2021 ඔක්තෝබර් 30 වන සෙනසුරාදා

නොමිලේ සැපක් ගන්න ගිය රාළහාමිලා පොලිස් කූඩුවේ

 2021 ඔක්තෝබර් 30 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 65

දහස් ගණනක පිරිස් බලයක් ඇති පොලීසියේ නිලධාරියකු යම් ක්‍රමයකින් සම්මානයට ගරුබුහුමනට පත්වූයේ නම් එය පොලිස් දෙපාර්තමේන්තුවට කීර්තියකි. අභිමානයකි. යම් හෙයකින් එක නිලධාරියකු හෝ අවැඩක අකටයුත්තක නියැලී අප්‍රසාදයට පත්වූයේ නම් එය පොලිස් දෙපාර්තමේන්තුවට අපකීර්තියකි. එවැන්නක් පිළිබඳව අදහස් දැක්වීමේදී අසූ දහසකට අධික පිරිස් බලයක් ඇති තැනක කෙනකු හෝ කිහිප දෙනකු නීතියට පටහැනි ක්‍රියා කරන්නන් සිටිය හැකි බව හිටපු පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා වරෙක පැවසීය.

පොලිස් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අසූදහසකට අධික පිරිසක් අතුරින් ඉහළ පහළ තනතුරු නොතකා වරින්වර ඔවුන්ගේ වෘත්තියට අකැප හා කූට අකටයුතුකම් පිළිබඳවද අසන්නට ලැබේ. රාජකාරියෙන් පිටතදී නිල ඇඳුම උනා දැමූ පසුවද පොලිස් ඌෂ්ණය ගැසූ කහතුඩුව පොලිසියේ නිලධාරීන් දෙදෙනකු පිළිබඳව අමුතු කතාවක් වාර්තා වීම එවැනි සිද්ධියකි.

දිනය පසුගිය ඔක්තෝබර් 24 වැනිදාය. කහතුඩුව පොලිසියේ සේවයේ නියුතු නිලධාරීන් දෙදෙනකු ඔවුන්ගේ හිතවතුන් දෙපළක් සමඟ රාජගිරිය ප්‍රදේශයේ යම් කටයුත්තක් සඳහා පැමිණ තිබුණි. අදාළ කර්තව්‍ය අවසන් වනවිට රෑ බෝවී ඇත. පිරිස කහතුඩුව දෙසට නැවත ගමන් කරන්නට වූයේ බත්තරමුල්ල තලවතුගොඩ හරහාය. හිතවතුන් දෙදෙනා හමුවේ සිය පොලිස් නිල ඇඳුම හා පොලිස් බලය පිළිබඳව පුරාජේරු ගැසූ අයෙකි. තමන්හට කරන්නට නොහැකි දෙයක් නැති බව ඔහු වරින්වර කීවේ උජාරුවටය. පිරිස මෝටර් රථයේ ගමන්ගන්නා අතරමඟ කලල්ගොඩ හන්දිය ආසන්නයේ “ස්පා” ආයතනයක් දැක තිබුණි. එහි රූමත් තරුණියකගේ ඡායාරෑපයක් හා තවත් විස්තර සටහන්ව තිබිණ.

“නවත්වමු... නවත්වමු... මරු ස්පා එකක් තියෙනවා... අපි පොඩි සැපක් අරගෙන යමු. මම වැඩේ කරගන්න හැටි දන්නවා...”

පුරාජේරු කී පොලිස් සේවයේ නිරත අය කීවේය. මෝටර් රථය නවත්වන්නටත් පෙර රථයේ දොර විවෘත කොටගෙන එළියට බැස්ස පුද්ගලයා අනෙක් පොලිසියේ මිත්‍රයා සමග ප්‍රථමයෙන් ස්පා ආයතනය වෙත ඇතුළු වී තිබුණි. ඒ අතරතුර හිතවතුන් දෙදෙනාද ඔවුන්ගේ පසුපස ගොස් ඇත.

“අපි පොලිසියේ... ඕන වෙලාවක ඕන දෙයක් කරන්න පුළුවන්... අපිට හොඳ ළමයි හතර දෙනෙක් දෙන්න...” ස්පා ආයතනයේ කළමනාකරු හමුවේ ඔවුන් පවසා තිබුණේ එසේය. නමුත් කළමනාකරු ඊට එකඟ වී නැත. මුදල් ලබාගෙන මිස නොමිලේ සේවාව ලබාදීමට ඔහු කැමැති වී නැත. මේ හේතුවෙන් දෙපිරිස අතර වූයේ බහින්බස් වීමකි. ඊටත් එහා ගිය සිදුවීම අතරතුර පොලිස් නිලධාරීන් කී දෙදෙනාත් ඔවුන්ගේ හිතවතුන් දෙදෙනාත් කළමනාකරුට පහරදී තිබුණේ අමානුෂික ලෙසය.

