පොහොර ප්‍රශ්නය දැන් ආණ්ඩුවේ හිසේ අමාරුව වී ඇත. ආණ්ඩුව නොයෙකුත් තුරුම්පු අදිමින් පොහොර ප්‍රශ්නය විසඳන්න හැදුවත් කිසිදු විසඳුමක් අද වනතෙක් නැත. එන්න එන්නටම ගොවීන්ගේ විරෝධතාය. ජනාධිපති, කෘෂිකර්ම ඇමැතිගේ පඹයන් මහමග දමා පුළුස්සති. ගොවියන්ගේ විරෝධය එන්න එන්නටම දරුණු වනවා මිස කිසිදු අඩුවීමක් නැත.
කෙසේ වෙතත් පොහොර ගැටලුව ආණ්ඩුව ආරම්භයේ පටන් අනාගත් බව අමුතුවෙන් කිවයුතු නැත. ආණ්ඩුව හමුවේ එල්ලවුණු ඩොලර් ප්‍රශ්නය හේතුවෙන් රසායනික පොහොර ගෙන්වීම නතර කොට එකවරම කාබනික පොහොරවලට මාරුවීමේ තත්ත්වය නිසා ගොවියා අසරණ වූ බව අමුතුවෙන් කිවයුතු නැත. එය ආණ්ඩුවේ මැති ඇමතිවරුද පිළිගනිති.
විශේෂයෙන් 100ක් කාබනික පොහොරවලට මාරුවීමත් එකී පොහොර ඉල්ලුමට සමානව කාබනික පොහොර රටතුළ නොවීමත් නිසා ගොවියා අනාථ වූ බව නොරහසකි. සාමාන්‍යයෙන් මෙවැනි ව්‍යාපෘතියකදී ඇතිවිය හැකි ඉල්ලුම හමුවේ සැපයුමට සරිලන පොහොර ගබඩා වියයුතු වුවත් එය එලෙස සිදුවූයේ නැත. කනගාටුව නම් බත රටේ ප්‍රධාන ආහාරය වුවත් ඊට සරිලන පොහොර ගුවන් යානයකින් ඉතා කුඩා ප්‍රමාණයක් ගෙන ඒම දක්වා මෙකී ව්‍යාපෘතිය අමු අමුවේ අසාර්ථක වූ වැඩපිළිවෙළක් වීමය.
මෙකී තත්ත්වය හමුවේ මහින්දානන්ද අලුත්ගමගේ මෙම ව්‍යාපෘතිය හරිහැටි සිදුකරගෙන යාම සඳහා අමාත්‍යංශයේ මුහුණු මාරු කිරීමට පවා පසුබට වූයේ නැත. ජනාධිපතිවරයාගේ පත්වීම්වලට පවා විරුද්ධ වෙමින් කෘෂිකර්ම අමාත්‍යවරයා තමන්ට හිතවත් පිරිස් පත්කරගත් අවස්ථාවන් මෙම ව්‍යාපෘතියේදී හොඳටම සාර්ථකවම සිදුවු බව කිවයුතුමය. එහෙත් අවසානයේ අවශ්‍ය ඉල්ලුම හමුවේ පොහොර සපයන්නට නොහැකි බව කෘෂිකර්ම ප්‍රධානීහු කීහ. මේ නිසා ගොවීන් පාරට ඒම ඉක්මන් වූ අතර එය ගොවීන්ට ලබාදුන් හොඳ ආරම්භයක් විය.
කෙසේ වෙතත් මෙවැනි එහෙට මෙහෙට පාවෙන කතා හමුවේ ආණ්ඩුව දිගින් දිගටම නූල් බෝලයක පැටලීම පිළිබඳව කෝප වූ ජනාධිපතිවරයා කිහිපවතාවක් කෘෂිකර්ම අමාත්‍යවරයා අමතා දෝස්මුරේ දැමුවේය. අවසන් අවස්ථාවේ ජනාධිපතිවරයාගේ ප්‍රකාශ කර ඇත්තේ නැවත නොකියන බවත් ගතයුතු පියවර ගන්නා බවත්ය.
