2021 ඔක්තෝබර් 30 වන සෙනසුරාදා

එළවළු කිලෝව රු.තුන්සීයයි

 2021 ඔක්තෝබර් 30 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 52

මේ වන විට වෙළෙඳපොළෙහි පවතින අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල ඉහළ යාමත් සමඟ ජනතාව පත්ව ඇත්තේ දැඩි අපහසුතාවයකටය. බොහෝ භාණ්ඩවලට පාලන මිලක් නොමැතිවීම නිසා වෙළෙඳන්දෝදෝමන්ට හිතූ මිල ගණන් යටතේ භාණ්ඩ අලෙවි කරති. ඒ සමඟ වෙළෙඳපොළේ භාණ්ඩවලට නියමිත මිලක් තීරණය කරගත නොහැකි තත්ත්වයක් උදා වී ඇත.

මේ අතර රට පුරා විසිරී සිටින ගොවි මහතුන් එක්ව පොහොරවලට එරෙහිව පවත්වාගෙන යනු ලබන පොහොර උද්ඝෝෂණ හේතුවෙන්ද එළවළු, සහල් ආදියේ මිලෙහි ඉහළ යාමක් සිදුව ඇත. කෙසේ වුවත් මේ වන විට එළවළු මෙන්ම සීනිවල මිලද දිනෙන් දිනම ඉහළ යමින් පවතී. පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් සැප්තැම්බර් මස නිකුත් කළ පාලන මිලෙහි ගැසට් නිවේදනයට අනුව සුදු සීනි කිලෝවක සිල්ලර මිල රුපියල් එකසිය විසි දෙකක්ද, සුදු සීනි කිලෝවේ පැකැට්ටුවක සිල්ලර මිල රුපියල් එකසිය විසි පහක්ද, දුඹුරු සීනි කිලෝවක මිල රුපියල් එකසිය විසි පහක් ලෙසද සඳහන් වුවද මේ වන විටත් වෙළෙඳපොළේ සීනි විවිධ මිල ගණන් යටතේ විකිණෙයි. පසුගිය දිනවල මෙම මිල ගණන්වල වෙනස්වීම හේතුවෙන් සීනිවල හිඟයක්ද පැවතිණි. මේ වන විට ඇතැම් වෙළෙඳසල්වල සීනි හිඟය විශාල ලෙස පවතින අතර සුපිරි වෙළෙඳසල්වල නියමිත මිල ගණන් යටතේ සීනි පාරිභෝගිකයන්ට ලබාගත හැකි වුවද එක් පාරිභෝගිකයකුට සීනි ලබාගත හැකි වන්නේ සීනි කිලෝවක් පමණි.

සීනි තාමත් නැහැ. එක කඩයක සීනි කිලෝ එකක් රුපියල් එකසිය හතළිහයි. ඒ නිසයි මේ ෆුඩ්සිටියට ආවේ. ඒකෙත් දෙන්නේ සීනි කිලෝ එකක් විතරයි. දැන් මෙතන එකම ගෙදරකින් තුන් දෙනෙක් ඇවිත් සීනි කිලෝ තුනක් අරගෙන ගියා. මම අතුරුපස හදලා විකුණනවා. මේ එක සීනි කිලෝවකින් ඇති වැඩක් නැහැ. ඒත් මොනව කරන්නද? දැන් මේ ඒක ගත්තා. සුදු සීනි කිලෝ එකක් එක්ක සීනි පැකැට්ටුවක් ඕන නම් ගන්න කියල කිව්වා. එතනදි තව රුපියල් තුනක් වැඩියි. එක එක ආයතනවලට එක එක නීති. යැයි සුපිරි වෙළෙඳසලකින් සීනි මිලදී ගත් පියුමිකා මහත්මිය අපට පැවසුවාය.

සීනිවල මෙන්ම එළවළුවල මිලද මේ වන විට වැඩිවෙමින් පවතී. ගොවීන් රට පුරා උද්ඝෝෂණවල නිරතවෙද්දී පවතින පොහොර ප්‍රශ්නය මෙන්ම මේ දිනවල ඇදහැලෙන ධාරානිපාත වර්ෂාව හේතුවෙන් ද එළවළු මිලෙහි වැඩවීමක් පවතින බව ගොවීහු පවසති.

මම මීට පෙර අක්කර දහයක පමණ එළවළු වගා කළා. නමුත් පවතින පොහොර ප්‍රශ්න නිසා මේ වන විට මම අක්කර දෙකක් දෙකහමාරක් වගේ තමයි එළවළු වගා කරන්නේ. මේ වන විට අපිට පොහොර ඇත්තෙම නැහැ. ඉස්සර එක්දහස් පන්සීයකට තිබුණු කිලෝ පනහේ පොහොර මිටිය දැන් වෙළෙඳපොළේ විවිධ නම් යටතේ කිලෝ විසි පහේ පොහොර මිටිය රුපියල් අටදාහකට විකිණෙනවා. ඒ පොහොර අරගෙන තමයි අපිට වගා කරන්න සිද්ධවෙලා තියෙන්නේ. ගොවීන් ණය වෙලා, ඉඩම් ගෙවල් උගස් තියලා තමයි පොහොර මිලදී ගන්න සිදුවෙලා තියෙන්නේ. මේ වන විට කුකුළු පොහොර, ගොම පොහොර දමා කොම්පෝස්ට් සාදා ඒවා බිම් සකස් කිරීමට යොදාගෙන තියෙනවා. වෙනදාට පොහොර මිටියක් ගහන තැනට දැන් කිලෝ පහක් වගේ යොදන්න තමයි අපිට සිදුවෙලා තියෙන්නේ. යැයි තඹුත්තේගම නන්දන ලයනල් ප්‍රේමතිලක මහතා දේශයට පැවසීය.

ඔහු වට්ටක්කා, වැටකොළු, පතෝල, කරවිල, පිපිඤ්ඤා, මිරිස් ආදී වගාවල නිරත වෙයි. අක්කර දහයක් කළ වගාව පොහොර හිඟවීමත්, වැඩිවීමත් හේතුවෙන් අක්කර දෙකකට පමණ සීමා විය. වගා නොකරන වගා කොටසෙහි නන්දන මහතා කිරි ව්‍යාපෘතියක් ආරම්භ කොට ඇත. ඔහු අක්කර තුනක පමණ සම්පූර්ණයෙන් වගා කොට ඇත්තේ තණකොළය.

මම දැන් හරක් දහයක් මිලදී ගත්තා. දැන් ඉතින් අපිට වෙන ආදායමකට යන්න තමයි සිදුවෙලා තියෙන්නේ. කිරිවලින් දැන් යම් ආදායමක් තියෙනවා. ගවයන්ගෙන් ලැබෙන ගොමවලින් ගොම පොහොරත් ලබාගන්න පුළුවන්. දැන් ගොවිතැන් කරපු කුඹුරුවල තණකොළ වවලා තියෙනවා. ගවයන්ගෙන් ලැබෙන ගොමවලින් කොම්පෝස්ට් හදාගන්න පුළුවන් වෙලා තියෙනවා. දැන් ගොම මිටියක මිල රුපියල් හාරසීයක් පන්සීයක් වෙනවා. මෙහෙම ගියොත් ඉදිරියේදී බොහෝ ගොවීන් වෙනත් ව්‍යාපෘති සඳහා යොමුවේවි.* යැයි නන්දන ලයනල් ප්‍රේමතිලක ගොවි මහතා වැඩිදුරටත් පැවසීය.

මේ වන විට වගාවලට යොදන කෘමිනාශකවල පවතින හිඟයත් පවතින මිලෙහි වැඩිවීමත් සමඟ ගොවීන් පත්ව ඇත්තේ දැඩි අසීරුතාවයකටය. මීට පෙර රුපියල් අටසීයක මිල සඳහන්ව ඇති කෘමිනාශක දියර බෝතලයක මිල රුපියල් හාරදහසකි. මේ හේතුවෙන් ගොවීහු ගොවිතැනට කෘමිනාශක දියර යෙදීම අත්හැර දමමින් සිටිති. ආදායමක් නොලැබෙන විට ඔවුන් එයින් ඈත්ව වෙනත් විකල්ප කරා යොමුවීම සාමන්‍ය දෙයකි. පවතින තත්ත්වය හමුවේ මේ වන විට තමාට ලැබෙන ඵලදාව ශීඝ්‍රයෙන් අඩුවෙමින් පවතින බව ඔවුහු පවසති.

මේ වන විට කැරට් මිල රුපියල් එකසිය හැට හැත්තෑව දක්වා තොග මිල ඉහළ ගිහින් තියෙනවා. ලීක්ස්වල තොග මිල රුපියල් එකසිය හැත්තෑවක් අසූවක් වෙනවා. බෝංචිවල තොග මිල රුපියල් එකසිය පනහත් දෙසීයත් අතර පවතිනවා. මේ සාමාන්‍ය තොග මිලයි. මේ අනුව ගෝලයන්ගේ වැටුප්, ප්‍රවාහන වියදම් ආදී දේවල්වල එකතුවත් එක්ක එළවළුවල සිල්ලර මිල ඉතා වැඩියි. තව ටික දවසකින් උඩරට ප්‍රදේශයෙන් එන එළවළුවල සිල්ලර මිල රුපියල් දෙසීයට වැඩි වෙන්නත් පුළුවන්. එළවළුවල මිල ඉහළ යන්න ප්‍රධානම හේතුව මේ පොහොරවල හිඟකමයි. ගොවීන් අපෙන් පොහොර ඉල්ලනවා. නමුත් එහෙම ගන්නවත්, දෙන්නවත් අපිට පොහොර නැහැ. ගොවීන් රසායනික පොහොරවලට පුරුදු වුණු නිසා කාබනික පොහොර සම්බන්ධයෙන් ගොවීන් ඉන්නේ සැකයෙන්. එළවළුවලට අවශ්‍ය පොහොර නොමැතිකම නිසා ලැබෙන අස්වැන්නෙත් විශාල අඩුවක් පවතිනවා. එළවළු කොටු හදන ගොවීන්ට පවා ඇතිවෙලා තියෙන ප්‍රධාන ප්‍රශ්නය වන්නේ මේ පොහොර ප්‍රශ්නයයි. රටේ ප්‍රශ්නයි කොවිඩ් ප්‍රශ්නයි නිසා ගොවීන් හරි අසරණ වෙලා ඉන්නේ. යැයි කොළඹ මැනිං පොදු වෙළෙඳ සංගමයේ හිටපු සභාපති ලාල් හෙට්ටිගේ මහතා දේශයට පැවසීය.

පවතින පොහොර ගැටලුව මෙන්ම මේ දිනවල පවතින ධාරානිපාත වර්ෂාව හේතුවෙන්ද ගොවීන්ට සිය එළවළු වගාවෙන් නිසි අස්වැන්නක් ලබාගැනීමට නොහැකි තත්ත්වයක් උදා වී ඇත. වර්ෂාවත් සමඟ එළවළු වගා විනාශ වී යන අතර ඊළඟ එළවළු වගාව ආරම්භ කිරීමට නොහැකි වී ඇත. එම වගා සඳහා තෙල් පොහොර ලැබිය යුතු වුවද මේ වන විටත් ගොවීන්ට එම පොහොර ලැබී නැත. විශේෂයෙන් උඩරට ප්‍රදේශයට ඇදහැලෙන ධාරානිපාත වර්ෂාවත් සමඟ පවතින නායයාම් හේතුවෙන් බොහෝ වගා විනාශ වී ඇත. මේ නිසාම ඉදිරියේදී උඩරට ප්‍රදේශයට ආවේණික එළවළු කිලෝවක් රුපියල් තුන්සීයකට වඩා වැඩි විය හැකි බවට ගොවීහු ඉඟි පළ කරති. වර්ෂාවත් සමඟ ලීක්ස්, කැරට් වැනි බෝග නියමිත කාලයට පෙර ගලවා දමන්නට සිදුවී ඇති බවද ඒවායින් ලැබෙන අස්වැන්න සාර්ථක නොවන බවද ගොවීහු පවසති.

 දිශානි ජයමාලි කරුණාරත්න

 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:05