2021 නොවැම්බර් 06 වන සෙනසුරාදා

ජේන් අයර්, රුදුරු බලුව සිංහලයට නැඟූ පින් සිදු වන්නේ බර බාගේ ගී ලියූ ආර්.ඇන්.එච්. පෙරේරා

 2021 නොවැම්බර් 06 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 130

මරදානේ සාන්ත ජෝශප් විද්‍යාලයේ ගුරුවරයකු වූ පෙරේරා මහතා පදිංචිව සිටියේ නුගේගොඩය. 1943 දී පමණ නුගේගොඩ (පැලවත්ත ප්‍රදේශය) නොදියුණු ගමකි. පෙරේරා මහතා පරිසරයට ආදරය කළ, තම කුඩා දියණිය අතින් අල්ලාගෙන වත්තේ ඇවිදිමින් ගහකොළ සමඟ කතාකරමින් කුරුල්ලන්ට කෑම දෙමින් සතුට ලබන සහෘදයෙකි. ගුරු වෘත්තියට අමතරව විශ්ව සාහිත්‍යයේ විශිෂ්ට කෘති කියවමින්, ඒවා සිංහලයට නගමින්ද, කුඩා දරුවන් සඳහා ලස්සන කතා ලියූ ලේඛකයෙකි.

දිනක් පෙරේරා මහතා සුපුරුදු ලෙස උදේ තේ කෝප්පයක් බී කුඩා දියණිය රංජනී සමඟ වත්ත පහළට ගියේ කුරුල්ලන්ට කෑමද රුගෙනය.

තාත්තේ කුරුල්ලෙක් අඬන හඬක් ඇසුණා කුඩා රංජනී කීවාය.

ටිකක් දුර යනවිට ඔවුන්ට කුරුළු විලාපය ළඟ ළඟ ඇසුණෝය.
දෙයියනේ කුරුළු කූඩුව කවුදෝ කඩල නේද? අනේ පැටව් කොහේ ගිහිල්ලද දන්නේ නෑ. මහ කිරිල්ලි විලාප දිදී පැටව් සොයනවා. දියණිය තාත්තාට කීවාය.
තාත්තාගේ දෑසට කඳුළු එනු දියණිය දුටුවාය.‍

අනුමානයක් නෑ දුව, දඩබ්බර ළමයි කුරුළු  කූඩුව කඩලා. කී පෙරේරා මහතා සංවේගයෙන් මහ කුරුළු යුවළගෙන් ඇසීය.
ඇයි උඹ අඬන්නේ, පැටව් නැද්ද? උඹලගෙ කුරුළු කූඩුව කඩලා නේද?

පෙරේරා මහතා සංවේගයෙන් දියණියගේ අත තදින් අල්ලා ගෙන ගෙදර ගොස්, ලියන මේසය උඩ තිබූ හරිකේන් ලාම්පුවේ දැල්ල වැඩිකොට කොළයක මොනවාදෝ ලියන්නට පටන් ගත්තේය. ඔහුට ලිවීමට පුළුවන් වූයේ සුළු මොහොතකි. අඩ අඳුරේ ගිටාරයක් රුගෙන සුපුරුදු ලෙස අසල්වැසි ඥාතියෙක් ගෙට ගොඩවිය. එකල නුගේගොඩට විදුලි ආලෝකය ලැබී නැතිලු. ඥාතියා සිනහමුසුව පෙරේරා මහතා අසල පුටුවේ ඉඳගෙන ගිටරය පසෙකින් තැබීය.
සිරිල් මම කවි පන්තියක් ලිව්වා &සිළුමිණ* පත්‍රයට යවන්න.

මොකක්ද රිචඩ් මාතෘකාව...* සිරිල් කුතුහලයෙන් ඇසීය.
කුරුළු විලාපය. පෙරේරා මහතා සවස සිදුවූ ශෝක පුවත විස්තර කළේය.
බලමුද? ලිව්ව ටික.* සිරිල් කීය.
පෙරේරා මහතා තමා ලියූ කවි පන්තිය සිරිල්ට දුන්නේය.

සිරිල්ගේ මුහුණ ප්‍රීතියෙන් බැබලෙනු ලාම්පු එළියෙන් පෙරේරා නොහොත් රිචඩ් පෙරේරාට පෙනුණි. කිසිත් නොකී සිරිල් ගිටාරය අතට ගත්තේය. ශෝක ගීතයක තනුවක් ගිටාරයෙන් නිකුත් විය. මොහොතකි. රිචඩ් ලියූ කවි පන්තිය සිරිල් අපූරුවට ගැයුවේය.

