2024 වසර වන විට චන්ද්‍රයා වෙත යළි මිනිසුන් යැවීමට එක්සත් ජනපද අභ්‍යවකාශ ආයතනය හෙවත් නාසා ආයතනය සූදානම් වේ. නාසා ආයතනය ප්‍රකාශ කර ඇත්තේ 2024 වන විට පළමුවරට කාන්තාවක සහ සුදු ජාතිකයකු නොවන වෙනත් ජාතිකයකු චන්ද්‍රයාගේ දක්ෂිණ ධ්‍රුවයට ගොඩබැස්සවීමට සූදානම් වන බවයි. මෙම මෙහෙයුම නම් කර ඇත්තේ “ආටෙමිස්" නමිනි. ආටෙමිස් යනු චන්ද්‍රයාට අධිපති ග්‍රීක දෙවඟන හා ඇපොලෝගේ නිවුන් සොහොයුරියයි.
නාසා ආයතනය 2024 වර්ෂය වන විට නැවත සඳ මතට යෑම සඳහා ඩොලර් බිලියන 28ක සැලැස්මක් නිල වශයෙන් ඉදිරිපත් කළ අතර එයට බයිඩන් රජයේ අනුමැතිය ලැබිණි. එක්සත් ජනපද නියෝජිත මන්ත්‍රී මණ්ඩලය ඒ සඳහා ඩොලර් මිලියන 600 ක් වෙන්කරන පනතක් දැනටමත් සම්මත කර තිබේ. මිනිසුන් ගොඩබෑමේ යානය නිර්මාණය සඳහා ඩොලර් බිලියන 3.2ක් පමණ වැය වන බව පැවසේ.
අවසන් වරට මිනිසකු සඳ මත පා තැබුවේ 1972 දෙසැම්බරයේය. ඒ ඇපලෝ 17 මෙහෙයුමයි. ඉන්පසු ඇපලෝ මෙහෙයුම් නවතා දැමුණු අතර යළි මිනිසුන් චන්ද්‍රයා වෙත යැවීමට අමෙරිකාවට අවශ්‍ය වී තිබේ. ආටෙමිස් වැඩසටහන ක්‍රියාත්මක වන්නේ ඒ අනුවය. අමෙරිකාව 1969 සහ 1972 අතර කාලය තුළ සය වතාවත් සඳ මතට මිනිසුන් සහිත මෙහෙයුම් සිදු කර තිබේ. අමෙරිකාව හැරුණු විට මෙතෙක් සඳ මත මෘදු ගොඩබෑම් සිදු කර ඇත්තේ සෝවියට් සංගමය සහ චීනය පමණි. එහෙත් එම ගොඩබෑම් මිනිසුන් රහිත රොබෝ යානා විය.
ආටෙමිස් වැඩසටහන ආරම්භ වූයේ 2017 වසරේය. එය 2009 වසරේ සිට ක්‍රියාත්මක අභ්‍යවකාශ වැඩසටහන් ප්‍රතිසංවිධානය කිරීමේ ක්‍රියාවලියේ දිගුවකි. එය ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නායකත්වයෙන් යුත් පරිපාලනය යටතේ නිර්මාණය කරන ලද අතර නව ජනාධිපති ජෝ බයිඩන්ද එයට සහය දක්වයි. 2017 වසරේ නාසා ආයතනයට චන්ද්‍ර මෙහෙයුම් කෙරෙහි අවධානය යොමු කරන ලෙසට ට්‍රම්ප් දන්වා තිබිණි. ඉන්පසුව, 2019 මාර්තු මාසයේදී, උප ජනාධිපති මයික් පෙන්ස් රුසියාව සහ චීනය සමඟ අභ්‍යවකාශ තරගයක් පවතින බව දක්වමින් 2024 වන විට චන්ද්‍රයා වෙත යළි මිනිසුන් යැවීමට පියවර ගන්නා ලෙස කියා සිටියේය. ආටෙමිස් ව්‍යාපෘතියේ ප්‍රධානතම ඉලක්කය වන්නේ පළමු වරට කාන්තාවක සඳ මතට ගෙන යාමය. ජාත්‍යන්තර ගවේෂණ කණ්ඩායමක් නිර්මාණය කිරීම හා සඳ මත තිරසාර මානව පැවැත්මක් සඳහා පර් යේෂණ පැවැත්වීම එහි තවත් අරමුණකි. චන්ද්‍රයාගේ මතුපිට මාස 1 සිට 2 දක්වා රුඳී සිටීම සඳහා චන්ද්‍ර කඳවුරක් පිහිටුවීම සහ ගගනගාමීන්ට චන්ද්‍ර පර් යේෂණ කිරීමට උපකාර කිරීම සඳහා රෝවර් යානා සංවර්ධනය කිරීම ඊට ඇතුළත් වේ. දිගුකාලීන අරමුණු වන්නේ චන්ද්‍ර ආර්ථිකයක් ගොඩනැගීම සඳහා පෞද්ගලික සමාගම් සමඟ කටයුතු කිරීම සහ අවසානයේදී, අඟහරු ග්‍රහයා වෙත මිනිසුන් සහිත මෙහෙයුම් ක්‍රියාත්මක කිරීමය.
