පැමිණිල්ලට සාධාරණය ඉටු කරදීම සඳහා කාන්තාවකගෙන් ලිංගික අල්ලස් සමඟ රුපියල් ලක්ෂයක් ඉල්ලා හෝටලයක රැඳී සිටියදී අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ වැටලීම් අංශයට කොටුවී තිබුණේ වනාතවිල්ලුව පොලිස් ස්ථානාධිපතිවරයාය. සිවිල් ඇඳුමින් (ස්පා) ආයතනයකට ඇතුළු වී කාකි ඇඳුමේ පාට් දමා කාන්තා පහස නොමිලේ ඉල්ලා ගැටුමක් ඇතිකරගෙන තිබුණේ කහතුඩුව පොලීසියේ කොස්තාපල්වරයකු හා රියැදුරෙකි. ප්‍රසිද්ධියේ මහමගදී තරුණයකුට පහරදීම හා එහි වීඩියෝපටයක් සමාජ මාධ්‍යවල පළවීම හරහා දෝෂදර්ශනයට ලක්වූයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකි. ඔහු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයකුව සිටියදී එවැනි සිද්ධිවලට නම් දැරූවෙකි. මෙසේ පහරදීමටත්, වංචාවටත් අල්ලස් ගැනීමටත් පොලීසියේ ඇතැම් නිලධාරීන් උපන් හපන්නු බව කියැවේ.
පොලිස් නිලධාරීන්ගේ අයුතු හා නොමනා ක්‍රියා ගණනාවක් පිළිබඳ ඉකුත් දිනවල වාර්තා වෙද්දී ගාල්ල වඳුරඹ පොලීසියේ අපරාධ අංශ ස්ථානාධිපතිවරයා ගැන කියැවුණේද පොලීසියේ ගෞරවය වැනසුණු කතාවකි.
වාහනයක් මිලදී ගැනීම සඳහා තැරැව්කරුවකු සමඟ මෝටර් රථයක යමින් සිටි අයකු සතුව තිබූ රුපියල් ලක්ෂ දහයක මුදල පොලිස් නිලඇඳුම ලාගෙන සිටි වදුරඹ පොලීසියේ අපරාධ අංශ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා විසින් කොල්ලකා තිබුණේ එම රථය අතරමග නවත්වාගත් පසුවය. වාර්තා වන අයුරින් කොල්ලය සිදු කර ඇත්තේ පසුගිය 11 වැනිදාය. වදුරඹ පොලීසියේ අපරාධ විමර්ශන අංශ ස්ථානාධිපතිවරයා එම පොලිස් ස්ථානයේ සේවයට පැමිණීමට පෙර සේවය කර තිබුණේ මහරගම පොලීසියට අනුයුක්තවය.
කාලයක් එහි සේවය කරමින් සිටි ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා ප්‍රදේශයේ හා අවට බොහෝ පිරිස් සමඟ හිතවත්කම් ගොඩනගාගෙන තිබුණි. එබැවින් ඇතැමුන් සිය පෞද්ගලික අවශ්‍යතා සම්බන්ධවද තොරතුරු මෙම නිලධාරියා හමුවේ කියා තිබුණේ විශ්වාසය නිසාය. මේ ආකාරයට ඔහුගේ හිතවත් අයකු පොලිස් නිලධාරියා හමුවේ කියා ඇත්තේ තමා වාහනයක් ගැනීමේ බලාපොරොත්තුවෙන් සිටින බවය. ඒ සඳහා ප්‍රමාණවත් මුදලක් ඇති බවද විශ්වාසවන්ත කෙනකු මාර්ගයෙන් වාහනයක් සොයාගත යුතුව ඇතැයිද කියා ඇත. හැකි නම් දන්නා කෙනකු මාර්ගයෙන් වාහනයක් ගැන තොරතුරක් දන්වන ලෙසද පොලිස් නිලධාරියා වෙත පවසා තිබේ. මෙසේ කරුණු කී පුද්ගලයා කොළඹ ප්‍රදේශයට ආසන්නව පදිංචි ව්‍යාපාරිකයෙකි.
“හරි අපි මොකක් හරි කරමුකෝ... මම දන්න කෙනෙක් ඉන්නවා මීගොඩ පැත්තෙ. එයා හොඳ බ්‍රෝකර්. ළඟදි මගෙ යාළුවකුටත් කාර් එකක් ගන්න උදව් කළා. අපි එයාට කතා කරමු.” යැයි පොලිස් නිලධාරියා හිතවතා හමුවේ බලාපොරොත්තුවක් ලබාදෙමින් කියා තිබුණේ එසේය.
එම පොරොන්දුවෙන් පසු වැඩි දිනක් මහරගම පොලීසියේ සේවය කිරීමට ඔහුට අවස්ථාවක් නොලැබිණි. නව රාජකාරි ස්ථානයට සේවයට ගියද මහරගම හා අවට අය සමඟ පැවති සබඳතාව නොකඩවා පැවතිණි. මේ අතරතුර දිනක මහරගම ප්‍රදේශයේ ව්‍යාපාරිකයාට ලද දුරකතන ඇමතුමකි.
