චීන පොහොර අර්බුදය තවමත් නිමා වී නොමැත. එය විශාල වපසරියක පැතිර යමින් පවතී. අදාළ සමාගම සහ ශ්‍රී ලංකා රජය අතර හටගත් ආරවුල එක් පසෙකින් තිබේ. අනිත් පසින් චීන රජයද මෙම ගැටලුව විසඳීමට මැදිහත්කරැවකු වීමට උත්සාහ දරයි. ඒ නිසාම ගැටලුව රාජ්‍ය තාන්ත්‍රික ස්වභාවයක්ද උසුලන බව පෙනීයයි. තවත් පසෙකින් මෙම පොහොර ගනුදෙනුවේදී වංචාවක් සිදුව ඇති බවටද පසුගියදා චෝදනා නැගෙන්නට පටන් ගෙන තිබේ. එම චෝදනාවට ඥාති සබඳතා සහ හිතවත්කම්ද ඈඳී තිබේ. මෙවන් වටපිටාවක් හමුවේ සමස්තයක් ලෙස ඉතා වියවුල් සහගත චීන පොහොර අර්බුදය පිළිබඳ සාකච්ඡා කිරීම අපගේ අරමුණය.
ශ්‍රී ලංකා රජය පසුගිය මැයි මාසයේදී රසායනික පොහොර ආනයනය නවතා දැමුවේය. රටට අවශ්‍ය කාබනික පොහොර මෙරට තුළම නිපදවා ගොවීන්ට හිඟයකින් තොරව ලබාදීම බලාපොරොත්තුව විය. කෙසේ නමුත් සැලසුම් කළ පරිදි මෙරට කාබනික පොහොර නිෂ්පාදනය ප්‍රමාණවත්ව සිදු නොවිණි. අවසානයේදී සැප්තැම්බර් මාසයේදී ඇරඹෙන මහ කන්නයේ වී වගාව සඳහා කාබනික පොහොර ආනයනය කිරීමට රජය තීරණය කළේය. පොහොර ආනයනය සඳහා ජාත්‍යන්තර ලංසු කැඳවීමක් සිදුවිය. සමාගම් විසි ගණනක් ලංසු ඉදිරිපත් කර තිබූ අතර අවසානයේදී සුදුසුකම් ලැබූ සිව්දෙනකුගෙන් මෙරට රජයේ ගෙවීම් ක්‍රමයට සහාය පළකළේ කින්ඩාඕ සීවින් බයෝ ටෙක් ගෘෘප් නම් චීන සමාගමයි.
ඒ අනුව පසුගිය අගෝස්තු මස 5දා නිකුත් වූ අමාත්‍ය මණ්ඩල සංදේශයකින් මෙම පොහොර මිලදී ගැනීම සඳහා අනුමැතිය ලැබුණි. මුහුදු පැළෑටිවලින් නිපදවන කාබනික පොහොර මෙට්‍රික් ටොන් 99,000ක් කින්ඩාඕ සීවින් බයෝ ටෙක් ගෘෘප් වෙතින් ගෙන්වීමට තීරණය විය. ඒ සඳහා ශ්‍රී ලංකා රජය විසින් අනුමත කරන ලද මුදල ඇමරිකානු ඩොලර් මිලියන 63.6කි. මෙම සමාගමේ පොහොර සාම්පල පරීක්ෂා කිරීම ආරම්භයේදීම ගැටලු සහගත විය. එම සාම්පලවල අහිතකර ක්ෂුද්‍ර ජීවීන් සිටින බව මෙරට විද්වත්හු මත පළ කළහ. ආරම්භයේදී කෘෂිකර්ම ඇමතිවරයා පවා එම චෝදනා ප්‍රතික්ෂේප කළේය. කෙසේ නමුත් අවසානයේදී කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් ආචාර්ය අජන්ත ද සිල්වා ප්‍රකාශ කළේ චීන සමාගමෙන් ගෙන්වූ පොහොරවල නව සාම්පලයක් පරීක්ෂා කිරීමෙන් අනතුරැව එහිද අහිතකර ක්ෂුද්‍ර ජීවීන් සිටින බවට තහවුරැ වූ බවයි. ඒ සමඟම මෙම පොහොර අර්බුදය නිර්මාණය විය.
