ඔහු සතුව හොඳ මෙන්ම දුර්ලභ ගුණාංග රුසක් තිබුණා. කිසිම දෙයක් හංගන්නෙ නැතුව කියලා දෙන දුර්ලභ ගුණාංගය ඔහු ළඟ තිබුණා. හොඳ මහත්මයෙක්. ඔහු සියලු දෙනාටම එකම විදියට සලකපු සමානාත්මතාවය තිබුණ දක්‍ෂ පරිපාලකයෙක්. මගේ පළමු සහ දෙවැනි විදේශ තරග සංචාර වනවිට බන්දුල වර්ණපුර මහත්මයා අපේ කණ්ඩායමේ කළමනාකරු ලෙස කටයුතු කළා. ඔහුගෙන් ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන් වුණා වගේම විනය පිළිබඳව වැඩි අවධානයක් යොමුකළ පුද්ගලයෙක්”
ශ‍්‍රී ලංකාවෙන් බිහිවූ විශිෂ්ටතම ක‍්‍රිකට් ක‍්‍රීඩකයකු වන සනත් ජයසූරිය මහතා පසුගියදා අපි අතරින් සදහටම සමුගත් බන්දුල වර්ණපුර මහතා පිළිබඳව එසේ පැවසීය.
ශ්‍රී ලංකා ක‍්‍රිකට් ක‍්‍රීඩාවේ සදාතනික මතක සටහනක් වන ශ්‍රී ලංකා පළමු ටෙස්ට් ක‍්‍රිකට් නායක බන්දුල වර්ණපුර මහතාගේ දේහය ලෝකශූර ශ්‍රී ලංකා ක‍්‍රිකට් පිලේ නායක අර්ජුන රණතුංග මෙන්ම එම කණ්ඩායමේ සාමාජිකයන් වන අරවින්ද ද සිල්වා, සනත් ජයසූරිය, රොෂාන් මහානාම සහ හිටපු ජ්‍යෙෂ්ඨ ක‍්‍රීඩක රෝයි ඩයස් යන ක‍්‍රීඩකයන් මෙන්ම ෆර්විස් මහරුෆ්, තිළිණ තුෂාර මිරුන්ඩෝ, උපුල් තරංග, නුවන් කුලසේකර, තරංග පරණවිතාන සහ චාමර කපුගෙදර යන මෑතකාලීන ක‍්‍රීඩකයන්ගේ කරමතින් අවසන් කටයුතු සඳහා බොරුල්ල කනත්තට ගෙන යෑම වඩාත් කැපී පෙනුණි.
අපි කළේ හොඳ දෙයක් නේද? ඇත්තටම එතුමාගේ දේහය මගේ කරමත තබාගෙන යෑමට ලැබීම මට ගෞරවයක්. මම ක‍්‍රීඩාවට ආපු කාලෙ ඔහු ගොඩක් දේවල් කියලා දුන්නා” යැයි හිටපු තුන් ඉරියව් ක‍්‍රීඩක ෆර්විස් මහරුෆ් මහතා පැවසීය.
බන්දුල වර්ණපුර මහතා ගැන ශ‍්‍රී ලංකා පළමු ටෙස්ට් නායකයාගෙන් එහාට ගිය ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ක‍්‍රීඩා ධරණී තළයේ නොමැකෙන වාර්තා රැසක් පවතී. ඔහු ශ‍්‍රී ලංකාව වෙනුවෙන් පළමු ටෙස්ට් පන්දුවට පහර දුන් පිතිකරු මෙන්ම ශ‍්‍රී ලංකාවේ පළමු ටෙස්ට් ලකුණ රැස්කළ පිතිකරුද වන්නේය. ශ‍්‍රී ලංකා එක්දින ක‍්‍රිකට් වංශ කථාවේ 1979 වසරේ එංගලන්තයේදී පැවැති ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේදී ඉන්දියාව පරාජය කරමින් ලැබූ පළමු එක්දින ජාත්‍යන්තර ජයග‍්‍රහණයේදීද ශ‍්‍රී ලංකා පිලේ නායකත්වය දැරීය. බන්දුල වර්ණපුර 1981 වසරේ ඕස්ෙට්‍ර්ලියාවට එරෙහිව ලකුණු 106ක් රුස්කරමින් ශ‍්‍රී ලංකාව වෙනුවෙන් පළමු එක්දින ශතකය රැස්කළ පිතිකරුවා බවටද වාර්තා පොතේ නොමැකෙන සටහනක් තැබීය.
බ්ලුම්ෆීල්ඩ් ක‍්‍රීඩා සමාජයේ යාවජීව සාමාජිකයෙක් වූ බන්දුල වර්ණපුර මහතා එම ක‍්‍රීඩා සමාජය අද වනවිට නිර්මාණය කරගෙන තිබෙන කීර්තිනාමයේ දැවැන්ත කොටස්කරුවෙකි. වර්ණපුර මහතාගේ නායකත්වයෙන් බ්ලුම්ෆීල්ඩ් ක‍්‍රීඩා සමාජය පළමු පෙළ ක‍්‍රිකට් ශූරතා රැසක් ජයග‍්‍රහණය කර තිබේ.
