2021 ඔක්තෝබර් 23 වන සෙනසුරාදා

පළමු හමුව දා රෑ මරු අරන් ගිය කොල්ලයි කෙල්ලයි

 2021 ඔක්තෝබර් 23 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 33

අපරාදෙ ගෙදරට ආව නම් මෙහෙම දෙයක් වෙන්නෙ නෑ.. මම දැනගෙන හිටියා දරුවා ඔහොම සම්බන්ධයක් ඇතිකරගෙන තියෙන බව. ඒත් මගේ දරුවට වයස මදි නිසා පිට තරුණයෙක් ගෙදරට ගෙන්න ගන්නත් බෑ..

කොළොන්න පිටවෙලගම ප්‍රදේශයේදී තරුණියක හා තරුණයකු අතර පැවති ප්‍රේම සබඳතාවක් නිවැසියන්ට හසුවීමෙන් කලබලයට පත්ව පලා යාමට උත්සාහ කිරීමේදී අනවසර විදුලි රුහැනක පැටලී ජීවිතක්ෂයට පත්වීම සම්බන්ධයෙන් පැවති විමර්ශනයේදී මියගිය දැරියගේ මව සාක්ෂි දෙමින් එලෙස කියා තිබිණි.

මෙසේ අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ කොළොන්න පිටවෙල පදිංචිව සිටි හංසිකා සඳමාලි (17) දැරිය හා මාතර දික්වැල්ල පදිංචිව සිටි සුරාජ් ප්‍රසන්න (26) නැමැති තරුණ යුවළකි. කොවිඩ් වසංගතය ව්‍යාප්ත වීමත් සමඟ පාසල් අධ්‍යාපනය ලැබීමට දරුවන්ට අවස්ථාව නොලැබිණි. ඒ සමඟම ඔන්ලයින් අධ්‍යාපන ක්‍රමය ගම්දනව් පුරා ව්‍යාප්ත වූයේ බොහෝ පෙදෙස්වලට අන්තර්ජාල පහසුකම් හෝ නොමැති වටපිටාවකය. මේ ආකාරයට ඔන්ලයින් හරහා අධ්‍යාපනය ලැබීමට හංසිකා සඳමාලි දැරිය වසරකට අධික කාලයක් පුරුදුව සිටියාය. නිසියාකාරව ඔන්ලයින් අධ්‍යාපනය ලබන අතරතුර ඇය ෆේස්බුක් ගිණුමක් ආරම්භ කරගෙන විවේකයක් ලැබෙන මොහොතේ එහි සැරිසරන්නට වූවාය. හඳුනා ගැනීමේ ඡායාරෑපය සඳහා දැකුම්කළු ඡායාරෑපයක් ඇතුළු තවත් සේයාරෑ කිහිපයක් ඇතුළත් කර තිබුණි. ඇතැම් ඡායාරෑප සඳහා විවිධ අදහස් පළ කරන්නට මිතුරු මිතුරියෝ කටයුතු කළහ. ඒ අතර සෑම ඡායාරෑපයක් සඳහාම ආදරණීයව අදහස් දක්වා තිබුණු අයෙකි.

පසු කලෙක දිගින් දිගටම ෆේස්බුක් ඔස්සේ අදහස් ප්‍රකාශ කිරීමට උත්සුක වූ තරුණයා පිළිබඳව හංසිකා සඳමාලි දැරියටත් යම් සිතක් පහළ වී තිබිණි. අවස්ථාව ලද සෑම මොහොතේම දෙදෙනා අතර හුවමාරු කරගත් අදහස් නිසා දෙන්නා අතර කතාබහ ආදර සබඳතාවක් දක්වා වර්ධනය වී තිබිණි. මේ කාලසීමාවේදී දෙන්නා අතර හා පවුලේ මෙන්ම ගම්දනව්වල විස්තරද හුවමාරු කරගෙන තිබිණි. තත්ත්වය එසේ ගතවන අතරේ මේ සම්බන්ධය පිළිබඳව දැරියගේ මවට ඉව වැටී ඒ පිළිබඳව විමසීම සිදුකර තිබිණි. ඒ අනුව දැරියත් ෆේස්බුක් හරහා හඳුනාගත් තරුණයාත් අතර සම්බන්ධතාවයට වසරකට ආසන්න කාලයක් ගතවන්නට ඇත.

