2021 ඔක්තෝබර් 30 වන සෙනසුරාදා

ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ එළියට බහීද?

 2021 ඔක්තෝබර් 30 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 40

දිය මතුපිට වූ ගැටුම් දිය යට සිදුවන කාලයක් උදාවී තිබේ. ශ්‍රී ලංකාවේ පක්ෂ දේශපාලන ක්‍රියාකාරීත්වය ඉතා සංකීර්ණය. ප්‍රධාන කඳවුරු දෙක තුනක් පෙනෙන්නට තිබුණද බල දේශපාලනයේ දී සිදුවන කල්ලි ගැසීම් මෙහි අඩු නැත. විශේෂයෙන්ම ආණ්ඩුකරණයේ දී පක්ෂ සන්ධාන සම්බන්ධයෙන් සියලු කල්හි මෙරට පැවතියේ දැවැන්ත අර්බුදයන්ය. වර්තමානයේ ද එසේමය. වර්තමානයේ ආණ්ඩුව අභ්‍යන්තරයේ විවිධ අර්බුද ඇති බව අපි දනිමු. ඒවා නිර්මාණය වීමට හේතුව ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ ක්‍රියාකාරීත්වය බව නොරහසකි. එම නිසාම ඒ පිළිබඳ සමීපව සොයා බැලීමට අපි තීරණය කළෙමු. පසුගිය සති දෙකක පමණ කාලය තුළ සිදුවෙමින් පැවති තීරණාත්මක සිදුවීම් පෙළද මෙම සංවාදයට නිමිත්තක් විය.

ගෙවුණු වසර දෙකට ආසන්න කාලය තුළ වර්තමාන ආණ්ඩුව සමඟ හවුල්කාර පක්ෂ ගැටුණු අවස්ථා කිහිපයකි. මෙම ගැටුමේ ආරම්භ සිදුවන්නේ විසිවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඉදිරිපත් වීමත් සමඟය. එහි වූ ද්විත්ව පුරවැසිභාවය සම්බන්ධ කරුණ පිළිබඳ දැඩි විරෝධයක් හවුල්කාර පක්ෂ විසින් ගොනු කෙරිණි. අනතුරුව කොළඹ වරාය නැගෙනහිර ජැටිය, වරාය නගර කොමිසම, පළාත් සභා මැතිවරණ ක්‍රමය ආදී වූ විවිධ අණපනත් සහ සිදුවීම් අරභයා හවුල්කාර පක්ෂ ආණ්ඩුවේ ප්‍රධාන දේශපාලන ප්‍රවාහය වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ ගැටුම් ඇතිකර ගත්තේය. 

ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ මේ මොහොතේ වඩාත් වැඩි අවධානයක් යොමුකොට තිබෙන්නේ යුගදනවි බලාගාර ගිවිසුම් සම්බන්ධය. කෙරවළපිටිය යුගදනවි බලාගාරයේ කොටස් සියයට හතළිහක් අමෙරිකානු සමාගමකට පැවරීමට ආණ්ඩුව ගෙන ඇති තීරණයට එරෙහිව මහජන සභාව නමින් ප්‍රසිද්ධ රුස්වීමක් පැවැත්වීමට ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 10ක නායකයෝ පසුගියදා තීරණය කළහ. ඔවුන් එම තීරණයට පැමිණියේ තම හඬට ආණ්ඩුව ඇහුම්කන් නොදෙන බව පවසමිනි. යුගදනවි සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ සාකච්ඡා කිරීමට හවුල්කාර පක්ෂ නායකයෝ අවස්ථා කිහිපයක දී උත්සාහ කළහ. එහෙත් ඔවුන්ට ඊට අවකාශ නොලැබිණි. සාකච්ඡාවක් ලැබුණේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සමඟ පමණි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ සාකච්ඡාවක් ඉල්ලා ඔක්තෝබර් පළමු සතියේ දී හවුල්කාර පක්ෂ ජනාධිපතිවරයාට පිටු තුනකින් සමන්විත ලිපියක් යොමු කළේය. යුගදනවි බලාගාරයේ කොටස් අමෙරිකාවේ නිව් ෆෝට්‍රෙස් සමාගමට ලබාදීමට එළැඹි ගිවිසුම පිළිබඳව කරුණු විමසමින් යැවූ එම ලිපියෙන් ඔවුහු ජනපති සමඟ සාකච්ඡාවක් ඉල්ලා සිටියහ. ලිපියට ප්‍රතිචාර දක්වමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් හවුල්කාර පක්ෂ නායකයන් වෙත ඔක්තෝබර් දෙවැනි සතියේ අග පිළිතුරු ලිපියක් යොමු කළේය. &ඔබ රජයේ කොටස්කාර පක්ෂ වශයෙන් මා සමඟ ඉහත කරුණු පිළිබඳව සාකච්ඡා කිරීමට වඩා අමාත්‍ය මණ්ඩලයේත්, රජයේ පාර්ලිමේන්තු කණ්ඩායමේත් කොටස්කරුවන් වශයෙන් සමස්ත රජයේ දෙපාර්තමේන්තු කණ්ඩායමේ සහභාගීත්වයෙන් විවෘතව සාකච්ඡා කිරීම යෝග්‍ය බව මාගේ අදහසයි.. යැයි ජනාධිපතිවරයා සිය ලිපිය මගින් පවසා ඇති බවට මාධ්‍ය වාර්තා කළේය. 

වර්තමාන ගැටුම උග්‍ර අතට හැරුණේ මෙම සිදුවීම සමඟයි. හවුල්කාර පක්ෂ යුගදනවි ගිවිසුමට විරෝධය ගොනු කළ වෘත්තීය සමිති සමඟ සාකච්ඡා කළේය. ශ්‍රීලනිපය මෙහිදී ප්‍රමුඛ කාර්‍යභාරයක් ඉටු කළ අතර පාර්ශ්ව රුසක් තමන් වටා ගොනු කර ගැනීමට ඔවුහු සමත් වූහ. මේ අතර පොහොට්ටුවේ ප්‍රබලයෝ හවුල්කාර පක්ෂ ආණ්ඩු විරෝධී කුමන්ත්‍රණයක නිරත වන බවට චෝදනා කළහ. කැබිනට් හමුවේ දී මේ සම්බන්ධව සංවාදයක් ඇතිවූ විට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙම ගැටලුව දේශපාලනිකව විසඳීමේ හැකියාව ඇත්තේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට සහ බැසිල් රාජපක්ෂ මහතාට බව ප්‍රසිද්ධියේ කියා තිබුණි. ඒ අනුව පසුගිය ඉරිදා (24) ආණ්ඩුවේ මන්ත්‍රී කණ්ඩායම් හමුවක් පැවැත්වීමට තීරණය වන්නේ ද මෙම සිදුවීම් දාමයේ ප්‍රතිඵලයක් ලෙසය.

එහෙත් ඉරිදා රාත්‍රී භෝජන සංග්‍රහය සහ සාකච්ඡාව සඳහා විමල් වීරවංශ, මෛත්‍රීපාල සිරිසේන ඇතුළු හවුල්කාර පක්ෂවල නායකයෝ නොපැමිණියහ. ඔවුන් දිගින් දිගටම යුගදනවි ගැටලුවට ජනාධිපතිවරයාගේ මැදිහත්වීම අපේක්ෂා කරන බව ඉන් කියවිණි. මෙම සාකච්ජාවේ දී හවුල්කාර පක්ෂ වෙනුවෙන් කතා කළේ අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පමණි. තමන් ඇතුළු පිරිස ආණ්ඩු විරෝධී කුමන්ත්‍රණයක් සිදු නොකරන බවත් උත්සාහ කරන්නේ ආණ්ඩුව නිවැරදි මාවතට ගැනීමට බවත් ඔහු සඳහන් කළේය. රෝහිත අබේගුණවර්ධන වැනි අමාත්‍යවරුන් හවුල්කාර පක්ෂ ක්‍රියාකාරීත්වය සම්බන්ධව තරමක් විවේචනාත්මක අදහස් මතු කළ ද බොහෝ දෙනකු අපේක්ෂා කළ ලෙස මෙම සාකච්ඡාව උණුසුම් නොවිණි.  
මෙම සාකච්ඡාවෙන් අපේක්ෂා කළ ප්‍රතිඵල නොලැබුණු අතර අවසානයේ ජනාධිපතිවරයා හවුල්කාර පක්ෂ සඳහා සාකච්ඡාවක් ලබාදීමට තීරණය කළේය. ඒ අනුව එම සාකච්ඡාව පසුගිය බ්‍රහස්පතින්දා (28) පැවැත්විණි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම සාකච්ඡාවට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ ඇතුළු පොදුජන පෙරමුණු පාර්ශ්වයේ මැති ඇමැතිවරුන් කිහිප දෙනෙක් ද එක්ව සිටීයහ. විමල් වීරවංශ, උදය ගම්මන්පිල, වාසුදේව නානායක්කාර ඇතුළු හවුල්කාර පක්ෂ නායකයෝ සියලු දෙනාම පාහේ මීට සහභාගි වූහ.

පැය තුනහමාරකට අධික කාලයක් පැවති මෙම සාකච්ඡාව ද තීරණාත්මක විය. යුගදනවි ගිවිසුම සම්බන්ධව තමන්ට ඇති ප්‍රශ්නය හවුල්කාර පක්ෂ නායකයෝ ජනාධිපතිවරයා හමුවේ තැබූහ. මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතා එම ප්‍රශ්නවලට පිළිතුරු ලබා දුන්නේය. දීර්ඝ පැහැදිලි කිරීමක් සිදුකර තවත් ගිවිසුම් දෙකක් අත්සන් කිරීමට ඇති බැවින් ඊට යෝජනා ලබා දෙන ලෙස ද බැසිල් රාජපක්ෂ මහතා හවුල්කාර පක්ෂවලින් ඉල්ලා තිබේ. ඇතැම් හවුල්කාර පක්ෂ නායකයන්ගේ අදහස් දැක්වීම් අතර උණුසුම් වචන හුවමාරු වී ඇති බව ද කියැවේ. කෙසේ වෙතත් යුගදනවි ගිවිසුම සම්බන්ධයෙන් අවසානයේ එකඟතාවක් මෙහිදී ඉදිරිපත් වී නොමැත. මේ අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ආණ්ඩුව ඇතුළේ ප්‍රශ්න ඇතුළේම විසඳා ගන්නා ලෙසත් එළියට ගෙන නොයන ලෙසත් හවුල්කාර පක්ෂවල නායකයන්ගෙන් ඉල්ලීමක් කර ඇතැයි ද වාර්තා වේ.

අවසානයේ ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ සිකුරාදා (29) පස්වරුවේ පැවැත්වීමට සැලසුම් කර තිබූ &මහජන සභාව” රැස්වීම පවත්වනු ලැබීය. මෙය හවුල්කාර පක්ෂ විසින් ප්‍රසිද්ධියේ සාමූහිකව ආණ්ඩුවේ තීරණයකට එරෙහිව කටයුතු කළ පළමු අවස්ථාව විය. අර්බුදයේ දිගුවක් මිස නැවතුමක් නොමැති බව පෙනී ගියේය. තවදුරටත් පළාත් සභා මැතිවරණ ක්‍රමය, නව ව්‍යවස්ථා ආදී කරුණු සම්බන්ධව හවුල්කාර පක්ෂ ගැටුම් ඇතිකරගනු ඇති බව පෙනී යයි. ක්‍රමයෙන් ඉදිරි සති දෙකක කාලය තුළ තත්ත්වය තවත් උණුසුම් වනු ඇත.

බ්‍රහස්පතින්දා සාකච්ඡාවෙන් පසු දැක්වූ  අදහස් 

අපේ යෝජනාවලියක් බාරදෙනවා

රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම්

කරුණු 12ක් විතර සාකච්ඡා කළා විවිධ කාරණා ගැන. ඒ කියන්නේ කොවිඩ් සම්බන්ධව, පොහොර සම්බන්ධව, යුගදනවි සම්බන්ධව, ඊට අමතරව වරායේ ඇතිවෙලා තියෙන ගැටලු සම්බන්ධව. මේ හැම එකක් ගැනම ඉතාම දැඩි සාකච්ඡාවක් සිද්ධ වුණා. බැසිල් රාජපක්ෂ මහතාගේ අදහස වුණේ මේක අවසන් ගිවිසුම නෙමෙයි, තව ගිවිසුම් කිහිපයක් අත්සන් කරන්න ඇති බවයි. මූලික ගිවිසුමට අමතරව ඒ තියෙන එක ගැන අපිට යම් යෝජනා තියෙනවා නම් එවන්න කියලා තමයි අපිට දැනුම් දුන්නේ. අපි බලාපොරොත්තු වෙනවා ඒ සම්බන්ධයෙන් ඉදිරියේ දී ක්‍රියා කරන්න. තාම එක ගිවිසුමක් පමණයි අත්සන් කරලා තියෙන්නේ. තව ගිවිසුම් දෙකක් තියෙනවා කියලා තමයි බැසිල් රාජපක්ෂ මහතා අපිට කිව්වේ. ඒ සම්බන්ධව පක්ෂවල අදහස් එවන්න කියන අදහස එතුමා කිව්වා. අපි බලාපොරොත්තු වෙනවා අනාගතයේ අපේ තියෙන අඩුපාඩු දුර්වලතා පිළිබඳව අපේ වෘත්තීය සමිති කල්පනා කරන ප්‍රශ්න පිළිබඳව යෝජනාවලියක් විදියට එතුමාට බාර දෙන්න.

විමල් වීරවංශලා යුගදනවි විකිණීමට විරුද්ධ නෑ

පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් 

යුගදනවි බලාගාරය පිළිබඳව සාකච්ඡා වුණා. බලාගාරය පිළිබඳ යම්කිසි පැහැදිලි කිරීමක් අවශ්‍යව තිබුණා අපේ සන්ධානයේ අනෙක් පක්ෂවල නායකයන්ට. ඒ සම්බන්ධයෙන් මුදල් අමාත්‍යවරයා විදියට බැසිල් රාජපක්ෂ මහතා ඉතා දීර්ඝ පැහැදිලි කිරීමක් කළා. පැහැදිලිව කිව්වා මේ ටෙන්ඩර් එක කැඳවලා එකෙන් ලැබිලා තියෙන ලන්සුව LNG එකෙන් යුනිට් එකකට ඩොලර් 3යි ගාණක් වෙනවා. නමුත් මේ සමාගම ඩොලර් 1.4කට දෙන්න ලෑස්තිවෙලා තියෙනවා. ඉතින් මේ වගේ ලාබදායී දෙයක් අතහැරලා යන්නේ මොකටද කියලා. මෙහිදී විමල් වීරවංශ මහතා ඇතුළු බොහෝ පක්ෂ නායකයන් පවසා සිටියේ යුගදනවි බලාගාරයේ කොටස් ලබාදීම සම්බන්ධයෙන් ඔවුන්ගේ විරුද්ධත්වයක් නොමැති බවයි. LNG සැපයුම් මාර්ගය සම්බන්ධයෙන් තමයි යම්කිසි අදහසක් තිබුණේ. බැසිල් මහතා ඒ පිළිබඳ කරුණු පැහැදිලි කළාට පස්සේ මං හිතන්නේ එතැන හිටිය හැමෝටම තේරෙන්න ඕනේ මෙය ඉතාම පාරදෘශ්‍ය ලෙස රටට සුබදායී ලෙස සිදු කරන කටයුත්තක් බව.

 චමිඳු නිසල් ද සිල්වා