2021 නොවැම්බර් 06 වන සෙනසුරාදා

ලෝකෙට ලොක්කෝ රොක්වූ දේශගුණික සමුළුව

 2021 නොවැම්බර් 06 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 38

එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ රාජ්‍ය නායක සමුළුව පසුගිය සඳුදා ස්කොට්ලන්තයේ ග්ලාස්ගොව්හිදී ආරම්භ විය. දේශගුණික විපර්යාවලට එරෙහි සටනේ තීරණාත්මක අවස්ථාව යන මැයෙන් පැවැත්වෙන මෙම සමුළුව සඳහා රටවල් 197ක ලෝක නායකයන්, රාජ්‍ය නියෝජිතයින්, විද්වතුන්, ව්‍යාපාරිකයන් ඇතුළු ක්ෂේත්‍ර රැසක් නියෝජනය කරන විසිපන්දහසක පමණ පිරිසක් සහභාගී වී සිටිති.

එම රාජ්‍ය නායකයන් අතර ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන්, ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි, කැනේඩියානු අගමැති ජස්ටින් ටෘඩෝ, ඉන්දුනීසියානු ජනාධිපති ජෝකෝ විඩෝඩෝ, ඊශ්‍රායල අගමැති නෆ්තාලි බෙනට්, ඔස්ට්‍රේලියානු අගමැති ස්කොට් මොරිසන්, ශ්‍රී ලංකාවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, යුක්රේන ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි, ග්‍රීක අගමැති කිරියාකොස් මිට්සෝටකිස්, නෙදර්ලන්ත අගමැති මාර්ක් රෑට් සහ ජපාන අගමැති ෆුමියෝ කිෂිඩා ප්‍රධාන වේ.  එක්සත් රාජධානිය මෙවර සමුළුවේ සභාපතිත්වය දරයි. සමුළුව ආරම්භ කිරීමේ උත්සවයේදී චාල්ස් කුමරු සමුළුව ඇමතූ අතර, වෛද්‍ය උපදෙස් මත සමුළුවට සහභාගී නොවූ එළිසබෙත් රැජන වීඩියෝ තාක්ෂණය මගින් එයට සුබපැතුම් එක් කළාය.

චීන ජනාධිපති ෂී ජින් පිං තමා සමුළුවට සහභාගී නොවන බව කලින්ම නිවේදනය කර තිබිණි. ලොව වැඩිම හරිතාගාර වායු විමෝචනය සිදුවන්නේ චීනයේ බැවින් මෙම සමුළුවේදී චීනයට කිසියම් පීඩනයක් එල්ලවනු ඇතැයි මාධ්‍ය සඳහන් කළේය. දකුණු අප්‍රිකාව, රුසියාව, ඉරානය, මෙක්සිකෝව, බ්‍රසීලය, තුර්කිය සහ වතිකානුවේ රාජ්‍ය නායකයන් හෝ නියෝජිතයෝ සමුළුවට සහභාගී නොවූහ. රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් දන්වා තිබුණේ කොවිඩ් වසංගතය සැලකිල්ලට ගනිමින් මෙම සමුළුවට සහභාගී නොවන බවටය. තුර්කි ජනාධිපති එර්ඩොගන් සමුළුවට සහභාගී වනු ඇතැයි අපේක්ෂා කළ නමුදු ඔහු ඉල්ලා සිටි ආරක්ෂක පියවරයන් ලබාදීම ප්‍රතික්ෂේප වීම මත ඔහුද සහභාගී නොවීය. ඉරාන ජනාධිපති ඉබ්‍රාහිම් රයිසි සහභාගී වුවහොත් මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ සම්බන්ධයෙන් ඔහුව අත්අඩංගුවට ගන්නා ලෙස හිටපු කොන්සර්වේටිව් මන්ත්‍රිවරයකු වන ස්ටෘවාන් ස්ටීවන්සන් ඉල්ලීමක් කර තිබිණි.  

ග්ලාස්ගොව්හි මෙවර පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ රාජ්‍ය නායක සමුළුව හැඳින්වෙන්නේ කොන්ෆරන්ස් ඔෆ් ද පාටීස් හෙවත් කොප් 26 සමුළුව ලෙසිනි. දශක තුනකට ආසන්න කාලයක් තුළ එක්සත් ජාතීන්ගේ සංවිධානය ගෝලීය දේශගුණික සමුළු සඳහා ලොව සෑම රටක්ම සම්බන්ධ කරගෙන තිබේ. මෙවර පැවැත්වෙන්නේ එහි 26 වැනි සමුළුවය. 2015 වසරේ පැවැති කොප් 21 සමුළුවේදී ගෝලීය උණුසුම සෙල්සියස් අංශක 2 ට වඩා අඩුවෙන් පවත්වා ගැනීමට සහ අංශක 1.5ක ඉලක්කයක් කරා යෑමටත්, වෙනස්වන දේශගුණික බලපෑම්වලට අනුවර්තනය වීමට හා මෙම අරමුණු ඉටුකර ගැනීමට අරමුදල් රුස්කිරීමටත් සෑම රටක්ම එක්ව කටයුතු කිරීමට එකඟ විය. එය පැරිස් ගිවිසුම ලෙස හැඳින්වේ. පැරිස් ගිවිසුම යටතේ, රටවල් වායු විමෝචනය අවම කිරීම සම්බන්ධයෙන් තම ජාතික සැලසුම් ඉදිරිපත් කිරීමට කැපවී සිටිති. මෙම සමුළුව වාර්ෂිකව පවත්වනු ලබන නමුත් මේ වසරේ තීරණාත්මක වන්නේ දේශගුණික විපර්යාසවල වඩාත් ව්‍යසනකාරී බලපෑම් වළක්වා ගැනීමට අපේක්ෂා කරන්නේ නම්, ෆොසිල ඉන්ධන භාවිතයෙන් වහා ඉවත්විය යුතු යැයි පරිසර විද්‍යාඥයින් පවසන බැවිනි.

මෙවර පැවැත්වෙන සමුළුවේ ප්‍රධානතම මාතෘකාව වන්නේ ගෝලීය සාමාන්‍ය උෂ්ණත්වය සෙල්සියස් අංශක 1.5 දක්වා සීමා කිරීමේ පැරිස් ගිවිසුමේ ඉලක්කය ළඟා කර ගැනීම සඳහා කඩිනම් ක්‍රියාමාර්ග ගැනීමය. එය සාක්ෂාත් කර ගැනීම සඳහා ගල් අඟුරු භාවිතයෙන් ඉවත් වීම, වන විනාශය අවම කිරීම, කඩිනමින් විදුලි වාහනවලට මාරුවීම සහ පුනර්ජනනීය බලශක්ති සඳහා ආයෝජන දිරිමත් කිරීම කඩිනම් කිරීම වැනි කරුණු එහිදී පිළිබඳව. සාකච්ඡාවට භාජනය කෙරේ. එමෙන්ම ප්‍රජාවන් සහ ස්වභාවික වාසස්ථාන ආරක්ෂා කිරීමට දිරිමත් කිරීම, දේශගුණික විපර්යාසවලින් පීඩාවට පත් වූ රටවල් සක්‍රීය කිරීමට සහ දිරිගැන්වීමට පියවර ගැනීම, පරිසර පද්ධති ආරක්ෂා කිරීම සහ ප්‍රතිෂ්ඨාපනය කිරීමට කටයුතු කිරීම, නිවාස, ජීවනෝපාය සහ ජීවිත පවා අහිමි වීම වළක්වා ගැනීම සඳහා ආරක්ෂක, අනතුරු ඇඟවීමේ පද්ධති සහ ඔරොත්තු දෙන යටිතල පහසුකම් සැපයීම සහ කෘෂිකර්මාන්තය ගොඩනැගීමද මෙම සමුළුවේ අරමුණු අතර ප්‍රධාන වේ.

එහෙත් පවතින අභියෝග අති විශාලය. චීනය, ඔස්ට්‍රේලියාව සහ රුසියාව මෙම දශකයේ කාබන් විමෝචනය අවම කිරීම සඳහා නව ඉලක්ක ඉදිරිපත් කිරීමට අපොහොසත් වී සිටිති. පුනර්ජනනීය බලශක්තිය සැලකියයුතු ලෙස වැඩි කිරීමට ඉන්දියාව මෙම සමුළුවේදී  ප්‍රතිඥා දුන් නමුදු, ඉන්දියාවේ විදුලියෙන් වැඩි ප්‍රමාණයක් සැපයෙන්නේ ගල් අඟුරුවලිනි. එහෙයින් ඉදිරි දශකය තුළද ගල් අඟුරු එරට බලශක්තියේ ප්‍රධාන ස්ථානයක් ගනු ඇත. 2030 වන විට කාබන් විමෝචනය 50෴ කින් අඩු කරන බව බ්‍රසීලය නිවේදනය කළ නමුදු ජනාධිපති ජෙයාර් බොල්සොනාරෝ එම පොරොන්දුව ඉටු නොකරනු ඇතැයි යන්න බොහෝ නිරීක්ෂකයන්ගේ මතය වී තිබේ.

එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ විධායක ලේකම් පැට්‍රීෂියා එස්පිනෝසා සඳහන් කරනුයේ මේ වනවිට ගෝලීය උණුසුම් සෙල්සියස් අංශක 2.7ක් දක්වා ඉහළ යාමක් පෙන්නුම් කරමින් සිටින අතර, වායු විමෝචනය සීමා කරමින් එය සෙල්සියස් අංශක 1.5 දක්වා අවම කර ගැනීමට ක්‍රියා කළ යුතු බවටය. 2021 සිට 2030 දක්වා වන දශකය අතිශයින් තීරණාත්මක බව ඇය පවසයි. මෙම ඉලක්ක සපුරා ගැනීම සඳහා සංවර්ධිත රටවලින් වසරකට ඩොලර් බිලියන 100ක් පමණ දේශගුණික මූල්‍ය ලෙස මෙම වැඩපිළිවෙළට ලබා දිය යුතුයැයි නිර්දේශ වී තිබේ.  එහෙත් දිළිඳු සහ අවදානමට ලක්විය හැකි රටවලට දේශගුණික විපත්වල බලපෑම් සමඟ සාර්ථකව කටයුතු කිරීමට මුදල් වෙන්කර ඇත්තේ ධනවත් රටවල් කිහිපයක් පමණි. 

මෙම සමුළුවට සහභාගී වූ ශ්‍රී ලංකා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දේශගුණික බලපෑම් අවම කර ගැනීම සඳහා ශ්‍රී ලංකාවේ ඉලක්ක පිළිබඳව සමුළුව දැනුම්වත් කළේය. සමුළුව අමතමින් ජනාධිපතිවරයා මෙලෙස ප්‍රකාශ කළේය. බුදුන් වහන්සේගේ ඉගැන්වීම්වලට අනුව හැඩගැසුණු අපගේ උසස් දාර්ශනික උරුමය පාරිසරික අඛණ්ඩතාවයට විශාල වටිනාකමක් ලබා දෙනවා. එබැවින් එහි තිරසරභාවය අපගේ ජාතික ප්‍රතිපත්තියේ හදවත බඳුයි. ලොව විශාලතම හරිතාගාර වායු විමෝචනය කරන්නන්  ඔවුන්ගේ කාර්යභාරය ඉටුකිරීම මෙන්ම සංවර්ධනය වෙමින් පවතින ජාතීන්ට දේශගුණික අභියෝග ජය ගැනීමට සහායවීම අත්‍යාවශ්‍යයි. මෙම අර්බුදයෙන් මිදීමට සහ පෘථිවියේ පැවැත්මට මනා සහයෝගීතාවයෙන් යුතුව වැඩ කරමු.
මහජන සෞඛ්‍ය ගැටලු, ජල දූෂණය, පරිසර විනාශය සහ ජෛව විවිධත්වයට වන බලපෑම් හේතුවෙන් ශ්‍රී ලංකාව මෑතකදී රසායනික පොහොර, පලිබෝධනාශක සහ වල්නාශක ආනයනය සීමා කළා. මුල්බැස ගත් කණ්ඩායම් මේ සඳහා විරුද්ධ වුවද, මෙය අනාගතයේ දී සෞඛ්‍ය සම්පන්න සහ වඩා තිරසර හරිත කෘෂිකර්මාන්තයක් වෙනුවෙන් ගත් පියවරක්. මෙමගින් නවෝත්පාදන සහ ආයෝජන අවස්ථා නිර්මාණය කරනවා.

දේශගුණික විපර්යාස සියලු ජාතීන්ට බලපාන නමුත් සංවර්ධනය වෙමින් පවතින දූපත් රාජ්‍යයන්ට අසමාන ලෙස බලපානවා. දේශගුණික විපර්යාස අවම කිරීම සහ අනුවර්තනය වීම් සඳහා නිර්භීත පියවර ගන්නා සංවර්ධනය වෙමින් පවතින ජාතීන්ට පුළුල් සහයෝගයක් ලැබිය යුතු වෙනවා. අපගේ ප්‍රතිපත්තිය වසර 2050 වන විට කාබන් ශූන්‍යත්වයක් ළඟාකර ගැනීම සඳහා විමෝචනය අවම කිරීමයි. 2030 වනවිට පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් ඉහළ නංවමින් රටේ බලශක්ති අවශ්‍යතාවෙන් 70%ක් සපුරා ගැනීමට අපේක්ෂා කරනවා. පොසිල ඉන්ධන භාවිතය ක්‍රමනුකූලව තුරන් කිරීමට පියවර ගනිමින් සිටින අතර වසර 2030 වනවිට නිකුත් කරන නයිට්‍රජන් අපද්‍රව්‍ය ප්‍රමාණය අඩකින් අඩු කිරීමට උත්සාහ කරන තිරසර නයිට්‍රජන් කළමනාකරණය පිළිබඳ කොළඹ ප්‍රකාශනයට ශ්‍රී ලංකාව 2019 දී නායකත්වය දී තිබේ. මෙම වැඩසටහනට තවත් රටවල් එක්වනු ඇතැයි මා බලපොරොත්තු වෙනවා. යනුවෙන් කියා සිටියේය.

එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ රාජ්‍ය නායක සමුළුව නොවැම්බර් 12 දක්වා පැවැත්වෙනු ඇත.

ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා