2021 ඔක්තෝබර් 30 වන සෙනසුරාදා

නිල් අහස් තලේ අගේ ගීය ගැයූ ගුරැන්ෙගත් ගුරු වූ යූ.ජී.පී. ද සිල්වා

 2021 ඔක්තෝබර් 30 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 228

මේ ගසේ බොහෝ
පැණි දොඩම් තිබේ
පැහිල ඉදිල, බිමට නැමිල
බරවෙලා අතූ
නංගිටයි මටයි
ගෙඩි දෙකක් ඇතී
වැඩිය කඩන නරක ළමෝ
හෙම නොවේ අපී*

මේ ගීතය නෑසූ, නොගැයූ, ළමයකු, වැඩිහිටියකු සොයා ගැනීම නිකිනි සොයා ගැනීම වැනිය. මේ ගීතය රචනා කළේ කවුද? එහි තාලය හැදුවේ කවුද? මෙය ඔබ දැන සිටියාද? මේ ගීතය බිහිවී වසර හැත්තෑ පහකට කිට්ටුය.
මේ ගීතයේ නිර්මාණකරු යූ.ජී.පී. ද සිල්වා මහතාය.

ගුරු අභ්‍යාස විද්‍යාලයාධිපතිවරයකු ලෙස ගුරු සිසුන් රාශියක් බිහි කළ %ගුරුන්ගේ ගුරු^ ලෙස කට පුරා හැඳින්වූ සිල්වා මහතා කොළඹ, බලපිටිය, පොල්ගොල්ල, මීරිගම, කටුකුරුන්ද ගුරු විදුහල්වල සේවය කළ කාල පරිච්ඡේදය රන් අකුරින් ලියැවී ඇත.
කොතැනකදී කෙසේ හෝ ඔහුගේ දෙසුමක් නෑසූ ගුරුවරයෙක්, ගුරුවරියක් මෙ ලක්දිව නැති තරම්ය. හරබර ගැඹුරු මානසික විද්‍යාත්මක කරුණු ඔහු දෙසුවේ හැමටම තේරුණු රස බසිනි. දිනෙක එය පැයකට සීමා විය. තවත් දිනෙක පැය දෙක, තුන ඒ සඳහා ගත විය. ඇතැම්විට රාත්‍රී කෑමේ සිට මධ්‍යම රාත්‍රිය දක්වා මෙම දෙසුම පැවැත්විණි. එය ඇසූ කිසිවෙක් කොතෙක් වේලා ගතවී දැයි නොදනිති. එතරම් රසවත් ලෙස ඒ ගැඹුරු විද්‍යාව ඔහු ඉගැන්වූයේය. මේ නිසාම උණ ගැනී නිදි ඇඳේ සිටි ගුරු සිසුන් පවා මෙතුමාගේ පාඩමට සහභාගි වූයේ ඉන් සුවය ලැබීමට නොව එය නොඅසා ලබාගන්නා කරුණු සටහන් ගණනකිනිදු ඉගෙන ගත නොහැකි නිසාය. මේ නිසා හැම ගුරු සිසුවෙක්ම මනෝ විද්‍යා පාඩම කිසිසේත් අමතක නොකළෝය.
මේ හැඳින්වීම කර ඇත්තේ සිල්වා මහතාගේ ගෝලයකු වූ නන්දන පී. සුගතපාල විසින් %ගුරුන්ගේ ගුරු දේවයා^ මැයෙන් නව යුගය (1966) සඟරාවට ලියූ ලිපියකිනි.

කුඩා දරුවන්ගේ රසවින්දනය දියුණු කිරීමට පුහුණු ගුරුවරුන්ට සිල්වා මහතා විසින් රචනා කොට මියුරු ලෙස කරමින් ගායනා කළ %මේ ගසේ බොහෝ% ගීය මෙන්ම මේ ගීතයද අද දක්වා නොනැසී පවතී.