ඒ සමඟ සිවුදෙනා එතැනින් පිටත්ව මෝටර් රථයට නැගී ගොස් ඇත. කලබලය එතැනින් නිමවෙද්දී එතෙක් සේවයේ යෙදී සිටි තරුණියක සේවය නිමවා පිටත් වූවාය. ඒ වෙනත් ස්පා ආයතනයක තවත් පැය කිහිපයක් සේවය සඳහා යොමුවීමටය. එසේ ඇය අදාළ ස්පා ආයතනයට ගොස් මිනිත්තු කිහිපයකි.

කලල්ගොඩ ස්පා ආයතනයට පැමිණ පහරදුන් පිරිස එම ස්පා ආයතනය ඉදිරිපිටට පැමිණ රථය නවත්වා තිබිණ. එසැණින් පිරිස බිමට බහින බව ස්පා ආයතනය ඇතුළත සී.සී.ටී.වී. කැමරාව තුළින් එහි පැමිණ සිටි තරුණිය දැක තිබූ අතර ඇය සෙසු පිරිසට සිදුවීම විස්තර කළාය.

ඒ සමඟ ස්පා ආයතනයට පැමිණි පිරිස එම ආයතනය වෙතින්ද නොමිලේ කාන්තා පහස ඉල්ලා තිබුණේ තමුන් පොලිසියේ නිලධාරීන් බව කියා පාමිණි. ඊට අකමැත්ත ප්‍රකාශ කළ කළමනාකාරීත්වය හමුවේ පිටව ගිය පිරිස වෙනත් ස්පා ආයතනයක් සොයා යන්නට වූහ. මේ අතර එහි සිටි කාන්තාව කලල්ගොඩ ස්පා ආයතනයට දුරකථනයෙන් අමතා පිරිස පිළිබඳව දැනුම්වත් කර ඇත. ඔවුන් වෙනත් ස්පා ආයතනයක් සොයා යන බව කී කතාවත් සමග ස්පා ආයතනයේ හිමිකරුවෝ ඔවුන් පසුපස හඹා යන්නට වූහ. ඒ අනුව පිරිස කොට්ටාව නගරය ආසන්නයෙන් යනවිට ස්පා ආයතනයේ පිරිස රුගත් රථය ඔවුන් ආසන්නයට පැමිණ ඇත.

එහිදී පොලිස් නිලධාරීන් යැයි කියාගත් ස්පා ආයතනයේදී පහරදුන් පිරිස තමන් පසුපස තවත් පිරිසක් පන්නනු දැක ඔවුන් මෝටර් රථය කොට්ටාව පොලිසිය වෙත ධාවනය කර ඇත. පොලිස් නිලධාරීන් වුවද සිවිල් ඇඳුමෙන් සැරසී සිටි දෙදෙනා කොට්ටාව පොලිසිය හමුවේ කරුණු කියා ඇත. නොමිලේ සම්බාහනය නොදුන් නිසා ආරවුලක් ඇතිවූ බවත් පහරදීමක් සිදුවූ බවද දන්වා ඇත. නැවත ස්පා ආයතනයකට ගිය විට එහි පැමිණි පිරිස හමුවේ නැවත ගැටුමක් ඇතිවූ බවත් එතැනින් මෙසේ පලා ආ බවත් ඔවුන් කියා තිබිණි.

මේ සිදුවීම අතරතුර කොට්ටාව පොලීසිය ක්‍රියාත්මක වී තලංගම පොලිසිය දැනුම්වත් කර සැකකරුවන් පිරිස පැමිණිල්ල විමර්ශනය සඳහා බාරකර ඇත. එසේ සිදුකර ඇත්තේ කලල්ගොඩ හා තලවතුගොඩ තලංගම පොලිස් බල ප්‍රදේශයට අයත් නිසාය. ඒ අනුව එහි නිලධාරීන් පිරිසක් පැමිණ සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබුණි. තලංගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නලින්ද දිල්රුක් මහතාගේ උපදෙස් මත උප පොලිස් පරීක්ෂක ලක්ෂිත මහතා ඇතුළු පිරිසක් විමර්ශන සිදුකරති.
සැකකරුවන් අතර පොලිසියේ දෙදෙනාගෙන් අයකු කොස්තාපල්වරයෙකි. අනෙක් පුද්ගලයා පොලිස් රියැදුරෙක් වෙයි. සෙසු දෙදෙනා ව්‍යාපාරිකයෝ වෙති. අත්අඩංගුවට ගත් සැකකරුවන් සිවුදෙනා කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ පසුව එක් අයකුට ලක්ෂ දහය බැගින් වූ ශරීර ඇප මත මුදාහැර ඇත.

 සමන්ත විල්තෙර

 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:05