මෙම පොහොර ගැටලුව හමුවේ විපක්ෂයට හොඳ අවස්ථාවක් උදාවුණේය. ඒ ජනතාවගේ පපුවටත්, බඩටත් වදින හොඳම ප්‍රශ්නයක් නිසාය. මේ නිසා ගොවි උද්ඝෝෂණ බහුතරයක් විපක්ෂයේ මූලිකත්වය මත සිදුකළ ඒවා බව අමුතුවෙන් කිවයුතු නැත. විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රමුඛ නිල විපක්ෂය වගේම අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජනතා විමුක්ති පෙරමුණද මේ ගොවි ප්‍රශ්නය හමුවේ ඉදිරියෙන්ම සිටියේය. මේ නිසා ආණ්ඩුවේ තිස්සකුට්ටිආරච්චි වැනි මන්ත්‍රීවරුන් කීවේ මෙය හුදෙක් දේශපාලන උසිගැන්වීමක් බවය. තිස්සකුට්ටිආරච්චි මන්ත්‍රීවරයා කෘෂිකර්ම අමාත්‍යවරයාවත් පරයමින් මෙම කාබනික පොහොර සංග්‍රාමය වෙනුවෙන් දැඩි ලෙස පෙනී සිටි අයෙක් විය.
කෙසේ වෙතත් ජනතා විමුක්ති පෙරමුණ වෙනුවෙන් නාමල් කරුණාරත්න ගොවි ගැටලුව මෙහෙයවන්න සිටියත් සජබය වෙනුවෙන් කිසිවකු නිල වශයෙන් සිටියේ නැත. ඒ නිසාම විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා එම සටන වෙනුවෙන් කෙනකු පත් කළේය. ඒ නලින් බණ්ඩාර මන්ත්‍රීවරයාය. මන්ත්‍රීවරයාට ලබාදුන් ඉලක්කය වුණේ ගොවි සමිති පිහිටුවීමත් එසේම සජබ ආණ්ඩුවකදී පොහොර ප්‍රශ්නයට විසඳුම් ලබාදීමත් ගැන සොයාබලන ලෙසය. එසේම ගොවි උද්ඝෝෂණ කෙරෙහි අවධානය යොමුකරන ලෙසද ඔහුට උපදෙස් ලැබිණි.
කෙසේ වෙතත් මේ පොහොර ප්‍රශ්නය අවසානයේ වෙනත් දිසාවකට තල්ලු වෙන්නේ චීන කාබනික පොහොර නැවත් සමගය. මෙම කාබනික පොහොර නැව චීන අසූචී තොගයක් බව විපක්ෂය විසින් දිගින් දිගටම චෝදන කළේය. අවසානයේ මෙම පොහොර සම්බන්ධයෙන් සිදුකළ රසායනාගාර පරීක්ෂාවේදී එකී පොහොර මෙරටට සුදුසු නොවන බව සහතික විය. එකවතාවක් නොව තෙවතාවක් සිදුකළ පරීක්ෂණවලින් පවා එය තහවුරු විය. එහෙත් එය ප්‍රතික්ෂේප කිරීම තවමත් ලෙහෙසි පහසු නැත. චීනය විසින් දිගින් දිගටම සිදුකරන දැඩි බලපෑම එයට හේතු වී තිබේ.
මේ නිසාම විපක්ෂය දිගින් දිගටම ආණ්ඩුවට අභියෝග කළේ මේ චීන පොහොර නැව ලබාගන්නවාද නැද්ද යන්න නිශ්චිත ලෙස දන්වන ලෙස කියාය. ආණ්ඩුව නියෝජනය කරමින් බොහෝ දෙනා කීවේ මෙය කිසිදු ලෙසකින් ශ්‍රි ලංකාවට හෝ නැව ශ්‍රී ලංකා මුහුදු තීරයට නොගන්නා බවය. මේ අතර දිගින් දිගටම එන චෝදනා හමුවේ මහින්දානන්ද අලුත්ගමගේ අමාත්‍යවරයා සඳහන් කර සිටියේ අදාළ චීන නැව අග්‍රාමාත්‍යවරයා චීන තානාපති හමුවී ප්‍රතිෂේප කර ඇති බවයි. එය සියලුදෙනාට දුන් සහතිකයක් විය. කෙසේ වෙතත් එම පුවත මාධ්‍යයේ දුටුවිට අග්‍රාමාත්‍යවරයාට කේන්ති ගියේය. වහාම මහින්දානන්ද අමාත්‍යවරයා අමතා අග්‍රාමාත්‍යවරයා දෙහි කපන්නට විය. එනම් තමන් එවැනි දෙයක් නොකී බවත් තමන් සඳහන් කළේ තුන්වැනි පාර්ශ්වයක් හරහා නැවත එය පරීක්ෂා කර බලා අවසන් තීරණයකට එන ලෙස බවත්ය. ඒ නිසා තමන් නොකී දේවල් මාධ්‍යයට නොකියන ලෙස අවවාද කළේය.
මේ සියල්ල වෙන අතරතුර චීන තානාපති කාර්යාලය තමන්ගේ පොහොර නැවට සිදුකළ පාඩුව සම්බන්ධයෙන් වාඩුව ඇල්ලීම පටන් ගත්තේය. ඒ වහාම ක්‍රියාත්මක කරමින් මහජන බැංකුව අසාදු ලේඛන ගත කිරීම හරහාය. එයට හේතු වූයේ මෙම පොහොර නැව මිලදී ගැනීම සඳහා මහජන බැංකුව මගින් ණයවර ලිපි නිකුත් කර තිබීම හේතුවෙනි. මේ නිසා තානාපති කාර්යාලය වහාම අවස්ථාවෙන් ප්‍රයෝජන ගත්තේය. එනම් දැන් පොහොර නැව ගත්‍තත් නැතත් මහජන බැංකුව මුදල් ගෙවන තැනට පත්ව ඇත. ඒ නිසා දැන් ආණ්ඩුව චීන පොහොර නැව හමුවේ %මග සිටියොත් තෝ නසී ගෙදර ගියොත් අඹු නසී^ කියන තැනට පත්ව තිබේ.
කෙසේ වෙතත් පොහොර නැව හමුවේ මහජන බැංකුවට සිදුවූ කළු පැල්ලම ගැන දිගින් දිගටම විපක්ෂය ආණ්ඩුවට චෝදනා කළේය. එනම් විපක්ෂ නායකවරයාගේ චෝදනාව වුණේ මේ රට පාලනය කරන්නෙ චීනය විසින් බවයි. ආණ්ඩුවේ තීන්දු හමුවේ පිළිගත් රජයේ බැංකුවකට සිදුවු හානිය සුළුපටු නොවන බවට ඔවුහු චෝදනා නැගූහ.
මේ අතර ඇතැම් දිස්ත්‍රික්ක සඳහා ලබාදුන් පොහොරවල වීදුරු කටු ඇති බවට ගොවීහු චෝදනා කරන්නට වූහ. ගොවින් සඳහන් කළේ මෙවැනි වීදුරු කටු සහිත පොහොර ඉසීම නිසා තමන්ගේ ජීවිත පවා අනතුරට ලක්වන බවය. මේ නිසා ගොවි උද්ඝෝෂණ තව තවත් වැඩිකිරීමට මෙය හේතුවක් විය.
ගොවීන් පවසන්නේ පොහොර නොයෙදීම නිසා ලබන වසරේ වී අස්වැන්න ඉතා පහළ යා හැකි බවය. ඒ නිසා තමන්ගේ ආදායම අහිමි වී යා හැකි බව ඔවුන්ගේ චෝදනාව විය. එහෙත් ආණ්ඩුවේ මැති ඇමතිවරුන් පවසන්නේ ගොවීන්ගේ පාඩුව පියවීමේ හැකියාව ඔවුන්ට පවතින බවය. එහෙත් සත්‍යය නම් මේ සියල්ල මැද ජනතාවට ආහාර හිඟයකට මුහුණ දීමේ අවදානම ගැන කවුරුත් කතා නොකිරීමය. සැබෑම ප්‍රශ්නය ඇත්තේ ඒ තුළය.
මේ වනවිට ආණ්ඩුව ක්‍රමයෙන් තමන් ගත් පොහොර තීන්දුව ලිහිල් කරමින් සිටී. දියර පොහොර ඇතැම් වගාවන් සඳහා ලබාදීමට තීරණය කර ඇත. විශේෂයෙන් තේ වගාව කෙරෙහි අවධානය යොමුකර ඇත.
අවසාන වශයෙන් කියන්නට ඇත්තේ ලෝකයේ කිසිම රටක් 100ක් කාබනික වගාවේ නොයෙදෙන බවය. ඒ එවැනි තත්ත්වයක් සිදුකළ නොහැකි නිසාය. එසේම නම් ශ්‍රී ලංකාවට එය කළ හැකිද? ප්‍රශ්නය වගකිවයුත්තන්ට බාරය.
I ගයාන් ගාල්ලගේ