2021 නොවැම්බර් 06 වන සෙනසුරාදා

සීමා-මායිම් එක්කම කොරෝනාව අමතක කළ මිනිස්සු

 2021 නොවැම්බර් 06 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 117

මාස කිහිපයක් තිස්සේ ක්‍රියාත්මක වූ පළාත් අතර සංචරණ සීමා ඔක්තෝබර් 31 වැනිදායින් අවසන් විය. අන්තර් පළාත් සීමා ඉවත් කිරීමට ප්‍රධාන වශයෙන් බලපෑවේ ගමනාගමන ක්ෂේත්‍රයේ සහ වෙනත් ක්ෂේත්‍ර මුහුණ පා සිටින දුෂ්කරතාවන්ය. සංචරණ සීමා පැනවූ සමයේ කොවිඩ් 19 ව්‍යාප්තියේ හා මරණවල අඩුවක් දැකිය හැකි විය. දිනකට 600 පමණ වූ මරණ 20ක් වැනි අඩු අගයකට පත් විය. එහෙත්  තවමත් කොවිඩ් පැතිරීමේ අවදානම අවම වී නොමැති අතර පසුගිය සතියේ රෝගීන් 5002ක් වාර්තා විය. එය පෙර සතියට වඩා 12.2%ක වැඩිවීමක් බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි. 

සංචරණ සීමා ඉවත් කිරීමත් සමඟ ජනතාව යළි ඒකරාශි වීම හේතුවෙන් හා නිවැරදි සෞඛ්‍ය උපදෙස් අනුගමනය නොකිරීමෙන් යළි කොරෝනාව හිස එසවිය හැකිය. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පෙන්වා දෙන්නේ සංචරණ සීමා ඉවත් කිරීම විනෝද චාරිකා යෑමට හෝ නිදහසේ සංචාරය සඳහා රට විවෘත කිරීමක් නොවන බවයි. පළාත් සංචරණ සීමා ඉවත් කිරීමෙන් පසු පළාත් අතර බස් රථ සහ දුම්රිය ගමන් ක්‍රියාත්මක වනු දැකිය හැකි විය. පොදු ප්‍රවාහන සේවාවන්හි ගමන් ගන්නා මගීන්ගෙන් බලධාරීන් ඉල්ලා සිටියේ සෞඛ්‍ය අමාත්‍යංශය මගින් නිර්දේශ කර ඇති සෞඛ්‍ය උපදෙස් පිළිපදිමින් තම එදිනෙදා රාජකාරිවල නිරත වන ලෙසටය.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා සඳහන් කරන පරිදි මේ මොහොත වනවිටත් ඇතැම් ප්‍රදේශවල අනපේක්ෂිත ලෙස රෝගීන්ගේ වැඩිවීමක් පෙන්නුම් කරමින් තිබේ. මෙයට හේතු වී ඇත්තේ විශාල වශයෙන් පුද්ගලයන් ඒකරාශී වීම බවද ඒ මහතා සඳහන් කරයි. මෙලෙස පුද්ගලයන් ඒකරාශී වීමේ ප්‍රතිඵල දැකගත හැකි වන්නේ එක් දිනකින් නොව සති කිහිපයකින් බවද ඒ මහතා පෙන්වා දෙයි.

රට විවෘත කිරීමෙන් පසු වුවද නොවැම්බර් මස 01 වැනි දින සිට 15 වැනි දින දක්වා දින 15ක කාලයක් සඳහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා නව සෞඛ්‍ය උපදෙස් මාලාවක් නිකුත් කර තිබේ. සාකච්ඡා, සම්මන්ත්‍රණ පැවැත්වීමේදී හැකිතාක් මාර්ග ගත ක්‍රම අනුගමනය කරන ලෙසත්, රුස්වීමක් පැවැත්වීමේදී ශාලාවේ 1/3 ධාරිතාවකින් පැවැත්විය යුතු බවත්, විවාහ මංගල උත්සය පැවැත්වීමේදී ඒ සඳහා උපරිම ආරාධිතයන් පිරිසක් 100ක් හෝ විවාහ මංගල උත්සවය පැවැත්වෙන ශාලාව අනුව එහි 1/3ක ධාරිතාවකින් යුතුව අමුත්තන්ට ආරාධනා කළ හැකිවන අතර එළිමහනේ පැවැත්වෙන්නේ නම් ඒ සඳහා 150 ක පිරිසකට සහභාගි විය හැකිය. සිනමා ශාලා සහ නාට්‍ය ශාලාවලට ඇතුළත් කරගත හැක්කේ එහි උපරිම ධාරිතාවෙන් 25%ක පිරිසක් පමණකි. කාර්යාල, වෙළෙදසල්, පාසල්, ඇතුළු විවෘත කළ සියලු ආයතන සෞඛ්‍ය මාර්ග උපදේශන අනුව ක්‍රියා කළ යුතු බව එහි සඳහන්ය. මෙවැනි නීති තවමත් ක්‍රියාත්මක වන්නේ කොවිඩ් යළි හිස එසවීමේ අවදානම තවමත් පහව ගොස් නොමැති හෙයිනි.

