2021 ඔක්තෝබර් 30 වන සෙනසුරාදා

මේ හිතට විදියට අයවැයෙන් සහන ලැබෙයිද?

 2021 ඔක්තෝබර් 30 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 34

ලබන 12 දින වර්තමාන රජයේ දෙවැනි අයවැය ලේඛනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත අතර එය මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂගේ මංගල අයවැය ලේඛනය වෙයි. මහජනතාව බලාපොරොත්තු වූයේ ඔහු මුදල් අමාත්‍ය ධුරයට පත්වීමෙන් පසු රටේ ආර්ථිකයේ ලොකු ලොකු පෙරළි සිදුවනු ඇති බවටය. එහෙත් මේ දක්වා එවැනි ජනහිතකාමී වෙනසක් සිදුව නොමැති බව පෙනී යයි. වර්තමානයේ රට පත්ව ඇති ආර්ථික නායයාම හේතුවෙන් ඇතැම්විට ඔහු බලාපොරොත්තු වූ විපර්යාස සිදු කරන්නට බැරි වන්නට ඇතැයි සිතා සැනසීමට ජනතාවට සිදුව තිබේ.

එහෙත් මේ වන විට ඔහුට තවත් අවස්ථාවක් ලැබී ඇත. ඒ නම් අයවැය ලේඛනය තුළින් ඒ පිළිබඳ යම් ආරම්භයක් සලකුණු කිරීමය. මෙම අයවැය ලේඛනයෙන් ආර්ථිකයේ විශාල පිම්මක් පනිනු ඇති බව දේශපාලනඥයන් දැනටමත් අනාවැකි පවසා ඇති බව අසන්නට දකින්නට ලැබේ. ඒ අනාවැකි සඵල කරමින් මෙම අයවැය ලේඛනය තුළින් සැබෑ වෙනසක් ඇතිවනු දැකීම රටේ සෑම කොට්ඨාසයකම ජනතාවගේ ඒකායන අභිප්‍රාය වෙයි.
එසේ වුවද මෙම අයවැය ලේඛනය ඉදිරිපත් කරන්නට සිදුව ඇත්තේ සෙසු ආර්ථික ප්‍රශ්න නොසලකා හැරියද කොවිඩ්-19 වසංගතය නිසා බැටකන කෝටි දෙකකට අධික ජනතාව සඳහාය. එය එසේ නම් ඔවුන්ට ජීවන ගැටලුවලට යම් පමණකට හෝ සහනයක් සලසනු ඇතැයි සිතාගැනීම අසාධාරණ නැත.

කෝටි එක කැපිය යුත්තේ එයට ලැබුණු රෙද්දට අනුව යැයි ඉංග්‍රීසි වහරක් පවතී. ඒ නිසා මුදල් ඇමැතිවරයාට අයවැය කබාය මැසිය හැකිව ඇත්තේ තමන්ට ලැබුණු වත්කම් ප්‍රමාණය මත බව සැලකිව යුතුය. වත්කම්වලට වඩා තුන් හතර ගුණයකින් වගකීම් බර වැඩි අපේ රටට අයවැය ලේඛනය තුළින් විශ්වකර්ම මැවීමක් කළ නොහැකි බව සත්‍යයකි. වැපිරිය යුත්තේ ලැබී ඇති වපසරියේ පමණටය. එසේ වුවද ජනතාව අද ප්‍රධාන ලෙස බැටකන ජීවන වියදමට යම් පමණකට හෝ පිළියමක් මෙතුළින් ඇතිවනු දැකීම කාගෙත් අපේක්ෂාව වෙයි.

