2021 නොවැම්බර් 06 වන සෙනසුරාදා

පොලීසියේ පොලිෂ් එක නැති කරන නිලධාරි

 2021 නොවැම්බර් 06 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 42

වංචාව, දූෂණය, අල්ලස, පගාව, සොරාගැනීම, පහරදීම මිනිස් ඝාතනය වැනි කාරණා පොලීසියට අලුත් හෝ නුපුරුදු නැත. ඒ තරමට එකී සිදුවීම්වලට එරෙහිව පොලීසිය විමර්ශන සිදු කරමින් නීතිමය පියවර ගනිමින් සිටියි. පැසසුම් සහිත එම රාජකාරිය අතර සිටින ඇතැම් පොලිස් නිලධාරීන්ද අකටයුතුකම්වලට උපන් හපනුන්ය. කාකි ඇඳුමට මුවා වී එහි රස්නයෙන් නීතියටත් වංගු දමා ජාවාරම් හා අපචාරවල නිරත අතළොස්සක් වන පොලිස් නිලධාරීන් පොලිස් දෙපාර්තමේන්තුවට කැළලකි. පසුගිය දින ගණනාවකදී එවැනි නිලධාරීන්ගේ අයුතු හා නොමනා හැසිරීම් රැසක් පිළිබඳව වාර්තා විය. 

ඇතැම් අකටයුතුකම් සඳහා පොලීසියේ පහළම තනතුරු දරන නිලධාරීන්ගේ සිට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරු දක්වා උසස් නිලධාරීන් පිළිබඳ කියැවේ. එවැනි උගත් නිලධාරීන් ඇසුරේ වාර්තා වන ඇතැම් සිදුවීම් විශ්වාස කළ නොහැකි නමුත් ස්ථිර ලෙස අනාවරණය වූ ඒවාය. 

සියල්ල අතර කියැවෙන්නේ බස්නාහිර පළාත තුළ රාජකාරි කරන පොලිස් නිලධාරීන් මත්කුඩු හා මත්ද්‍රව්‍ය භාවිතයට හුරු වී සිටින බවය. මේ අතුරින් නිලධාරීන් 37 දෙනකු මත්ද්‍රව්‍ය භාවිතය සඳහා ඇබ්බැහි වී සිටින බවට පොලිස්පතිවරයා වෙත තොරතුරු ලැබී ඇතැයි පැවසේ. අවශ්‍ය නීතිමය පියවර ගැනීම සඳහා සැකකාර නිලධාරීන් 37 දෙනා සම්බන්ධයෙන් විශේෂ නාමලේඛනයක් සකස් කිරීමට පොලිස්පතිවරයා විසින් පියවර ගනිමින් සිටින බවද වාර්තා වේ.

ඒ අනුව පිරිස වෛද්‍ය පරීක්ෂණයකට ලක් කිරීමට කටයුතු කෙරෙන අතර එමගින් මත්කුඩු භාවිතය සම්බන්ධයෙන් විද්‍යාත්මක තහවුරු කර ගැනීමක් සිදුකෙරෙනු ඇත. මේ සම්බන්ධව පියවර ගැනීම සඳහා බස්නාහිර පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා වෙත පොලිස්පතිවරයා විසින් බලය පවරා ඇතැයි වාර්තා වේ. සිදුකිරීමට නියමිත වෛද්‍ය පරීක්ෂණයෙන් අනතුරුව මත්ද්‍රව්‍ය භාවිත කරන බවට තහවුරු කර ගන්නා පිරිස පුනරුත්ථාපනය කිරීම සඳහා යොමු කිරීමට අවශ්‍ය නීතිමය පියවර ගැනීමට නියමිතය.

පොලිස්පතිවරයා වෙත ලැබුණු තොරතුරක් අනුව සිදු කරන විමර්ශනයකදී ඉහත නිලධාරීන් 37 දෙනා පිළිබඳව මත්ද්‍රව්‍ය සම්බන්ධ චෝදනාව අනාවරණය වුවද තවත් බොහෝ චෝදනා සම්බන්ධයෙන් නිසි විමර්ශනයක් සිදු නොවන බවද වාර්තා වේ. එවැනි ඇතැම් චෝදනා පිළිබඳව සමහර උසස් පොලිස් නිලධාරීන් පවා නිහඬ පිළිවෙතක් අනුගමනය කරන බව කියැවේ. මේ ආකාරයට වාර්තා වන්නේ බරපතළ කාරණයකි.

පොලිස් සේවයේ නිරත කාන්තා නිලධාරීන්ට ලිංගික හිරිහැර සිදුවීම බරපතළ සිදුවීමකි. එම අකටයුත්ත පොලීසියේ ඉහළ නිලධාරීන් වෙතින්ම සිදුවනවා යැයි කීම වඩාත් බරපතළ ගැටලුවකි. වාර්තා වන අයුරින් පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානයේ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියකු මෙසේ කාන්තා නිලධාරීන්ට හිරිහැර කරන බව කියැවේ. සේවයේ සිටින ඇතැම් නිලධාරිනියන් මෙම උසස් නිලධාරියාගේ නෙත ගැටුණු පසුව ඔහුගේ ලිංගික ගොදුරක් කර ගැනීමට උත්සාහ ගනියි. ඊට අකැමැත්ත පළ කරන අදාළ නිලධාරිනියන්ට නොයෙක් දුෂ්කරතාවලට මුහුණපෑමට අවස්ථාව සලස්වන බවද කියති. මෙම නිලධාරියාගේ අඩම්තේට්ටම් ඉවසා ගැනීමට නොහැකි වූ නිලධාරිනියක ඔහුගේ දුරකතන හඬපටයක් අන්තර්ජාලයට මුදාහැර ඇත. ඒ සම්බන්ධයෙන් උසස් නිලධාරීන්ගේ අවධානය යොමුව නැතැයි වාර්තා වේ.

වාර්තා වන ආකාරයට මෙම දුෂ්ඨ පොලිස් නිලධාරියාගේ ක්‍රියා පිළිවෙත හේතුවෙන් නිලධාරිනියන් ගණනාවක් සේවය අතහැර ගොස් ඇතැයි වාර්තා වේ. ඇතැම් කාන්තා නිලධාරීන්ට උසස්වීම් හා සේවය ස්ථිර කර දීමේ පොරොන්දුවට ලිංගික අල්ලස් ගැනීමට උත්සාහ කරන මෙම නිලධාරියා පොලිස් නිලධාරිනියන්ගේ කන්‍යාභාවය පවා විමසන බව කියති. මෙම උසස් නිලධාරියාට බොහෝ දේශපාලන සබඳතා ඇතැයිද වාර්තා වේ. පොලිස් ආරංචි මාර්ග අනුව මෙම උසස් නිලධාරියා නැගෙනහිර පළාතේ සේවය කරමින් සිටියදී කාන්තා නිලධාරිනියකගේ ශරීරය බලහත්කාරයෙන් ඇල්ලීම නිසා ස්ථාන මාරුවක් ලැබූ අයෙකි.

මේ ආකාරයේ පොලිස් නිලධාරීන්ගේ නොමනා හැසිරීම් රුසක් වාර්තා වූ ඉකුත් දින කිහිපයේදී සබරගමුව පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු මහතා සම්බන්ධයෙන් වූ සිදුවීම සමාජ මාධ්‍ය හරහා විශාල ප්‍රසිද්ධියක් ලැබීය. ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා මහමගදී තරුණයකුට පහරදෙන ආකාරයේ වීඩියෝ දර්ශනයක් සමාජ මාධ්‍යවල සංසරණය විය. එහිදී පහරකෑමට ලක්වන තරුණයා චෝදනා කරන්නේ පොලිස් නිලධාරියා බීමතින් සිට පහරදුන් බවය. ප්‍රහාරයට හේතුව වී ඇත්තේ පොලිස් නිලධාරියා ගමන්ගත් වාහනයට තරුණයා පැදවූ රථය ඉස්සර කිරීමය. එම පහරදීමට සම්බන්ධ නිලධාරියාගේ නිලඇඳුම, තරු පටි, බොත්තම් පවා මේ වන විට හෑල්ලුවට ලක්ව අවසන්ය. 

ඊට දින කිහිපයකට පසුව තලවතුගොඩ ප්‍රදේශයෙන් වාර්තා වූයේ තවත් පොලිස් නිලධාරීන් දෙදෙනකුගේ නොමනා ක්‍රියාවකි. පොලිස් නිලඇඳුමේ රස්නෙන් ඔළුව උදුම්මවාගෙන සිටි නිලධාරීන් දෙපළක් ඊට සම්බන්ධය. කළල්ගොඩ මංසන්ධිය අසල ස්පා ආයතනයකට ඇතුළු වී නොමිලේ කාන්තා පහස ඉල්ලීමත් එහි කළමනාකාරීත්වය ඊට එරෙහි වීමත් එම ගැටුමට මුලය. ඒ සඳහා සම්බන්ධ වී ඇත්තේ කහතුඩුව පොලීසියේ කොස්තාපල්වරයකු හා පොලිස් රියැදුරෙකි. ඔවුන් දෙදෙනා සමඟ තවත් ව්‍යාපාරිකයන් දෙපළක් සිට තිබුණි. ප්‍රථමයෙන් සහ ආයතනයට ගොස් නොමිලේ පහස නොලැබීමෙන් වෙනත් ස්පා ආයතන වෙත ගොස් නොමිලේ කාන්තා පහස ඉල්ලා තිබුණේ පොලිස් නිලඇදුමේ බලය අයුතු ලෙස භාවිත කරමිනි.

මේ අතර වඳුරඹ පොලිසියේ අපරාධ අංශ ස්ථානාධිපතිවරයා සම්බන්ධයෙන් කියැවුණේ රුපියල් ලක්ෂ දහයක් කොල්ලකෑම සම්බන්ධයෙනි. ඔහු මහරගම පොලීසියේ සේවය කරන අතරතුර හඳුනාගත් හිතවතකුට මෝටර් රථයක් මිලට ගැනීම සඳහා තැරුව්කරුවකු සම්බන්ධ කර දී ඇත. අනතුරුව වාහනය මිලට ගැනීම සඳහා කළුතරට ගොස් තිබෙන අතර එහිදී ගාල්ලට පැමිණෙන ලෙස දන්වා ඇත. ගමන් මග වදුරඹ හරහා යොදාගෙන ඇති අතර පොලීසියේ ත්‍රිරෝද රථයකින් පැමිණි අපරාධ අංශ ස්ථානාධිපතිවරයා මගදී මිත්‍රයන් පැමිණි වෑන් රථයට නැග හොර සල්ලි ඇති බව කියා මුදල් භාරයට ගෙන ඇතැයි කියති. එම අවස්ථාවේ පොලිස් නිලධාරියා නිලඇඳුමෙන් සිට තිබෙන අතර සහායට පැමිණ ඇත්තේ කොස්තාපල්වරයෙකි. අවසානයේ සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය.

මීට ටික දිනකට පෙර සමාජ මාධ්‍යවල සංසරණය වෙමින් තිබුණේ තවත් පහරදීමේ දර්ශනයකි. එය එරාවුර් ප්‍රදේශයේදී යතුරුපැදිකරුවකුට අතින් පයින් පහරදෙන සිදුවීමකි. ඊට සම්බන්ධ වී තිබුණේ එම ප්‍රදේශයේ පොලිස් කොස්තාපල්වරයෙකි. මේ ආකාරයට මාස කිහිපයකට ඉහතදී සිදුවීමකි. එයද ලොරි රථ රියැදුරකුට අමානුෂික ලෙස කරන පහරදීමකි. එය පන්නිපිටිය ප්‍රදේශයෙන් වාර්තා වූ අතර ඊට සම්බන්ධව සිටියේ මහරගම පොලීසියේ කොස්තාපල්වරයෙකි. පැමිණිල්ලට සාධාරණය ඉටුකර දීම සඳහා කාන්තාවකගෙන් ලිංගික අල්ලස් සමඟ රුපියල් ලක්ෂයක් ඉල්ලා හෝටල් කාමරයක රැඳී සිටියදී අල්ලස් හෝ දූෂණ වංචා විමර්ශන කොමිසමේ නිලධාරීන්ට කොටු වී තිබුණේ වනාතවිල්ලුව පොලීසියේ ස්ථානාධිපතිවරයාය. පවුල් ආරවුලක් සම්බන්ධයෙන් පැමිණිල්ලක් සිදු කළ කාන්තාවකගෙන් මෙසේ ලිංගික අල්ලස් ගැනීමට හලාවත හෝටලයක කාමරයකට පැමිණ සිටියදී ඔහු අත්අඩංගුවට පත්විය.

මේ ආකාරයට ජාවාරම් සිදු කරන අක්‍රමිකතාවලට යොමු වූ නිලධාරීන් පොලිස් දෙපාර්තමේන්තුවට කැළලක් ඇති කරයි. මේ සැම අතර නම් දැරෑ ඇතැම් ජ්‍යෙෂ්ඨ නිලධාරීහු දේශපාලනඥයන් පසුපස වැටී තනතුර හෑල්ලු කර ගනිති. දිවයින පුරා පොලිස් ස්ථානවල ඇතැම් නිලධාරීහු ජාවාරම්කරුවන්ගේ සාක්කුවලට වැටී ජරාවට හුරුපුරුදුව සිටිති. මෙකී නොකී අවකල් ක්‍රියාවල නිරත පොලිස් නිලධාරීන් යහමගට ගැනීම ගැන කතා වන අතරතුර පොලීසිය බාර අමාත්‍යවරයා පවා විටින් විට ජනතාවගේ දෝෂදර්ශනයට ලක්වූ අවස්ථාද තිබිණි.

 සමන්ත ප්‍රදීප් විල්තෙර