2021 ඔක්තෝබර් 23 වන සෙනසුරාදා

ලංකාවේ ජනප්‍රියම යූ ටියුබ් චැනල්

 2021 ඔක්තෝබර් 23 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 180

ලොව ඔබ කැමති ඔබට අවැසි ඕනෑම දසුනක් නැරඹීමට අද ඔබට හැකිය. එහෙත් මීට දශක කිහිපයකට ඉහතදී එය සර්වබලධාරී දෙවියකුට මිස මනුෂ්‍යයකුට සිදුකළ නොහැකි විශ්වකර්ම ක්‍රියාවකි. නූතන තාක්ෂණික ලෝකයේ විශ්මිතම නිමැයුම සයිබර් අවකාශයයි. ලෝකයම ඔබේ ඇසිදිසි මානයේ තබන සයිබර් අවකාශයේ සුවිශේෂී නවාතැන යූටියුබයයි. ලොව පුරා සාමාන්‍යයෙන් මිනිසුන් යූටියුබ් අවකාශය ජයගෙන තිබේ. එසේ යූටියුබ් ජයගත් ලක්වාසීන්ද වෙති. අප අද විමසා සිටින්නේ ඔවුන් පිළිබඳවයි.

පසුගියදා භාරතය ජයගත් යොහානි ද සිල්වා ලාංකික තරුණිය යූටියුබයේ තවත් කඩඉමක් පසුකොට ගියාය. ඇගේ යූටියුබ් නාලිකාවට සබැඳි දායකත්වය සපයන්නන්ගේ සංඛ්‍යාව (Subscribes) මිලියන තුනක සීමාවට ළඟාවිය. ඒ අතර ලොව පුරා ජනාදරයට පාත්‍රවීමට හේතු වූ &මැණිකේ මගේ හිතේ* ගීතයේ නැරඹුම් වාර සංඛ්‍යාවද (Views) මිලියන එකසිය හැටක සීමාවට ළඟා වූයේය. ලාංකීය යූටියුබ් අවකාශයේ ස්වර්ණමය සංධිස්ථානයක් සනිටුහන් කළ මෙම සිදුවීම සැබැවින්ම අප සංවාදයට නිමිත්ත සපයයි.

යොහානි සිය යූටියුබ් චැනලය ඇරඹුවේ 2016 වසරේදීය. ජනප්‍රිය රැප් ගීත ඇතුළු කාලීනව ජනප්‍රිය වූ ගීත ගිටාරයක් වාදනය කරමින් ගැයූ ඈ සිය යූටියුබ්ය වෙත මුදා හැරියාය. ඇය රටම හඳුනන ගායිකාවක් බවට පත් වන්නේද යූටියුබ් අවකාශය හරහාමය. මැණිකේ මගේ හිතේ ගීතය හරහා සිදුවූ විශ්මකර්ම පෙරළිය තවමත් බොහෝ දෙනෙකුට පැහැදිලි නැත. එම නිසාවෙන් අපි ඒ පිළිබඳව සොයා බැලුවෙමු. 2020 වසරේ නිකුත් වූ මැණිකේ මගේ හිතේ ගීයට යොහානි නිර්මාණය කළ ගීතයේ මුල් අයිතිකරුවන් වූ චමත් සංගීත්ගේ සහ සතිශාන් ඇතුළු පිරිස යොහානිට මෙම ගීය නැවත ගයන්නට (Cover version) ඇයට ඇරුයුම් කළහ. චමත්, යොහානි, සතිෂාන් ඇතුළු මෙම පිරිස ක්ෂේත්‍රයේ එක්කම පරපුරකට අයත් මිතුරන්ය. එම නිසාම යොහානි මේ ගීතය ගයන්නට පෙළඹෙන්නේ හිත මිතුරුකම පදනමක් කරගනිමිනි. ගීතය පටිගත කිරීම මෙන්ම රූපගත කිරීමට ඉතා සරලව සිදුවූයේය. එහෙත් ගීය යූටියුබ් අවකාශයට මුදාහළ පසු තත්ත්වය බරපතළ විය. යූටියුබ් යනු එවන් තැනකි. සාම්ප්‍රදායිකව රෑප මාධ්‍යයේදී මෙන් යූටියුබයේදී වීඩියෝවකට තාක්ෂණික ගුණාත්මකභාවය ජනප්‍රියත්වයේ පදනම නොවේ.