කෙසේ වුවද මෙයට දශක දෙක තුනකට පෙර වාර්ෂික අයවැය ලේඛනය ඉදිරිපත් කරන දිනය වනතුරු පොදු ජනතාව ඇඟිලි ගණන් කරමින් බලා සිටියේ රටේ භාණ්ඩ මිල අඩුවීම, වැඩිවීම, සේවක වැටුප් වැඩිවීම, අය බදු වෙනස්වීම ආදී ඔවුනට බලපාන විවිධ ගැටලුවලට එකම විසඳුම් ඉදිරිපත් වන්නේ අයවැය ලේඛනය තුළින් බව දන්නා නිසාය. එහෙත් අද එම තත්ත්වය වෙනස්ය. අයවැය ලේඛනය තුළින් එදා කළ වෙනස්වීම අද මුළු වසර තුළම සිදුවේ. අයවැය ලේඛනය පාර්ලිමේන්තුවේ විවාද කරන අතරවාරයේ පවා විවිධ ආර්ථික වෙනස්වීම් සිදුවන බව නොරහසකි. ඒ නිසා මේ වන විට ජනතාව අයවැය ලේඛනයට දක්වන ගෞරවය අවම වී තිබේ. වැඩිදෙනා සිතාගෙන ඇත්තේ අයවැය ලේඛනය නිකමට සංඛ්‍යා එහා මෙහා කරන හිස් ලියැවිල්ලක් බවටය. එසේම අයවැය ලේඛනයේ දක්වන ආදායම් හා වියදම් සංඛ්‍යා ඇත්තවශයෙන්ම ප්‍රායෝගික නොවන බව පිළිගන්නට සිදුව ඇත. බොහෝ අවස්ථාවල අයවැය තුළින් අපේක්ෂිත ආදායමෙන් වසර තුළ සත්‍ය ලෙස එකතු කරගත හැකි වන්නේ සියයට 60 – 70 පමණ ප්‍රමාණයක් බව ඇතැම් ආර්ථික විශ්ලේෂකයෝ පවසති. එසේම වියදම් ඇස්තමේන්තු අභිබවා ගොස් වසර පුරාම පරිපූරක ඇස්තමේන්තු මගින් මුදල් වෙන්කර ගැනීම සිදුවේ. මෙවර අයවැය ලේඛනයේ වියදම් දක්වා ඇත්තේ මාස හයකට පමණක් බව මුදල් ඇමැති පසුගියදා පැවසීය. ඒ පිළිබඳ සත්‍ය තත්ත්වය අවබෝධ වන්නේ අයවැය ලේඛනය කියවීමෙන් පසුවය.
මුදල් ඇමැති සමඟ සාකච්ඡාවක් ඕනෑ

- ලංකා වාණිජ මණ්ඩලය
සාමාජික සමාගම් 600කින් පමණ සමන්විත ලංකා වාණිජ මණ්ඩලයේ මහලේකම් හා ප්‍රධාන විධායක නිලධාරී මංජුල ද සිල්වා ප්‍රකාශ කරන්නේ මුළු රටටම ජාතික වශයෙන් වැදගත් වන හා ස්වකීය ව්‍යාපාරිකයන් වෙනුවෙන් වූ යෝජනා රාශියක් තම වාණිජ මණ්ඩලය මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට බාර දී ඇති අතර ඒ පිළිබඳ කරුණු වැඩිදුරටත් පැහැදිලි කිරීම සඳහා සාකච්ඡාවක් අපේක්ෂාවෙන් සිටින බවය. එම සාකච්ඡාව අයවැය ලේඛනය කියැවීමට පෙර ලැබෙනු ඇතැයි බලාපොරොත්තු වන්නේ යැයි ඔහු කියයි.

&දැනට විශාල ගැටලුවක් බවට පත්ව ඇති විදේශ විනිමය අර්බුදයට විසඳුමක් කඩිනමින් අවශ්‍යයයි. මෙම තත්ත්වය රටට වගේම අපේ ව්‍යාපාරික ප්‍රජාවටද දැඩිව බලපානවා. මේ වන විටද ඩොලර් හිඟවීම නිසා අත්‍යවශ්‍ය ද්‍රව්‍ය රුසක් වරායේ හිරවෙලා තියෙනවා. මෙයට විසඳුමක් ලෙස යම් දුරකට නම්‍යශීලී විදේශ විනිමය ප්‍රතිපත්තියකට යා යුතුයි. වෙළෙඳපොළ ආර්ථික රටාව තුළ විදේශ විනිමය අනුපාතය ඉල්ලුම සැපයුම මත තීරණය වීමට ඉඩ දිය යුතු වෙනවා. ආනයනකරුවන් අද පවතින මිලට වඩා වැඩි මිලක් ගෙවලා වුවද තම අවශ්‍යතාව සලසා ගැනීමට සූදානම්. මේ වන විටද ඇතැම් භාණ්ඩ සඳහා ඉල්ලුම සැපයුම අනුව මිල තීරණය වීමට රජය ඉඩ දී තිබීම ප්‍රශංසා කළ යුතුයි. මේ ප්‍රතිපත්තිය සහල්වලට වගේම ඩොලර්වලටත් අදාළයි.