සීමා පැනවූ කාලයේ කොවිඩ් ව්‍යාප්තිය අවම වූ බැවින් මේ වනවිට බොහෝ අයට  කොවිඩ් පිළිබඳ පැවැති බිය නැති වී ඇති බව පෙනෙන්නට තිබේ. ඔවුන් යළි නිරෝධායන නීති මායිම් නොකරමින් විශාල ලෙස ඒකරාශි වීමට, විනෝද චාරිකා යෑමට හා වෙරළ තීරවල සාද හා උත්සව ආදිය සංවිධානය කිරීමට බොහෝ පිරිස් කටයුතු කළ අයුරු පසුගිය දිනවල දැකගත හැකි විය. එම චාරිකාවල, සාදවල ඡායාරෑප ෆේස්බුක් පිටුවලද සංසරණය විය.

නුවරඑළිය, උඩවලව, හික්කඩුව, ඇල්ල, අනුරාධපුරය, චන්ද්‍රිකා වැව වැනි ප්‍රදේශවල විශාල පිරිසක් සංචාරවල නිරත වී සිටිනු දැකිය හැකි විය. බොහෝ පළාත්වල සංචාරක හෝටල් සියල්ලම පාහේ දේශීය සංචාරකයන්ගෙන් පිරීගොස් ඇති බවද අසන්නට ලැබිණි. පළාත් සංචරණ සීමා පැවති සමයේ වුවද පළාත් මායිම්වලදී ගමනාගමන කටයුතු දැඩිව පරීක්ෂා කිරීමට පොලීසිය පියවර ගෙන තිබුණත් එලෙස පළාත් සංචරණ සීමා උල්ලංඝනය කරමින් ජනතාව සංචාරක ස්ථාන වෙත පැමිණ තිබේ. එසේ පැමිණි බොහෝ දෙනෙකුගේ රථවාහන ලියාපදිංචි කර ඇත්තේ බස්නාහිර පළාතේ බව රථවාහන අංක තහඩුවලින් හඳුනාගත හැකි විය. නුවරඑළියට පැමිණි බොහෝ පිරිස් කුඩා දරුවන්ද සමග පැමිණ ඇති බව දැකිය හැකි විය. විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලි ද සිල්වා මහත්මිය සඳහන් කළේ දරුවන් ආසාදනයට ලක්වුවහොත් ඔවුන්ගේ පාසල් ගමන යළි අඩාල විය හැකි බැවින් එවැනි සංචාරවල නිරත වීම සුදුසු නොවන බවයි. හික්කඩුව ප්‍රදේශයේද සංචාරකයන් ගැවසෙනු දැකිය හැකි විය. එම ප්‍රදේශයේද හෝටල් රුසක් සංචාරකයන්ගෙන් පිරී පැවතිනි.

පසුගිය 31 වැනිදා සංචරණ සීමා ඉවත් කළ දිනම ඇඹිලිපිටිය චන්ද්‍රිකා වැව පිටවානේ දිය නෑම සඳහා විශාල පිරිසක් එක්රොක් වී සිටින අයුරු මාධ්‍ය වාර්තා කළේය. සෞඛ්‍ය නීතිරීති කිසිවක් පිළිනොපදිමින් එක පොදියට ඔවුන් ජල ක්‍රීඩා කරමින් සිටියේ තවත් කොවිඩ් රුල්ලකට අතවනමිනි. එහි සිටි පුද්ගලයන්ගේ වැඩි දෙනෙක් දුරස්ථභාවය තබා අවම වශයෙන් මුව ආවරණයක් හෝ පැළඳ නොසිටි අයුරු දැකගත හැකි විය. 