යොහානිගෙ කළමනාකරු වන දිලන්ජන් සෙනෙවිරත්න පවසන පරිද &මැණිකේ මගේ හිතේ* ගීතය මුදාහළ පසු එහි කූටප්‍රාප්තිය සිදුව ඇත්තේ මෙසේය. ඔහුගේ ආයතනයේ ඩිජිටල් කටයුතු කළමනාකරණය සිදුකරන කණ්ඩායම එක් අවථාවකදී ඔහුට සුවිශේෂී දැනුම්දීමක් කර තිබේ. කේරළේ ඇරුණා.* යූටියුබ් ජනප්‍රියත්වය පිළිබඳ සංවාදයේදී ප්‍රකාශය අතිශය වැදගත්ය. යූටියුබ් අවකාශය ස්වයංක්‍රීයව පරිපාලනය වන්නේ යම් රටාවකටය. නිරන්තරයෙන්ම අපහට විවර වී තිබෙන්නේ අපගේ සමාජ භාවිතයන්ට අදාළ වූ අවකාශකි. උදාහරණයක් ලෙස ලොව පුරා රටවල් විශාල සංඛ්‍යාවක් පැවතුණද ඔබට ඔබගේ යූටියුබ් අවකාශයේදී එම රටවල නිර්මාණ ස්වභාවිකව දක්නට නොලැබේ. තාක්ෂණික බසින් පැහැදිලි කළහොත් යම් ඇල්ගොරිතමයකට අනුව මෙම අවකාශය පාලනය වේ. ගෝලීය තලයට පිවිසීම හෝ වෙනත් සමාජයකට අවතීරණය වීමට මෙම රටාව බිඳ දමා යා යුතුය. එය පහසු නැත. යොහානි වෙනුවෙන් කේරළය විවර වන්නේ ස්වාභාවිකවය. එය ඇගේ වාසනාවද හැකියාවද එක්තැන්වූ අවස්ථාවකි.

කෙසේ වෙතත් මෙතැන් පටන්  බොලිවුඩයේ තරු අතරට මෙම ගීය රුගෙන යාමට දිලන්ජන් ඇතුළු ඩිජිටල් කළමනාකරණ කණ්ඩායම යම් දායකත්වයක් ලබා දී තිබේ. අමිතාබ් බච්චන්ගේ මිනිපිරිය විසින් ඔහුට මෙම ගීය පෙන්වීම යොහානිගේ කතාවේ සුවිශේෂී සන්ධිස්ථානයක් විය. අමිතාබ් විසින් ඔහුගේ සමාජ මාධ්‍ය අවකාශය වෙත මෙම ගීයේ කොටසක් මුදාහරිනු ලැබුවේය. එතැන් පටන් භාරතයේ සිහින තරු යොහානිගෙ රසික රසික රසිකාවියෝ වූහ. මෙරට බොහෝ දෙනකුගේ පවා ඇස් ඇහැරුණේ අමිතාබ් බච්චන්ගේ වීඩියෝ හේතුවෙනි. කෙසේ වෙතත් මේ වනවිට ශ්‍රී ලංකාවේ ආයතනයක නොවන යූටියුබ් නාලිකා අතරින් යොහානි පළමු තැන රුඳී සිටින්නීය.

