අයි.එස්. සංවිධානය ගැන අපිට දැන් හොඳ අවබෝධයක් ඇත. පාස්කු ප්‍රහාරයෙන් පසුව රටේ කතාවුණු එකම නම වූයේ අයි.එස්. සංවිධානය ගැනය. සහරාන් හසීම් මෙම පාස්කු ප්‍රහාරය එල්ල කළේ මෙකී අයි.එස්. කණ්ඩායම නිසා බව පරීක්ෂණ කණ්ඩායම් කීවේය. එහෙත් අපරධ පරීක්ෂණ දෙපාර්තමේන්තු හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර කීවේ මෙම ප්‍රහාරයට කිසිදු සම්බන්ධයක් අයි.එස්.ලාගේ ඇති බවට තහවුරු නොවූ බවය. ඒ නිසා අවසානයේ මේ සියල්ල දේශපාලන කතා මැද ඇදි ඇදී යන්නේ පාස්කු ප්‍රහාරයට වගකිව යුත්තන් කවුද යන්න නිසි ලෙස තහවුරු නොකරමිනි.
කෙසේ වෙතත් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රථමයෙන්ම ශ්‍රී ලංකාවට තොරතුරු කීවේ ඉන්දියාවේ රෝ ඔත්තු සේවය හරහාය. ඉන්දියාවේ තූත්තුකුඩියේදී අත්අඩංගුවට ගත් සැකකරුවකුගේ හෙළිදරව් කිරීම් මත පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තොරතුරු රෝ ඔත්තු සේවය විසින් මෙරට බුද්ධි අංශ වෙත දැනුම් දී තිබුණේය. ඒ හරියටම 2019 අප්‍රේල් 4 වනදාය. එහෙත් ඒ තොරතුර හරියට විශ්ලේෂණය කර නිසි අයුරින් ආරක්ෂක කටයුතු නොකිරීම නිසා අවසානයේ අප්‍රේල් 21දා අවාසනාවන්ත ලෙස එම ප්‍රහාරයට ගොදුරු වන්නට සිදුවිය. ඒ බව සහතික වුණේ එවකට ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු විසින් ගහනවා දැනන් හිටියා. ඒත් මෙහෙම ගහයි කියලා හිතුවේ නෑ කියන ප්‍රකාශයත් සමඟය. මේ නිසා ඉන්දියාව ලංකාව සමඟ නොක්කාඩු විය. එක ඔවුන්ගේ බුද්ධි තොරතුරු ගණන් නොගැනීමත් දෙක කලාපීය ආරක්ෂාව ගැන අවධානය යොමු නොකිරීමත් නිසා ඒ කනස්සල්ල ඇතිවිය.
එතැන් පටන් වර්තමාන ආණ්ඩුව බලයට ගේන තෙක්ම සහ ඉන්පසුව අද වනතෙක්ම එකම මාතෘකාව වූයේ මේ පාස්කු ප්‍රහාරය සහ අයි.එස්. සංවිධානය ගැනය. ඒ නිසා අද ආණ්ඩුවට ඇතිව තිබෙන ලොකුම ප්‍රශ්නවලින් එක් ප්‍රශ්නයක්ද වන්නේද මේ පාස්කු ප්‍රහාරයයි.
කෙසේ වෙතත් මේ සියල්ල සිදුවන අතරතුර පසුගියදා ඉන්දියාවෙන් තවත් තොරතුරක් ලැබුණේය. ඒ අයි.එස්. සාමාජිකයකු වන එම්. සම්සුදීන් නැමැති අයකු අත්අඩංගුවට ගෙන ඇති බවත් ඔහු හරහා ශ්‍රී ලාංකිකයින් පිරිසකගේ තොරතුරු ලැබී තිබූ බවත්ය. එසේ අත්අඩංගුවට ගත් සැකකරුගේ ජංගමදුරකථනයේ මුජහිදීන් ෆෝ අල්ලා නැමැති වට්ස්ඇප් කණ්ඩායමක තොරතුරු සොයාගත් බව අනාවරණය කළේය. එසේම මෙහිදී වැදගත්ම කොටස එන්නේ එම කණ්ඩායමේ මෙරට සාමාජිකයන් 702ක ගේ තොරතුරු අනාවරණය කරගත් බවය.