එසේම රජයේ ආදායම වැඩිකර ගැනීම ගැන ඉහළ ප්‍රමුඛත්වය දිය යුතුයි. එහෙත් මේ සඳහා බදු අනුපාත වැඩි කළ යුතු නැහැ. සිදුවිය යුතු වන්නේ බදු අයකර ගැනීම කාර්යක්ෂම කිරීමයි. පසුගිය කාලයේ නිසි අගැයීමකින් තොරව විටින් විට කළ බදු සංශෝධන නිසා රාජ්‍ය ආදායම අහිමිවෙලා තියෙනවා. පසුගිය වසරේ අතහැර දැමූ උපයන විට ගෙවීමේ ක්‍රමය (Payer Tax) යළි ඇතිකළ යුතුයි. මෙය බලපැවැත්වූ සමයේ වැටුපෙන් සිදු කළ අයකිරීම් සේවකයන්ට තේරුණේ නැහැ. එසේම රඳවා තබාගැනීමේ බද්ද (Withholding Tax) අයකිරීමද අතහැරියා. රජය බලාපොරොත්තු වුණේ ජනතාව ස්වේච්ඡාවෙන් මෙය ගෙවාවි කියලා. එහෙත් එලෙස සිදුවන්නේ නැහැ. ඒ නිසා මෙය යළි අයකර ගැනීමට කටයුතු කළ යුතු වෙනවා.

බදු සීමාව ඉහළ නැංවීමද රාජ්‍ය ආදායම අඩුවීමට හේතුවක් වුණා. මුලින් පැවැති වසරක පිරිවැටුම අවම සීමාව මිලියන 100 තිබී 2020 වසරේ ජනවාරිවල සිට හිටිඅඩියේ 300 දක්වා වැඩි කළා. මෙහි ප්‍රතිඵලයක් ලෙස රාජ්‍ය ආදායම අඩුවුණා. ඒ නිසා යළිත් එය මුල් තත්ත්වයට ගෙන ඒමට නොපමාව කටයුතු කළ යුතුව තිබෙනවා. එසේම සියයට 14 සිට 8 දක්වා අඩු කළ වැට් බද්ද නිසා විශාල ආදායමක් අහිමි වූ අතර එයද සංශෝධනය කළ යුතු බව ලංකා වාණිජ මණ්ඩලයේ අදහසයි.
අද ප්‍රබල ලෙස උද්ගතව ඇති රසායනික පොහොර පාවිච්චිය තහනම් කිරීම පිළිබඳවද වාණිජ මණ්ඩලයේ අවධානය යොමුව තිබෙනවා. යම් ලෙසකින් මෙම තහනම නිසා රටේ නිෂ්පාදනය පහළ බැස්සහොත් ඉදිරියේදී සහල් ආනයනය කිරීමට සිදුවීම නොවැළැක්විය හැකිය. මෙම තත්ත්වය අපනයන බෝගවලටද අහිතකරව බලපානවා. එලෙස සිදුවුවහොත් අපනයනයෙන් අපට විදේශ විනිමය උපයා ගැනීමේ අවස්ථාව අහිමි වන අතර සහල් ආනයනය කිරීමට සිදුවුවහොත් තවත් නරක තත්ත්වයකට පත්වීම වළක්වන්න අමාරුයි. තවදුරටත් වගාවලට රසායනික පොහොර හා පලිබෝධනාශක යම් පමණකට අවශ්‍ය වෙනවා. කාබනික පොහොර ව්‍යාප්ත කිරීමේ වැඩපිළිවෙළට අප විරුද්ධ නොවන නමුත් එය ක්‍රමානුකූලව පියවරෙන් පියවර කළ යුතුය යන්න අපේ විශ්වාසයයි. කෘෂිකර්මාන්ත අංශයට සම්බන්ධ ආයතන ලංකා වාණිජ මණ්ඩලයේ සාමාජිකයන්. ඒ නිසා මෙම තහනම ආනයන හා අපනයන දෙඅංශයටම බලපාන අතර කොවිඩ්-19 වසංගතයෙන් පීඩාවට පත්ව සිටින කෘෂි ව්‍යාපාරවලට අද පවතින තත්ත්වය හානිකර බව කිව යුතුයි.*