මේ අතර ශ්‍රී ලංකාවේ පරීක්ෂණ නොපිළිගන්නා බව අදාළ සමාගම නිවේදනයක් නිකුත් කළේය. චීන තානාපති කාර්යාලයද අදාළ සමාගම වෙනුවෙන් පෙනී සිටින්නට පටන් ගත්තේ මෙම අවස්ථාවේදීය. එහෙත් චීනයේ කින්ඩාඕ සීවින් බයෝ ටෙක් ගෘෘප් සමාගම (Qingdao Seawin Biotech Group Co., Ltd) නිෂ්පාදනය කරන කාබනික පොහොරවල අහිතකර බැක්ටීරියා අඩංගු බව අවස්ථා දෙකකදී මෙරට ශාක නිරෝධායන සේවය විසින් තහවුරු කරන ලදී. මේ අනුව තත්ත්වය බරපතළ විය. අදාළ පොහොර මිලදී ගැනීම ප්‍රතික්ෂේප කළද පොහොර නැව ලංකාව බලා යාත්‍රා කරන්නට විය. නැව නැවත හරවා යැවුවද තවමත් අදාළ පොහොර තොගය ලංකාවට ගොඩබෑමේ අරමුණෙන් එම නැව ශ්‍රී ලංකාවට ආසන්න මුහුදු සීමාවේ රැඳී සිටියි.
පසුගිය සතියක පමණ කාලය චීන පොහොර අර්බුදයට අදාළ වූ සුවිශේෂී සිදුවීම් කිහිපයක් සිදුවිය. දේශිය වශයෙන් නැඟුණු පොහොර වංචාව සම්බන්ධ චෝදනාව සුවිශේෂීය. ඒ අනුව මේ වනවිටත් මෙරට දේශපාලන කරළියේ ප්‍රධාන විපක්ෂ සටන් පාඨයක් බවට චීන පොහොර පත් වී තිබේ. මෙම චෝදනාව නැගෙන්නේ චීනයේ කින්ඩාඕ සීවින් බයෝ ටෙක් සමාගමේ ශ්‍රී ලංකාවේ දේශීය ඒජන්තතවරයා ලෙස චෙලීනා කැපිටල් කෝපරේෂන් නම් පෞද්ගලික සමාගමක් කටයුතු කරන බව මාධ්‍ය හෙළිදරව් කිරීමත් සමගයි. චීන සමාගම ඔක්තෝබර් 22 වැනිදා කෘෂිකර්ම අධ්‍යක්ෂ ජෙනරාල්වරයාට යැවූ ලිපියකින් අනුව දේශීය ඒජන්ත ආයතනයේ ප්‍රධානීන්ගේ නම් මාධ්‍ය විසින් හෙළිදරව් කර ඇත. ඒ අනුව චෙලීනා කැපිටල් කෝපරේෂන් සමාගමේ සභාපතිවරයා ලෙස කටයුතු කරන්නේ ලෝලිත අබේසිංහ නැමැත්තෙකි. මෙම ගනුදෙනුවේදී යම් වංචාවක් සිදුව ඇතැයි මේ වනවිට චෝදනා නැගෙමින් පවතී.
මේ අතර චීන පොහොර අර්බුදය අධිකරණය හමුවටද පැමිණ හමාරය. චීන සමාගම සහ එහි දේශීය නියෝජිතයා ණයවර ලිපිය යටතේ කිසිදු ගෙවීමක් ලබාගැනීමද අවහිර වන පරිදි වාණිජ මහාධිකරණය අංක 02හි විනිසුරැ ප්‍රදීප් හෙට්ටිආරච්චි කොළඹ කොමර්ෂල් පොහොර සමාගමේ ඉල්ලීමක් මත මෙම වාරණ නියෝගය නිකුත්කර තිබේ. කෙසේ වෙතත් දැනට හෙළිදරව් වී ඇති තොරතුරැ අනුව පොහොර තොගය ආනයනය කිරීමට අවසර ලැබී ඇත්තේ කොටස් වශයෙනි. මේ වනවිට අර්බුදයට ලක් වී ඇති නැව් ගතකළ පළමු පොහොර තොගයේ මුළු වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 9.1කි. එම තොගය චීනයෙන් නැව්ගත කළ විට එහි වටිනාකමෙන් 75%ක් ගෙවීමට ණයවර ලිපියේ කොදේසිවල සඳහන් බැවින් මේ වනවිටත් ශ්‍රී ලංකා රජය එම කොටස සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 6.83ක් ගෙවා හමාරය. ඉතිරි 25% පොහොර තොගය ගොඩබෑ විට ගෙවීමට නියමිත තිබුණි. එසේ නමුත් මෙම ගනුදෙනුව සඳහා ලංසු ඇපකරයක් ඇති බැවින් යම් ආරක්ෂාවක් ශ්‍රී ලංකා රජය සතුවේ.
