2021 නොවැම්බර් 06 වන සෙනසුරාදා

සහල් මිල පාලනයට මේ මිල සූත්‍රය නරකද?

 2021 නොවැම්බර් 06 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 76

මේ වනවිට වෙළෙඳ පොළේ සහල් මිල අහස උසට නැග අවසන්ය. සහල් සඳහා උපරිම පාලන මිලක් සඳහන් කරමින් රජය ගැසට් ප්‍රකාශයට පත් කළද පසුගිය සැප්තැම්බර් 27 දා එම ගැසට්ටුව අකුලා ගැනීමට රජයට සිදු වූයේ සහල් මාෆියාවේ බලපෑමෙන් වෙළෙඳ පොළේ සහල් හිඟයක් නිර්මාණය වීම හේතුවෙනි. ගැසට්ටුව හකුලාගත් දිනට පසුදිනම මහා පරිමාණ සහල් මෝල් හිමියෝ සහල් සඳහා තමන්ම මිලක් නියම කළහ. ඔවුන් ප්‍රකාශ කළේ නාඩු වී කිලෝවක් රුපියල් 62.50ට මිලට ගන්නා බැවින් නාඩු සහල් කිලෝවක් රුපියල් 115කටත්, සම්බා වී කිලෝවකට රුපියල් 70ක මිලක් ගෙවන බැවින් සම්බා සහල් කිලෝවක් රුපියල් 140කටත් කීරි සම්බා වී කිලෝවකට රුපියල් 80ක් ගෙවන බැවින් කීරි සම්බා සහල් කිලෝවක් රුපියල් 165කටත් අලෙවි කිරීමට තීරණය කළ බවයි. නාඩු වර්ගයේ සහල් කිලෝවක තොග මිල රුපියල් 110ක් ද සම්බා සහල් කිලෝවක තොග මිල රුපියල් 135ක් ද, කීරි සම්බා සහල් කිලෝවක තොග මිල 160ක් බවද ප්‍රකාශ කළ ඔවුහු  තොග මිල සහ සිල්ලර මිල අතර ඇත්තේ රුපියල් 5ක වෙනසක් බවද කියා සිටියහ.. 

එම අවස්ථාවේ අරලිය සහල් ව්‍යාපාරයේ අධිපති ඩඩ්ලි සිරිසේන මහතා ප්‍රකාශ කළේ මෙවැන්නකි. &සහල් සහ වී සම්බන්ධයෙන් මේ රටේ ගොවි ජනතාවත් පාරිභෝගිකයනුත් ඒ අතර මැද සිටින අපිවත් ආරක්‍ෂාවන ආකාරයේ යෝජනා කිහිපයක් මීට පෙර අවස්ථා කිහිපයකදීම අපි රජයට ඉදිරිපත් කළා. රජය ඒ තත්ත්වය තේරුම් ගෙන මිල පාලනය ඉවත් කළා. මේ පිළිබඳව ඇතැම් පාර්ශ්ව විවිධ කතා කිව්වත් රජය ගත් ඒ තීන්දුවට මේ රටේ වගකිවයුතු ව්‍යාපාරිකයන් හා සහල් නිෂ්පාදකයන් හැටියට අපි අපේ ප‍්‍රශංසාව පිරිනමන්න ඕන. රජය ගත්තු ඒ වැඩපිළිවෙළ ශක්තියක් වෙලා පාරිභෝගික ජනතාවටත් ගොවි ජනතාවටත් අසාධාරණයක් නොවන විදියට වී මිලත්, සහල් මිලත් පිළිබඳව අපි එකට එකතුවෙලා සාකච්ඡා කරලා අවශ්‍ය වැඩපිළිවෙලක් සකස් කරනවා. ප‍්‍රධාන සහල් නිෂ්පාදකයෝ හැටියට අපේ සහල් නිෂ්පාදන වෙළෙඳපොළට නිකුත් කරන්නේ එහි මිල සඳහන් ස්ටිකරයක් සහල් ඇසුරුමේ අලවලා. එහි සඳහන් මිලට වඩා වැඩි මිලක් කිසිම කෙනෙක් ගෙවිය යුතු නෑ.* යනුවෙන් ප්‍රකාශ කළේය.

එහෙත් එම ප්‍රකාශයෙන් මසක් ගත වීමටත් පෙර සහල් මිල යළි ඉහළ ගියේය. සහල් බෑගයේ ඔවුන් ප්‍රකාශ කළ මිල සඳහන් වුවද අලෙවි වූයේ වැඩි මිලකටය. ඒ අනුව මේ දිනවල නාඩු සහල් කිලෝවක් අලෙවි වන්නේ රුපියල් 130ත් 140ත් අතර මිල ගණන්වලටය. සම්බා සහල් කිලෝවක මිල රුපියල් 150ත් 160ත් අතර වන අතර කීරි සම්බා කිලෝවක මිල 215ත් 230ත් අතර පරාසයක පවතී. ඉදිරි දෙසතියක කාලය තුළ සෑම සහල් කිලෝවක මිල තවත් රුපියල් 25-50 ත් අතර මිලකින් ඉහළ යා හැකි යැයි ලංකා සහල් නිෂ්පාදකයන්ගේ සංගමය සඳහන් කරයි. එහෙයින් යළිත්  රජය සහල් සඳහා උපරිම සිල්ලර මිල සඳහන් කරමින් ගැසට්ටුවක් ගෙන ආ යුතුය යන්න ඔවුන්ගේ මතය වී තිබේ.  

සහල් හිඟය මේ වනවිටද නිර්මාණය වී තිබේ. බොහෝ සහල් වර්ග වෙළෙඳ පොළේ නැත. තිබෙන ඒවා දැරිය නොහැකි මිලකි. පිටකොටුව තොග වෙළෙඳුන් පවසන්නේ මෝල් හිමියන් තමන් වෙත නිකුත් කරන සහල්වල මිල ඉහළ දමා ඇති බවටය. ඉදිරි කාලයේ තව තවත් මිළ ඉහළ යනු ඇතැයි ඔවුන්ගේද අදහස වී තිබේ. 

සහල් මිල පාලනය කිරීම සඳහා ඉන්දියාවෙන් සහල් ආනයනය කිරීමට රජය පියවර ගත් අතර පාකිස්ථානයෙන් සහ මියන්මාරයෙන්ද සහල් ආනයනය කිරීමට කටයුතු කරමින් සිටින බව වාර්තා වේ. මේ සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දැක්වූ වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන සඳහන් කර ඇත්තේ ඉන්දියාවෙන් සහල් ආනයනය කිරීමට දැනටමත් පියවර ගෙන ඇති අතර පාකිස්ථානයෙන් හා මියන්මාරයෙන්ද ඉදිරි සති කීපයේ සහල් ආනයනය කරනා බවය. මේ සම්බන්ධයෙන් එම රටවල් සමග දැනටමත් සාකච්ඡා කර ඇතැයිද ඔහු සඳහන් කරයි.

ඉන්දියාවෙන් ආනයනය කළ නාඩු සහල් කිලෝවක් රුපියල් 99කට එක්වරකට කිලෝ 5 බැගින් සතොසෙන් පසුගිය නොවැම්බර් 1 වැනිදා සිට පාරිභෝගිකයන්ට ලබාදීමට කටයුතු යොදා ඇතැයිද පිටරටින් සහල් ආනයනය ටෙන්ඩර් නොකැඳවා රජයන් දෙකක් අතර ගනුදෙනුවක් ලෙස සිදුකරන බවද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

ශ්‍රී ලංකාව සහලින් ස්වයංපෝෂිත යැයි පසුගිය කාලයේ අසන්නට ලැබිණි. ඒවා දේශපාලන කතාවලට පමණක් සීමා වූ අතර තවමත් ශ්‍රී ලංකාව එම ඉලක්ක සපුරා ගෙන  නොමැත.  ශ්‍රී ලංකාවේ වී නිෂ්පාදනය පසු ගිය වසර කිහිපයේ දී යම් වර්ධනයක් පෙන්නුම් කළද එය නිරන්තරයෙන් උච්ඡාවචනය වන්නකි. දේශගුණික විපර්යාස මෙන්ම කලින් කලට විවිධ ආණ්ඩු විසින් ගනු ලබන තීන්දු තීරණද එයට බලපායි. 2020-21 වසරේ කෘෂිකර්ම දෙපාර්තමේන්තු වාර්තාව අනුව ශ්‍රී ලංකාවේ වාර්ෂික සහල් පරිභෝජනය මෙට්‍රික් ටොන් මිලියන 2.34ක් පමණ වේ. මේ අනුව දිනකට සහල් මෙට්‍රික් ටොන් 6500ක් පමණ අපට අවශ්‍ය වේ. මෙම ප්‍රමාණය සපුරා ගත හැක්කේ ලැබෙන අස්වැන්නට සහ සහල් නිෂ්පාදන ධාරිතාවට සාපේක්ෂවය.

මේ දිනවල නිර්මාණය වී ඇති පොහොර අර්බුදය හේතුවෙන් බොහෝ ප්‍රදේශවල ගොවීන් මෙවර මහකන්නයේ වී වගාවෙන් ඉවත් වීමට තීරණය කර තිබේ. එයද ඉදිරි කාලයේ අපේ සහල් සංචිතවලට විශාල බලපෑමක් සිදු කරනු ඇත. මෙවර මහ කන්නයේ වී තොග වෙළෙඳපොළට පැමිණීම 50% කින් පහළ යනු ඇති බවත් මෙම තත්ත්වය මත ඉදිරි කාලයේ රට තුළ සහල් හිගයක් ඇති විය හැකි බවත් ලංකා සහල් නිෂ්පාදකයන්ගේ සංගමය පෙන්වා දෙයි. සහල් මිල වැඩි වීමට සහල් මෝල් හිමියන් විසින් වැඩි මිලට වී මිලට ගැනීමද බලපා ඇතැයි ඔවුහු සඳහන් කර තිබේ. මේ අතර ගොවි අරගල ව්‍යාපාරයේ ජාතික සංවිධායක විමල් වත්තුහේවා සඳහන් කරනුයේ පොහොර ප්‍රශ්නය නිසා ඉදිරි කන්නයේ වී මෙට්‍රික්ටොන් ලක්ෂ දහයකින් පමණ අස්වැන්න අඩුවිය හැකි බවයි. එය ගොවීන්ගේ රුපියල් කෝටි 6000ක ආදායමක් බවත් එම ආදායම රජයේ පොහොර ප්‍රතිපත්තිය නිසා ඔවුනට අහිමි වන බවත් පෙන්වා දෙන ඔහු එම මුදල රජය වන්දි ලෙස ගොවි ජනතාවට ගෙවීමට සූදානම් විය යුතු බවද පවසයි.

රටේ සෑම භාණ්ඩයකම මිල අහස උසට නැග තිබීමෙන් සහ ගෑස්, සීනි, කිරිපිටි, සිමෙන්ති වැනි අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟයෙන් බැට කන්නේ  පාරිභෝගියන්ය.  ශීඝ්‍රයෙන් ඉහළ යන සහල් මිල පාලනය කිරීමට තමන් විසින් මිල සූත්‍රයක් රජයට ඉදිරිපත්  කර ඇතැයි පේටන්ට් බලපත්‍ර හිමි ඉංජිනේරුවරයකු වන විමල් ජයවර්ධන මහතා ප්‍රකාශ කර තිබේ. ඒ අනුව  වී මිල සහ අනෙකුත් නිෂ්පාදන වියදම් ගණනය කර සහල් මිල  තීරණය කිරීමට එම සූත්‍රය යොදාගන්නා ලෙසට ඔහු රජයෙන් ඉල්ලා සිටී. 
&මම පරිගණක ගණනය කිරීමක් ඉදිරිපත් කළා. එයට වී මිල ඇතුළත් කළ විට සහල් නිෂ්පාදනය සඳහා මෝල් හිමියාට වැයවෙන විදුලිය ගාස්තුව ජල ගාස්තුව යන්ත්‍ර සූත්‍ර ක්ෂයවීම, සහල් ඇසුරුම් බෑගය සඳහා යන වියදම වැනි සියලු වියදම් ගණනය කර සහල් කිලෝවක් නිෂ්පාදනය කිරීම සඳහා කොපමණ මුදලක් වැයවනවාද යන්න බලාගත හැකියි. යන්ත්‍ර සූත්‍රවල, ගොඩනැඟිලිවල ක්ෂයවීමද අප ගණනය කළ යුතුයි. ඒවාට වැයවෙන වියදමත් අපට මෙම සූත්‍රය මගින් ලැබෙනවා. ඒ අනුව ක්‍රම දෙකකින් සහල් නිෂ්පාදනය සඳහා කොපමණ මුදලක් වැයවනවාද යන්න මෙම ගණනය කිරීම තුළින් හඳුනාගත හැකියි. එවිට අපට මෙවැනි ගැටලුකාරී තත්ත්වයක් ඇති වන්නේ නැහැ. මෙය තවදුරටත් යාවත්කාලීන කොට සහල් මිල පාලනය කිරීම සඳහා මෙම සූත්‍රය යොදාගන්නා ලෙස මම රජයෙන් ඉල්ලා සිටිනවා* යැයි එම මිල සූත්‍රය නිර්මාණය කළ ඉංජිනේරු විමල් ජයවර්ධන මහතා පවසයි.

2019 අප්‍රේල් මස 01 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි සහල් සඳහා මිල සූත්‍රයක් හඳුන්වා දීමට පසුගිය රජයද කටයුතු කළේය.  එහිදී සහල් සඳහා පාලන මිලක් නොමැති වූ අතර මිල සුත‍්‍රය අනුව වී කිලෝවක් රුපියල් 10ක් ලෙස ගණනය කළ විට සහල් කිලෝවක තොග මිල රුපියල් 24ක් හා සිල්ලර මිල රුපියල් 28ක් ලෙස සෙලකිනි. කිරී සම්බා වී කිලෝවක් රුපියල් 50ක් ලෙසද, සම්බා වී කිලෝවක් රුපියල් 45 ලෙසද නාඩු වී කිලෝවක් රුපියල් 40ක් ලෙසද වී සදහා රජයේ සහතික මිල වශයෙන් දැක්විණි. එහෙත් බොහෝ වී මෝල් හිමියන් එම මිලට වඩා වැඩියෙන් වී මිලදී ගත් අතර සහල් මිලද ක්‍රමයෙන් ඉහළ ගියේය.

2022 සඳහා වන අයවැය සඳහා තම යෝජනා ඉදිරිපත් කරමින් විමල් වීරවංශ ඇමැතිවරයා සඳහන් කර ඇත්තේ නාඩු වී කිලෝවක සහතික මිල රුපියල් 60ක් ලෙසත්, නාඩු සහල් කිලෝවක මිල රුපියල් 110ක් ලෙසත් නියම කළ යුතු බවටය. 
පිටරටින් සහල් ආනයනය කළද ඒවා බොහෝ විට අලෙවි කෙරෙන්නේ සතොස මගිනි. සාමාන්‍ය වෙළෙඳපොළේ එම සහල් ලබා ගැනීමේ අසීරුතාවක් පවති. එහෙයින් බොහෝ පාරිභෝගිකයන්ට අධික මිලක් ගෙවා සහල් මිලට ගැනීමට සිදුවේ. පසුගිය දිනවල සතොස අසල දිගු පෝලිම් දැකිය හැකි විය. පෝලිමේ සිට වුවද එක් අයෙකුට ලබාගත හැක්කේ සීමිත ප්‍රමාණයකි. සිව් දෙනකු සිටින පවුලකට සතියකට කීප වතාවක් සතොස පෝලිමේ සිට  සහල් හා වෙනත් භාණ්ඩ මිලට ගැනීමට සිදු වේ. එහෙයින් 70-77 සමයේ පැවැති පෝලිම් යුගය යළි ඇති නොවීමට වගබලා ගැනීම හා ඉහළ යන මිල පාලනය කිරීම සඳහා කඩිනම් පියවර ගැනීම රජයේ යුතුකමය. ඉදිරි අයවැයෙන් කිසියම් සහනයක් ලැබෙනු ඇතැයි බොහෝදෙනා විශ්වාස කරති. එහෙත් පසුගිය සඳුදා මාධ්‍යවේදීන් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂගෙන් &අයවැයෙන් ලැබෙන සහන මොනවාදැ*යි විමසූ අවස්ථාවේ ඔහු කීවේ සහන ලබාදීම කෙසේ වෙතත් ජනතාවගෙන් ගැනීමට සිදුවන බවකි

ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා