2021 ඔක්තෝබර් 30 වන සෙනසුරාදා

බූස්ටරේ කලවම් වුණොත් අවුල්ද?

 2021 ඔක්තෝබර් 30 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 25

මේ වනවිට කොවිඩ් නැවතත් තැනින් - තැනින් හිස ඔසොවමින් නව රැල්ලක් ඇතිකරන ලකුණු පහළ වී තිබේ. මේ නිසාම තුන්වැනි එන්නත් මාත්‍රාවක් හෙවත් බූස්ටර් එන්නතක් ලබාදීම පිළිබඳව දැඩි අවධානය යොමුව ඇත. එහිදී කතාබහට ලක්වෙමින් අති අලුත්ම මාතෘකාව වී ඇත්තේ ඕනෑම එන්නතක් බූස්ටර් මාත්‍රාව ලෙස ලබාගත හැකිද යන්න ගැනය.
කොවිඩ් 19ට එරෙහිව පළමු සහ දෙවැනි මාත්‍රාවන් ලබාදීමේදී මතුවූ මේ ගැටලුව සඳහා විද්වතුන් අතරද මුලින්ම විවිධ මතවාද මතුව තිබූණත් පසුව ඕනෑම මාත්‍රාවක් ලබාදීම ගැටලුවක් නොවන බව තහවුරැ කැරිණි. දැන් බූස්ටර් එන්නත පිළිබඳවද එබඳු සාකච්ඡාවක් මතුව ඇත්තේ අපට ලැබෙන එන්නත් ප්‍රමාණය අවශ්‍ය මාදිලිවලින්ම අවශ්‍ය තරමටම නොලැබෙන නිසාය.

ලංකාවේ ප්‍රතිශක්තිවේදීන් මේ වනවිට පෙන්වා දී ඇත්තේ ඕනැම එන්නතක් මේ සඳහා භාවිතය ගැටලුවක් නොවන බවය. මේ වනවිට නැවතත් කොවිඩ් රැල්ලක් ගැන අනතුරු ඇඟවීම් ලැබී ඇති හෙයින් වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයින්, මෙන්ම ප්‍රතිශක්තීකරණ ඌණතා සහිත අවුරුදු 60ට වැඩි රෝගීන් සහ සියලුම සෞඛ්‍ය සේවා වෘත්තිකයින්ට ෆයිසර් එන්නතෙහි තුන්වැනි මාත්‍රාව ප්‍රමාද නොවී ලබාදිය යුතු බවට ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය ඉල්ලීමක්ද කර තිබේ.

විවිධ එන්නත් ලබාගත් අයද මේ කියන අවදානම් කාණ්ඩවල සිටින අතරම මේ සියලු දෙනාටම පොදුවේ ෆයිසර් ලබාදෙන ලෙස කරන ලද මේ ඉල්ලීම මගින් එන්නත් කලවම් වීම පිළිබඳ අනියත බියක් ඇතිකර නොගත යුතු බව ඔවුන් ගම්‍ය කර හමාරය. මේ වනවිටත් අමෙරිකාව ප්‍රමුඛ ලොව රටවල් ගණනාවක් තුන්වැනි මාත්‍රාව ලබාදීම අරඹා ඇති අතර එන්නත මිශ්‍රවිම පිළිබඳ ඔවුන් දක්වා ඇත්තේ යහපත් ධනාත්මක ප්‍රතිචාරයකි.

කොවිඩ් 19ට එරෙහිව සටන් කර එම වෛරසය මරාදැමීම සඳහා ශරීරය පුහුණු කිරීමටත් සිරුරට පූර්ණ කොවිඩ් ආරක්ෂාවක් ලබාදීමටත් 3 වැනි එන්නත් මාත්‍රාවක් ලබාදීම ඉතා වැදගත් බව විවිධ පර්යේෂණ මගින් සනාථ කර ඇති අතරම 03 වැනි මාත්‍රාව ලෙස පොදුවේ Pfizer ලබාදුන් පිරිසගේ සිරුරු තුළ වැඩි ප්‍රතිදේහ ප්‍රමාණයක් ප්‍රේරණය කර ඇති බව එක්සත් රාජධානියේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී, මහාචාර්ය ජොනතන් වැන්-ටැම් කියා තිබේ. අපගේ බඳු එන්නත් සුලබව ලබා ගැනීමට අපහසු වී තිබෙන රටවල්වලට මෙය සුභ ආරංචියකි.