“ඔයාගෙ වැඩේ මම බ්‍රෝකර් එක්ක කතා කළා. වාහන කිහිපයක් තියෙනවාලු. වාහන තිබුණා වුණාට අපේ යාළුකමට සවුත්තු වාහනයක් දෙන්න බෑ කීවා. හොඳ කාර් එකක් ලැබුණු ගමන් කියන්නම් කීවා. ඉතින් මම ඔයාගෙ මොබයිල් නම්බර් එක බ්‍රෝකර්ට දුන්නා. මගේ නම කියලා ඔයාට කෝල් කරයි. වැඩේ කතා කර ගන්න.”මෙසේ කියා තිබුණේ වදුරඹ සිට දුරකථන ඇමතුමක් ලබාගත් අපරාධ අංශ ස්ථානාධිපතිවරයාය.
මෙම දුරකථන පණිවුඩයෙන් පසුව සිය හිතවත් පොලිස් නිලධාරියා පිළිබඳව තවත් පැහැදීමට පත්ව සිටි අතරතුර දිනක බ්‍රෝකර්වරයාගෙන්ද ඔහුට දුරකථන ඇමතුමක් ලැබී තිබිණි.
“මම වදුරඹ පොලීසියේ ක්‍රයිම් ඕ.අයි.සී. ගේ යාළුවෙක්. මීගොඩ ඉඳලා කතා කරන්නේ. ඔයාට කාර් එකක් හොයනවා කියලා පණිවුඩයක් කීවා. වාහනයක් තියෙනවා කළුතර පැත්තේ ඔයාගෙ ගාණට වටිනා හොඳ එකක්. මම නම් වාහනේ දන්නවා. ගිහින් බලන්න පුළුවන්..”
මේ පණිවුඩයත් සමඟ ව්‍යාපාරිකයා ඔහු සමඟින් සාකච්ඡා කරගෙන තිබුණේ හැකි ඉක්මනින් කාර් රථය බැලීමට යාමටය. ඒ අනුව දෙදෙනා එකඟව වෑන් රථයකින් කළුතර බලා ගියේ පසුගිය 11 වැනිදාය. ඊට පෙරාතුව ව්‍යාපාරිකයාගේ ජංගම ගිණුමකින් චෙක්පතක් ලියා එය බැංකුවකින් මුදල් කරගෙන ගනුදෙනුව සිදු කිරීමට ගොස් ඇතැයි කියති. මෙසේ කළුතර ප්‍රදේශයේ අදාළ ස්ථානයට ගොස් කාර් රථය හිමි පුද්ගලයාට දුරකථන ඇමතුමක් ලබා දී තිබේ.
“ඔව් වාහනය තියෙනවා. මම හදිසියකට ගාල්ලට ආවා. දැන්ම කළුතර එන්න වෙන්නෙ නෑ.. පුළුවන්කමක් තියෙනවා නම් ගාල්ල පැත්තට එන්න. මම කාර් එක අරන් ටවුමට එන්නම්.”යැයි රථය හිමිකරුවා පවසා තිබේ. එහිදී බ්‍රෝකර්වරයාට ව්‍යාපාරිකයා කියා ඇත්තේ “කමක් නෑ.. මෙච්චර දුර ආපු එකේ අපි ගාල්ල පැත්තට ගිහින් බලමු..” යනුවෙනි.
ඒ අනුව පිටත් වූ වෑන් රථයේ ගමන් මග වැටී තිබුණේ කළුතර ඇල්පිටිය දොඩංගොඩ කුරුඳුගහහැතැප්ම බද්දේගම හරහාය. එම ගමන් මගේ පෙදෙසක් වදුරඹ පොලිස් බල ප්‍රදේශය ඔස්සේ වැටී තිබිණි. යන එන ගමන් මග තීරණය කොට පෙන්වා දෙමින් සිට ඇත්තේ බ්‍රෝකර්වරයාය. කතාබහක නිරත වෙමින් වෑන් රථය පදවාගෙන යන අතරමග වෑන් රථය පසුපස ත්‍රිරෝද රථයක් ධාවනය වෙමින් තිබිණි. එහි දකුණුපස සංඥා ලාම්පුව දල්වා තිබුණේ රථය පසුකර යන්නට සූදානම් වන බව දන්වමිනි. වෑන් රථයේ රියැදුරු රථය පසෙකට ගන්නවාත් සමඟ ත්‍රිරෝද රථය දකුණුපසින් ඉස්සර කර වෑන් රථයට මග හරස් කර නවත්වා තිබුණේ මාර්ගයේ පාළු ස්ථානයකය. එසැණින් ත්‍රිරෝද රථය පොලීසියට අයත් එකක් බව හඳුනාගන්නට හැකිව ඇත්තේ එහි වදුරඹ පොලිස් ස්ථානය ලෙස සටහන්ව තිබූ නිසාය.