සේවක අවම වැටුප රුපියල් 10000කින් වැඩි කළ යුතුයි
අන්තර් සමාගම් සේවක සංගමයේ ප්‍රධාන ලේකම් ජානක අධිකාරි පවසන්නේ බේදයකින් තොරව සෑම සේවකයකු සඳහාම අවම වශයෙන් මසකට රුපියල් 10,000ක වැටුප් වැඩිවීමක් ලබාදෙන ලෙස තම සංගමය මුදල් ඇමැතිවරයාගෙන් ඉල්ලා තිබෙන බවය.

&මේ ඉල්ලීම ගැන කුමන ප්‍රතිචාරයක් දක්වාවිදැයි කිව නොහැකියි. ඒ ගැන දැනගත හැක්කේ අයවැය ලේඛනය ප්‍රකාශයට පත් කිරීමෙන් පසුවයි. අද පවතින බඩු මිල අනුව පෞද්ගලික අංශයේ සියලුම සේවකයන් විශාල හිරිහැරයකට පාත්‍ර වී සිටිනවා. කුස පිරෙන්න වේල් දෙකක් මොනවා හෝ කාලා වුණත් ජීවත් වෙන්න ඉතාම අපහසුයි. පවුලක එක් අයකු පමණක් රුකියාව කරන විට මේ දුෂ්කරතාව ඉතාමත්ම ඉහළයි. රටේ බඩු මිල මේ වන විට දිනපතා වැඩි වෙනවා. අද මිල නොවෙයි හෙට. මිල ගැන දැනගන්න පුළුවන් වන්නේ බඩු ගන්න කඩයට ගිය විටයි. ඉස්සර ආහාර ද්‍රව්‍ය හා අත්‍යවශ්‍ය ද්‍රව්‍යවල මිල වැඩිවුණේ මාස්පතා. නැතිනම් කාර්තුවක් හෝ වසරක් පාසායි. ඒත් අද එහෙම නොවෙයි. දවස් ගාණේ මිල ඉහළ යනවා. වක්කඩ කැඩුවා වගේ දිගටම ජනතාව යටකරගෙන ගලාගෙන යනවා. ඒ නිසා වැඩිවන ජීවන වියදමට සාපේක්ෂව සේවක වැටුප් වැඩිවිය යුතුයි. මාස් පඩි ලබන හෝ දෛනික වැටුප් ලබන සේවකයන්ට ඇති එකම ආදායම් මාර්ගය ඔවුන්ගේ වැටුපයි. ඔවුන්ට වෙන ආදායම් මාර්ගයක් නැහැ. ඒ නිසා එහි යම් වෙනසක් දැකිය යුතුයි.
විශ්‍රාම වැටුප් විෂමතා දුරලිය යුතුයි

