විවිධාකාර සිදුවීම් හේතුවෙන් ජාතික ආරක්ෂාව සම්බන්ධව රජය පාර්ශ්වයෙන් වැඩි අවධානයක් යොමු කෙරුණේ මාස කිහිපයකට ඉහත සිටය. ආරක්ෂක අංශ යටතේ ක්‍රියාත්මක බුද්ධි අංශ මගින් දිගින් දිගටම තොරතුරු රැස් කෙරුණේ ඒ අනුවය. විවිධ පුද්ගලයන් හා කණ්ඩායම් ජාවාරම්වල යෙදෙමින් නීති විරෝධීව මුදල් උපයමින් ක්ෂණිකව පොහොසතුන් බවට පත්වන ආකාරයන් පිළිබඳව නිරීක්ෂණය වූයේද මේ අතරය. මේ සම්බන්ධයෙන් විමර්ශනය සඳහා නීති විරෝධී දේපල හෝ වත්කම් විමර්ශන කොට්ඨාසය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ ආරම්භ කෙරුණේ පොලිස් විමර්ශන සාර්ථක කිරීමටය.
මෙම විමර්ශන කොට්ඨාසය ආරම්භ කිරීමේ මූලික අරමුණ නීති විරෝධී ජාවාරම්කරුවන් සම්බන්ධයෙන් විමර්ශනය කොට ඔවුන් විසින් නීති විරෝධී ලෙස උපයාගත් දේපොල මුදල් ඇතුළු වත්කම් පිළිබඳ තහවුරු කොටගෙන අවශ්‍ය නීතිමය පියවර ගැනීම සඳහාය. පොලිස්පතිවරයාගේ උපදෙස් මත මෙම නව කොට්ඨාසය මගින් මෙරට ජාවාරම්කරුවන් සම්බන්ධයෙන් සොයාබැලීමට විමර්ශන අරඹා තිබිණ. එහිදී ප්‍රථමයෙන් අවධානය යොමුකර තිබුණේ දැනට මරණ දඬුවම නියම වී සිටින දෙමටගොඩ චමින්ද නැමැති පාතාල නායකයාගේ සොහොයුරකු වන දෙමටගොඩ රුවන් යන අය සම්බන්ධයෙනි.
මොහු දෙමටගොඩ රුවන් හෙවත් සිරිනායක පතිරණලාගේ රුවන් චමිල ප්‍රසන්න ලෙස හඳුනාගෙන සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකි. මෙතෙක් ඔහු උපයාගන ඇතැයි කියන දේපල ඇතුළු වත්කම් ස්ථීර ලෙස තහවුරු කර ගැනීමට නොහැකි වූ ඒවා බවට වාර්තා වී තිබිණ. ඒ වත්කම් සඳහා හෙරොයින් ඇතුළු මත්ද්‍රව්‍ය ජාවාරම් හේතු වී තිබෙන බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නිගමනය කර තිබිණ. මේ අතර අනාවරණය කරගත් ප්‍රමුඛ කාරණය වූයේ 2021 අප්‍රේල් 10 වැනිදා ඉන්දීය වෙරළාරක්ෂක බලකායේ නිලධාරීන් විසින් ශ්‍රී ලංකාවට අයත් බහුදින යාත්‍රාවක් හෙරොයින් තොගයක් සමග අත්අඩංගුවට ගැනීම පිළිබඳවය. එය ශෂිලා දුව* නම් වූ බහුදින යාත්‍රාවකි. එහිදී අත්අඩංගුවට පත්ව තිබූ හෙරොයින් තොගය කිලෝග්‍රෑම් 340කි. එහි සිටියදී සැකකරුවන් පස්දෙනකු අත්අඩංගුවට ගත් බවද වාර්තා වී තිබිණ. පසු විමර්ශනයේදී යාත්‍රාව තුළ තිබූ සැටලයිට් දුරකථනයක් සම්බන්ධයෙන් විමර්ශනය කොට ඇත. එහිදී හෙළිව තිබුණේ එම හෙරොයින් තොගය ශ්‍රී ලංකාවේ සිටින පුද්ගලයකු වෙත යොමු කිරීමට සූදානම් බවකි. වැඩිදුර විමර්ශනයේදී අදාළ පුද්ගලයා දෙමටගොඩ රුවන් නැමැත්තකු බවට අනාවරණය වී ඇත.
මේ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකළ දීර්ඝ විමර්ශනයේදී හෙළිව ඇත්තේ සැකකරු විවිධ ජාවාරම්වලට සම්බන්ධ වූවකු බවත් අවස්ථා ගණනාවකදී විවිධ අපරාධ සිදුකර ඇති බවත්ය. හෙරොයින් ජාවාරම, මිනීමැරීම, ඇතුළු අපරාධ රුසක් අතර විය. මෙම තොරතුරු අනාවරණය කරගැනීමත් සමග අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී දේපළ හෝ වත්කම් විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් විසින් දෙමටගොඩ රුවන් නැමැත්තා පසුගිය 29 වැනිදා අත්අඩංගුවට ගනු ලැබීය. මොහු 2017 වසරේ සිට රුපියල් කෝටි 700කට අධික වටිනා හෙරොයින් ඇතුළු මත්ද්‍රව්‍ය තොග මෙරටට ගෙන්වා ඇති බවට තහවුරු වී තිබේ. ඒ අනුව ලංකාවේ මහා පරිමාණ මත්කුඩු ජාවාරම්කරුවකු වශයෙන් විශාල ආදායමක් හා දේපළ රුස්කරගෙන ඇතැයිද අනාවරණය වී ඇත.
මෙසේ උපයාගත ඇතැයි කියන දේපල අතර රුපියල් ලක්ෂ 700කට අධික වටිනා රේන්ජ් රෝවර් ජීප් රථයක්, ලක්ෂ 300 කට අධික වටිනා ලෑන්ඩ් කෲෂර් ජීප් රථයක්, ලක්ෂ 330ක් වටිනා BMW රථයක් හා ලක්ෂ 480ක් වටිනා BMWi8 මෝටර් රථයක්ද වන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසන්නේ එම රථ කිහිපයද අත්අඩංගුවට ගනිමිනි.
මීට අමතරව දෙමටගොඩ චමින්ද හෙවත් චමින් රවිජයනාත් නැමැත්තාගේ බිරිඳ සතුව තිබූ රුපියල් ලක්ෂ 200ක් තරම් වටිනා ලෑන්ඩ් ක_ෂර් රථයක් පොලිස් බාරයට ගෙන ඇත. මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා ප්‍රකාශ කළේ වටිනාකම අනාවරණය නොවූ BMW කාර් රථයක්ද පොලිස් බාරයට ගෙන ඇති බවකි. මෙම වාහන මිලදී ගැනීම සඳහා මුදල් උපයාගත් ආකාරය හෝ මිලදී ගැනීම සිදුකළ ආකාරය අනාවරණය කිරීමට නොහැකි වූ නිසා අදාළ රථවාහන පොලිස් බාරයට ගත් බවද ඒ මහතා කීය. මේ ආකාරයට දෙමටගොඩ රුවන්ට අයත් රුපියල් ලක්ෂ 1800කට වැඩිය වටිනා වාහන හා රුපියල් ලක්ෂ 225කට අධික රත්‍රං අත්අඩංගුවට ගනු ලැබ ඇත. සියල්ල අතර පසුගිය 4 වැනිදා ලක්ෂ 200ක් වටිනා ලෑන්ඩ් රෝවර් රථයක්, ලක්ෂ 70ක් වටිනා හොණ්ඩා විස්ල් රථයක්ද අත්අඩංගුවට ගෙන ඇත. පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසන්නේ මේ වනවිට රුපියල් මිලියන 340කට අධික වටිනා වාහන හා ඉඩම් දේපල තාවකාලික තහනමට ලක්කර ඇති බවය. මේ අතර වාර්තා වන්නේ දෙමටගොඩ චමින්ද යන අයගේ බිරිය බොරුල්ල ප්‍රදේශයේ රාත්‍රී සමාජ ශාලාවක් පවත්වාගෙන යන බවය.
දෙමටගොඩ රුවන් මෙරටට ගෙන්වා ඇතැයි කියන මත්ද්‍රව්‍ය තොග අතර 2017 වසරේදී හෙරොයින් කිලෝ 280ක් හා එම වසරේදීම හෙරොයින් කිලෝ 40ක් ගෙන්වා ඇත. 2018 වසරේදී හෙරොයින් කිලෝ 200ක් හා අයිස් කිලෝ 200ක්ද ගෙන්වා ඇත. 2019 වසරේ හෙරොයින් කිලෝ 200ක් හා අයිස් කිලෝ 100ක් ගෙන්වා ඇත. එම වසරේ ගෙන්වූ කිලෝ 200ක හෙරොයින් තොගයක් නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබුණි. එසේ නමුත් එම වසරේ හෙරොයින් කිලෝ 200ක් අයිස් කිලෝ 5ක් සහ හෂීස් කිලෝ 30ක් ගෙන්වා තිබුණි. මීට අමතරව 2021 වසරේ අයිස් කිලෝ 21ක් ගෙන්වා තිබෙන අතර ඉන්දීය වෙරළාරක්ෂක බලකාය කොටු වී තිබුණේ හෙරොයින් කිලෝ 340ක් රැගෙන එමින් සිටියදීය.
මත්කුඩු ජාවාරම, මිනීමැරුම් ඇතුළු අපරාධ රැසකට සම්බන්ධ දෙමටගොඩ චමින්ද සතු රත්‍රං කිලෝ 1යි ග්‍රෑම් 90ක් පමණ අත්අඩංගුවට ගෙන ඇත. මේ අයුරින් රටපුරා තවත් ඉඩම්, දෙපළ, වාහන ඇතැයි පොලිසිය සැකකරයි. මෙම දේපළ ස්ථීර ලෙස හඳුනාගැනීමෙන් පසුව නීත්‍යානුකූලව රාජසන්තක කිරීමට නියමිතය.
සැකකාර දෙමටගොඩ රුවන් රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙන අතර වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකය.
සමන්ත ප්‍රදීප් විල්තෙර