අද පිංකම් වැහි වැහැලා. ඒත් බොහෝ පින්කම් පවත්වන අයට පින්කම් පැවැත්වීමේ මූලික අරමුණු අමතක වී ගිහින් බවයි පෙනෙන්නේ. සිරිතක් විදිහට ඒ සියල්ල කරනු ලබන බවයි පෙනෙන්නේ. සිත, කය, වචනය සංවර කරගෙන, සැහැල්ලු කරගෙන මේ පින්කම් කළ යුතු බව වැඩි දෙනෙක් දන්නේ නැහැ. සැණකෙළි විනෝදමේලා බවට මේ පින්කම් පත් කරගෙන. පෙරහරවල දකින්න ලැබෙන්නේ පෙරහරට නුසුදුසු නාඩගම්. අපේ සාම්ප්‍රදායික උරුමය ආරක්ෂා කරදෙන අංග පස්සට දාලා විනෝද අංග ඒවාට ඇතුළත් කරලා. ඒකෙන් වෙන්නේ අපේ හෙළ සංස්කෘතිය විනාශ මුඛයට යාමයි. අද අපේ සංස්කෘතිය හෑල්ලුවට ලක්වෙනවා. එය අනාගත පරපුරට විශාල අවාසියක්.
අපි ඉහතින් දැක්වූයේ ආචාර්ය වැලමිටියාවේ කුසලධම්ම නා හිමියන්ගේ අදහස් කිහිපයකි. සමාජය ගැන නිතර අවධානයෙන් සිටි උන්වහන්සේ වර්තමාන සමාජ පරිහානිය ගැන නිතර විවේචන ඉදිරිපත් කළහ. පසුගිය 28දා උන් වහන්සේ අපවත් වනවිට 84 වැනි වියේ පසුවූහ. කැලණිය විශ්වවිද්‍යාලයේ කුලපති ධූරයට අමතරව පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙනේ පරිවේණාධිපති ලෙසද කටයුතු කළේ උන්වහන්සේය. අපවත් වනවිට උන්වහන්සේ හෙබවූ ගරු නාම සහ තනතුරු රාශියකි.
මේ නිසා උන්වහන්සේගේ නම සඳහන් කිරීමට එක් ඡේදයක්ම වෙන්කළ යුතුවේ. මේ ඒ නාමයන්ය. රත්මලානේ පුරාණ විහාරය ඇතුළු විහාර ගණයේ අධිපති, කොළඹ හලාවත දෙදිසාවේ ප්‍රධාන සංඝ නායක, සමස්ත ලංකා ශාසනාරක්ෂක බල මණ්ඩලයේ සභාපති, දර්ශන විශාරද, ත්‍රිපිටක වාගීශ්වරාචාර්ය උපාධ්‍යාය ධුරන්ධර, අග්ග මහා සද්ධම්ම ජෝතික ධජ, සාහිත්‍ය චක්‍රවර්තී, පණ්ඩිත ශ්‍රී සුමංගල විද්‍යාවතංස, වයඹ පුත්‍ර අභිනන්දන, දේශ කීර්ති, පර්යාප්ති ශාසන ධ්වජාග්‍ර, සද්ධර්මකීර්ති ශ්‍රී ශාසන ශිරෝමණී ආචාර්ය වැලමිටියාවේ ධර්මකීර්ති ශ්‍රී කුසලධම්මාභිධාන නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ.
1937 පෙබරවාරි 20 වැනි දින වයඹ පළාතේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ දේවමැදි හත්පත්තුවේ දඹදෙණි උඩුකහ උතුරු කෝරළයේ පිහිටි වැලමිටියාව නම් ගම කුසලධම්ම හිමියන්ගේ උපන් ගමයි. පලිහවඩන ආරච්චිලාගේ ජෝන් සිංඤෝ සහ රත්නායක මුදියන්සේලාගේ ගුණමල් එතනා උන්වහන්සේගේ දෙමාපියෝ වූහ. පවුලේ දරුවන් සත්දෙනා අතුරින් තෙවැන්නා ලෙස උපන් දරුවාට පලිහවඩන ආරච්චිලාගේ ටිකිරි බණ්ඩා යන නම තැබුණි. ටිකිරි බණ්ඩාගේ ඉඩම කෙළවර වූයේ වෙල්යායටයි. වෙල්යාය කඳු තුනකට මායිම්ව පිහිටියේය. එක් පසෙක වූ රුවන්ගිරි කන්ද භාවනා මධ්‍යස්ථානයකි. අනෙක් පසින් ඉහළ නැගි රමුක්ගොමුව කන්දේ සිට එන දිය පහර වෙල්යාය අයිනේ ඇළ හරහා ගලායාම සිදුවිය. ගමේ පන්සල පිහිටා තිබුණේ වෙල්යායේ අනෙක් පස වූ කන්දෙහි මැදට වන්නටය. මේ පුරාණ විහාරයෙහි හතර පෝයටම සිල් සමාදන් වීම ටිකිරි බණ්ඩාගේ මවගේ සිරිතය. මව සමඟ පන්සලට යාමට කුඩා ටිකිරි බණ්ඩාද පුරුදුව සිටියේය.