රාජ්‍ය සේවා විශ්‍රාමිකයන්ගේ ඒකාබද්ධ ජාතික සංවිධානයේ සභාපති ආර්.කේ.එච්. රචාගොඩ
සමාන සේවයට සමාන වැටුප් යන සංකල්පය අපේ රට තුළ ක්‍රියාත්මක වන්නේ නැහැ. විශ්‍රාමිකයන්ට මෙම තත්ත්වය තදින්ම බලපානවා. එකම කාණ්ඩයේ සේවකයන්ගේ විශ්‍රාම වැටුප ඔවුන් විශ්‍රාම යන දිනය අනුව වෙනස් වෙනවා. ජීවන වියදම් දීමනාව විශ්‍රාමිකයන්ට ලැබෙන්නේ රාජ්‍ය සේවකයන්ට ලැබෙන ප්‍රමාණයෙන් සියයට 47ක්. අග්‍රහාර රක්ෂණය වසර 70 දක්වා වූ විශ්‍රාමිකයන්ට දුන්නත් ඊට පසු වයසට යන අයට ගෙවන්නේ නැහැ. මෙය දිගටම ගෙවීමට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර අනුමත කර ගන්න පුළුවන් වුණත් තවම චක්‍රලේඛ නිකුත් කර නැති නිසා ක්‍රියාත්මක වන්නේ නැහැ. විශ්‍රාමිකයන්ට බලපාන වැටුප් විෂමතාව ඉවත් කළේ 2006 වසර දක්වා පමණයි. ඊට පසු විශ්‍රාම යන අයට තවමත් එම විෂමතාව තිබෙනවා. මේ වෙනස්කම් නැති කිරීමට ලබන අයවැය ලේඛනයෙන් කටයුතු කිරීම වැදගත්.

අනිත් ප්‍රධානතම වෙනසක් වන්නේ විශ්‍රාම යාමේදී දේශපාලනඥයන්ගේ සහ සාමාන්‍ය රාජ්‍ය සේවකයන් අතර ඇතිව ඇති පරස්පරතාවයි. දේශපාලනඥයන් සහ ඔවුන්ගේ පෞද්ගලික කාර්ය මණ්ඩල සාමාජිකයන්ට අවුරුදු පහක සේවයෙන් පසු විශ්‍රාම වැටුප ලැබුණත් සාමාන්‍ය රාජ්‍ය සේවකයන්ට අවුරුදු 10ක් සේවය කළ යුතු වෙනවා. බොහෝ දේශපාලනඥයන්ගේ කාර්ය මණ්ඩලවල ඉන්නේ ඔවුන්ගේ ඥාති මිත්‍රාදීන්. ඔවුන් බඳවා ගැනීමට නිසි ක්‍රමවේදයක් නැහැ. සුදුසුකම් බලපාන්නේ නැහැ. ඒත් රාජ්‍ය සේවකයන්ගේ බඳවා ගැනීමේ පටිපාටියක් තිබෙනවා. ඒ නිසා ලබන අයවැය ලේඛනය මගින් මෙම තත්ත්වය නැති කිරීමට පියවර ගත යුතුයි.

මේ වන විට විශ්‍රාම යන නිලධාරීන්ට වැටුප් ගෙවීමට ඇතැම් වෙලාවල අවුරුද්දකට ආසන්න කාලයක් ගත වෙනවා. මෙය නැතිකර විශ්‍රාම ලැබූ දිනයට ඊළඟ මාසයේ සිට වැටුප් ගෙවීමට කටයුතු කළ යුතුයි. එසේම විශ්‍රාම වැටුප් පාරිතෝෂිකය ගෙවීම දැනට අසාධාරණ ලෙස පමා වෙනවා. රාජ්‍ය සේවකයන් තමන්ට ලැබෙන විශ්‍රාම පාරිතෝෂිකයෙන් තමා ඉදිරි ජීවිතය සැලසුම් කරන්නේ. එසේ තිබියදී ඔවුන්ට පාරිතෝෂිකය ප්‍රමාද වීමෙන් විශාල අසාධාරණයක් සිදුවෙනවා. නීතිය අනුව නම් වයස සම්පූර්ණ වීමට සය මාසයකට පෙර ඒ බව විශ්‍රාමිකයාට දැන්විය යුතුයි. ලිපිගොනු විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවට යැවිය යුතු අතර විශ්‍රාම වැටුප් සකස් කිරීම ආරම්භ කළ යුත්තේ ඔහු හෝ ඇය විශ්‍රාම යාමට මාස 6කට පෙර සිටයි. දැන් සිද්ධවෙලා තියෙන්නේ විශ්‍රාමිකයන්ට තමා විශ්‍රාම ගත්තාට පසු ණයට ගමන් වියද්ම සොයාගෙන කාර්යාලවල හා විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ රස්තියාදු වීමටයි. අනෙක් අතට විශ්‍රාම ගත් අය සම්මුඛ පරීක්ෂණ සඳහා යැයි විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවට ගෙන්වාගෙන අපහසුතාවට පත් කිරීම ඉතාම වැරදියි. සම්මුඛ පරීක්ෂණ තැබීමෙන් බලාපොරොත්තු වන්නේ කුමක්ද? එවැනි පරීක්ෂණයක් අත්‍යවශ්‍ය යැයි කියනවා නම් කොළඹ ප්‍රධාන කාර්යාලයට නොගෙන්වා ප්‍රාදේශීය ලේකම් කාර්යාල මගින් ඒවා පැවැත්විය හැකි නොවේද? මෙම තත්ත්වය නිවැරදි කිරීමට ලබන අයවැයෙන් හෝ යෝජනා ඉදිරිපත් කළ යුතු වෙනවා.
සංවර්ධන අයවැයක් නොවන සහන අයවැයක් විය යුතුයි

ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය අමින්ද මෙත්සිල පෙරේරා පවසන්නේ මෙවර අයවැය ලේඛනයේදී රජය දිගුකාලීන සංවර්ධන ව්‍යාපෘතිවලට වඩා කෙටිකාලීන ව්‍යාපෘති පිළිබඳ ප්‍රමුඛත්වය දිය යුතු බවය.
කොවිඩ් වසංගත තත්ත්වය ජනතාවගේ ජීවන රටාවට විශාල ලෙස මෙවර බලපා තිබෙනවා. සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යසායකයන්ට වගේම විශේෂයෙන්  ක්ෂු ව්‍යාපාරිකයන්ට අහිතකරව බලපා තියෙනවා. මේ දෙපාර්ශ්වයම විශාල ලෙස අමාරුවේ වැටිලා. ඒ අයට සහන සැලසීමට ඉහළම ප්‍රමුඛත්වය දිය යුතු වෙනවා. ඔවුන්ගේ වර්තමාන ගැටලුවලට ක්ෂණික සහන සැලසිය යුතුයි. එසේම වැඩ කරන ජනතාව අතරෙන් ගුරුවරුන් රාජ්‍ය හා පෞද්ගලික අංශ සේවකයන්ගේ ගැටලුවලට සාධාරණ විසඳුම් දීම අවශ්‍ය වෙනවා. ඒ නිසා සංවර්ධන අයවැයකට වඩා සහන අයවැයක් බවට මෙය පරිවර්තනය කළ යුතුයි. නව සාමාන්‍යකරණය (New Normal Condition) අනුව රට පත් කිරීමේ රජයේ බලාපොරොත්තුව හමුවේ රටේ දැනට උද්ගතව ඇති ගැටලුවලට විසඳුම් දීම වැදගත්. ජනතාව බලාපොරොත්තු වන්නේද එයයි. ඒ අනුව පසුගිය වසරවල මෙන් ගොඩනැගිලි, පාරවල්, ගුවන් තොටුපොළවල් තැනීමට වඩා එදිනෙදා ගැටලුවලට සහන සලසන අයවැයක් විය යුතුයි.

දැනට අපේ ජාතික ආදායම දළ දේශීය නිෂ්පාදනයෙන් සියයට 9ක මට්ටමට බැස තිබෙන අතර අවම වශයෙන් එය සියයට 12කට හෝ ඔසවා තැබීම අවශ්‍ය වෙනවා. අද බොහෝ ගැටලු නිර්මාණය වී ඇත්තේ රටේ පවතින ඩොලර් අර්බුදය නිසා බව පැහැදිලියි. ඩොලර් හිඟ බව පවසලා විවිධ ක්ෂේත්‍රවල ආනයන තහනම් කිරීම හැමදාම කළ හැකි දෙයක් නොවෙයි. ඒ නිසා විකල්ප ක්‍රියාමාර්ග යෝජනා කර මෙම ඩොලර් ගැටලුවට විසඳුම් දීමට අයවැයේදී ඉහළ ප්‍රමුඛත්වය දිය යුතුයි.*

යසවර්ධන රුද්රිගූ

 

 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:05