එක්සත් ජාතික පෙරමුණ ප්‍රමුඛ සිවිල් සංවිධාන රැසකගේ සහායෙන් පසුගිය ජනාධිපතිවරණය සඳහා තරග කළ සජිත් ප්‍රේමදාස මහතා පරාජය වීමත් සමඟ එම පරාජයට වගකිව යුත්තේ එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා බවට සජිත් හිතවාදීහු චෝදනා එල්ල කළහ. සජිත්ව තරගයට දමා රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ පිරිස් කකුලෙන් ඇද්ද බව ඔවුන්ගේ චෝදනාව විය. එනිසා තවදුරටත් එජාපය පරාජය නොවී රැකගැනීම සඳහා සජිත් ප්‍රේමදාසට පක්ෂය ලබාදිය යුතු බව සජිත් කල්ලියේ යෝජනාව විය. ජනාධිපතිවරණයෙන් පසුව මහ මැතිවරණය එළැඹීම එයට හේතු විය. එනිසා මහ මැතිවරණය සඳහා සජිත් එජාපයේ නායකයා විය යුතු බව සජිත් පිලේ යෝජනාව විය.
එම යෝජනාව සහ බලපෑම් එල්ල කළ අය අතර හරීන් ප්‍රනාන්දු, දිලිප් වෙදාආරච්චි, හේෂා විතාන, චමින්ද විජේසිරි යන අය ඉහළින්ම පසුවූහ. තවත් පිරිසක් සජිත් වෙනුවෙන් සිටියද ඉහත කී පිරිස එළියට පැමිණ එම චෝදනා එල්ල කරන්නට වූහ. විශේෂයෙන් මේ පිරිසගේ එකම යෝජනාව වුණේ එජාපයෙන් ඉවත්ව ගොස් වෙනම පක්ෂයක් සාදා වෙනම මහ මැතිවරණයට තරග කිරීමය. ඒ යෝජනාව දැඩි ලෙස සිදු කළ දෙදෙනා වුණේ චමින්ද සහ හේෂාය. අවසානයේ එය සිදුවූ අතර වසර 70කට අධික කාලයටකට පසුව එජාපය රටේ දෙවැනි බලවේගය තබා එකදු මන්ත්‍රී ධුරයක් හෝ නොලබා පරාජය කිරීමට සජිත් ප්‍රමුඛ සමගි ජන බලවේගයට හැකි විය.
එලෙස පාර්ලිමේන්තුවේ නිල විපක්ෂය බවට පත්වූ සජිත් ප්‍රමුඛ සමගි ජන බලවේගය මේ අවස්ථාවේ විපක්ෂයේ සිටිමින් බලය ලබාගැනීම සඳහා සැලසුම් නිර්මාණය කරමින් සිටී. කෙසේ වෙතත් ඔවුන් විපක්ෂයට පැමිණි දා සිට පක්ෂ අභ්‍යන්තරයේ නොයෙකුත් ගැටුම්, මතවාද රුසක් විය. එම ප්‍රශ්න සමාජ ගත නොකළත් ඇතැම් ඒවා දේශපාලන කරළියේ රුව්පිලි රැව් දුන් අවස්ථා විය.
විශේෂයෙන් මේ ගැටුමේ ආරම්භය වූයේ පක්ෂයේ ව්‍යවස්‍ථාව ගෙන ආ අවස්ථාවය. පක්ෂය සඳහා ව්‍යවස්ථා යෝජනාවලියක් සජිත් පාර්ශ්වයෙන් සකසා ගෙන ආ අතර එය කෘත්‍යාධිකාරී මණ්ඩලයට ඉදිරිපත් කිරීමත් සමඟ ඒ තුළ වූ ඇතැම් ඒකාධිපති වගන්තිවලට හරීන් ප්‍රනාන්දු ඇතුළු පිරිසක් දැඩි ලෙස විරුද්ධ වූහ. එනිසා එම ව්‍යවස්ථා යෝජනාවලිය සජිත්ට අවසානයේ ඉවත් කර ගැනීමට සිදුවිය. කෙසේ වෙතත් එම අවස්ථාවේ පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන්ගේ මතය වූයේ පක්ෂය තුළ ප්‍රජාතන්ත්‍රවාදී මුහුණුවරක් ඇති බැවින් ඕනෑම කෙනකුට ඕනෑම අදහසක් දැරීමේ අයිතියක් පවතින බවය.
එම සිදුවීමෙන් පසුව පක්ෂයේ දෙවැනි බෙදීම සිදුවූයේ පක්ෂයේ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පැමිණි ඩයනා ගමගේ පක්ෂයෙන් ඉවත්ව පොහොට්ටුවේ අසුන් ගැනීමය. මෙය පෞද්ගලික තීන්දුවක් වුවත් පාක්ෂිකයා කැළඹුණු අවස්ථාවක් විය. එනම් පක්ෂයේ ජාතික ලැයිස්තුවේ වෙනත් සුදුස්සන් සිටින විට ඩයනා පක්ෂයට ගෙන අවසානයේ ඇය හරහා සිදුවූ අවසන් ප්‍රතිඵලයයි. එම අවස්ථාව පක්ෂයේ නායකයන් පවා කැළඹීමට ලක්වූ අවස්ථාවක් විය.
පක්ෂය සම්බන්ධයෙන් නැවතත් ප්‍රශ්නකාරී ගැටලුවක් ඉස්මතු වූ අවස්ථාවක් වූයේ චම්පික රණවක සම්බන්ධයෙන් වූ අනාවරණයයි. එනම් ජාතික හෙළ උරුමයෙන් ඉවත්ව පැමිණ චම්පික සමගි ජන බලවේගයට එකතු වන බවත්, පක්ෂයේ ඉහළ තනතුරක් ඔහුට ලබාදෙන බවත්, එහෙත් අද වන තෙක් චම්පික එයට එකඟ වී නැති බවත්ය. චම්පික ඒ වෙනුවට සිදු කළේ 43 වැනි සේනාංකය නිර්මාණය කරමින් වෙනත් ගමනක් ආරම්භ කිරීමය. එය පක්ෂය වෙනම කඩාගෙන යාමක්ද යන්න බොහෝ දෙනාට ප්‍රශ්නකාරී සිතුවිල්ලක් විය. එහෙත් පක්ෂයේ ඇතැම් ජ්‍යෙෂ්ඨයන් සඳහන් කර සිටියේ එය පක්ෂය කඩාගෙන යාමක් නොව පක්ෂය සඳහා සංවිධානය වීමක් බවය. කෙසේ වෙතත් 43 සේනාංකය චම්පික රණවක මහතාගේ වෙනම ගමනක ආරම්භයක් බව බැලූ බැල්මට පෙනෙන දෙයකි. එහෙත් එය පක්ෂයේ පිරිස් පිළි නොගනිති.
මෙම හැලහැප්පීම් මැද ඉදිරියට යන සමගි ජන බලවේගය අද වන විට තවත් අවුලකට මැදිව සිටී. ඒ පක්ෂයේ සාමාජිකයන් දෙදෙනකු වන රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතාන සහ බණ්ඩාරවෙල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි යන මහත්වරුන් සිය තනතුරුවලින් ඉවත් වීමට තීරණය කිරීමය.
එජාපයේ සිටින සමයේ පටන් පක්ෂයේ විවිධ අවස්ථාවල උද්වේගකාරී ලෙස හැසිරුණු හේෂා සහ චමින්ද අද නැවත එකී හැසිරීම සමගි ජන බලවේගය හමුවේද පෙන්නුම් කරමින් සිටිති. කෙසේ වෙතත් හේෂාගේ ගැටලුව දිස්ත්‍රික්ක මට්ටමිනි. දිස්ත්‍රික් නායක තලතා අතුකෝරාළ සමඟ පවතින සීතල යුද්ධය හේතුවෙන් රත්නපුර දිස්ත්‍රික්කය නිරන්තර යුද පිටියක් වන තැනට පත්විය.
හේෂා, තලතාට පමණක් නොව තලතාද හේෂාට කෙනිතිලි ගෙරවිලි කරන්නට අමතක නොකරයි. හේෂා පමණක් නොව තලතාද පක්ෂ නායකත්වයට ගතු කී අවස්ථා අනන්තය. අප්‍රමාණය.
හේෂා කලකිරීමට පත්වූ තවත් අවස්ථාවක් නම් ආසන සංවිධායක ගැටලුවකි. එනම් හේෂා රක්වාන ආසනයේ සිට කොළොන්න ආසනය දක්වා මාරුවී ගොස් ඇති අතර, පක්ෂයේ තීරණය වී ඇත්තේ කොළොන්න ආසනයේ සිටි සංවිධායකවරයා රක්වාන වෙත මාරු කිරීමය. එහෙත් එයට හේෂා විතාන විරුද්ධ වූ අතර ඔහු පවසා ඇත්තේ රක්වාන සංවිධායකවරයා ලෙස සිය හිතවතකු වන පොහොට්ටුවෙන් පැමිණි අයකු එහි සංවිධායකවරයා ලෙස පත් කරන ලෙසය. එහෙත් ඊට පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් විරුද්ධ වූ බව කියති.
ගමේ සියල්ල නිසා කලකිරී සිටි හේෂා මීට සති තුනකට පෙර පැවති කෘත්‍යාධිකාරී මණ්ඩල රුස්වීමේදී සභාවෙන් නැගිට ගොස් පක්ෂයේ ප්‍රධානීන්ට තමන් තනතුරුවලින් ඉල්ලා අස්වන ලියමන බාර දී තිබිණි. එසේ බාර දුන්නද මේ ගැන කිසිදු තොරතුරක් එළියට පැමිණියේ නැත. එහෙත් ඒ සියල්ල උඩු යටිකුරු කරමින් මේ රහස් ලියමන පිළිබඳ කතාව පසුගියදා කරළියට ආවේ මෙය ප්‍රසිද්ධ කළේ කවුද යන්න ගැන කාටත් සැක උපදින අයුරිනි. මේ සම්බන්ධයෙන් පිරිස පසුවන්නේ විවිධ අය ගැන සැකයෙනි.
මෙහිදී චමින්ද විජේසිරිගේ නමද සඳහන් වුවත් ඔහු පක්ෂයෙන් හෝ තනතුරෙන් ඉවත් වන බවට කිසිදු ලිපියකින් දන්වා නැත. එහෙත් පසුගිය කාලයේ විපක්ෂයේ වැඩපිළිවෙළ ගැන චමින්ද කළ විවේචන නිසා ඔහුගේ නමද මීට ඈඳිණි. කෙසේ වෙතත් චමින්ද කීවේ සාම්ප්‍රදායික විපක්ෂය ලෙස ආණ්ඩුවට බැණ වැදී නොසිට ජනතාව වෙනුවෙන් තම ආණ්ඩුවකදි කළ යුත්තේ කුමක්ද යන්න විපක්ෂ නායකවරයා කිව යුතු බවය. එය සැබෑය. විපක්ෂය හුදී විවේචනවලින් තොරව වැඩපිළිවෙළක් අනිවාර්යයෙන් ජනතාවට ඉදිරිපත් කළයුතුය. මෙකී විවේචනයේ චමින්ද විජේසිරි තවමත් සිටියි.
හේෂා සහ චමින්ද ගජ මිතුරන් නිසා මෙලෙස එක්ව සටන් කිරීමට පෙළඹී සිටිති. එහෙත් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් බහුතරයක් පවසන්නේ කිසිදු ගැටලුවක් නැති බවය. මේවා ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් බවය. එය සැමදා පක්ෂ ඇතුළේ ගැටුම් ඇතිවන විට පක්ෂවල ජ්‍යේෂ්ඨයන්ගේ සුපුරුදු කතාය. ඇත්ත නම් සමගි ජන බලවේගයේ ඉහත සඳහන් කළ කණ්ඩායම සිටින්නේ පක්ෂයේ ඇතැම් තීන්දු තීරණ සහ පක්ෂ නායකත්වයේ ඇතැම් කාරණා සම්බන්ධයෙන් කලකිරීමෙනි. එහෙත් සජිත් ප්‍රේමදාස මහතාගේ විශේෂත්වය නම් එකී ගැටලු සහිත සෑම පුද්ගලයකු සමඟම මිත්‍රශීලීව කතා කිරීමය. ඔවුන් සමඟ ගනුදෙනු කිරීමය.
සැබැවින්ම පක්ෂය තුළ කෙතරම් අවුල් සහගත අවස්ථා, ගැටුම් පැවතියද බැලූ බැල්මට සජිත්ගේ න්‍යාය වී ඇත්තේ දේශපාලනයේ සතුරෝත් මිතුරෝත් නැති බව සහතික කිරීමක් බවය.
ගයාන් ගාල්ලගේ