පසුගිය දිනවල අනුරාධපුර නගරයටද පිරිස ඇදී ආ අයුරු පෙනෙනන්ට තිබිණි. මේ හේතුවෙන් එම ප්‍රදේශයේ කොවිඩ් ව්‍යාප්තිය යළි හිස ඔසවමින් සිටින බව අනුරාධපුර දිස්ත්‍රික්කයේ වසංගත රෝග විශේෂඥ වෛද්‍ය ආර්.එම්. රත්නායක මහතා සඳහන් කරයි. පසුගිය කාලයේ රෝගීන් 60කට පමණ සීමා වි තිබුණද මේ වනවිට 150–170 වැනි ප්‍රමාණයකින් රෝගීන් වාර්තා වන බව ඒ මහතා සඳහන් කරයි. අනුරාධපුර දිස්ත්‍රික්කයේ පාසල් කිහිපයකම දරුවන් හා ගුරුවරුන්ද පසුගිය දින කිහිපය තුළ කොරෝනා ආසාදිත වී තිබේ. පසුගිය 27 දින පමණක් අනුරාධපුර, රඹෑව, පදවිය, කැකිරාව, කහටගස්දිගිලිය යන ප්‍රදේශවල සිදුකළ අහඹු රුපිඩ් ඇන්ටිජන් පරීක්ෂණවලින් කොවිඩ් ආසාදිතයන් එකසිය දහඅටදෙනකු හඳුනාගෙන තිබේ.
සංචරණ සීමා ඉවත් කිරීම රටින් කොවිඩ් ඉවත්වූ බව පෙන්වන සහතිකයක්   නොවන අතර  යම් යම් සීමා ඉවත් කරනු ලැබූවේ ජනතාවට සහන සැලසීම සඳහා බැවින්  වැරදි ආකල්ප සහිතව කටයුතු නොකරන ලෙසට කොවිඩ් වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කරයි. කොවිඩ් ආසාදිතයන් තවමත් හමුවන පසුබිමක ජනතාව බුද්ධිමත්ව කටයුතු කළයුතු බවත් දැනට පවතින ප්‍රතිඵල ළඟා කරගෙන ඇත්තේ බොහෝ කැපකිරීම් සිදුකිරීම හේතුවෙන් බවත් ඔහු සඳහන් කළේය. 

සංචාරයෙන් පමණක් නොව මේ දිනවල රටේ සෑම ප්‍රදේශයකම පාහේ පැවැත්වෙන ගොවි උද්ඝෝෂණවලට විශාල පිරිස් සහභාගී වන බව පෙනෙන්නට ඇති බවත් ඔවුන් බොහෝ විට මාධ්‍යට කරුණු දක්වන්නේ මුව ආවරණ නොපැළඳ බැවින් එවැනි පුද්ගලයන් අතර ආසාදියන් සිටියහොත් යළි කොවිඩ් අවදානමක් ඇති විය හැකි බැවින් හැකි පමණ සෞඛ්‍ය උපදේශවලට අනුකූලව කටයුතු කරන ලෙසත් ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපතිනි විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය ඉල්ලා සිටී.
ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පෙන්වා දෙන්නේ ජනතාව නිසි පරිදි නිරෝධායන නීති අනුගමනය නොකිරීම හේතුවෙන් බරපතල ගැටලු ඇතිවිය හැකි බවටය. දෑත් සේදීම, මුහුණු ආවරණ නිසි පරිදි නොපැළඳීම, සැනිටයිසර් භාවිතය අවම වී ඇතැයි ද පෙනෙන්නට තිබේ. බිම් මට්ටමින් කොවිඩ් රෝගය යළි හිස ඔසවමින් සිටින බැවින් දෙසැම්බර් මාසය අග වනවිට යළි කොවිඩ් අවදානමක් ඇති විය හැකියැයි සෞඛ්‍ය අංශ අනතුරු අඟවා තිබේ. ශ්‍රී ලංකාව එන්නත මගින් රෝගය පාලනය කිරීමට කටයුතු කරන රටකි. පසුගිය දෙසතිය තුළ ලෝකයේම රෝගීන් ඉහළ යෑමේ ප්‍රවණතාවක් දැකිය හැකි විය. එන්නත් ආවරණය 80෴ ඉක්මවූ රටවල ව්‍යාප්තියේ අවම වීමක් දැකිය හැකිය. එහෙත් ශ්‍රී ලංකාවේ එන්නත් ආවරණය තවමක් 60෴කි. වැඩිම පිරිසකට ලබා දී ඇත්තේ සයිනොෆාම් එන්නතය. එම එන්නතේ ප්‍රතිශක්තිය මාස තුනකින් පමණ අවම වන බව ඒ සම්බන්ධයෙන් සිදුකළ අධ්‍යයනවලින් අනාවරණ වී තිබේ. එම තත්ත්වය වළක්වා ගැනීමට නම් ජනතාව වගකීම් සහගතව කටයුතු කළ යුතුය. බිම් මට්ටමින් යළි රෝගීන් වැඩිවන බව පෙනෙන්නට තිබේ. එම අවදානම අනුව දෙසැම්බර් අවසන් වන විට යළි රෝගයේ ව්‍යාප්තවීමත් සිදු වීමට ඇති ඉඩකඩ වැඩියැයි උපුල් රෝහණ මහතා සඳහන් කරයි. 

 ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා