මුදල් නොගෙවීම. අනෙක පෝට්සිටි පනතේදී රජයට පක්ෂව ඡන්දය භාවිතා කිරීම. තව එක චෝදනාවක කියවෙනවා කාබනික වගාව ආරම්භ කිරීම සඳහා හාමුදුරැවන්ගේ සංකල්ප හේතුවුණා කියලා. මෙතනදී අපි සඳහන් කරපු පළවෙනිම කාරණාව අතුරලියේ රතන ස්වාමීන් වහන්සේ විජයධරණී පක්ෂයෙහි නායකයා මිස අපේ ජනබල පක්ෂයේ සාමාජිකයෙක් නොවෙයි. අපිත් පසුගිය පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ඉදිරිපත් වන්නේ සන්ධානයක් විදියට. අපේ ජනබල පක්ෂය විජයධරණි ජාතික සභා ඇතුළු සංවිධාන විස්සක් මෙහිදී සන්ධාන ගත වෙනවා.

මෙහිදී විජයධරණී ජාතික සභාව සහ අපේ ජනබල පක්ෂය ගිවිසුමකින් එකඟතාවයකට එනවා. මෙහිදී ඉතා පැහැදිලිව කියවෙනවා විජයධරණී ජාතික සභාවේ කෙනෙක් පාර්ලිමේන්තු මන්ත්‍රීධුරය සඳහා තේරී පත්වුණොත් ඔහුට බලපෑම් ඇති නොකරන බව. ඒ වගේම ඔහු අපේ ජනබල පක්ෂය සාමාජිකයෙකු නොවන නිසා ඔහුට විරුද්ධව අපේ ජනබල පක්ෂය විනය පරීක්ෂණ හෝ වෙනත් බලපෑමක් සිදුකළ නොහැකි බව.

එතනදීම මෙහි මූලික පදනම බිඳ වැටෙනවා. පක්ෂයේ සාමාජිකත්වය නොදරන කෙනෙක් විනය පරීක්ෂණයක් භාජනය කොට ඉවත් කිරීමට ඔවුන්ට හැකියාවක් නෑ. මේ විනය පරීක්ෂණයක් ගමක මරණාධාර සමිතියක විනය පරීක්ෂණයක් වගේ. අපි ඉන්නේ මේක ඉතා ප්‍රාථමික ලද බොළඳ ක්‍රියාවක් කියන මතයේ.

 

 චමිඳු නිසල් ද සිල්වා

 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:05