2021 අප්‍රේල් මාසයේදී, නාසා ආයතනය විසින් ආටෙමිස් ව්‍යාපෘතියේ මානව ගොඩබෑමේ පද්ධතිය සඳහා මූලාශ්‍ර සැපයුම්කරු ලෙස ස්පේස් එක්ස් (SpaceX) ආයතනය තෝරාගන්නා ලදී. එය ඩොලර් බිලියන 2.9ක කොන්ත්‍රාත්තුවක් වූ අතර මිනිසුන් සඳ මත ගොඩබැස්වීම සඳහා SpaceX හි ස්ටාර්ෂිප් (Starship) පද්ධතිය භාවිත කිරීමට තීරණය විය. ස්ටාර්ෂිප් යනු ගැඹුරු අභ්‍යවකාශ මෙහෙයුම් සඳහා ස්පේස් එක්ස් ආයතනය විසින් සංවර්ධනය කරමින් පවතින මූලාකෘති පද්ධතියකි.
ආටෙමිස් යනු අභ්‍යවකාශ මෙහෙයුම් පද්ධති මාලාවකි. ඒ අනුව ආටෙමිස් I සිට ආටෙමිස් IV දක්වා මේ වන විට සැලසුම් කර ඇති අතර පසුව තවත් ආටෙමිස් මෙහෙයුම් කිහිපයක්ම ක්‍රියාත්මක කිරීම නාසා ආයතනයේ අරමුණ වී තිබේ.
මිනිසුන් සඳ මතට ගොඩබැසීමේ මෙහෙයුමට පෙර අත්හදා බැලීම් දෙකක් සම්පූර්ණ කිරීමට නාසා ආයතනයට සිදු වේ. ඒ අනුව පළමු අත්හදාබැලීම ගගනගාමීන් නොමැතිව 2021 වසර අවසානයේ ක්‍රියාත්මක කිරීමට නියමිත වන අතර දෙවැනි අත්හදාබැලීම ගගනගාමීන් කණ්ඩායමක් සහිතව 2023 ක්‍රියාත්මක කිරීමට නියමිතය. මෙම අත්හදාබැලීම් ආටෙමිස් I සහ II ලෙස නම් කර තිබේ.
ගගනගාමීන් චන්ද්‍රයා වෙත රුගෙන යන්නේ ‘ඔරායන්’ ලෙස නම් කළ කැප්සියුලයකය. එය අභ්‍යවකාශ දියත් කිරීමේ පද්ධතිය (Space Launch System) හෙවත් එස්එල්එස් රොකට්ටුවකට සම්බන්ධ කර තිබේ. ආටෙමිස් I යනු එස්එල්එස් රොකට්ටුවේ සහ ඔරායන් කැප්සුලයේ පළමු අත්හදා බැලීමය. එහිදී ඔරායන් කැප්සුලය චන්ද්‍ර කක්ෂයක රඳවා තැබෙනු ඇත. ඔරායන් දුරස්ථ චන්ද්‍ර කක්ෂයක රුඳවීම දෙවැනි අදියර යටතේ සිදු කෙරේ. එහි දින හයක් පමණ රැඳී සිටින ඔරායන් කැප්සූලය යළි පෘථිවිය වෙත පැමිණෙනු ඇත. මෙම පරීක්ෂණය මගින් රොකට්ටුවේ දෘඩාංග හා මෘදුකාංගවල ක්‍රියාකාරීත්වය සහ ඔරායන්ගේ හැසිරවීමේ ක්‍රියාවලිය තක්සේරු කරනු ඇත.