පසුගිය සතියේදී චීන පොහොර සමාගම මෙන්ම චීන තානාපති කාර්යාලයද ශ්‍රී ලංකා රජයට තරමක් තදින් බලපෑම් කරන බව පෙනී ගියේය. කින්ඩාඕ සීවින් බයෝ ටෙක් ගෘෘප් සමාගම අවධාරණාත්මක ස්වරූපයේ නිවේදනයක් නිකුත් කළේය. තම පොහොරවල අර්වීනියා ඇත්දැයි නැවත පරීක්ෂා කිරීමට ලෝකයේ පිළිගත් පරීක්ෂණ සමාගමක් වන ස්විස් එස්.ජී.එස්. සමූහයට සාම්පල යොමුකරන්නැයි ඉල්ලීමක් කරන බව ඔවුන් කීවේය
එම පරීක්ෂණ ප්‍රතිඵලය දෙපාර්ශ්වයම කොන්දේසි විරහිතව පිළිගත යුතු බවත් අර්වීනියා ඇතැයි තහවුරැ වුවහොත්, සැපයුම්කරැ පොහොර තොගය කොන්දේසි විරහිතව ආපසු රුගෙන යන බවත් නිවේදනය සඳහන් වූයේය. එසේම මෙම නිවේදනය හරහා ඔවුන් වැඩිදුරටත් කියා සිටියේ අර්වීනියා නැතැයි තහවුරැ වුවහොත්, කොන්දේසි විරහිතව මුදල් ගෙවා පොහොර තොගය ලබාගැනීමට පියවර ගත යුතු බවයි.
චීන සමාගමේ නිවේදනයත් පොහොර නැව මෙරට මෙරට ඇතුළුවීමට දරන උත්සාහයත් පිළිබඳ වූ ආන්දෝලනාත්මක තත්ත්වය සම්බන්ධව පසුගිය සතියේ රජයේ පාර්ශ්වය මාධ්‍ය සාකච්ඡාවක් කැඳවා තිබුණි. එහිදී කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා අවධාරණය කර සිටින්නේ, නැව රට තුළට ඇතුළු කර නොගන්නා බවත් එහි සාම්පල පරීක්ෂා නොකරන බවත්ය.
මට කියන්න තියෙන්නේ අපි මේ ඇවිල්ලා තියෙන නැව ඇතුළට ගන්නෙත් නෑ. මේ ෂිප්මන්ට් එකෙන් සාම්පල් ටෙස්ට් කරන්නෙත් නෑ. මේ ෂිප්මන්ට් එකට පේමන්ට් කරන්නෙත් නෑ. මේ අපේ ගිවිසුමට ටෙන්ඩර් එකට අනුව නැවත ආපහු ගිහිල්ලා හරි පොහොර ටික හදලා අපේ ස්පෙෂිපිකෙෂන් එකට ආවොත් අපි පොහොර ටික ගන්නවා. මුදල් ගෙවනවා කතාව එතනින් අවසානයි.
මෙම ප්‍රකාශයත් සමග චීන පොහොර අර්බුදය තවදුරටත් සංකීර්ණ වෙමින් පවතී. පසුගිය සතියේදී අග්‍රාමාත්‍යවරයා මුණගැසුණු චීන තානාපතිවරයා මේ සම්බන්ධව සාකච්ඡා කර ඇතැයිද කියවේ. මෙම ගැටලුව රාජතාන්ත්‍රික ආරවුලකට තුඩුදෙන කරැණක් නොවන බව ලක් රජය මේ වනවිටත් නිවේදනය කොට තිබේ. කෙසේ වෙතත් මේ සම්බන්ධව රාජ්‍ය ත්‍රාන්තික බලපෑමක් ඇති බව නම් මේ වනවිටත් පැහැදිලිය. තෙවැනි පාර්ශ්වයකගේ මැදිහත්වීම සම්බන්ධවන අලුත්ම ආන්දෝලනය චීන පොහොර කතාවේ ඊළඟ දිගුව වනු ඇතැයි අපි අනුමාන කරමු.
චමිඳු නිසල් ද සිල්වා
මූලාශ්‍රය : BBC සිංහල