2021 නොවැම්බර් 06 වන සෙනසුරාදා

හවුල්කාර පක්ෂවල ගෝරිය

 2021 නොවැම්බර් 06 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 101

ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ සම්බන්ධව පැවති අර්බුදය තවදුරටත් දික් ඇදෙමින් තිබේ. යුගදනවි බලාගාර ගිවිසුම සම්බන්ධව ආසන්න මත ගැටුම තවමත් විසඳී නොමැත. ඊට අමතරව පළාත් සභා මැතිවරණ ක්‍රමය, නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදනය ආදී වූ නොවිසඳුණු ගැටලු සාකච්ඡා මේසය මත ඉතිරිව පවතියි. ගෙවුණු සතිය මෙම සියලු අර්බුදයන් සම්බන්ධව යම් තීරණාත්මක ස්වභාවයක් ඉසිලුවේය. මේ විමසා බැලීම ඒ පිළිබඳයි.

ඔක්තෝබර් අවසන් සතියේ බ්‍රහස්පතින්දා ආණ්ඩුවේ නායකයන් සහ හවුල්කාර පක්ෂ නායකයන් අතර සාකච්ඡා ඉතා උණුසුම් විය. එහිදී යුගදනවි සම්බන්ධව අවසන් එකඟතාවයකට දෙපිරිස නොපැමිණි අතර ඉදිරි ගිවිසුම් සඳහා ලිඛිත යෝජනා ලබාදෙන ලෙස මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ කියා සිටියේය. විමල් වීරවංශ, උදය ගම්මන්පිල, වාසුදේව නානායක්කාර ඇතුළු හවුල්කාර පක්ෂ නායකයෝ අදාළ ගිවිසුම් රටට බරපතළ අනතුරක් බව කියා සිටියහ.

ඒ අතර හවුල්කාර පක්ෂ හමුවට යුතුකම සංවාද කවය නියෝජනය කරමින් පක්ෂ නායකයකු ලෙසින් සහභාගී වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරණතුංග පක්ෂ නායකයකු නොවන බව පොදුජන පෙරමුණ චෝදනා කිරීම හේතුවෙන් තත්ත්වය තවත් උණුසුම් විය. එක් රටක් එක නීතියක් සඳහා වූ ජනාධිපති කාර්යසාධක බලකායේ සභාපති ධූරයට ඥානසාර හිමියන් පත්කිරීම සම්බන්ධවද නව අර්බුදයක් නිර්මාණය විය. ඉකුත් සතියේ පැවැති මෙම සාකච්ඡා විසඳුමකින් තොරව අවසන් විය.

එම සාකච්ඡාවේ අසාර්ථකත්වය නැවතත් ඔප්පු කරමින් සිකුරාදා (29) සැලසුම් කර තිබූ පරිදි මහජන මන්ත්‍රණ සභාව පැවැත්වුණි. ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ එකොළහ විසින් සංවිධානය කර තිබූ මෙම හමුව පැවැත්වීමට කටයුතු කොට තිබුණේ පිටකෝට්ටේ උත්සව ශාලාවකය. මහජන මන්ත්‍රණ සභාවේ මංගල සැසිය වූ මෙය එල්.එන්.ජී බලාගාර පද්ධතිය අමෙරිකාවට පැවරීම ලෙස නම් කොට තිබුණි. මහජන මන්ත්‍රණ සභාවේ මූලාසන වෙනුවෙන් විජය ධරණී සභාව නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී, අතුරලියේ රතන හිමි, ජාතික නිදහස් පෙරමුණේ නායක, කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්, අමාත්‍ය දයාසිරි ජයසේකර, පිවිතුරු හෙළ උරුමයේ නායක, බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල, ලංකා සමසමාජ පක්ෂයේ ප්‍රධාන ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී, මහාචාර්ය තිස්ස විතාරණ, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්‍ෂයේ ප්‍රධාන ලේකම්, විශේෂඥ වෛද්‍ය ජී. වීරසිංහ, ජාතික කොංග්‍රසයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ.එල්.එම්. අතාවුල්ලා යන ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ නායකයෝ අදහස් දැක්වූහ.

මෙහිදී වැඩි අවධානයක් දිනාගත්තේ අමාත්‍ය විමල් වීරවංශ සිදුකළ කතාවයි. එය මේතාක් වර්තමාන ආණ්ඩුවේ ක්‍රියාකාරීත්වය සම්බන්ධව විමල් වීරවංශ සිදුකළ දැවැන්ත විවේචනයක් විය. යුගදනවි ගිවිසුම් සම්බන්ධව කැබිනට් පත්‍රිකාව අනුමත වූ අයුරු ඔහු හෙළි කළේය.

ඇමරිකානු නිව් ෆෝට‍්‍රස් එනජි සමාගමට සදාකාලිකව ගෑස් සැපයීමේ ඒකාධිකාරය මේ ලබාදී ඇත්තේ. බොරුවට එය වසර පහක් කියන්න එපා. අනාගතයේ නොපෙනෙන ඉමක් දක්වා මෙරට ගෑස් සැපයීම ලබාදෙන්නේ ඔය සමාගමටයි. ඒ ඇමෙරිකානු සමාගමට ගෑස් සදාකාලිකව ලබාදෙන කැබිනට් පත්‍රිකාව ආවේ හොර පාරෙන්. මෙය කැබිනට් මණ්ඩලයේ නිසි ලෙස සාකච්ඡා වුණේ නැහැ. මෙය ගෙනාවේ තක්කඩිකමින්. මේ ඇමැති ‘කට්ට’ වෙනුවෙන් ඔය තක්කඩිකම් ඉවසන්න බැහැ. අපේ හෘද සාක්‍ෂිය තඩි ගලක ගැටගසා වතුරට ඔබාගෙන ඉන්න අපට බැහැ. අප ඒ සංස්කෘතියට අයිති අය නෙවෙයි. මේ රටේ මිනිස්සු ගෝඨාභය රාජපක්‍ෂ මහතාට ජනවරම දුන්නේ වෙන අයට කොල්ල කන්න නෙමෙයි. ඒ ජනවරමේ සුජාතභාවය නැති කරන්න දෙන්න බැහැ. එහි ගෞරවනීයභාවය කෙලසන්න දෙන්න බැහැ.

මේ අතර මහජන මන්ත්‍රණ සභාව පිළිබඳ මෙන්ම හවුල්කාර පක්ෂ ක්‍රියාකාරීත්වය සම්බන්ධ පොදුජන පෙරමුණ මැති ඇමතිවරු දැඩි විවේචන ඉදිරිපත් කළහ. ආණ්ඩුව ඇතුළේ ඇමැති තනතුරක සිටිමින් ජනාධිපති ඇඳුම ඇඳීම සඳහා යම් යම් පුද්ගලයන් සිහින දකිමින් සිටින බවත්, එසේ සිහින දකින පුද්ගලයන් ඇමැති තනතුරු අතහැර ආණ්ඩුවෙන් එළියට ගොස් එම සිහින දකින ලෙස වරාය අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන පැවසීය.

පක්ෂ රැස්වීමේදී එකක් කියලා එළියට ගිහින් තව එකක් කියනකොට ඒක අපිට ඉවසන් ඉන්න බැරිවෙනවා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැටියට. බල්ලා තමයි නැට්ට වනන්නේ. නැට්ටෙන් බල්ලෙක් වනලා නෑනේ කොහෙවත්. ගැලපෙන්ෙන නැත්නම් දික්කසාද වෙන්න ඕනේ.

මෙහිදී දැඩි විවේචන එල්ල වෙමින් තිබූ පසුබිමක පසුගිය සතියේ අඟහරුවාදා (02) පොදුජන පෙරමුණ පස්වැනි සංවත්සරය නෙළුම් පොකුණ රඟහල පරිශ්‍රයේදී සමරනු ලැබුවේය. හවුල්කාර පක්ෂ නායකයන්ටද ඊට ආරාධනා කර තිබුණි. මෙහිදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහින්ද මහතා පොදුජන පෙරමුණ  පක්ෂ නායකයා ලෙස මෙහිදී සුවිශේෂී කතාවක් කළේය. ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ අර්බුදය සම්බන්ධව ගැඹුරු දේශපාලන කියවීමක් එහි අන්තර්ගත විය.

අපි නිතරම සමගියට අත වනන පක්ෂයක්. ඒක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් අපට ලැබුණු උරුමයක්. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හැමදාම වමේ දේශපාලන පක්ෂ එක්ක එකට හිටියා. වාද විවාද මැද වුණත් එකට වැඩකළා. පොදුජන පෙරමුණත් ඒ ගැන හිතන්න ඕනෑ. සමහර පක්ෂවලට පාර්ලිමේන්තු නියෝජනයක් නොතිබෙන්න පුළුවන්. පක්ෂ කුඩා වෙන්න පුළුවන්. ලොකු කුඩා නෙවෙයි දේශපාලනයේදී වැදගත් වෙන්නෙ. අරමුණයි වැදගත්. මේ හැමෝම අපිත් එක්ක එක මඟ යන අය. අපේ දුෂ්කර අවස්ථාවල එකට එක පිලේ සිටි අය. එක අරමුණකට සටන් කළ අය. මේ කවුරුත් අපිට ඈත් කරන්න බෑ. ඒ අය අපේ ආධාරක නෙමෙයි. අපේ කිහිලිකරු නෙමෙයි. ඒ අය අපේ අතකොලුත් නෙවෙයි. ඒ අයත් අපිත් එක්ක එකට එක අරමුණකට ගමන් කරන අය. ඒ නිසා ඒ සියලු පක්ෂ එදා හිටපු සියලු පක්ෂ එක රූනට එකට ඉන්න ඕනෑ. ඒ සමගිය රකින එක ප්‍රධාන පක්ෂයේ අපේ වගකීම.

මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයාගේ මෙම කතාව පිළිබඳ හවුල්කාර පක්ෂ නායකයන් සතුටු වූ බවද දේශපාලන ආරංචි මාර්ග තහවුරු කළේය. කතාව අවසන් කොට සභාවට පිවිසි අග්‍රාමාත්‍යවරයාට සුභපතමින් ශ්‍රීලනිප නායක හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා කතාව සම්බන්ධව මහින්ද රාජපක්ෂ මහතාට ප්‍රශංසා කොට තිබේ. අග්‍රාමාත්‍යවරාගේ කතාව හවුල්කාර පක්ෂ අර්බුදයේ ගිනි නිවීමට යම් පමණකට හේතු වූ බව පෙනී ගියේය. අග්‍රමාත්‍යවරයා පසුගිය සතියේ විමල් වීරවංශ මහතාද රාත්‍රී භෝජනයක් සඳහා කැඳවා තිබූ බව කියැවුණි. හවුල්කාර පක්ෂ සාමාජිකයන්ද අමාත්‍යවරයාගේ කතාව අගය කරමින් කතා කරනු දක්නට ලැබුණි.

සන්ධානගත වූ පක්ෂ සමඟ ඉදිරියට යාමට අග්‍රාමාත්‍යවරයා සතු පරිණත නායකත්වය අගය කරන බව ශ්‍රීලනිප මහ ලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පැවසීය. කෙසේ වෙතත් පොදුජන පෙරමුණේ ඇතැම් ඇමතිවරුන් අග්‍රමාත්‍යවරයාට මෙම කතා තරමක් තදින් දැනී ඇති බවද ගෙවුණු සතියේදී රාවයක් පැතිර ගියේය. ඒ අනුව පසුගිය සතිය හවුල්කාර පක්ෂ අර්බුදය සම්බන්ධ සම්බන්ධ තීරණාත්මක සතියක් විය. දැන් මෙම අර්බුදය නව මාවතක් වෙත එළඹෙනු ඇතැයි අපේක්ෂා කළ හැකිය. අපි බලා සිටිමු.

 චමිඳු නිසල් ද සිල්වා