හඳ හාමී හැංගි හැංගි
එබිලා බලනවා
ඈත සුදට වටකුරුවට
අන්න පෙනෙනවා
පුංචි අපට
කිරියි පැණියි

දීලා යනවා
1944 ගුරු ඇබෑසි විදුහලේදී සිල්වා මහතා ගැයූ මේ ගීත සඳහා සර්පිනාව වාදනය කර ඇත්තේ වෙන්නප්පුවේ ජේ.කේ. සෙබෙස්තියන් පෙරේරාය.
මේ අතීත කතාව යූ.ජී.පී. ද සිල්වා මහතා මට සඳහන් කළේ 1980 වසරේ මා විසින් නව යුගය පුවත්පතට ලියූ ලිපියකට කළ පිළිසඳරකදීය. මේ හමුවටද නිදාන කතාවක් ඇත.
මගේ වැඩිහිටි මිත්‍රයකුව සිටි ඒ.එච්. පියසේන මහතා ප්‍රවීණ මාධ්‍යවේදී සමන් අතාවුදහෙට්ටි හා ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ හා ටෙලිනාට්‍ය අධ්‍යක්ෂ අසෝක අතාවුදහෙට්ටිගේ පියා වරක් හමුවූ අවස්ථාවක මෙසේ කීවේය.
විවේකයක් තියෙන වෙලාවක ඉතා වටිනා මහත්තයෙක් හමුවෙන්න යමුද?

භාෂා ප්‍රවීණයකු, දක්ෂ ගුරුවරයකු, ළමා නාට්‍ය නිෂ්පාදකවරයකු වූ පියසේන මහතාට අපේ තිබෙන ගෞරවය නිසා මම එකඟ වී දිනක් තිඹිරිගස්යායේ වජිර පාරට හැරෙන තැන පිහිටි දෙමහල් නිවෙසකට ගියෙමි. එදා අප ගියේ පියසේන මහතා පුහුණුව ලැබූ යූ.ජී.පී. ද සිල්වා මහතාගේ නිවෙසටය.

සිල්වා මහතා ගුරු විදුහල්පතිවරයකු, ළමා ගීත ගායකයකු, ගායකයකු මෙන්ම චිත්‍ර ශිල්පියකු, ගුවන් විදුලි ශිල්පියකු, ලේඛකයකුද ලෙස ප්‍රතිභාව දැක්වූ කලාකරුවෙකි.
ඔබ හොඳට අසා තිබෙන ළමුන් සමූහ වශයෙන් තවමත් ගයන මේ ගීතයේ මුලින්ම ගායකයා සිල්වා මහතා බව දන්නේ කීයෙන් කී දෙනාද?

නිල් අහස් තලේ අගෙයි
නෑ වළාකුළු
ලස්සනයි පුරා හඳේ
රැස් විහිදිලා
නිල් නෙළුම් නිදා වැටේ
මානෙල් මල් පිපේ
ලස්සනයි පුරා හඳේ
රැස් විහිදලා

1940 වසරේ සිල්වා මහතා ගැයූ මේ ගීතයේ ගීත රචනය සංගීතඥ යූ.ඩී. පෙරේරා මහතාය. මේ ගීතය ලියන්න තමා අදහස් දුන්නත් එය සර්ව සම්පූර්ණව රචනා කොට තනුව නිර්මාණය කළේ යූ.ඩී. පෙරේරා මහතා බව සිල්වා මහතා මා හමුවූ අවස්ථාවේ නිහතමානීව පැවසුවේය. ඒ කාලයේ රුසියන් ජාතිකයන් සමූහයක් ලංකාවට පැමිණ ඇත. ඔවුන් ලංකාවේ ගැයූ මුල්ම ගීතය වූයේ නිල් අහස් තලේ ගීතයයි. මෙහි තවත් විශේෂයක් නම් සංගීතඥ, ගීත රචක යූ.ඩී. පෙරේරා ගුරු අභ්‍යාස විද්‍යාලයේ තමාට වඩා වයසින් වැඩි ශිෂ්‍යයකු වීමය.

මේ ගීතය තිස්ස අබේසේකරයන් විසින් අධ්‍යක්ෂණය කළ පසුව සම්මානනීය සිනමා කෘතියක වූ මහගෙදර චිත්‍රපටයේ දර්ශනයක් සඳහා යොදා ගත්තේය. එහිදී චිත්‍රා සෝමපාල, මොරිස් විජේසිංහ, නීලා වික්‍රමසිංහ හා උපාලි රංජිත් විසින් ගයන පසුබිම් ගීතයක් ලෙස සෝමලතා සුබසිංහ, විජය කුමාරණතුංග, ශ්‍රියාණි අමරසේන හා තිස්ස අබේසේකර රඟපාන දර්ශනයකට මෙම ගීය අධ්‍යක්ෂකවරයා යොදා ගත්තේය.
සිල්වා මහතා ලංකා ගුවන්විදුලියට ද දායක වී ඇත. වසරක් පාසා කැලණියේ ජයට කෙරෙන දුරුතු පෙරහර දෙස බලාගෙන සජීව ගුවන්විදුලි ප්‍රවෘත්ති විස්තරයක් කළ නිවේදකයා වූයේද ඔහුය. ගුරු අභ්‍යාස විද්‍යාලයේ සිටියදී ඔහු %සකුන්තලා^ නමින් නාට්‍යයක් රචනා කොට නිෂ්පාදනය කළේය.

මගේ %සකුන්තලා^ නාට්‍යයේ එදා ගුරු විද්‍යාලයේ පුහුණුව ලැබූ සිසුන් වූ එච්.ඩී. සුගතපාල (පසුව රාජකීය ප්‍රාථමික විදුහල්පති) දුෂ්‍යන්ත ලෙසද එල්.එච්. විමලසූරිය (පසුව විභාග කොමසාරිස්) හා පසුව පරමාදර්ශී ගුරුවරුන් හා විදුහල්පතිවරයකු ඩී.ඒ. ජයකොඩි, ශීලා ජයකොඩි, ශිලා ජයසිංහ, එස්. මලල්ගොඩ, එස්. සවුන්ද්‍රනයගම් හා පසුව දිස්ත්‍රික් පාසල් පරීක්ෂකවරයකු වූ හැරී දන්දෙණියත් රඟපෑවා.* සිල්වා මහතා කියා ඇත.
උණවටුන ගමගේ පැටර්සන් ද සිල්වා 1906 නොවැම්බර් 10 වැනිදා ගාල්ලේ උණවටුනේ දළවැල්ලේ උපත ලැබීය. ඔහු මුලින්ම ඉගෙන ගත්තේ මිහිරිපැන්නේ බෞද්ධ මිශ්‍ර පාඨශාලාවේත් ගාල්ලේ බොනවිස්ටා පාසලෙත්ය. ද්විතීයික අධ්‍යාපනය ලැබුවේ ගාල්ලේ මහින්ද විද්‍යාලයේය. මහින්දයේ ඉගෙන ගන්නා කාලයේ සිට ඔහු කලාවට, යොමු වූ හැටි මට විස්තර කර තිබුණි.

මගේ පාසල් ජීවිතයේ ලස්සනම කාලය ගෙවුණේ මහින්දෙදී. මගේ එකම පන්තියේ හිටිය පසුව ලංකාවේ මහා පත්‍ර කලාවේදියා වූ ඩී.බී. ධනපාල හා පසුව ලේඛකයෙක්, පරිවර්තකයෙක්, ග්‍රන්, කතුවරයෙක් හා ගාල්ලේ මහින්දයේ කීර්තිමත් ගුරුවරයකු වූ ජස්ටින් විජයවර්ධනත් එකතුව මම %රාමායනය^ නාට්‍ය පාසලේ රඟදැක්වීම ප්‍රධාන සිද්ධියක්. ගාලු සිංහල සමිතිය මගින් වේදිකාගත කළ %ශ්‍රී වික්‍රම රාජසිංහ^ නාට්‍යයේ ඇහැලේපොළ කුමාරිගේ චරිතයත්, %පංචවතී^ නාට්‍යයේ පංචවතී ලෙසත් මම රඟපෑවා. ඒ කාලේ පිරිමි තමයි ගැහැනු චරිත රඟපෑවේ.

සිල්වා මහතා ගුරු වෘත්තියට පිවිස ඇත්තේ වයස අවුරුදු 18 දීය. ඒ පසුව ගාලු විද්‍යාලය ලෙස හැඳින්වූ එදා දේවතුරේ බෞද්ධ මිශ්‍ර පාඨශාලාවේය. 1927 ගාල්ලේ මහින්ද විද්‍යාලයේ ගුරුවරයකු ලෙස පැමිණි විට ඔහුට උගන්වන්න සිදුව ඇත්තේ තමාට වඩා වැඩිමහල් ශිෂ්‍යයන්ට බවත් ඒ අතර පසු කලෙක රජයේ සංගීත විද්‍යාලයේ අධිපති වූ සංගීතඥ ලයනල් එදිරිසිංහත් සිටි බව සිල්වා මහතා පැවසීය.

1980 වසරේ මා ඔහු පදිංචිව සිටි බම්බලපිටියේ වජිර පාරේ නිවෙසට යන විට සිල්වා මහතා සිටියේ තරමක අසනීප ගතියකිනි. එහෙත් අප හා කතාවට වැටුණු පසු ජවසම්පන්න තරුණයකු ලෙස පැරණි තොරතුරු, තමා විසින් මසුරු ලෙස සුරුකිව තිබූ පැරණි දිනපොත් පෙරළා පරණ සිද්ධීන් ආවර්ජනය කොට සතුටක් ලැබීය. ගීතයක් දෙකක් අසල තිබූ පියානෝවෙන් වාදනය කොට පෙන්නුවේය.
මම පුංචි කාලේ ඉඳලම දින පොතක වැදගත් සිද්ධි ලියන්න පුරුදුව හිටියා. මගේ හිතේ ඔහොම ලියපු දින පොත් පනහකට වැඩිය මා ළඟ ඇති. මේ ළඟදි මට 1938 දින පොතක් හම්බවුණා.* දූවිලි පිසදා දියණිය විසින් ගෙන ආ %ටයිම්ස්^ දින පොත සිල්වා මහතා පෙන්වූයේ එහි ලියැවී ඇති ඓතිහාසික සිද්ධියක් අපට පෙන්වමිනි.
1938 මාර්තු 29

මෙදින මම ගුවන්විදුලි නාට්‍යයක රඟපෑවා. නාට්‍ය කළේ ඊ.ඒ. අබේසේකර මුදලිඳු හා ගුවන්විදුලියේ අධිකාරිවරයා වූ ෂර්ලි ඩා සිල්වා මහතා. මේ නාට්‍යයේ නම %සමාජ සේවකයා^. නාට්‍ය රචනා කර තිබුණේ ජේ.ආර්. ජයවර්ධන මහතාත්, ඒ මහතාගේ බිරිඳ එලිනා ජයවර්ධන මහත්මියත්. මේ නාට්‍යයේ ආචාර්ය ගුණපාල මළලසේකර හාමුදුරු කෙනකු ලෙස රඟපෑවා. මේ නාට්‍යයේ වූ ගීත දෙකම රචනා කළේ මම. එහි එන හිඟන්නාගේ චරිතයත් රඟපෑවා.*
සිල්වා මහතා පරණ තොරතුරු අපට කීවේ හඬ නගා සිනාසෙමින් උපහාස රසයත් කැටිකොටය.

‍මේකෙ ලස්සනම වැඩේ මේකයි. මේ ගුවන්විදුලි නාට්‍ය අහල රත්නපුර පැත්තේ වලව්වක වයසක නෝනා කෙනෙක් හිඟන්නා ලෙස රඟපෑ මට රුපියල් 25ක තෑග්ගක් එවලා තිබුණා. ගුවන්විදුලි කාර්යාලයට එවා තිබූ තෑග්ග ෂර්ලි ඩා සිල්වා මහතා පිරිනැමුවා. ඒ වන විට වසර 15ක් ගුරු වෘත්තියේ යෙදී සිටි මට ලැබුණේ කුඩා වැටුපක්. ගුරුවරයකු වූ මම හිඟන්නාගේ චරිතය හොඳින් රඟපෑම පුදුමයක් නොවෙයි කියල මා කිව්වාම ෂර්ලි ඩා හිනා වුණා. ඉස්සර වගේ ගුරුවරු අද (1980 දී) නැහැ. අද ජීවන ප්‍රශ්න එක්ක ඔවුන් අරගල කරන්නේ. ඒ නිසා අද ගුරුවරුන්ගෙන් නිසි සේවය හරියට ඉටුවන්නේ නැහැ. මම මුලින්ම ගුරුවරයකු ලෙස ලැබූ මුල්ම වැටුප රුපියල් 40යි. ඉන් රුපියල් 10ක් පාසලට අවශ්‍ය උපකරණ ගැනීමට යෙදෙව්වා.*
යුද්ධ කාලයේ ගුරු විද්‍යාලයේදී භික්ෂුන් වහන්සේලා සඳහා පැවැත්වූ විශාරද පන්තිවල ඉගැන්වීමට පත් කරන ලද්දේ සිල්වා මහතාවය. ඒ කාලයේ ඔහුගෙන් ඉංග්‍රීසි ඉගෙන ගත් ස්වාමින් වහන්සේලා අතර මඩිහේ පඤ්ඤාසීහ, මාතලේ ශාසනතිලක, මිරිස්සේ ගුණසිරි, මොරටුවේ ශාසනරතන, රද්දැල්ලේ පඤ්ඤාලෝක, හාලියාලේ සුමනතිස්ස යන වියත් පඬි හිමිවරු ප්‍රධාන තැන ගත්හ. බෞද්ධ භික්ෂුන් වහන්සේලා විදේශවලදී බෞද්ධ ධර්ම ප්‍රචාරය කිරීමට අවශ්‍ය දැනුම ලබාදෙන ඉංග්‍රීසි පන්ති මුලින්ම පටන්ගෙන ඇත්තේද සිල්වා මහතාගෙනි.

මුල්වරට ගුරු අභ්‍යාස විද්‍යාලයේ සිංහල ගාන්ධර්ව සභාවක් ආරම්භ කිරීමේ ගෞරවයද හිමිවන්නේ සිල්වා මහතාටය. ඒ 1936 වසරේදීය. සිල්වා මහතා භාණ්ඩාගාරික වූ ගාන්ධර්ව සභාවේ ලේකම්වරුන් වූයේ මුදලිඳු අබේසේකර සහ එස්.එල්.බී. කපුකොටුව යන මහතුන්ය. මේ වසරේ ලංකා ගුවන්විදුලි සේවයේ ගායක ගායිකාවන් තේරීමේ වගකීමද සිල්වා මහතාට පැවරී තිබුණි.

සිංහල ගීතය ගුරු අභ්‍යාස විද්‍යාලය තුළ ඇතුළත් කිරීමට පුරෝගාමී වූයේ ද එහි කථිකාචාර්යවරයකුව සිටි සිල්වා මහතාය. එදා කොළඹ ට්‍රේනිං කොලිජිය ලෙස හැඳින්වුණු එම ගුරු අභ්‍යාස විද්‍යාලයේ සිසුන් පිරිසක් විවිධ ප්‍රසංගයක් සංවිධානය කළහ. සුදු අධිරාජ්‍යවාදීන්ගේ පාලනයට යටත්ව තිබූ ඒ කාලයේ ඉංග්‍රීසි ගීත පමණක් ඇසීමට සැදී පැහැදී සිටි ඒ යුගයේ සිල්වා එයට එරෙහි වී බම්බලපිටියේ වෙළෙඳ ව්‍යාපාරිකයකුගෙන් හාමෝනියම් එකක් ඉල්ලාගෙන ඇවිත් විවිධ ප්‍රසංගයේදී %සීතා කෝකිල නාද මධුර ස්වර නම් ගීතයක් ගයා ඇත. මුළු ශාලාව මීයට පිම්බා සේය. පසුදා ගුරු විදුහල්පති ඉංග්‍රීසි ජාතික ඒ.එස්. හැරිසන් මහතා සිල්වා මහතා කාර්යාලයට කැඳවීය.

උඹ මින් පසු සිංහල ගීත කියන්න ගෝලයන්ට පුරුදු කරන්න ඕනෑ. උඹ ඊයේ කියපු සින්දුවට මම පැහැදුණා. උඹට ඕනෑ සංගීත භාණ්ඩ මම ගෙනවිත් දෙන්නම්.
මේ ආකාරයෙන් ගුරු අභ්‍යාස විද්‍යාලවල සංගීතය හා සංගීතය උගන්වීමට ඔහු පුරෝගාමී විය. සිල්වා මහතා තම ධනය ලෙස සැලකුවේ සිසුන්ය. ඒ අතරින් තමාගේ පන්තියේ ඉගෙන ගත් ගෝලයන් කිහිප දෙනකුගේ නම් මතක් කළේය. පසුව ලංකා විශ්වවිද්‍යාලයේ පාලි මහාචාර්යවරයාව සිටි ඇන්.ඒ. ජයවික්‍රම, මහරගම ගුරු අභ්‍යාස විද්‍යාලයේ කථිකාචාර්යවරයකුව සිටි එච්.ඩී.එච්. ගුණවර්ධන, රාජකීය විද්‍යාලයේ ආචාර්යවරයකු හා %පොතේගුරා^ සම්මානනීය ළමා නාට්‍ය නිෂ්පාදනය කළ ඒ.එච්. පියසේන, ප්‍රධාන බාල දක්ෂ කොමසාරිස්ව සිටි ටී. සෙනෙවිරත්න ඒ අතර වූහ.

ගුරු විදුහල් සේවයේ අමරණීය යුගයක් උදා කළ අධ්‍යාපන අධ්‍යක්ෂ එච්.එස්. පෙරේරා මහතාගේ යෝජනාවක් අනුව සිල්වා මහතාට %අධ්‍යාපන^ සඟරාවේ ප්‍රධාන සංස්කාරක ලෙස පත්කර ඇත. මේ සඟරාව මගින් ඇරඹුණු අධ්‍යාපනික, සාමාජික හා භාෂාමය විප්ලවය සර් ඩී.බී. ජයතිලක මහතාගේ නොමඳ ප්‍රශංසාවට ලක්වූ බව වාර්තා වේ. 1940 දී පාඨශාලා විෂය මාලාවේ සංවිධායක ලෙස ද 1956 දී සයිමන් ද සිල්වා කියවීම් පොතට උචිත ලෙස සකස් කොට චිත්‍ර හා මුද්‍රණ තක්සේරුව සහිතව ඉදිරිපත් කිරීමේ වගකීම පැවරුණේ සිල්වා මහතාටය. ඔහු 1947 දී 5 වැනි ප්‍රමාණයට හා ඉහළ පන්තිවලට %බුද්ධි පරීක්ෂණ^ නමින් අත්පොතක් ගුණසේන ප්‍රකාශනයක් ලෙස පළ කොට ඇත. Intelligence Tests නම් පොතේද කතුවරයා විය.
ගුරුන්ගේ ගුරු දේවයා හැඳින්වූ යූ.ජී.පී. ද සිල්වා මහතා 1991 සැප්තැම්බර් 20 වැනිදා ජීවිතයෙන් සමුගත්තේය.