2021 ඔක්තෝබර් 30 වන සෙනසුරාදා

කුඩු තොග වැටලීමෙන් කප් ගැසූ මාස දහය

 2021 ඔක්තෝබර් 30 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 38

වාර්තා තබමින් මෙරටදී අත්අඩංගුවට ගැනුණු කුඩු තොග රාශියකි. වාර්තාගත කුඩු තොගවලින් කොටසක් ලංකා ඉතිහාසයේ ලොකුම කුඩු තොග ලෙස දැක්විණි. තවත් වරෙක දකුණු ආසියාවේ විශාලම කුඩු තොගය වශයෙන් හැදින්විණ. සියල්ල අතර දෛනිකව හෙරොයින් සමග කොටුවන ජාවාරම්කරුවන් රුසකි. මේ ආකාරයෙන් වසරේ ගෙවීගිය මාස දහයක් තුළ රුපියල් කෝටි 1500කට ආසන්න වටිනාකමින් යුතු හෙරොයින් තොග අත්අඩංගුවට ගැනීමට ආරක්ෂක අංශ සමත්ව සිටියි.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය, නාවික හමුදාව, පොලිස් විශේෂ කාර්ය බළකාය, සංවිධානාත්මක අපරාධ කොට්ඨාසය, රාජ්‍ය බුද්ධි සේවය, සුරාබදු දෙපාර්තමේන්තුව සහ රටේ සියලුම පොලිස් ස්ථාන ඒකරාශීව සිදුකළ වැටලීම්වලදී මෙම හෙරොයින් තොග අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත. මෙසේ රට අභ්‍යන්තරයේ සිට මෙරට ජාත්‍යන්තර මුහුදු සීමාව දක්වා වූ ප්‍රදේශවලදී සිදුකළ වැටලීම්වලින් හෙරොයින් කිලෝග්‍රෑම් 1400ක් පමණ අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් ආරංචි මාර්ග වාර්තා කරයි. මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් වාර්තා වන්නේ සිදුකළ වැටලීම්වලදී හෙරොයින් තොග සමග සැකකරුවන් 19137ක් පමණ අත්අඩංගුවට ගෙන ඇති බවය.

ඉකුත් වසර එකහමාරක පමණ කාලයක සිට කොවිඩ් අවදානම පැවති මෙරට අවට මුහුදේදී විශාල වශයෙන් හෙරොයින් වැටලිම් සිදුකෙරිණ. ඒ සියල්ල සඳහා පොලිස් බුද්ධි තොරතුරු මෙන්ම නාවික හමුදාවේ විශේෂ වැටලීම් හේතු වී තිබේ. මුහුදු හරහා සිදුකරන අන්තර්ජාතික හෙරොයින් ජාවාරමේ අවස්ථා ගණනාවක් නාවික හමුදාවේ වැටලීම්වලින් අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ. ඒ අනුව 2021 වසරේ ගතවූ මාස කිහිපයට පමණක් මුහුදේ සිදුකළ වැටලීම්වලින් හෙරොයින් කිලෝග්‍රෑම් 1117.8ක් අත්අඩංගුවට ගැනීමට නාවික හමුදාව සමත්ව ඇත. මේ සමග සිදුකළ වැටලීම්වලදී කේරල ගංජා කිලෝග්‍රෑම් 5905.3ක් හා අයිස් කිලෝග්‍රෑම් 144.9ක් අත්අඩංගුවට ගැනීමට සමත්ව ඇති බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා මහතා පැවසීය.

මෙම කාලසීමාවේදී හෙරොයින් සම්බන්ධ වැටලීම් 69ක් සිදුකර ඇතැයිද එහිදී සැකකරුවන් 126 දෙනකු අත්අඩංගුවට ගෙන ඇතැයිද ඉන් 16 දෙනකු විදේශිකයන් බවද නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය. එම කාලසීමාවේදී සිදුකළ වැටලීම් 121 අතරතුර කේරළ ගංජා ජාවාරම සම්බන්ධයෙන් සැකකරුවන් 15 දෙනකු අත්අඩංගුවට ගෙන ඇතැයිද ඉන් 7 දෙනකු විදේශිකයන් බවද ඒ මහතා අනාවරණය කළේය.
මේ අතර නාවික හමුදාව ඉකුත් 2020 වසරේ සිදුකළ වැටලීම් ගණනාවකදී හෙරොයින් කිලෝග්‍රෑම් 821.4ක්ද කේරළ ගංජා කිලෝග්‍රෑම් 4976.3ක් හා අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 900.5 අත්අඩංගුවට ගැනීමට සමත්ව තිබුණි. එමෙන්ම 2019 වසර පුරා සිදුකළ වැටලීම්වලදී හෙරොයින් කිලෝග්‍රෑම් 762.2ක් සහ කේරළ ගංජා කිලෝග්‍රෑම් 3653.4ක් සමග අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 3ක් අත්අඩංගුවට ගැනීමට සමත්ව ඇත. එසේම නාවික හමුදාව සිදුකළ වැටලීම් අතීත වාර්තා අනුව 2018 වසරේ වැටලීම්වලදී හෙරොයින් කිලෝග්‍රෑම් 232ක් හා කේරළ ගංජා කිලෝග්‍රෑම් 2113.7ක් සමග අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 100ක් පමණ අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වේ. මේ අයුරින් සාර්ථක වැටලීම් රුසක් සිදුකිරීම සඳහා නාවික හමුදාවට පොලිස් බුද්ධි තොරතුරු ප්‍රබල සධකයක් වූ බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා මහතා සඳහන් කළේය.

මෙරට ආරක්ෂක අංශ ඒකාබද්ධ වී සිදුකරන මත්කුඩුවලට එරෙහි වැටලීම් අති සාර්ථකව තිබේ. එබැවින් මේ වනවිට රටට පැමිණෙන කුඩු තොග හා එම මාර්ග රුසක් අවහිරව පවතී. ඒ හේතුවෙන් රට තුළ මත්කුඩුවල ශීඝ්‍ර අඩුවක් හා හිඟයක් පවතින බවත් මත්කුඩුවල මිල ඉතා අධික ලෙස ඉහළ ගොස් ඇති බවත් පැවසේ. කෙසේ නමුත් මේ ආකාරයට අවහිර වී ඇත්තේ කුඩු ජාවාරමේ එක් මාර්ගයක් පමණය. කාලයක් පුරාවට ක්‍රියාත්මක ජාවාරම මෙරට පාතාලය හෙවත් සංවිධානාත්මක අපරාධ කල්ලිවල සහාය මත ක්‍රියාත්මක වෙයි. එහි ප්‍රබල ජාවාරම්කරුවන් වශයෙන් විදෙස්ගතව සිටින ප්‍රබල පාතාල නායකයන් ඇතුළු පිරිස් කටයුතු කරන බවට වාර්තා වේ.

ඒ අනුව ඉරානය, පකිස්තානය, ඇෆ්ගනිස්තානය හා ඉන්දියාව හරහා ලංකාවට හෙරොයින් ඇතුළු බොහෝ මත්ද්‍රව්‍ය ගෙන එන බව කියැවේ. ලෝකයේ ඉන්ධන නිෂ්පාදිත රටවල් හා ඒවා ලොවපුරා බෙදාහැරීමේ මහා පරිමාණ ක්‍රියාවලියක් සිදුවේ. මෙහිදී නිෂ්පාදිත ආයතන, මිලට ගෙන විකිණීම, බෙදාහැරීම, ප්‍රවාහනය සඳහා නැව් සමාගම් ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක් ක්‍රියාත්මකය. ඒ ආකාරයෙන් හෙරොයින් ඇතුළු මත්ද්‍රව්‍ය නිෂ්පාදනය සඳහා නම් දැරෑ රටවල් පවතී. මහා පරිමාණ වශයෙන් සිදුකරන ජාවාරම හරහා ලොවපුරා මත්කුඩු ව්‍යාප්ත කිරීම සඳහා සූක්ෂම හා ක්‍රමවත් ජාලයක් ඔවුන් සතුය. එබැවින් මුහුදු හරහා ලංකාවට ගෙන එන හෙරොයින් ජාවාරම මෙසේ අඩාල කිරීම පමණක් ප්‍රමාණවත් වන්නේ නැත. ඒ සඳහා ලංකා රජය හෝ ආරක්ෂක අංශ පමණක් ක්‍රියාකාරීවීමද ප්‍රමාණවත් නොවේ.

අරාබි මුහුද හරහා ඉරානය හා ඇෆ්ගනිස්තානය ඔස්සේ මෙරට හෙරොයින් ඇතුළු මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කෙරෙන අතර කේරළ ගංජා වැඩි වශයෙන් ඉන්දියාව දෙසින් මෙරටට රුගෙන එයි. අරාබි මුහුද හරහා සිදුකරන හෙරොයින් ජාවාරම තුළ ලංකාවට කුඩු තොග රුගෙන ඒම සම්පූර්ණයෙන්ම අවහිර කිරීම සඳහා නාවික හමුදාවේ මෙහෙයුම් හා වැටලීම් ක්‍රියාවලිය තවත් වර්ධනය විය යුතුය. ඒ සඳහා ජාත්‍යන්තර වශයෙන් සහාය ලබාගෙන මුහුදු ආරක්ෂාව තවදුරටත් ශක්තිමත් කළ යුතුය. ඒ සඳහා පියවර ගැනීමට කලාපීය වශයෙන් වැදගත් වන රටවල් තුනක නාවික හමුදාවන් හා වෙරළ ආරක්ෂක බලකායන් හා රාජතාන්ත්‍රිකව එක්ව කටයුතු කිරීමට පියවර ගනිමින් සිටින බව වාර්තා වේ. මේ අතරතුර ක්‍රියාත්මක හෙරොයින් ජාවාරම හරහා උපයන ආදායම හා එම මුදල් ගිණුම්ගත කරන ක්‍රමවිධි හා බැංකු ආදිය පිළිබඳව තොරතුරු හෙළිවෙමින් පවතින බවද වාර්තා වේ. මේ සඳහා මැදපෙරදිග හා ඇතැම් දකුණු ආසියානු රටවල මූල්‍ය ආයතන ක්‍රියාත්මක බවද කියැවේ.

ලංකාවට හෙරොයින් රුගෙන එන ජාවාරමේදී අත්අඩංගුවට පත්වන්නේ ධීවරයන් ලෙස පෙනී සිටින අතරමැදියන් පිරිසක් හා පාතාලයට හිතවත්කම් කියන කිහිප දෙනකු පමණි. ඇතැම් විටෙක ජාවාරමේ ප්‍රබලයන් බව කියන පිරිස් කොටු වෙතත් ජාවාරමේ මහමොළකරුවන් හෙළිවන්නේ නැත. ඒ තරමට ජාත්‍යන්තරය තුළ මත්කුඩු ජාවාරම සූක්ෂම ලෙස ක්‍රියාත්මකව ඇත්තේ කිසිදිනෙක ජාවාරමේ මහමොළකරු හෙළි නොවන ලෙසය.

 සමන්ත ප්‍රදීප් විල්තෙර

 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:05