කොළඹ නාලන්දා විදුහලේ කීර්තිමත් ක‍්‍රිකට් ක‍්‍රීඩකයකු වන වර්ණපුර මහතා ආනන්ද සහ නාලන්දා වාර්ෂික මහ ක‍්‍රිකට් තරගයේදී 60 දශකයේ අග සහ 70 දශකයේ මුල බැබළෙන තරුවක් බවට පත්විය. දකුණතින් පිත්ත හසුරුවන මනස්කාන්ත පිතිකරුවකු වූ වර්ණපුර දකුණතින් මඳවේග පන්දු යවන්නෙක් ලෙසද 60 සහ 70 දශකවල පාසල් ක‍්‍රිකට් පිටියේ පිතිකරුවන්ගේ රජු බවට පත්ව සිටියේය.
බන්දුල වර්ණපුර මහතාගේ නායකත්වයෙන් ශ්‍රී ලංකා කණ්ඩායමක් 1983 වසරේ කැරළිකාර දකුණු අප‍්‍රිකාවේ සංචාරයකට සහභාගි වීම නිසා එම කණ්ඩායමේ සියලුම ක‍්‍රීඩකයන්ට එවකට ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් පාලක මණ්ඩලය වසර 25ක තහනමක් පැනවීමෙන් ඒ මහතාගේ ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩා දිවිය ටෙස්ට් තරග 4 කට සහ එක්දින තරග 12 කට සීමාවිය.
ඉන් වසර 7කට පසු 1990 වසරේ තහනම ඉවත් කිරීමෙන් පසුව ක‍්‍රිකට් පරිපාලනයට එකතු වූ ඒ මහතා පරිපාලකයෙක් ලෙස ජාත්‍යන්තරයද ජය ගත්තේය. අන්තර්ජාතික ක‍්‍රිකට් සභාව සමඟ සම්බන්ධ වූ වර්ණපුර මහතා ආසියානු ක‍්‍රිකට් සංගමයේ ක‍්‍රිකට් මෙහෙයුම් අධ්‍යක්‍ෂ තනතුරද දැරීය.
ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ මෙහෙයුම් අධ්‍යක්‍ෂ, ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ කළමනාකරු සහ ලංකා ප‍්‍රීමියර් ලීග් (එල්.පී.එල්.) ක‍්‍රිකට් තරගාවලියේ තාක්‍ෂණික කමිටු සාමාජිකයෙක් ලෙසද ඒ මහතා කටයුතු කළේය. ඒ මහතා අභාවප‍්‍රාප්ත වනවිටත් ශ්‍රී ලංකාවේ ප‍්‍රධානම ක‍්‍රිකට් සමාජයක් වන බ්ලුම්ෆීල්ඩ් ක‍්‍රීඩා සමාජය සභාපති ධූරය දැරීය.
ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ පසුගිය නිලවරණයේදී වර්ණපුර මහතා උප සභාපති ධූරයට තරග කිරීමට නාමයෝජනා ඉදිරිපත් කළ අතර පසුව නිලවරණය අවස්ථාවේදී නාම යෝජනාව ඉල්ලා අස්කර ගත්තේය. වර්ණපුර මහතා ශ්‍රී ලංකාවේ ක‍්‍රිකට් ප‍්‍රවීණයන්ගෙන් සමන්විත ලංකා කැවලියර් ක‍්‍රිකට් සමාජයේ ආරම්භ සාමාජිකයෙකි.
කිවයුතු දේ නොබියව ප‍්‍රකාශ කිරීමේ ගුණාංගය වර්ණපුර මහතා තුළ තිබීම නිසා ක‍්‍රිකට් විචාරයකු ලෙසද ශ‍්‍රී ලාංකිකයන්ගේ හදවත දිනා ගැනීමට ඔහු සමත්ව සිටියේය. 1953 වසරේ මාර්තු 1 වැනිදා උපත ලැබූ වර්ණපුර මහතා අභාවප‍්‍රාප්ත වනවිට 69 වැනි වියේ පසුවිය.
වර්ණපුර මහතා පුතුන් දෙදෙනකුගේ පියකු වන අතර කොළඹ නාලන්දා විද්‍යාලයේ නමගිය ක‍්‍රිකට් ක‍්‍රීඩකයන් වන මාධව වර්ණපුර සහ මධුර වර්ණපුර ඒ මහතාගේ පුත‍්‍රයෝ වෙති. මාධව වර්ණපුර ශ්‍රී ලංකා ‘ඒ’ පිලද නියෝජනය කළේය.
ශ‍්‍රී ලංකා හිටපු ටෙස්ට් ක‍්‍රිකට් ක‍්‍රීඩක සහ ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ වර්තමාන පුහුණුකරු මලින්ත වර්ණපුර මහතා ඒ මහතාගේ වැඩිමහල් සොයුරාගේ පුත‍්‍රයෙකි. ජ්‍යෙෂ්ඨ ක‍්‍රිකට් තරග තීරක උපාලි වර්ණපුර මහතා බන්දුල වර්ණපුර මහතාගේ වැඩිමහල් සොයුරා වේ.
ශ‍්‍රී ලංකාව සතුව වූ අතේ ඇඟිලි ගණනටත් වඩා අඩු වූ ක‍්‍රිකට් පවුල් අතරින් එකක් වූ ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ක‍්‍රීඩාවේ පතාක යෝධයා ජීවිත දිවියට සමුදී අවසන්ය. ඔහුගේ ආදර්ශමත් ජීවිතයෙන් ජීවිත හැඩ ගසා ගැනීමට බොහෝ දෙනකුට දොරටු විවෘතව තිබේ.
සටහන: යොහාන් භාසුර