2021 ඔක්තෝබර් 30 වන සෙනසුරාදා

රට රස්සා ආදායම තුනෙන් එකක් බැහැලා

 2021 ඔක්තෝබර් 30 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 35

විදේශ රැකියාවන්හි නිරත ශ්‍රී ලාංකිකයන් විසින් එවනු ලබන විදේශ විනිමය විශාල ලෙස පහළ වැටී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කර තිබේ. 2020 වසරේ අගෝස්තු මාසයේ විදේශ රැකියාවල නිරතවූවන් ඩොලර් මිලියන 664ක් මෙරටට එවා ඇති අතර 2021 අගෝස්තු මාසයේදී එය ඩොලර් මිලියන 447 දක්වා පහත වැටී තිබේ. එය ඩොලර් මිලියන 217ක් හෙවත් 32.8ක පහත වැටීමකි.

එමෙන්ම 2020 ජනවාරි මාසයේ සිට අගෝස්තු දක්වා වූ මාස 8 තුළ ඩොලර් මිලියන 4346ක් ලැබුණු අතර මේ වසරේ එම මාස අටක කාලය තුළ ලැබී ඇත්තේ ඩොලර් මිලියන 4224 කි. එය පසුගිය වසරේ මාස 8ක කාලයට සාපේක්ෂව ඩොලර් මිලියන 122ක පහත වැටීමකි. 2019 දී විදේශගත ශ්‍රමිකයන්ගෙන් ලද ආදායම ඩොලර් මිලියන 6700ක් වන අතර 2018 දී ඩොලර් මිලියන 7000ක් ලැබී තිබුණි.

ශ්‍රී ලාංකිකයන් විදේශ රටවල ශ්‍රමිකයන් ලෙස යන්නට වූයේ වසර 40ක පමණ සිටය. මේ වන විට විදේශ රුකියාවල නිරත ශ්‍රමිකයන් පිරිස 15 ලක්ෂයක් පමණ වෙති. මොවුන්ගෙන් වැඩිම පිරිසක් සිටින්නේ මැදපෙරදිග කලාපයේය. 2019 මහ බැංකු වාර්තාවට අනුව, (ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වූවන් මත පදනම්ව) ගෘහ සේවිකාවන් 30ක්ද නුපුහුණු ශ්‍රමිකයන් 25.2ක්ද අර්ධ නිපුණ ශ්‍රමිකයන් 1.5ක් සහ පුහුණු ශ්‍රමිකයන් 30.ක්ද එම විදේශ ශ්‍රමිකයන් අතරට අයත්ය. ඉතිරි පිරිස (කම්කරු නොවන කාණ්ඩය) වෘත්තිකයන් 4.9ක්ද මධ්‍යම මට්ටමේ 2.8ක් හා ලිපිකරු වැනි වෘත්තීන්හි නිරත 4.5ක් පමණ සිටිති. මෙම පිරිසෙන් වැඩි පිරිසක් සේවයේ නිරතව සිටින්නේ  බහරේනය, කුවේටය, ඕමානය, කටාර්, සෞදි අරාබිය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය වැනි මැදපෙරදිග රටවලය. තවත් සුළු පිරිසක් වෙනත් රටවල සේවය කරති. මහ බැංකු වාර්තා අනුව 2014 වසරේ 300.703ක්ද, 2015 වසරේ 263,443ක්ද, 2016 වසරේ 242,816ක්ද, 2017 වසරේ 211,992ක්ද, 2018 වසරේ 211,459ක්ද, 2019 වසරේ 203,186ක්ද විදේශ රුකියා සඳහා මෙරටින් පිටව ගොස් තිබේ. ඔවුන් විසින් එවන මුදල් ශ්‍රී ලංකාවේ ප්‍රධානතම විදේශ ආදායම් මාර්ගය වී තිබේ. එමගින් රටේ වෙළෙඳ ශේෂයෙන් 70ක් පමණ පියවා ගත හැකිය.

විදේශගත ශ්‍රමිකයන්ගෙන් මෙරටට ලැබුණු විදේශ විනිමය අවම වීමට කොරෝනා වසංගතය ඍජුවම බලපෑවේය. බොහෝ රුකියා ආයතන වැසී යාම හේතුවෙන් හා ආයතනවල ආදායම් මාර්ග ඇණහිටීම හේතුවෙන් විශාල පිරිකට රුකියා අහිමි කෙරිණි. මැදපෙරදිග කලාපයේ ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් ගැටලු ගණනාවකට මැදිවී සිටියහ. ඔවුන්ගේ රුකියා බලපත්‍ර කල් ඉකුත්වීම හා රුකියා අහිමිවීම හේතුවෙන් විශාල පිරිසක් විවිධ  දුෂ්කරතාවලට මුහුණ දුන්හ. ඔවුන්ට ආහාර, නවාතැන් හා වෙනත් මූලික පහසුකම් ලබාගැනීම පවා දුෂ්කර විය. ඇතැම් ශ්‍රමිකයන්ට ලැබුණේ අර්ධ වැටුපකි. භාණ්ඩ මිල ද විශාල ලෙස ඉහළ ගියේය. එහෙයින් එම රටවල සිට නැවත ලංකාවට පෙරළා පැමිණීමට විශාල ශ්‍රමිකයන් පිරිසක් ඉල්ලා තිබිණි. එලෙස ලංකාවට පැමිණි පිරිස ලක්ෂයකට වඩා වැඩිය.  දිගු කලක් ගුවන් තොටුපළ වසා තිබීම හේතුවෙන් තවත් පිරිසකට යළි තම රැකියා සඳහා පිටත්ව යාමට නොහැකි විය. විදේශ රුකියා වෙළෙඳපොළ දරුණු කඩාවැටීමකට ලක් විය. ශ්‍රී ලංකාවට ඔවුන් එවූ විදේශ මුදල් ප්‍රමාණය අවම වූයේ මෙවැනි කරුණු ගණනාවක් හේතුවෙනි. 

ආර්ථිකය කඩා වැටීම ශ්‍රී ලංකාව පමණක් මුහුණ දෙන අර්බුදයක් නොවේ. කොවිඩ්-19 වසංගතය ලොව සෑම රටකම පාහේ ආර්ථිකයට දැඩි බලපෑමක් එල්ල කළේය. එම රටවලද බොහෝ පිරිසකට රුකියා අහිමි විය. සංචාරක ව්‍යාපාරය සම්පූර්ණයෙන්ම කඩා වැටුණු අතර එමගින් යැපුණු බොහෝ රටවල තත්ත්වය ඉතා දුක්ඛිත විය. ශ්‍රී ලංකාවටද එය තදින්ම බලපෑවේය. ගෝලීය වශයෙන් විදේශගත ශ්‍රමිකයන් තම රටවලට යවන මුදල් ප්‍රමාණයෙන් අමෙරිකන් ඩොලර් බිලියන 110ක ප්‍රමාණයක් 2020 දී අහිමි වනු ඇති බවත්, එය විදේශගත ශ්‍රමිකයන්ගේ ආදායම් මත යැපෙන රටවල ආර්ථිකය අඩපණ කිරීමට බලපානු ඇති බවත් ‘මූඩීස්’ නමැති ශ්‍රේණිගත කිරීම් ආයතනය මගින් නිකුත් කළ වාර්තාවක දක්වා තිබිණි. මූඩීස් යනු ජාත්‍යන්තර ආයතන හා රාජ්‍යයන් විසින් ආයෝජන හා ණය ලබාදීමේදී සලකා බලනු ලබන ශ්‍රේණිගත කිරීම් සිදු කරන ආයතනයකි

විදේශගත ශ්‍රමිකයන් මගින් තම රටවලට 85ක් පමණ ආදායමක් උපයා ගන්නා ලොව රටවල් 25ක් පමණ කොවිඩ්-19 වසංගතය නිසා දුර්වල වී ඇති බව එම වාර්තාව පෙන්වා දී තිබිණි. ලෝකයේ විවිධ රටවල් විදේශගත ශ්‍රමිකයන්ගෙන් උපයා ගත් ආදායම 2019 වසරේදී ගෝලීය මට්ටමෙන් වාර්තාගත ඉහළම අගයක් වන අමෙරිකන් ඩොලර් බිලියන 554ක් දක්වා ඉහළ ගිය නමුදු 2020 වසරේදී එය දැවැන්තම කඩා වැටීමකට ලක්වූ බව එම වාර්තාව පෙන්වා දී තිබේ.  ශ්‍රී ලංකාව කොවිඩ්-19 වසංගතයට පෙර සිටම 201ක අනතුරුදායක තත්ත්වයකට මුහුණදී තිබුණු බවත්, විදෙස් ආදායම් අහිමි වුවහොත් ශ්‍රී ලංකාවේ ආර්ථික තත්ත්වය තවත් අනතුරුදායක විය හැකි බවත් එම වාර්තාව මගින් පෙන්වා දී තිබුණි. අප දැන් මුහුණ දී සිටින්නේ එම අනතුරුදායක තත්ත්වයටය.