මේ අතර කාලයේ කිසිදු දිනක හැබැහින් දැකබලා ගැනීමට හෝ හමුවීමට මොවුන්ට අවස්ථාවක් ලැබී නැත. කොවිඩ් අවදානම හේතුවෙන් පනවා තිබූ සංචරණ සීමා ඊට ප්‍රධානම හේතුවකි. දිනෙන් දින කල් යන සංචරණ සීමා මැද වුවද පෙම්වතිය දැකබලා ගැනීමට සිතු සුරාජ් ප්‍රසන්න ඇයට කියා සිටියේ කෙසේ හෝ යතුරුපැදියක නැගී සඳමාලි බැලීමට පැමිණෙන බවය. ඒ සඳහා 16 වැනිදා පස්වරුවේ පැමිණීමට අපේක්ෂාවෙන් සිටින බවද පවසා තිබිණි. මේ අනුව සුරාජ් ප්‍රසන්න මාතර දික්වැල්ල ප්‍රදේශයේ සිට යතුරුපැදියක් පදවාගෙන ඇඹිලිපිටිය කොළොන්න ප්‍රදේශයට පැමිණියේය. එම ප්‍රදේශයට පැමිණෙන විටත් රූබෝ වී තිබුණු අතර රාත්‍රියේ පෙම්වතිය බැලීම සඳහා ඇයගේ නිවෙස ආසන්නයට යාම ඔහුගේ අදහස විය. ඒ කාටත් හොර රහසේ සිය පෙම්වතිය දැකබලා පැමිණීමේ අපේක්ෂාවෙනි. එහිදී පෙම්වතිය සමඟ දුරකථනයෙන් සම්බන්ධ වී කොළොන්න සිට පිටවෙලගම දක්වා යන මාර්ගය අසා දැනගෙන තිබිණි.

කෙසේ හෝ සඳමාලි දැරියගේ පෙම්වතා සිය නිවෙස අසලට පැමිණෙමින් සිටියේ කාටත් හොර රහසේය. වෙලාව රාත්‍රී 11ට ආසන්න වෙමින් පැවතිණි. සඳමාලිගේ මව, පියා ඇතුළු නිවැසියන් පසුවූයේ නින්දේය. ගෙදර ආසන්නයට පැමිණි පෙම්වතා හරි මම කියපු තැනට ආවා.. යැයි කියමින් පෙම්වතියගේ දුරකථනයට කෙටි පණිවුඩයක් යැවූ සැණින් එතෙක් වේලා ඔහුව අපේක්ෂාවෙන් උන් සඳමාලි සියල්ල අමතක වූ ලෙසින් ගෙදර ඉදිරිපස දොර විවෘත කර කළුවරේම මිදුලට බැස්සාය. ජංගම දුරකථනයේ එළියෙන් තවත් පියවර කිහිපයක් ගිය ඇය යතුරුපැදිය මග තබා පැමිණි සිය පෙම්වතා සමඟ දොඩමලු වූවාය. කාටත් රහසේ වූ හමුව අතර සතුටට දෙන්නාගේ කතාබහ හඬ සීමාව ඉක්මවා තිබුණේ දෙන්නාටම නොදැනීය.
මහ රාත්‍රියේ නිවෙස අසල කතාබහ කරන හිනැහෙන ශබ්දයක් ඇසී තිබුණේ නිදි යහනේ සිටි සඳමාලිගේ පියාටය. යම් තරමකට කටහඬ තම දියණියගේ බව වටහාගත් ඔහු යහනෙන් නැගිටවිත් නිවෙස් ඉදිරිපස විදුලි බුබුළක් දැල්වීය. ඒ වන විටත් නිවෙසේ දොර විවෘතව තිබූ ‍හෙයින් ඔහු වහා මිදුලට යන අතරතුර සිය දියණිය තරුණයකු සමඟ කතා කරමින් සිටින බව දැක ඇත. නිවැසියන්ට රහසේ පෙම්වතා සමඟ කතා කරන බව සඳමාලිගේ පියා දැකීමත් සමඟ කලබලයට පත් ඇය &දුවමු තාත්තා දැක්කා...* යැයි කියමින් පෙම්වතාගේ අත අල්ලාගෙන නිවෙස ආසන්නයේ වූ වෙනත් ඉඩමක් දෙසට දිව ගියාය.