එදා ඉංග්‍රීසි පාලන කාලේදී ටිකිරි බණ්ඩා ඇතුළු වැලමිටියාව ගමේ කිසිදු දරුවකුට අකුරු ඉගෙන ගැනීමට පාසලක් තිබුණේ නැත. ගමේ පන්සලේ නායක හිමියන් වූ කුරුක්ගමුවේ ගුණරතන ස්වාමීන් වහන්සේ පන්සලේ බණ මඩුවේ ගමේ දරුවන්ට අකුරු කරවීම ආරම්භ කළහ. ටිකිරි බණ්ඩාද ඒ දරුවන් අතර විය. නිතර පන්සලට යන ඔහුට මහණවීමට මහත් කැමැත්තක් ඇතිවිය.
පෑලියගොඩ විද්‍යාලංකාර පරිවෙනාධිපති වූ සාහිත්‍ය චක්‍රවර්තී පණ්ඩිත යක්කඩුවේ ශ්‍රී ප්‍රඥාරාම නායක හිමිට මෙම දරුවා දැකගන්නට ලැබෙන්නේ මේ අතරයි. ගති ලක්‍ෂණ අනුව අනාගත නායකත්ව ලක්‍ෂණ හා ගුණගරුක බව ඇති භාග්‍යසම්පන්න දරුවකු බව උන්වහන්සේට වැටහුණි. යක්කඩුවේ හාමුදුරුවෝ හුරුග්ගමුවේ ගුණරත්න මහානායක හිමියන්ගේද දෙමාපියන්ගේ ද අවසරය ලබාගෙන මේ යොවුන් දරුවා මහණ කිරීම සඳහා පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙනට කැඳවා ගෙන පැමිණියහ. ටිකිරි බණ්ඩා දරුවා වැලමිටියාවේ කුසලධම්ම නමින් පැවිදි බිමට පිවිසියේ 1954 ජනවාරි මස 07 වැනි දින තවත් කුල දරුවන් නව දෙනකු සමඟයි. ගුරු හාමුදුරුවන් වුණේ විද්‍යාලංකාර සිව්වැනි පරිවෙණාධිපතිව වැඩ විසූ, කිරිවත්තුඩුවේ ශ්‍රී ප්‍රඥාසාර නායක හිමියන්ය. මේ නිසා සාමණේර අවදියේ සිටම ප්‍රඥාවන්ත ගුරු හිමි ඇසුර උන්වහන්සේට ලැබුණි. විද්‍යාලංකර පිරිවෙනේ ඉගෙන ගනිමින් සිටි කුසලධම්ම හිමියෝ විසි වයස් පිරුණු පසු මහනුවර මල්වතු මහා විහාරයීය මංගල උපෝසථාගාරයේදී උපසම්පදාවට පත්වූහ. පසුව විද්‍යාලංකාර විශ්වවිද්‍යාලයට ඇතුළත්ව ගෞරව ශාස්ත්‍රවේදී උපාධිය ලබාගෙන විද්‍යාලංකාර පිරිවෙනේ ඉගැන්වූහ.