නාසාහි අභ්‍යවකාශ දියත් කිරීමේ පද්ධතිය හෙවත් එස්එල්එස් රොකට්ටුව යනු මිනිසුන් සහ භාණ්ඩ සෞරග්‍රහ මණ්ඩලයට වෙත ගෙන යාම සඳහා නිර්මාණය කර ඇති රොකට්ටුවකි. 2011 සැප්තැම්බර් මාසයේදී ජනාධිපති බරක් ඔබාමාගේ පරිපාලනය යටතේ එය ප්‍රථම වරට නිර්මාණය කරන ලද්දේ නාසා ආයතනය අනාගත මානව මෙහෙයුම් සඳහා අඟහරු සහ පෘථිවියට ආසන්න ග්‍රහකයක් ඇතුළු “නම්‍යශීලී ගමනාන්ත” ඉලක්ක කර ගනිමින් සිටියදීය. 2020 අග සහ 2021 මුල් භාගයේ ප්‍රමාදයන් සහ සංවර්ධන අභියෝග ජය ගැනීමෙන් පසුව, එස්එල්එස් රොකට්ටුව එහි මංගල පියාසැරිය 2021 දෙසැම්බර් මාසයේදී සිදු කිරීමට නියමිතව තිබේ.
ඔරායන් අභ්‍යවකාශ යානය ඩොලර් බිලියන 8.15ක් වූ කොන්ත්‍රාත්තුවක් යටතේ ලොක්හීඩ් මාටින් සමාගම මගින් 2006 දී නිර්මාණය කරන ලද්දේ බුෂ් පාලනය යටතේ ක්‍රියාත්මක කිරීමට නියමිත වූ මිනිසුන් චන්ද්‍රයා හා අඟහරු වෙත රුගෙන යෑමේ ව්‍යාපෘතියක් වූ කොන්ස්ටලේෂන් වැඩසටහන සඳහාය. පසුව එම ව්‍යාපෘතිය අවලංගු කෙරිණි. 2011 දී නවීකරණය කරන ලද පද්ධති සැලසුමක් සමඟ යළි සකස් කෙරුණු අතර පසුව එය ආටෙමිස් ව්‍යාපෘතිය සඳහා යොදා ගැනිණ.
2023 දී ක්‍රියාත්මක කෙරෙන ආටෙමිස් II යනු එස්එල්එස් සහ ඔරායන්හි පළමු කාර්ය මණ්ඩල පරීක්ෂණයයි. කාර්ය මණ්ඩල සාමාජිකයන් හතර දෙනකු පෘථිවි කක්ෂයේ දී පුළුල් ලෙස පරීක්‍ෂණ සිදු කරනු ලබන අතර ඔරායන් කැප්සුලය චන්ද්‍රයා වටා නිදහස් ගමන් පථයක ගමන් කොට යළි පෘථිවියට පැමිණෙනු ඇත.
2024 සිදු කෙරෙන ආටෙමිස් III මෙහෙයුම ගගනගාමීන් කණ්ඩායමක් සහිත චන්ද්‍රයා මත ගොඩබෑමකි. ඒ සඳහා කාර්ය මණ්ඩල සාමාජිකයන් තෝරාගැනීම පළමු මෙහෙයුමට වසර දෙකකට පෙර සිදු කරන බවට 2019 දී ප්‍රකාශ වී තිබිණි. පසුගිය වසරේ නොවැම්බරයේදී නාසා ආයතනය විසින් අභ්‍යවකාශ ගමනේ යෙදෙන ගගනගාමීන් 18 දෙනා හඳුන්වා දෙන ලදී. මෙම කණ්ඩායමට කාන්තාවන් නව දෙනකු සහ වෙනත් ජාතීන්ට අයත් ගගනගාමීන් කිහිප දෙනෙකු ඇතුළත් වන නමුදු චන්ද්‍රයා මතුපිටට ගොඩබසින පළමු කාන්තාව සහ වෙනත් ජාතියකට අයත් පුද්ගලයා කවුරුන්ද යන්න තවමත් හෙළිකර නොමැත.
මෙවර සඳ මතට ගොඩබැසීම සඳහා තෝරාගෙන ඇත්තේ එහි දක්ෂිණ ධ්‍රුවයයි. 2018 මාර්තු මාසයේ සිට මෙම ප්‍රදේශයට කුඩා රොබෝ ලෑන්ඩර් යානා සහ රෝවර් යානා යැවීමට නාසා ආයතනය පියවර ගත්තේ අනාගත මිනිස් ගොඩබැසීමකට සූදානමක් ලෙසිනි.
2026 වසරේ සැලසුම් කර ඇති ආටෙමිස් IV යනු ආසන්න ඍජු රේඛීය ප්‍රභා මණ්ඩල කක්ෂය (Near-rectilinear halo orbit) වෙත ගගනගාමීන් රුගෙන යන මෙහෙයුමකි. ආටෙමිස් V සිට ඉන් ඔබ්බට ගගනගාමීන් චන්ද්‍ර මතුපිටට ගොඩබැස්සවීමට යෝජනා කර ඇති අතර, එහිදී ඔවුන් ආධාරක මෙහෙයුම් මගින් යටිතල පහසුකම් වැඩිදියුණු කිරීමට පියවර ගනු ඇත.. මෙයට වාසස්ථාන, රෝවර්, විද්‍යාත්මක උපකරණ සහ සම්පත් නිස්සාරණ උපකරණ ඇතුළත් වේ. මෙම දශකය අවසානභාගය වන විට, ‘ආටෙමිස් බේස්’ නමින් මිනිසුන් සඳහා කඳවුරක් ස්ථාපිත කරන ලෙස නාසා ආයතනයට ඉල්ලීම් ලැබී තිබේ. චන්ද්‍රයා පිළිබඳ දීර්ඝකාලීන ගවේෂණ කිරීම සඳහා අවශ්‍ය පහසුකම් ද මෙම කඳවුරට ඇතුළත් වනු ඇත.
නාසා ආයතනය චන්ද්‍රයා දකින්නේ අඟහරු ග්‍රහයා වෙත මිනිසුන් සහිත මෙහෙයුමක් සිදු කිරීම සඳහා යොදාගත හැකි ගමන් මාර්ගයක් ලෙසය. 2030 පමණ වන විට එම අරමුණ සාක්ෂාත් කර ගත හැකි වනු ඇතැයි ඔවුන්ගේ අදහස වී තිබේ.
ආටෙමිස් III මෙහෙයුම ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබුණේ 2028 වසරේය. 2024 දී චන්ද්‍රයා වෙත පිවිසුම් නැවතුම්පළක් නිර්මාණය කොට 2028 එහි සිට මිනිසුන් චන්ද්‍රයා මත ගොඩබැස්සවීම ඔවුන්ගේ මූලික සැලසුම විය. එහෙත් එය සිව් වසරකින් කඩිනම් කිරීම හේතුවෙන් 2024 මිනිසුන් සඳ මතට ගොඩබැස්සවීමට තීරණය විය. එහෙයින් චන්ද්‍රයා වෙත යෑම සඳහා අවශ්‍ය උපකරණ සූදානම් කිරීම කඩිනම් කිරීමට නාසා ආයතනයට සිදු විය.
මේ වන විට නාසා ආයතනය ගගනගාමීන් චන්ද්‍ර පෘෂ්ඨයට මතට ගොඩබෑම සඳහා යොදාගන්නා වාහනය කඩිනමින් සංවර්ධනය කරමින් සිටී. මුලින් ඒ සඳහා මාස 64 ක් පමණ ගතවනු ඇතැයි තක්සේරු කර තිබිණි. දැන් එය වසර 2 කින් පමණ කඩිනම් කිරීමට නාසා ආයතනයට සිදු වී තිබේ. මෙම ව්‍යාපෘතිය වඩාත් සංකීර්ණ එකක් වන්නේ එමගින් කණ්ඩායමක් රුගෙන යාමට සිදුව ඇති බැවිනි. ඒ හැර යාවත්කාලීන කළ අභ්‍යවකාශ ඇඳුම්, විශේෂිත පාවහන් වැනි දෑද නිර්මාණය කිරීමට සිදුවී තිබේ.
ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා