2021 නොවැම්බර් 06 වන සෙනසුරාදා

ලෝකෙන්ම එක: වනිඳු හසරංග

 2021 නොවැම්බර් 06 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 25


 

එක්සත් ආරාබි එමිර් රාජ්‍යයේදී දැන් පැවැත්වෙන විස්සයි20 ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලිය අතරතුරදී ශ්‍රී ලංකා යොවුන් තුන් ඉරියව් ක‍්‍රීඩක වනිඳු හසරංග ලෝක විස්සයි20 පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීමේ පළමු ස්ථානයට පත්වීම වඩාත් කැපී පෙනෙන මෙන්ම ශ්‍රී ලංකා ක‍්‍රිකට් ක‍්‍රීඩාව පැත්තෙන් වඩාත් වැදගත් සිද්ධියක් බවට පත්ව තිබේ.

 

ප‍්‍රවේගකාරී පිත්ත හසුරුවන්නෙක් වන වනිඳු ඉන් නොනැවතී ලෝක විස්සයි20 තුන් ඉරියව් ක‍්‍රීඩක ශ්‍රේණිගත කිරීමේ සිව්වැනි ස්ථානයට ද පත්විය. ශ්‍රී ලංකා පන්දු යවන්නෙක් විස්සයි20 පන්දු යවන්නන්ගේ ලෝක ශ්‍රේණිගත කිරීමේ පළමු ස්ථානය හිමිකරගත් පළමු අවස්ථාව මෙය වන අතර වනිඳු මෙම තරගාවලියේදී මෙම වසරේ ලෝක විස්සයි20 ක‍්‍රිකට් පිටියේ වැඩිම කඩුලු දවාගත් පන්දු යවන්නා බවටද පත්විය.

විසිහතර වැනි වියේ පසුව ගාල්ල රිච්මන්ඩ් විදුහලෙන් ජාත්‍යන්තර ක‍්‍රිකට් පිටිය ආක‍්‍රමණය කළ මෙම යෞවනයා පසුගිය සතියේ එංගලන්තයට එරෙහිව පැවැති තරගයේදී විස්සයි20 කඩුලු 50 සම්පූර්ණ කළ අතර ඔහු ඒ සඳහා වැයකර තිබුණේ තරග 32ක් පමණි.

වනිඳු මෙම වසරේ විස්සයි20 තරග 20 කදී කඩුලු 36 ක් දවාගැනීමට සමත්ව සිටින අතර එම කඩුලු සංඛ්‍යාව මෙම වසරේ ලෝක විස්සයි20 ක‍්‍රිකට් පිටියේ ක‍්‍රීඩකයෙක් දවාගත් ඉහළතම කඩුලු සංඛ්‍යාව වේ. වනිඳු දැන් පැවැත්වෙන ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ තරග අටකදී කඩුලු 16ක් දවාගනිමින් තරගාවලියේ වැඩිම කඩුලු ලාභියා බවටද පත්ව සිටියේය.

වනිඳු අවසන් තරගයේදී කොදෙව් ප‍්‍රබල පිතිකරුවන් වන කයිරන් පොලාඩ් සහ ඩ්වේන් බ‍්‍රාවෝ දවාගැනීමට යැවූ පන්දු ලෝකවාසී ක‍්‍රිකට් ලෝලීන් විශ්මයට පත්කළේය. ශ්‍රී ලංකා පිල ලෝක කුසලාන තරගාවලියේ පළමු වටයේ තරග පහෙන් තරග දෙකක් පමණක් ජය ලැබීම හේතුවෙන් ඉවතට විසිවුවද ‘ශ්‍රී ලංකා තරුණ කණ්ඩායම’ ලෙස ශ්‍රී ලංකා පිලේ දස්කම් ජාත්‍යන්තර විස්තර විචාරකයෝ පැසසුමට ලක් කළහ.

ක‍්‍රිස් ගේල් ද ඇතුළත් වූ ප‍්‍රබල බටහිර ඉන්දීය කොදෙව් පිල ලකුණු 20 කින් පරාජය කළ පසුගිය බ‍්‍රහස්පතින්දා රාත‍්‍රී පැවැති තරගයේදී චරිත් අසලංක සහ පැතුම් නිස්සංක යන තරුණ පිතිකරුවන්ගේ පන්දුවට පහරදීම ලෝක ක‍්‍රිකට් පිටිය වර්ණවත් කළේය. 
ශ්‍රී ලංකා පිල තරග පහේදී බංග්ලාදේශය සහ කොදෙව්වන් පරාජය කරමින් ප‍්‍රසාද ලකුණු 4 ක් ලබා මෙම සටහන තබන මොහොත වනවිට ප‍්‍රසාද ලකුණු සටහනේ සිව්වැනි ස්ථානයේ පසුවිය. බටහිර ඉන්දීය කොදෙව් පිල  ඕස්ට්‍රේලියාවට එරෙහිව තරගය ඉතිරිව ප‍්‍රසාද ලකුණු 2ක් ලබා පස්වැනි ස්ථානයේ පසුවිය.

මෙම ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලිය ශ්‍රී ලංකා ක‍්‍රිකට් ක‍්‍රීඩාව සතුටුදායක ගමනක් කරා මෙහෙයවීමට නිර්ණායකයක් බවට පත්කර ගැනීමේ අවස්ථාව හිමිවී තිබේ. තරුණ ක‍්‍රීඩකයන් රැසකින් සමන්විත ශ්‍රී ලංකා කණ්ඩායම මෙවර ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේදී යම් දියුණුවක් ප‍්‍රදර්ශනය කළේය. ශ්‍රී ලංකා පිල පසුගිය වසර කීපයේදී ලකුණු 170 ක් 180 ක් හඹා යෑමට ලැබුණු අවස්ථාවලදී කකුල් වෙවුලන තත්ත්වයකට පත්ව සිටි නමුත් මෙවර ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකා තරුණ කණ්ඩායම විශාල ඉලක්කවලට ළඟාවීමට දැරූ උත්සහයන් ප‍්‍රසංසනීයය.

වනිඳු පමණක් නොව යෞවනයන් වන පැතුම් නිස්සංක, චරිත් අසලංක, චාමික කරුණාරත්න සහ මහේෂ් තීක්‍ෂණ යන ක‍්‍රීඩකයෝ ලෝක කුසලාන තරගාවලියේදී පැහැබර අනාගතයක පෙරනිමිති පළ කළහ. ගාල්ල රිච්මන්ඩ් විදුහලෙන් මෑතකදී බිහිවූ තවත් සුවිශේෂි තුන් ඉරියව් ක‍්‍රීඩකයෙක් වන කමිඳු මෙන්ඩිස් ලෝක කුසලාන තරගාවලියේදී අවස්ථාවක් ලැබුණේ නම් තවත් යෞවනයකුගේ දස්කම් දැකගැනීමට අවස්ථාව තිබූ බව බොහෝ දෙනකුගේ විශ්වාසයයි. 
දකුණත් පිට දඟපන්දු යවන්නකු සහ වමතින් දඟ පන්දු යවන්නකු ලෙස ‘දෑතින්ම’ දඟ පන්දු යැවීමේ සුවිශේෂී හැකියාවක් ඇති කමිඳු ඉදිරි තරගාවලිවලදී නැවත කණ්ඩායමට ගෙන ඒම කළ යුතුව තිබේ. මෙවර ලෝක කුසලාන තරගාවලියේදී දස්කම් දැක්වූ තරුණ ක‍්‍රීඩකයන්ට අඛණ්ඩව ස්ථානය ලබාදීමේ වගකීම කණ්ඩායම් කළමණාකාරීත්වය සහ තේරීම් කමිටුව සතුව තිබේ.

නායක දසුන් ශානකට නොබියව තරගයකට පිවිසීමට ශක්තිමත් කණ්ඩායමක් නිර්මාණය කිරීමට සම්පත් ඕනෑ තරම් ඇති බව පැහැදිලිය. එම සම්පත් නිසි කළමණාකරණයට ලක්කිරීමේ දුර්වලතාව පමණක් වර්තමානයේ ප‍්‍රදර්ශනය වේ. ලෝක කුසලාන තරගාවලියට සහභාගි වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ උප නායකයා ලෙස නම් කර සිටි තුන් ඉරියව් ක‍්‍රීඩක ධනංජය ද සිල්වා සහ හිටපු නායකයෙක් වන දිනේෂ් චන්දිමාල්ට කණ්ඩායමේ ස්ථානයක් හිමිනොවීම මෙහිදී කැපී පෙනේ. 

කෙසේ වෙතත් ක‍්‍රිකට් ක‍්‍රීඩාවේදී අත්දැකීම් යනු සම්පතක් බව අමුතුවෙන් කිවයුතු නැත. අත්දැකීම්වලින් ප‍්‍රයෝජන ගැනීමට නම් ඇන්ජලෝ මැතිව්ස් සහ දිනේෂ් චන්දිමාල් වැනි ක‍්‍රීඩකයන් සහ තරුණ ක‍්‍රීඩකයන් මිශ‍්‍ර වූ එක්දින සහ ටෙස්ට් කණ්ඩායමක් වඩාත් ප‍්‍රයෝජනවත් විය හැකිය.

ලෝක කුසලාන තරගාවලියේ අවසානය කණ්ඩායමේ අනාගතයට සකස් කිරීමේ ආරම්භයක් බවට පත්කරමින් වර්තමාන කණ්ඩායම අඛණ්ඩව ක‍්‍රීඩා කිරීම වැදගත් වනු ඇත.

 සටහන - යොහාන් භාසුර

 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:05