සියලු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිල ගණන් පාරිභෝගික ජනතාවට දරාගත නොහැකි ලෙස ඉහළ යමින් පවතියි. ඇතැම් ආහාර ද්‍රව්‍ය වෙළෙඳපොළ තුළ ප්‍රමාණවත් පරිදි නොමැති බවද පෙනී යයි. රජය මිල පාලනයෙන් ඉවත්වීම පදනම් කරගනිමින් මෙම තත්ත්වය උද්ගත වී ඇතැයිද චෝදනා නැගී තිබේ. එම නිසාම මෙම තත්ත්වය පිළිබඳ විමසා බැලීමට අපි තීරණය කළෙමු.
ආනයනික ආහාර ද්‍රව්‍ය මිල පිළිබඳ නිර්මාණය වී ඇති ව්‍යාකූල තත්ත්වය පිළිබඳව මෙම විමසීම සිදුවේ. අල, ලූනු, සීනි, පරිප්පු, කිරිපිටි මිල ගණන් පසුගිය සතියේදී අවිධිමත් ලෙස ඉහළ ගොස් ඇත. විශේෂයෙන්ම සීනී මිල ඉහළ යාමෙන් වෙළෙඳපොළේ සීනි හිඟයක්ද නිර්මාණය වී ඇති බව පෙනී යයි. ඒ අනුව පවතින තත්ත්වය පිළිබඳ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමයේ උප සභාපති නිහාල් සෙනෙවිරත්න මහතාගෙන් අප විමසා සිටියෙමු.
සාමාන්‍යයෙන් සෑම භාණ්ඩයකම මිල වැඩිවෙලා තියෙනවා හේතු කිහිපයක් නිසා. බොහෝදුරට මූලික හේතුව ලෝක වෙළඳ පොළේ මිල ඉහළ යෑම. ඒ වගේම නැව් ගාස්තු සමහර තැන්වලදී එකට දහයක් වැඩිවෙලා තිබෙනවා. ඉහතදී ඩොලර් 1000ක් 1200 ක්ව තිබුණු නැව් ගාස්තු දැන් ඩොලර් 10,000 කට ආසන්න වෙලා. මේක මුළු ලෝකෙටම බලපාපු තත්වයක්. මීට අමතරව කිරිපිටි වගේ දෙයක් සලකා බැලුවොත්, ඩොලර් 2000ට 1200ට ටොන් එකක මිල ඩොලර් 4000 ක් විතර වෙලා. එකට එකක වැඩි වීමක්. අවුරුද්දකට විතර කලින් අපි පරිප්පු හෝල්සේල් විකුණුවේ රු 100ක 110ක වගේ මිලකට. දැන් අපි විකුණන්නෙ රු.220ක 240ක වගේ මිලකට. එහෙම වෙන්න හේතුව එදා ඩොලර් 450ට තිබුණු පරිප්පු දැන් ඩොලර් 900ක් වීම. මේ සෑම දෙයක්ම අපේ පාලනයෙන් තොර දේවල්.
මෙම තත්ත්වය තුළ සංගමය පාලන මිල ඉවත් කරන ලෙස රජයෙන් ඉල්ලා සිටි බව නිහාල් සෙනෙවිරත්න මහතා කියා සිටියි. ඔහුට අනුව අත්‍යවශ්‍ය ආහාරවල වෙළෙඳපොළ හිඟයට හේතුව පාලන මිලයි. අත්‍යවශ්‍ය ආහාර ද්‍රවය පාලන මිල යටතේ ආනයනකරුවන්ට සැපයුම් සිදුකිරීමට හෝ වෙළෙඳුන්ට වෙළෙඳාම් කිරීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී තිබේ.
රජය පැත්තෙන් බලපුවාමත් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවලට පනවා තිබූ බදු අඩුකරලා තිබෙනවා. දැන් සීනිවලට ශත 25 යි බද්ද, පරිප්පු වලට ශත 25 යි. බී ලූනුවල සහ අලවල විතරක් බදු වැඩිකරලා තියෙනවා. හේතුව දේශීයව ලැබෙන අස්වැන්න. ඒත් ඒ අස්වැන්නත් ප්‍රමාණවත් පරිදි නෑ. දැනට අපි රුපියල් 40ක බදු ගෙවලා ආනයනය කරනවා. දේශීය තොග අවසන් වුණාම ඉදිරියේදී රජයත් එක්ක කතා කරලා ඒ බදු අඩු කර ගන්න ඕනෑ. ඇත්තටම රජය අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල තීරුබදු සැලකිය යුතු ලෙස අඩු කරලා තියනවා.
කෙසේ වෙතත් පසුගිය සතියේදී මුදල් අමාත්‍යවරයා සහ මෙම සංගම් අතර සාකච්ඡා සිදුව ඇති බව වාර්තාවේ. ඒ අනුව පසුගිය බ්‍රහස්පතින්දා වනවිට රජය නව ගැසට් පත්‍රයක් ප්‍රකාශ කළේය. සීනි, පරිප්පු, අර්තාපල්, කුකුළු මස්, ටින් මාළු, බඩඉරිඟු සහ ලොකු ලූනු ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ 17ක් මත පනවා තිබුණු මිල පාලනය ඉවත් කිරීමට රජය ඉන් නිවේදනය කළේය. ඒ අනුව මින් ඉදිරියට මෙම භාණ්ඩවල මිල ගණන් වෙළෙඳ පොළ ඉල්ලුම සහ සැපයුම අනුව තීරණය වනු ඇත. කෙසේ වෙතත් එය නිසැක වශයෙන්ම මිල ඉහළ යෑමක් වනු ඇති බව සඳහන් කළ හැකිය.
නිහාල් සෙනෙවිරත්න මහතාගේ පැහැදිලි කිරීමට අනුව රට තුළ පවතින ඩොලර් හිඟයද අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිල සඳහා බලපෑම් සහගතය. රජය මෙරටින් ඩොලර් පිටවීම විවිධ ක්‍රම ඔස්සේ සීමාකර තිබේ. එහෙත් ඉන්ධන ඇතුළු අත්‍යාවශ්‍ය සැපයුම් ලබා ගැනීමට ඩොලර් අවශ්‍යය. ඩොලර්වලින් ගෙවීම සිදුකිරීමේ යම් ප්‍රමාදයක් මේ වනවිට නිර්මාණය වී තිබේ. ඒ හේතුවෙන් ගුදම් ගාස්තු සම්බන්ධ අර්බුදයකට ආනයනකරුවන් මැදිවෙයි.
&ගේන ඒවා දැන් හිරවෙනවා. එතකොට ගුදම් ගාස්තු කන්ටේනර් ගාස්තු වැඩි වෙනවා. මේ හේතුවෙන් ආනයනකරුවන්ට පාඩු සිද්ධ වෙනවා. ඇතැම් විට ඒවා ආනයනකරුවන් දරා ගන්නවා. එහෙම නැත්නම් අදාළ ද්‍රව්‍යවල මිලෙන් තමා අපිට ඒවා පියවගන්න වෙන්නේ. නැතුව අපිට කරන්න දෙයක් නෑ.
මේ වනවිට සීනි මිල පාලනයෙන්ද රජය ඉවත් වී තිබේ. පසුගිය දවසක මුදල් අමාත්‍යවරයා සමඟ පැවති සාකච්ඡාවේදී දිගින් දිගටම මේ පිළිබඳව සාකච්ඡා කළ බව නිහාල් සෙනවිරත්න මහතා කියා සිටියි. සීනි පාලනය ඉවත් කිරීමට අදාළ ඉල්ලීම ඉදිරිපත් කිරීමට හේතුව ඔහු පහදයි.
මිල පාලනය තියනකොට කොළඹ අවට සුපිරි වෙළඳසැල්වල භාණ්ඩ ප්‍රමාණවත් පරිදි නෑ. මිල පාලනයට යටතේ විකුණන්න බැරිනම් ඒ අය බඩු ගන්නෙ නෑ. ඇත්ත තත්ත්වය ඒක. සීනි නැතුව නෙවෙයි. සීනි තියනවා මිල වැඩියි. අපි ගණන් බැලූවා ටොන් 17,000ක් විතර තියෙනවා. ටොන් 9,000 ක් වරාය තියෙනවා. තවත් ටොන් 4,000 විතර තියෙනවා විශාල මුදල් ගාස්තුවක් ගෙවලා ගන්න ඕන. කිලෝ එකකට රුපියල් 150ක් විතර වෙනවා එතකොට. එහෙම වුණොත් ඒ අයට රුපියල් 10ක 15ක පාඩුවක් සිදුවෙනවා. ආනයනකරුවන් මේ පාඩුව දරාගන්න ලෑස්තියි. අපි සාකච්ඡාවේදී කිව්වේ මේක නිදහස් කරලා දෙන්න කියලා. වෙළඳපොළට දාන්න. කොහොම වුණත් මෙතන ප්‍රශ්නය තියෙන්නේ රු.122ක පාලන මිලක් දාලා බඩු නැතුව ඉන්න එක හොදඳ? නැත්නම් රුපියල් දහයක් විස්සක් වැඩිපුර ගෙවලා බඩුගන්න තියෙන එකද හොඳ කියන එක සම්බන්ධව.*
ආනයනකරුවන්ට අනුව පෙනී යන්නේ පාලන මිල ඉවත් කිරීම සාධනීය බවයි. භාණ්ඩ හිඟයක් ඇතිවීම වළක්වා ගැනීමට පවතින එකම විකල්පය ලෙස මිල පාලනය ඉවත් කිරීම රජය විශ්වාස කරන සෙයකි. පසුගිය සතියේ නිකුත් වූ ගැසට් පත්‍රය හරහා හෙළිදරව් වන්නේ යථාර්ථයි. මෙම සියලු තත්ත්වයන් කවරක් වුවත් බඩු මිල ඉහළ යාමත් සමඟ ඉහළ යන ජීවන වියදම දරා ගැනීමට මෙරට මහජනතාවට හැකිදැයි යන්න සැබෑ ගැටලුවකි. වර්තමානයේ එකට එකක් බඩුමිල ඉහළ ගියද ගෙවුණු වසර ද්විත්වය පුරා සාමාන්‍ය පාරිභෝගික ජනතාවගේ ආදායම හෝ වැටුප ඉහළ ගොස් නැත. වසංගතය එනිසාවෙන්ම සියලුම ආදායම් ජනතාවටද අහිමිව ගියා පමණි.
චමිඳු නිසල් ද සිල්වා