විදේශ විනිමය අවම වීමට ඩොලරයේ අගය ඉහළ යෑම, ලෝක වෙළෙඳපොළේ භාණ්ඩ මිල ඉහළ යෑම වැනි කරුණුද බලපෑවේය. එමෙන්ම ඇතැම් දේශීය අපනයනකරුවන් අපනයනවලින් උපයාගන්නා ඩොලර් ආදායම අහිමිවීමද ඒ සඳහා  බලපා තිබේ. දේශීය අපනයනකරුවන් තම අපනයනවලින් උපයාගත් විදේශ විනිමය මෙරටට ගෙන ඒම ප්‍රමාද කර එම මුදල් වැඩි පොලී ලැබෙන විදේශ මුදල් ගිණුම්වල පවත්වාගෙන යමින්, රට තුළ මුදල් අච්චු ගැසීමෙන් බහුල වී ඇති රුපියල්වලින් අඩු පොලියට ණය ගෙන ඔවුන්ගේ එදිනෙදා කටයුතු කිරීමට කටයුතු කර ගැනීමට පෙළඹී ඇතැයිද වාර්තා වේ. එමෙන්ම මෙරට බැංකු පද්ධතියට පිටින් උන්ඩියල් ක්‍රමයට ඩොලර් හුවමාරුවද ව්‍යාප්ත වී තිබේ.  එමෙන්ම කොවිඩ් එන්නත්කරණය සඳහා අවශ්‍ය එන්නත් විශාල වශගෙන් ගෙන්වීමට සිදුවීම නිසා විශාල විදේශ විනිමය ප්‍රමාණයක් පිටරටවලට ඇදී ගියේය. මේවායේ ප්‍රතිඵලය වූයේ අපේ රටේ විදේශ විනිමය සංචිත විශාල වශයෙන් පහත වැටීමය. පසුගිය ජූලි මාසය අවසන් වන විට රටේ විදේශ සංචිත ඩොලර් බිලියන 2.8ක් දක්වා අවම වී ඇතැයිද, එයින් භාවිත කළ හැක්කේ ඩොලර් බිලියන 2.4ක් පමණක් යැයිද මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති, බැංකු, මූල්‍ය හා ආර්ථික විද්‍යාව පිළිබඳ උපදේශක සහ ආර්ථික විශ්ලේෂක ඩබ්ලිව්.ඒ. විජේවර්ධන මහතා පෙන්වා දෙයි.

2019 දෙසැම්බරයේ සිට මේ වන තෙක් අමෙරිකානු ඩොලරය ශ්‍රී ලංකා රුපියලට සාපේක්ෂව 20෴කට ආසන්න ප්‍රමාණයකින් අධිප්‍රමාණ වී ඇති බැවින් රටේ බොහෝ ආනයනික භාණ්ඩවල මිල ගණන් ඉතා විශාල ලෙස ඉහළ ගියේය. අපට අවශ්‍ය ගෑස්, ඉන්ධන, ආහර ද්‍රව්‍ය ලබාගැනීමට ඩොලර් නොමැතිවීමෙන් රට අර්බුදයකට මුහුණ දෙමින් සිටී. ඩොලර් නොමැතිකමින් ඇතැම් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය පවා වරායෙන් නිදහස් කර ගැනීමට නොහැකිව අපනයනකරුවෝ මැසිවිලි නගන්නට වූහ. ලෝක වෙළෙඳපොළේ භාණ්ඩ මිල ඉහළ ගිය අතර ඩොලරයට සාපේක්ෂව රුපියල අවප්‍රමාණය වීම හේතුවෙන් භාණ්ඩ සඳහා වැඩි මුදලක් ගෙවීමට ආනයනකරුවන්ට සිදු විය. එහි ප්‍රතිඵලය වූයේ භාණ්ඩ හිඟයක් ඇති වී, මිලද වැඩි වී, ජනතාවට පෝලිම්වල සිට භාණ්ඩ ලබාගැනීමට සිදුවීමය.

ශ්‍රී ලංකා මහ බැංකුවේ බාහිර වෙළෙඳ සංඛ්‍යාලේඛනවලට අනුව 2020 පළමු කාර්තුව සඳහා සමස්ත ආනයන වියදම රුපියල් මිලියන 821,457ක්වූ අතර 2021 පළමු කාර්තුව සඳහා එය මිලියන 978,240 දක්වා 19.1කින් වැඩි වූ අතර මෙම කාර්තුවේදී පාරිභෝගික භාණ්ඩ ආනයන වියදම 2020 වර්ෂයේ පළමූ කාර්තුවේ පැවැති මිලියන 176,285 සිට රුපියල් මිලියන 193,527 දක්වා 9.8කින් වැඩි වී තිබේ.  

 ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා

 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:05