ලංකාවේ මේ වනවිට ජනප්‍රියත්වයේ හිණිපෙත්තට පැමිණ ඇති තවත් යූටියුබ් නාලිකා කිහිපයක් තිබේ. අපේ අම්මා යනු ඉන් එකකි. විශ්‍රාමික ගුරුවරියක විසින් මෙහෙයවනු ලබන මෙම නාලිකාව සබැඳි දායකත්වය සපයන්නන්ගේ සංඛ්‍යාව (Subscribes) මිලියන 2.3කගෙන් සමන්විතය. ඇය යූටියුබ් රන් සම්මානය (Golden Play Button) ලැබූ පළමු ශ්‍රී ලාංකික කාන්තාවයි. නූතන පරපුර සූපශාස්ත්‍රය ඉගෙන ගන්නේ ඇයගෙන් යැයි කීම සාධාරණය.

2016 වසරේ ආරම්භ කරන ලද අපේ අම්මා යූටියුබ් නාළිකාව මිලියන හාරසිය පහක් ඉක්මවා ගිය විව්ස් ප්‍රමාණයකට හිමිකම් කියයි. යොහානිගෙ යූටියුබ් නාලිකාවට පවා මෙතෙක් ලැබී ඇත්තේ වීව්ස් මිලියන දෙසීය හතළිස් හයක් පමණි. ඒ අනුව ආයතනික නොවන ලංකාවේ වැඩිම සබ්ස්ක්‍රයිබ්‍රස්ලා ප්‍රමාණයක් තිබෙන යූටියුබ් නාළිකා අතරේ දෙවැනි ස්ථානයේ පසුවන අපේ අම්මා නාළිකාව මෙරට වැඩිම විව්ස් ප්‍රමාණයක් සහිත නාළිකාවද වෙයි.

වැලිඔය ප්‍රදේශයේ සිටින ඉතා සාමාන්‍ය තරුණ පිරිසක් වන විනී ප්‍රඩක්ෂන් කණ්ඩායම අනුපිළිවෙළ අනුව තෙවැනි ස්ථානයේ රුඳී සිටියි. අනුරාධපුරයේ සිට කිලෝමීටර් 107ක් දුරින් පිහිටි පදවිය වැලිඔය ප්‍රදේශයේ ඇතාවැටුණවැව ගම්මානයේ මෙම තරුණ පිරිස දේශීය වශයෙන් වේගයෙන්ම වර්ධනය වූ ග්‍රාහක පිරිසට උරුමකම් කියයි. විනී ප්‍රඩක්ෂන් නාලිකාව සබැඳි දායකත්වය සපයන්නන්ගේ සංඛ්‍යාව (Subscribes) මිලියන 1.59ක ගෙන් සමන්විතය.
යූටියුබ් ආරම්භක වකවානුව වූ 2014දී කිසිදු ජනප්‍රියත්වයකින් තොරව  ඉදිරියට පැමිණි මෙම පිරිස ගතවූ දෙවසර තුළදී සමස්ත රටේම අවධානය දිනා සිටිති. සමස්ත විව්ස් මිලියන එකසීය අසූවක් ඔවුන් සතුය. විනෝදාස්වාදය සපයන ඔවුන්ගේ නිර්මාණ අව්‍යාජත්වයම හේතුව කොටගෙන ජනතාව වැළඳගෙන ඇත. මෙම කණ්ඩායම අතිශය දුෂ්කර ගමනක් පැමිණි බව යූටියුබ් අවකාශය පරිහරණය කරන සියලුදෙනා මේ වනවිටත් දනිති.

සමස්තයක් ලෙස යූටියුබ්ය පිළිබඳ ශ්‍රී ලංකාවේ එක කියවීමේදී අපට පෙනී යන්නේ එහි ජනප්‍රියත්වයේ පදනම වී ඇත්තේ දක්ෂතාව, අව්‍යාජත්වය සහ වාසනාවය. මෙරටින් ආරම්භ කොට ලෝකයේ ග්‍රාහකයන් නතුකොට ගෙන සිටින යූටියුබ් නාලිකා කිහිපයක්ද තිබේ. විලේජ් ලයිෆ්, Handiworks ඒ අතරින් ප්‍රධානය. සමස්තයක් ලෙස මේ සියල්ලන්ම රටට ගෙන එන්නේ අභිමානයකි.

 චමිඳු නිසල් ද සිල්වා

 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:05