මිරිදිය දුම් කරවල සඳහා විශාල ඉල්ලුමක් තිබුණත් දුම් කරවල සකස් කිරීම සිදුකරන්නේ ඉතා සුළු පිරිසකි. මාළු කපා හිරු එළියේ වියලා දර උඳුනෙ දමා යටින් ගින්දර යොදා වේලා ගන්නා කරවල දුම් කරවල ලෙස හඳුන්වති.
දුම් කරවල සඳහා මිරිදිය මසුන් යොදා ගැනීම විශේෂත්වයක්. ඒ නිසා මිරිදිය දුම් කරවලවලට ඇත්තේ ඉහළ ඉල්ලුමකි. නමුත් ඉල්ලුමේ තරමට සපයන්නට නොහැක. දුම් කරවල කර්මාන්තය පවත්වාගෙන යන්නට නොහැකි තරමට මසුන්ගේ හිඟකමක් පවතී. දුම් කරවල මිල අධික වුවත් බොහෝදෙනා ප්‍රියකරන ආහාරයක් බවට පත්වී ඇත.
වැඩි ඉල්ලුමක් ඇති අඩු නිෂ්පාදනයක් කෙරෙන දුම් කරවල කිලෝ එකක් රුපියල් එක්දහස් හයසියයත් අටසියයත් අතර මිල ගණන්වලට අලෙවි කෙරේ. කැටලාවා, රෝගුවා, මිරිදාල් වැනි දුම් කරවල කිලෝ එකක් රුපියල් එක්දහස් හයසියයක් පමණ වන අතර බිංතුල්ලා, වැලිගොව්වා, හුංගා, අංකුට්ටා වැනි දුම් කරවල කිලෝ එකක් රුපියල් අටසියයක වැනි මුදලට අලෙවි කෙරෙයි.
වැව් ආශ්රිත ධීවර කර්මාන්තයේ නිරත වන ධීවරයන් අතරින් කිහිපදෙනකු පමණක් මෙම දුම් කරවල නිෂ්පාදනයට යොමු වී සිටිති. තබ්බෝව වැව යටතේද ධීවර කර්මාන්තකරුවන් දෙසීයක් පමණ පිරිසක් අතරින් දුම්කරවල නිෂ්පාදනයේ යෙදී සිටින්නේ එක් ධීවරයකු පමණි.
දුම්කරවල කිරීම සඳහා යොදා ගන්නා කැටලාවා, රෝගුවා, මිරිදාල් වැනි මසුන් තබ්බෝව ජලාශයෙන් සපයා ගැනීමට අපහසු නිසා වෙනත් වැව්වල ධීවර කර්මාන්තයේ නිරතවන ධීවරයින්ගෙන් වැඩි මිලට සපයා ගැනීමට සිදුවී ඇත. ජලජීවී වගා සංවර්ධන අධිකාරිය මගින් ධීවරයන්ට දුම්කරවල සකස් කිරීම පිළිබඳ පුහුණුවක් ලබා දී තිබුණත් අවශ්‍ය මසුන් නොමැතිකම නිසා මෙම කර්මාන්තය කිරීමෙන් ධීවරයෝ ඉවත් වී සිටිති.
ගුණාත්මක හා පිරිසිදු බවින් යුක්තව සකස් කරන දුම්කරවල උත්සව අවස්ථා මංගල අවස්ථාවන්වලට යොදා ගැනීමට බෙහෝ දෙනා වැඩි කැමැත්තක් දක්වති. අඩු මිලකින් වැඩි පිරිසකට ආහාරයට ගන්නට හැකිවන ආකාරයට රසවත් ආහාර වේලකට මෙන්ම මත්පැන් සාදවලට ඩෙවල් සෑදීම සඳහාද ඇත්තේ විශාල ඉල්ලුමකි.
මේ පිළිබඳ අදහස් දැක්වූ තබ්බෝව ධීවර සමිතියේ සභාපති එන්.ඩී. චන්ද්‍රපාල මහතා:
දුම් කරවල කියන්නෙ වැඩි ඉල්ලුමක් තිබෙන ආහාරයක්. දිනකට විශාල වශයෙන් දුම් කරවල අහල දුරකථන ඇමතුම් එනවා. 2009 වසරේදී ජලජීවී වගා සංවර්ධන අධිකාරිය මගින් දුම්කරවල සකස් කිරීම පිළිබඳ පුහුණුවකුත් ලබාදුන්නා. වසර දොළහක පමණ කාලය ඉඳලා දුම්කරවල සැකසීම සිදු කරනවා. තබ්බෝව ජලාශයේ අවශ්‍ය මසුන් නැති නිසා පිට වැව්වලින් තමයි මාළු සපයා ගන්නෙ.
මාළු හරි ගණන් කැටලාවා, රෝගුවා, මිරිදාල් වගේ මාළු කිලෝ එකක් රුපියල් දෙසීය පනහක් වගේ මිලකට තමයි ගන්නෙ. අපි මේ දුම්කරවල සකස් කරන්නේ ඉතාමත් ක්‍රමවත්ව ඒ නිසා එක දුම්කරවල කිලෝ එකක් හදන්න මාළු කිලෝ පහක් පමණ යනවා. එතකොට එක කරවල කිලෝ එකක් හදන්න රුපියල් එක්දහස් දෙසීය පනහක් වගේ මුදලක් මාළුවලට වියදම් කරනවා.
අමතර වියදම් එකතු කරපුවහම කිලෝ එකක් හදන්න රුපියල් එක්දහස් තුන්සිය පනහක් විතර වැය කරන්න වෙනවා. අපි දුම්කරවල කිලෝ එකක් විකුණන්නෙ රුපියල් එක්දහස් හයසියයකට පොඩි ලාභයක් තමයි තිබෙන්නෙ. බිංතුල්ලා, වැලිගොව්වා, හුංගා, අංකුට්ටා වගේ මාළු තබ්බෝව වැවෙන් අල්ල ගන්නවා. මේ මාළු දුම්කරවල කිලෝ එකක් හදන්න කිලෝ අටක් විතර යනවා. රුපියල් අටසියයක මුදලට තමයි කිලෝ එකක් දෙන්නෙ.
මාළු කපල සෝදල ලුණුදාල හිරු එළියෙන් වියළා උඳුනෙ දින දෙකක් වියළුණාට පස්සෙ තමයි නියම දුම් කරවල බවට පත් වෙන්නෙ. සතියකට දුම් කරවල කිලෝ පනහ හැට ඉල්ලුම තිබෙනවා. නමුත් කිලෝ දහයකට වඩා සපයන්න බැහැ. මේ දුම් කරවල කර්මාන්තය තව දියුණු කරන්න පුළුවන් අවශ්‍ය මසුන් ලැබෙනවා නම්.
ඒ නිසා තබ්බෝව වැවට මේ අවශ්‍ය මාලු පැටව් දාලා ඇති කර ගන්න ඕනා නැතිනම් වෙනත් කුමන හෝ ක්‍රමයකින් මසුන් සපයාගන්න ක්‍රමවේදයක් රජයෙන් සකස් කරන්න ඕනා. අපි කියන්නෙ අපට මාළු ලැබෙනවා නම් අපි සුපිරි දුම්කරවල රටේ ජනතාවට ලබාදෙනවා කියන එකයි.
රෝවන් පෙරේරා - පුත්තලම