1963 දී පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙනට අනුබද්ධව පන්නිපිටියේ විද්‍යලංකාර පිරිවන ආරම්භ කරන අවස්ථාවේදී එම කෘත්‍යාධිකාරි ධුරයට පත් නාහිමිපාණෝ කලක් එහි පරිවේණාධිපති පදවියද හෙබවූහ. කඩිසරව මහත් උනන්දුවෙන් කටයුතු කරන වැලමිටියාවේ හාමුදුරුවන්ට 1986දී යක්කඩුවේ හාමුදුරුවන් අපවත් වීමෙන් පසුව විද්‍යාලංකාර පරිවේනාධිපති ධූරය පිරිනැමීමට විද්‍යාලංකාර පාලක සභාව තීරණය කළේය. නමුත් එය ප්‍රතික්ෂේප කළ උන්වහන්සේ දැඩි ගිලන් බවින් වැඩ සිටි විද්‍යාලංකාර පිරිවෙන වෙනුවෙන් මුළු දිවියම කැපකළ නාත්තන්ඩියේ ප්‍රඥාකර නාහිමියන් වෙත එය පවරන මෙන් ඉල්ලා සිටියහ. පසුව 1990 විද්‍යාලංකාර පරිවේණාධිපති ධූරයට උන්වහන්සේ පත්වූහ.
වල්පොල රාහුල හිමියන්ගෙන් පසු කැලණිය විශ්වවිද්‍යාලයේ කුලපති ධූරයෙන් පිදුම් ලැබුවේ කුසලධම්ම හිමිපාණෝ වෙති. තමා හමුවට පැමිණෙන කාහට වුවත් ආගන්තුක සත්කාර කිරීමට මහත් ලැදියාවක් දක්වන කුසලධම්ම හිමියෝ ධර්ම දේශනා සඳහාද ප්‍රසිද්ධියක් උසුලති. අනුරාධපුර ශ්‍රී මහා බෝධින් වහන්සේ වන්දනා කිරීමට දැඩි කැමැත්තක් දක්වන බව උන්වහන්සේ නිතර කියන දෙයකි.
තම ගුරු හිමිවරු ගැන උන්වහන්සේ තුළ වූයේ විශාල ගෞරවයකි. මේ නිසාම තම කුටියේ බාලකළ මඟ පෙන්වූ හුරුග්ගමුවේ ගුණරතන හිමියන් ඇතුළු ගුරු හිමිවරුන්ගේ සේයාරූ තබාගෙන වැඳ නමස්කාර කිරීම සිරිතක් කර ගෙන සිටියහ.
විද්‍යාලංකාර පිරිවෙනේ වැඩසිට අපවත් වූ සෑම හිමිනමක් වෙනුවෙන්ම වාර්ෂික විද්‍යාලංකාර දිනයේ පින්කම් පවත්වා පුණ්‍යානුමෝදනා කිරීම ද පසුගිය කාලයේ සිදුවූ දෙයකි. දෙමාපියන් ජීවත්ව සිටි කාලයේ ඉතා ආදරයෙන් සැලකූ උන්වහන්සේ වැලමිටියාව ගම රටේම ප්‍රසිද්ධියට පත්කළා පමණක් නොව උපන් ගමේ දියුණුවටද විශාල සේවයක් කළහ.
අද බොහෝ හිමිවරු මෙන් සුපිරි වාහනවල ගමන් කරමින් සුපිරි ජීවිත සොයා යනු වෙනුවට බුලත්විට හපමින් ඉතා සරල චාම් ජීවිතයක් උන්වහන්සේ ගත කළහ. නිතර සිනහවෙන් උපේක්ෂාවෙන් ගත කළහ. අනුරාධපුර ප්‍රදේශයේ දුප්පත් පන්සල් නගා සිටුවීමට හා දුප්පත් ගම්මාන නගා සිටුවීමට දානපතියන්ගේ ආධාර යොදා ගනිමින් විශාල සේවයක් ඉටු කළහ. තමාට ලැබෙන සෑම දෙයක් ම අනුන්ට පරිත්‍යාග කරමින් උන් වහන්සේ ලැබුවේ ලොකු තෘප්තියකි.
වැලමිටියාවේ හිමියන්ගේ ජීවිතයෙන් ගත හැකි ආදර්ශ බොහෝය. ගිහියන්ට මෙන්ම පැවිදි හිමිවරුන්ටද ඒ ආදර්ශ වැදගත්ය. උන්වහන්සේගේ ආදාහන පූෙජා්ත්සවය පූර්ණ රාජ්‍ය ෙගෟරව සහිතව ඉරිදා (31 දින) සිදුකිරීමට නියමිතය. දේශය ආචාර්ය වැලමිටියාවේ කුසලධම්ම නා හිමියන්ට නිවන් සුව ප්‍රාර්ථනා කර සිටී.
කුසුම්සිරි විජයවර්ධන