වඩාත් විශ්වාසදායක ආරංචිය පැමිණ ඇත්තේ අමෙරිකාවෙනි. සියලු වැඩිහිටියනටම කොවිඩ් බූස්ටර් මාත්‍රාවක් ලබාදීම සහ ඒ සඳහා එන්නත් වර්ග මිශ්‍ර කිරීමට ඒ රට  සෞඛ්‍ය හා මානව සේවා ෆෙඩරල් නියෝජිතායතනයන වන රෝග පාලනය සහ වැළැක්වීම සඳහා වූ කේන්ද්‍රය (Centers for Disease Control - CDC) අනුමැතිය ලබාදීමත් සමගමය. මෙලෙස  එන්නත් කලවමේ ලබාදීම සඳහාද CDC ප්‍රථම වතාවට අනුමැතිය ලබා දීමත් සමඟ දැන් මිලියන ගණන් ඇමරිකානුවෝ ඊට සුදුසුකම් ලබා සිටිති.

CDC උපදෙස් සපයන විශේෂඥ කමි‍ටුවක් ඉකුත් සතියේ මෙලෙස අනුමැතිය ලබාදීමටට කලින් Moderna හෝ Johnson “Johnson එන්නත්වලට පසුව බූස්ටර එන්නත් මාත්‍රාවක්ද ගත යුත්තේ කවුරුන්දැයි යන්න ගැන සමාලෝචනයක යෙදුනහ. ඔවුන්ගේ තීන්දුව ඒකමතික විය. සිය Johnson “Johnson එන්නත් ලබාගෙන අඩුම තරමින් මාස දෙකක් ගතව ඇති වයස අවුරුදු 18 ට වැඩි සියළු දෙනාම බූස්ටර මාත්‍රාවක් ලබා ගතයුතු යයි ප්‍රතිශක්තීකරණ භාවිතයන් පිළිබඳ උපදේශක කමි‍ටුව කියා සිටියි. වඩාත් වැදගත්ම කාරණාව නම්  බූස්ටර් මාත්‍රාව දැනට තිබෙන COVID-19 ඕනෑම එන්නතකින් විය හැකියැයි කමිටුව අනුමතය දෙමින් කියා තිබීමය.

මේ අනුව ෆයිසර් බූස්ටර් මාත්‍රාවකට සුදුසුකම් ලබන කණ්ඩායම් විස්තර සහිතව දක්වා තිබේ. එහිදී වයස අවුරුදු 65ට වැඩි ඕනෑම අයෙක්, පවතින සෞඛ්‍ය තත්ත්වයක් නිසාවෙන් දරුණු COVID-19 අවදානමට ලක් වීමට හැකියාව ඇති වයස අවුරුදු 18ට වැඩි අය. මෙන්ම අවදානමක් සහිත පරිසරයක ජීවත්වන හෝ වැඩ කරන නිසාවෙන් COVID-19 ආසාදනය වීමේ වැඩි අවදානමක්  තිබෙන වයස අවුරුදු 18ට වැඩි අය මේ සඳහා සුදුකම් ලබති‍.

මෙහිදී ඔවුන් දක්වා ඇති සාක්ෂිවලින් පෙනී යන වැදගත්ම කාරණාවක් වන්නේ මේ වනවිට ලොව භාවිතය සඳහා අවසරදී ඇති සියලුම එන්නත් රෝහල් ගතවීම සහ මරණය ඇතුළු  දරුණුතම  COVID-19 ප්‍රතිවිපාකවලට එරෙහිව ජනතාව හොඳින් ආරක්ෂා කරන බවයි. ඕනෑම ආකාරයක බූස්ටර් මාත්‍රා වලින් ප්‍රතිදේහ ඉහළ මට්ටමක් ඇත්ත වශයෙන්ම ප්‍රතිෂ්ඨාපනය කරන බව එකී අධ්‍යයන් මගින් තහවුරු වී තිබීම අපටද සහනදායී ආරංචියකි.

කෙසේ වුවද බූස්ටරයක් ලබා ගැනීමට පෙර සිය ශාරීරික යෝග්‍යතාව අනුව එහි වාසි අවාසි මෙන්ම අවදානම පිළිබඳව තමන්ගේ වෛද්‍යවරයා සමඟ සාකච්ඡා කිරීම යෝග්‍යයයි වෛද්‍ය විශේෂඥවරු පෙන්වා දෙති.

 සුගත් පී. කුලතුංගආරච්චි