එම ඉඩම ගම්මිරිස් හා කුරුඳු ඇතුළු බෝග වගාවක් සිදු කළ සඳමාලිගේ ඥාති කෙනකුට අයත් එකකි. කළුවරේ එදෙසට දිවගිය දෙදෙනා පසුපස කලබලයෙන් සඳමාලිගේ පියාද මාර්ගයට පැමිණියේය. මිනිත්තුවක් දෙකක් අතර කාලයකදී එම කුරුඳුවත්ත දෙසින් තරමක ආලෝකයක් ක්ෂණයකින් විහිදුණු අතර ඇසුණු කෑගැසීම් හඬ එසැණින් නතර විය. සිදුවූයේ කුමක්දැයි කිසිවකුට අවබෝධයක් නොවීය.

සඳමාලිගේ පියා, මව හා ඥාති පිරිස එක්ව දියණිය සොයන අතරතුර පාරේ කෙළවරක නවත්වා තිබූ යතුරුපැදියක් හමුවී තිබිණි. වැඩිදුරටත් සිදු කළ සොයා බැලීමේදී සඳමාලි හා තවත් තරුණයකුගේ සිරුරු දෙක කුරුඳු ඉඩමේ වැටී තිබෙනු දැක ඇත. එහිදී හෙළිවූයේ ඥාතියකුට අයත් ඉඩමේ වගාව ආරක්ෂාව සඳහා අනවසරයෙන් විදුලිය සම්බන්ධ කළ කම්බියක් එහි දමා තිබු බවය. කළුවරේ දිවගිය යුවළ එහි පැටලී විදුලිසැර වැදීමෙන් ජීවිතක්ෂයට පත්වූ බව අනාවරණය වූ අතර ඒ පිළිබඳව කොළොන්න පොලීසියට පැමිණිලි කර ඇත. පසුදින එම ස්ථානයේදී මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදු කළ අතර අපරාධ ස්ථානීය පොලිස් පරීක්ෂාවක්ද සිදු කරනු ලැබීය. අනතුරුව මළසිරුරු ඥාතීන්ට බාරදීම සිදු කර තිබිණි.
මියගිය පෙම්වතා මාතර දික්වැල්ල ප්‍රදේශයේ පදිංචි වඩු කාර්මිකයෙකි. ඔහු සිය පියා හා සහෝදරයා සමඟ එම කර්මාන්තයේ නියැලී සිටියේය. ඔහුගේ මළසිරුර දික්වැල්ල දක්වා රැගෙන ගොස් අවසන් කටයුතු සිදු කළ බව වාර්තා විය.
ඔන්ලයින් අධ්‍යාපනය හා අන්තර්ජාලය පරිහරණය හරහා දරුදැරියන් හා තරුණ පිරිස් මෙවැනි අනවශ්‍ය කරදරවල පැටලෙති. එවැනි සිදුවීම් ගණනාවක් වාර්තා වී තිබේ. මියගිය සඳමාලි දැරිය අධ්‍යාපනයට දක්ෂ විනයගරුක දැරියක බව කියති. ඔන්ලයින් අධ්‍යාපනය ලබන දරු දැරියන් පිළිබඳව වඩාත් අවධානයෙන් පසුවීමට මව්පියන් වගබලා ගත යුතුය. 

අනවසර විදුලිය යෙදවීම සම්බන්ධයෙන් මියගිය දැරියගේ ඥාතිවරයකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ පසු ඔහු බන්ධනාගාරගත කිරීමට නියම කරනු ලැබීය. මේ සම්බන්ධයෙන් කොළොන්න පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කේ.වී. රෝහණ මහතාගේ උපදෙස් මත විමර්ශන සිදු කෙරේ.

 සමන්ත විල්තෙර