එසැණින් ත්‍රිරෝද රථයෙන් බැස තිබුණේ පොලිස් නිලධාරියෙකි. අවසරයකින් තොරවම වෑන් රථයේ දොර විවෘත කර එහි නැගගත් නිලධාරියා ව්‍යාපාරිකයාගේත් බ්‍රෝකර්වරයාගේත් හිතවතා බව පැහැදිලිය. එහෙත් එම මොහොතේ පොලිස් නිලධාරියා හැසිරී තිබුණේ මිතුදමක් ඇති ලෙස නොවේ.
“හා.. ඔයාලද වාහනේ ඉන්නේ...? සමාවෙන්න මට කරන්න දෙයක් නෑ.. පොලීසියට බුද්ධි තොරතුරක් ලැබුණා මේ වාහනේ අංකය කියලා. ලක්ෂ දහයක හොර සල්ලි ගෙනියනවා කියලා. ඒ නිසා තරහ නොවී සල්ලි ටික බාරදෙන්න...”
වදුරඹ පොලීසියේ හිතවතා මෙසේ පැවසීම රථයේ සිටි ව්‍යාපාරිකයාට සිහිනයක් වැනිය. එහෙත් ඔහුගේ විශ්වාසයත් නිලඇඳුමත් පොලීසියේ ත්‍රිරෝද රථයත් එහි පොලිස් රියැදුරුත් නිසා හිතන්නට යමක් නොවීය.
“කරන්න දෙයක් නෑ. සල්ලි බාරයට ගන්න වෙනවා. හිතවත්කමට නොගෙන හිටියොත් ජොබ් එකත් ඉවරයි. දවස් පහකින් පස්සෙ සල්ලි චෙක් කරලා උත්තරයක් දෙනවා. හොර සල්ලි නොවේ නම් ප්‍රශ්නයක් වෙන්නෙ නෑ. බය වෙන්න එපා..” මෙසේ කියමින් කෙසේ හෝ පොලිස් නිලධාරියා එම රථයෙන් නැවත බැස තිබුණේ කරාපිටිය ප්‍රදේශයට පැමිණීමෙන් අනතුරුවය.
ඉන් පසුව කාර් රථය මිලට ගන්නා අදහස අත්හැර දමා නැවත දිනක එන අදහසින් ව්‍යාපාරිකයා හා තැරැව්රු යළිත් කොළඹට පැමිණියහ. අනතුරුව නිවැසියන්ගේද උපදෙස් මත මීගොඩ පොලීසියට ගිය ව්‍යාපාරිකයා සිදුවීම විස්තර කළේය. එහිදී සිදුවීම තුළ යම් රහසක් ඇතැයි විශ්වාසයෙන් එහි ස්ථානාධිපතිවරයා පැමිණිල්ල පිළිබඳ තොරතුරු වදුරඹ පොලීසියේ ස්ථානාධිපතිවරයාට දැන්වීය. පසුව පැමිණිල්ල පිළිබඳව ගාල්ල පොලිස් අධිකාරි මහේෂ් කුමාරසිංහ මහතාට කරුණු වාර්තා කර ඇත. එහිදී අදාළ පැමිණිල්ල පාර්ශ්වය කැඳවා ප්‍රකාශ සටහන් කරගෙන ඇතත් දින පහක් පසුවී ගියද ලක්ෂ දහයක මුදල ව්‍යාපාරිකයාට ලැබී නැත. ඒ පිළිබඳව තොරතුරක්ද දැනගන්නට ලැබී නැත.
මේ අනුව සැකකාර වදුරඹ පොලීසියේ අපරාධ අංශ ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට ගැනුණේ ත්‍රිරෝද රථය පැදවූ පොලිස් කොස්තාපල්වරයාද සමඟය. ඔවුන් දෙදෙනා සමඟ සිදුවීමට සැකපිට බ්‍රෝකර්වරයාද අත්අඩංගුවට ගෙන බද්දේගම අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය. එහිදී පොලිස් නිලධාරීන් දෙදෙනා ලබන මස 3 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කෙරිණි. අනෙක් සැකකරු රුපියල් ලක්ෂ දෙකක ශරීරඇප මත මුදාහැරීමට නියෝග කරනු ලැබීය.
රුපියල් ලක්ෂ දහය කොල්ලකෑම සඳහා අපරාධ අංශ ස්ථානාධිපතිවරයා පොලිස් කොස්තාපල් හා වාහන බ්‍රෝකර් සමඟ එක්ව සැලසුම් කරන්නට ඇතැයි පොලීසිය සැකක කරයි. සිදුවීම පිළිබඳ විමර්ශන ක්‍රියාත්මකය.
සමන්ත ප්‍රදීප් විල්තෙර
පසුබිම වාර්තා - උණවටුන ඩී.ජී. සුගතපාල