ඒ අනුව එම තොරතුර මත ඉන්දියාවේ ස්වදේශ කටයුතු අමාත්‍යංශය විසින් මෙරට රජයෙන් පරීක්ෂණයක් ඉල්ලා තිබුණේය. වහාම ක්‍රියාත්මක වුණු මෙරට රජය මේ සම්බන්ධයෙන් පොලිස්පතිවරයා දැනුවත් කර පොලිස්පතිවරයා හරහා මේ පැමිණිල්ල ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට බාරදී තිබුණි. මෙහි බරපතල තත්ත්වය වන්නේ ඉහත කී වට්ස්ඇප් කණ්ඩායම තුළ අයි.එස්. සංවිධානයේ හඬ පට, වීඩියෝ පට සහ ජාතික තව්හීද් ජමාත් සංවිධානයේ ප්‍රධානී පාස්කු ප්‍රහාරයේ ප්‍රධාන චූදිත සහරාන් හසීම්ගේ තොරතුරු ඇතුළත් බව ඉන්දියාව විසින් දැනුම් දී තිබුණේය. ඒ නිසා මේ සම්බන්ධයෙන් වහාම පරීක්ෂණ ඉන්දියාව විසින් කඩිනම් කළේය.
ඉන්දියාව විසින් අදාළ තොරතුරු දුන් සැනින් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය වහාම ගොස් එක් සැකකරුවකු රාජගිරිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගනු ලැබීය. මොහොමඩ් පවුෂාන් නැමැති මොහු අත්අඩංගුවට ගැනීමත් සමඟ ඔහුව අධිකරණයට ඉදිරිපත් කරමින් කීවේ මෙම සැකකරු පාස්කු ප්‍රහාරයට සම්බන්ධද නැද්ද යන්න පරීක්ෂණ පැවැත්වීම සඳහා රඳවාගෙන ප්‍රශ්න කරන බවය.
මේ අතර ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ බුද්ධි අංශය විසින් පරීක්ෂණ ආරම්භ කළේය. එහිදී අනාවරණය වුණේ මෙලෙස මතවාදීව එක්වුණු පිරිසගෙන් වැඩි ප්‍රමාණයක් අලුතින් ඉස්ලාම් ආගම වැළැඳ ගත් අය බවයි. විශේෂයෙන් විවිධ ආර්ථික අපහසුතා නිසා රුපියල් ලක්ෂ දහයේ සිට පහළටත්, මාස ගණනකට බඩු මලුත් මෙලෙස ආගම් මාරුකරන අයට ලබාදෙන බව අනාවරණය වී තිබිණි. විශේෂයෙන් එලෙස අලුතින් ආගම වැළඳගත් අය අතර දෙමළ ප්‍රජාව වැඩියෙන් සිටිනා බව බුද්ධි අංශය විසින් අනාවරණය කරගෙන ඇත. ඒ අනුව එලෙස ආගම මාරුකර ඉහත කී වට්ස්ඇප් කණ්ඩායමේ සිටින දෙමළ සාමාජිකයන් රුසක් හඳුනා ගෙන ඇති බවද බුද්ධි අංශ ආරංචි මාර්ග හරහා අනාවරණය විය.
මෙම 702 කණ්ඩායමේ බහුතරයක් තරුණයන් බවත් ඔවුන් සම්බන්ධයෙන් තොරතුරු රුසක් දැනටමත් අනාවරණය වී ඇති බවත් සඳහන් වේ. එහෙත් එකී තරුණයන් විදෙස් ගතවී ඇතිද යන්න සොයා බැලිය යුතු බවත් පොලීසිය වැඩිදුරටත් සඳහන් කරයි.
කෙසේ වෙතත් ඇෆ්ගනිස්තානයේ බලය තලේබාන්වරු අල්ලා ගැනීමත් සමඟ කලාපයේ ආරක්ෂාව ඉතාම තීරණාත්මක තැනක ඇත. විශේෂයෙන් තලේබාන්වරු ඇෆගනිස්ථානයේ නිල හමුදාවේ සෙබලුන් ඉන් ඉවත් කිරීමත් සමඟ ඔවුන් තලෙයිබාන්වරුන්ට විරුද්ධව අයි.එස්. කණ්ඩායමට එකතුවීමේ ප්‍රවණතාවයක් දකින්නට ඇති බව බොහෝ විශ්ලේෂකයන්ගේ මතය වී ඇත. ඒ නිසා ඉදිරියේ කලාපයේ ආරක්ෂාවට බලවත් තර්ජනයක් එල්ල විය හැකි බව ඔවුන්ගේ මතය වී ඇත.ඉන්දියාවේ තූත්තුකුඩියෙත්, ශ්‍රී ලංකාවෙත් සීඝ්‍ර ආගම් මාරුව කෙරෙහි බොහෝදෙනා අවධානය යොමුකරමින් සිටින්නේ මේ නිසාය. ඒ නිසා මේ කණ්ඩායම්වල සැබෑ අරමුණ කුමක්ද යන්න ලංකාවට පමණක් නොව කලාපයේම ජාතික ආරක්ෂාවට හේතුවක් වනු ඇත.
ගයාන් ගාල්ලගේ