පින්සිදු වෙන්නේ - අනේ බාල ළමුන්නේ
මගේ කුඩා නිවස කඩා - බිම නොදමන්නේ
වනේ පුරා සොයා ගොසින් කෝටු කඩාලා
කුඩා කුඩා කැබලි තුඩින් මෙහි ගෙනැවිල්ලා
ගසේ මුදුන් අත්ත උඩින් කෝටු තබාලා
උදේ පටන් දවස පුරා කූඩු තනාලා

කොළේ කොළේ දමා කුඩා නිවාස වසන්නේ
මගේ දයා බිරිඳ නිතර එය සරසන්නේ
රැලේ රැලේ පුළුන් දමා යහන සදන්නේ
අගේ මටයි ළදරුවනේ එය නොකඩන්නේ
රිචඩ් පෙරේරා ලියා තිබුණේ එපමණි.

අපූරුයි ඉතුරු ටිකත් ලියන්න රිචඩ්* සිරිල් කීය. රිචඩ්ගේ පෑනෙන් ඉතිරි ටික ලියැවුණේ උද්දාමයකිනි.

මෙදා මගේ නිවෙස ඇතා - සතුට වඩාලා
උදාර වූ කිරිල්ලගේ දරුවො පිරීලා
එදා අනේ අපට ගලෙන් ගැසුව සියල්ලා
වැඳා කියමි මගේ පුතුන් හෙම නොමරල්ලා

දෙමාපියන් සෙනේ වෙතේ තම දරුවන්ටා
ළමා ඔබෙන් අපට නැගේ මිහිපිට ඉන්ටා
සමාවෙලා මේ අප වෙතේ දිවි රුක ගන්ටා
නමා යදිමි දෙන්න පුතේ මෙතන රඳන්ටා

රිචඩ්ගේ පද මාලාව සිරිල් අපූරු තනුවක් යොදා ගීතයක් ගැයුවේය. මේ ගීතය පුරා වසර 73ක් රසිකයන්ගේ ජනප්‍රසාදයට පත්ව ඔවුහු සාදවලදී ගයන්නාහ. ගීතය ගැයූ සිරිල් නම් සිරිල් ටී.ඩී. ප්‍රනාන්දු නොහොත් සී.ටී. ප්‍රනාන්දුය. සී.ටී. යනු රිචඩ් පෙරේරාගේ බිරියගේ අයියාගේ පුතාය.

රිචඩ් පෙරේරා නොහොත් ආර්.එන්.එච්. පෙරේරා යනු දක්ෂ ලේඛකයෙකි. පරිවර්තකයෙකි. ළමා පොත් ලියූ ලේඛකයෙකි. ඔහු Charlotte Bronte ගේ Jane Eyre (ජේන් අයර්) පරිවර්තනය 1955 වසරේදී ද, සර් ආතර් කොනන් ඩෙයිල් ලියූ The Hound of Baskervilles නම් කෘතිය %රුදුරු බලුව^ නමින් පරිවර්තනය කළේය. මේ කෘතියට 1955 හොඳම පරිවර්තනයට හිමි සම්මානය සිළුමිණ පුවත්පත පිරිනමන ලදි. (මුදල් ත්‍යාගය පිරිනමා ඇත්තේ මාලේවෙන ඤාණිස්සර හිමියන් විසිනි)
ආර්.එන්.එච්. පෙරේරා &කුමාර කතා* නම් ළමා පොත් පෙළක්ද ලුවී පාස්චර්, ග්‍රීක ජනකතා, ශ්‍රේෂ්ඨ කෙටිකතා* නම් කෘතිද රචනා කර ඇත.

පෙරේරා මහතාගේ වැඩිමහල් දියණිය රංජනී පෙරේරා කරුණාසේන තම පියා ගැන මතකය අපට පැවසුවාය. ඇය මීගමුවේ ඒ.කේ.බී.පී. ප්‍රනාන්දු මාවතේ පදිංචිව සිටින්නීය.
මගේ පප්පා සැහැල්ලු, චාම්, විනෝදකාමී චරිතයක්. ඒ කාලයේ නුගේගොඩ තිබුණු නාලන්දා විද්‍යාලයේ උගන්වද්දී &ශ්‍රී වික්‍රම රාජසිංහ* නාට්‍යය නිෂ්පාදනය කරලා රාජසිංහ රජුගේ චරිතය රඟපාලා තියෙනවා. එහි කොටස් රඟදක්වල මටත්, මල්ලිටත්, නංගිටත් පෙන්නල විනෝද වෙනවා.‍

ඒ වුණාට අපේ අධ්‍යාපනයට මුල්තැන දුන්නේ දැඩි විනයක් සහිතව. පප්පා යාපනේ කළු සුරුට්ටු බොන්න රුසියා. සුරුට්ටුව කටේ තියාගෙන අහස දිහා බලා ඉන්න පප්පා ආසයි. පප්පා සී.ටී. අන්කල්ට ගීත කීපයක්ම ලිව්වා. අනික පප්පා පොත් කියවන්න රුසියා. පොත් ලියන්නත් සූරයා. මම තමයි තාත්තා ලියූ පොත්වල සෝදුපත් බැලුවේ. සිංහල ව්‍යාකරණය ගැන මට උනන්දුවෙන් ඉගැන්නුවේ මාව ලේඛන කලාවට යොමුකරන්න වෙන්න ඇති. මගේ පප්පත් මම්මත් ගුරුවරු. මම පවුලේ වැඩිමලා. පවිත්‍රනාම මල්ලී ඉන්නේ ඕස්ට්‍රේලියාවේ. කුසුම් කාන්ති නංගි ලන්ඩන්වල. දේවමිත්‍ර හා ඇන්ටන් මල්ලිලා මියගිහින්. මෛත්‍රී, රොහාන්, නිර්මලී ලන්ඩන්වල.
තම පියා දරුවන්ට හිතවත් යාළුවකුව සිටි බවත්, කෑම මේසයේදී පප්පා කියවූ ලස්සන ඉංග්‍රීසි කථා රසකර කර කියූ හැටි විස්තර කළාය. මේ කතා පසුව සිංහලෙන් කුමාර කතා නමින් පොත්පෙළක් බිහිකර ඇත.
පෙරේරා මහතා සී.ටී. ලියූ ජනප්‍රිය ගීත අතර මේ ගීතයට ළමයින් ආදරය කළ බව කීම අරුමයක්ද?

අම්බිලි මාමේ ඔබ මොකද කරන්නේ
පුළුන් වලා යටින් ඉඳන් එබී බලන්නේ

මේ ගීතය ලියන විට අවට අඳුර වැටීගෙන ආවේලු. සිසිල් සුළං හමා ආවේය. පෙරේරා මහතා සුරුට්ටු කොටය මිදුලට වීසිකොට සී.ටී.ට කියා ඇත්තේ &සිරිල් යං ගෙට හිරිකඩ එනවා.* අම්මා විසින් දල්වා තිබූ ලාම්පුව ළඟට ගිය ඔහු මෙසේ ලියා ඇත.
සිසිල් සුළං හමන්නේ
කුමුදු සමන් පිපෙන්නේ
අඳුරු කැලා - දසත බලා
පැනල දුවන්නේ
ඒ රංජනී දුවගේ මතකයයි. ජන ආරෙන් තම පියා ලියූ මේ ගීතය එකල ජනප්‍රිය ගුවන් විදුලි ගීතයක් බව ඇය පවසන්නීය.

බර බාගේ - බාර බාගේ
දුටුවේ සිහිවේ පෙර කාලේ
අද කිණි කිණි නද වැල් පැතිරෙනවා
ගව කුර හඬ මුසුවෙනවා
රෑ මැද කාලේ - සීපද රාවේ
අඩ නින්දේ පතුරන්නේ
රාළ ද ගෝනි පඩංගුවෙ ඉන්නේ 
සතුටිනි ගැල පදවන්නේ
ගෝනි පුරා බඩු බාගෙ දමාලා
රෑ කල ඈත බලාලා
ගාලේ ලිහා ගොනුගේ කුසයේ
ගිනි දවමින් උදය කළා...
මේ පෙරේරා මහතාගේ තවත් ගීත රචනයකි.

සුවඳ රෝස මල් නෙළා
මාල ගොතාලා
ගෙලේ දමා ඉන්නෙ ඔයා
සිරස සදාලා
දෑස සීනියා - පිච්ච ඩේලියා
බලා නෙළා ගතිමි මෙමා
උයනෙ සරාලා
මාල ගොතාලා - ගීත ගයාලා
තබා පතුල් රඟන රඟා
බලමු සියල්ලා...

ලියනගේ රිචඩ් නාසියස් පෙරේරා 1914 සැප්තැම්බර් 01 වැනිදා ජාඇල දෙහියාගතයේ උපත ලබා, දෙහියාගත පාසලින් මූලික අධ්‍යාපනය ලබා කොළඹ මරදානේ සාන්ත ජෝශප් විද්‍යාලයට ඇතුළත් වී ඇත. කුඩා කළ සිට ඔහුගේ කලා කටයුතුවලට පියාත්, මවත් අනුබල දී ඇත. එපමණක් නොව ශේක්ස්පියර්, ආතර් කොනන් ඩොයිල්, එමලි බ්‍රොන්ටේ, චාලට් බ්‍රොන්ටේ, ආර්.එල්. ස්ටීවන්සන්ගේ විශ්ව සම්භාව්‍ය කෘති කියවීමට පියා යොමුකර ඇත. සරල ඉංග්‍රීසි පොත් සිංහලයට පරිවර්තනය කිරීමට අනුබල දුන් පියා අනාගතයේ විශිෂ්ට කෘති පරිවර්තනය කිරීමට මඟපාදා දී ඇත. ඒ කාලයේ ඔහු කියවූ ප්‍රියතම කෘතිය වූයේ ස්ටීවන්සන්ගේ ජෙකීල් හා ගයිඩ් ය.

ගුරු අභ්‍යාස විද්‍යාලයකින් පුහුණු වූ පළමු පෙළ ගුරු සහතිකය ලත් දක්ෂ ගුරුවරයකු වූ පෙරේරා මහතා සිය ලේඛන ජීවිතය ඇරඹුවේ කුඩා දරුවන්ට ලියැවුණු &කුමාර කතා* පෙළෙනි.
ඔහුගේ පරිවර්තන කෘති ගැන එවකට කුලියාපිටියේ රජයේ මැදි විදුහල්පති මහා ලේඛක ලයනල් ලොකුලියනයෝ මෙසේ දක්වා තිබුණි.

පෙරේරයන්ගේ පරිවර්තන කෘති මට දිගටම කියවාගෙන යන්නට හැකි විය. උන්ගේ කථා කියැවූ මට නින්ද, විවේක කාලය, ගමන ආදී දෑ කිහිප විටෙකම නොමතක වූයේය. මෙහි යුරෝපීය බිමෙක වන සිදුවීම්, කොපමණ හෙළුවට හැරවුවද, යුරෝපයෙහිම වන අයුරු කියවන්නාට දැනෙයි. එහතේ සිංහල සම්ප්‍රදායය ඉක්මවා පරිවර්තනයක් නොවූ හෙයිනි. ආස්වාද ලබමින් ඔපමණ ඉක්මනට මට පෙරේරයන්ගේ කෘති කියවන්නට හැකිවූයේ.*

කලක් මරදානේ සාන්ත ජෝසප් විද්‍යාලයේ කීර්තිමත් ගුරුවරයකු වූ පෙරේරා මහතා පසුව ලංකා ගුවන් විදුලි සේවයේ සිංහල අංශයේ නියෝජ්‍ය සංවිධායක ලෙස කටයුතු කෙළේ ගුවන්විදුලිය ටොරින්ටන් මාවතට ඒමට පෙරය. කොළඹ කූඹි කැළේ ප්‍රදේශයේ තිබියදීය. ඇම්.ඩී. ගුණසේන සමාගමේ සිංහල ප්‍රකාශන අංශයේ ප්‍රධානියාව සිටි ඔහු අවසන් වරට ලුණුවිල පොල් පර්ෙය්ෂණායතනයේ මහජන සම්බන්ධතා නිලධාරියා ලෙස සේවය කළේය.

පප්පා අපි වරදක් කළාම කෝටුවක් අරන් තලනවා. ඒත් පප්පා කරුණාවන්ත කෙනෙක්. පප්පා ඕනෑම ප්‍රශ්නයක් විසඳුවේ උදාහරණ වලින්. අපිට පප්ප කියල තියෙනවා &ගහල හදන්නේ නැති දරුවා හැඳි නොගා හදන කිරිහොද්ද වගේ* කියලා. කොපමණ බඩගිනි වුණත් සිංහයා කිසිදාක තණකොළ කෑවේ නෑ. ඒක මතක තියාගන්න.*

ජේන් අයර්* පරිවර්තනය කරන විට ඉංග්‍රීසි පොත දහ දොළොස්වරක් කියවා හිතේ ධාරණය කරගෙන පිටුවෙන් පිටුව හිතින් සිංහලයට පෙරලුවා. පප්ප තමා පරිවර්තනය කරන ඉංග්‍රීසි පොත් පිටු අවසන් වූ පසු පිටු ගලවලා පැත්තක තියනවා. පප්පා කියන්නේ එහෙම කළාම හිතට සහනයක් ලැබෙනවා කියලා. පොතක් පරිවර්තනය කරනකොට රංජනී අක්කා ළඟ හිටියොත් පරිවර්තන කාරියට ශක්තියක් වෙනවා කියලයි පප්පා කිව්වේ. අපේ පවුලේ සින්දු කියන්න දක්ෂයා මම. පප්පා ලිව්ව සින්දු පුංචි මං ලවා කියවා ගන්නවා.*

මෙහෙම කලකට ඉහත මට කිව්වේ මෑතකදී මියගිය පෙරේරා මහතාගේ පුතෙකු වූ ඇන්ටන් පෙරේරා. එවකට ඔහු කොළඹ එයිටි ක්ලබ්* හි සාමාන්‍යාධිකාරවරයාව සිටියේය.

පප්පා මිය යනකොට මට වයස අවුරුදු 8යි. අපි පුංචි කාලේ නත්තල් දිනට පෙර දින පප්පා අක්කා, මල්ලිලා, නංගිලා ළං කරගෙන, අද ඔයගොල්ලෝ වේලාසනින් නිදාගන්න ඕනෑ. රූට නත්තල් සීයා තෑගි ගෙනැල්ලා කොට්ටය යට තියාවි.* උදේ නැගිටලා බලනකොට නත්තල් සීයා ගෙනත් දීලා තිබුණේ ක්‍රිස්මස් කැරෝල්, ඔලිවර් ටුවිස්ට්, ඩේවිඩ් කොපර්ෆීල්ඩ්, ජේන් අයර්, ලෝනා ඩූන් වගේ ඉංග්‍රීසි පොත්. බලනකොට නත්තල් සීයා වෙන කවුරුත් නෙවි පප්පා. පප්පා අපේ කියවීමේ රුචිය දියුණු කළේ එහෙම. ඒ නිසා අපට සෙල්ලං බඩු ගෙනාවේ ඉඳලා හිටලා.* ඇන්ටන් කියා තිබුණි.

1955 වසරේ ආර්.එන්. පෙරේරා විසින් පරිවර්තනය කළ ජේන් අයර්* කෘතිය අගය කළ ආචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන් මෙසේ කියා තිබුණි.

මුල් භාෂාව නොදත්තකුට වුවද ඒ භාෂාවෙන් ලියා තියෙන උසස්ම කෘති මව්බසින් පරිශීලනය කිරීමට අවස්ථාව සලස්වා දිය යුතුය. ඉංග්‍රීසිය පමණක් දත් තැනැත්තාට ප්‍රංශ, රුසියන් ආදී භාෂා නොදැන සිටියද ඒ භාෂාවලින් ලියන ලද ශ්‍රේෂ්ඨම සාහිත්‍ය කෘති කියවා රස විඳිය හැකිය. එලෙස සිංහලය දත් තැනැත්තාට ඉංග්‍රීසි, රුසියන්, ප්‍රංශ ආදී භාෂා නොදැන සිටියද ඒ භාෂාවලින් ලියා තිබෙන වැදගත්ම කෘති පරිශීලනයට ඉඩ තැබිය යුතුය. එසේ වූ විට පමණය සිංහලය විශ්ව භාෂාවක තත්ත්වයට පැමිණෙන්නේ. ආර්.එන්.එච්. පෙරේරා මහතා ජේන් අයර්* පරිවර්තනය කර තිබේනනේ යට දැක්වූ ප්‍රතිපත්තිය අනුගමනය කරමිනි.*

පෙරේරා මහතා සෑමවිටම තම දරුවන්ට කළ දුන් අවවාදයක් දියණිය රංජනී මතක් කළාය.

පුතේ හැමවිටම මිනිසුන්ට කරුණාව දක්වන්න. පුළුවන් හැමවිටම උදව්වක් කරන්න. ඔවුන්ගේ පුංචි දෙයක් හෝ අගය කරන්න. හැමවිටම සිනාමුසු මුහුණින් ඔවුන් දෙන බලන්න.

මේ අවවාදය තම පියා අන්තිමට කළ මහජන සම්බන්ධතා නිලධාරි තනතුරේ සිටියදීත් අකුරටම පිළිපැද්ද බව කී දියණිය මගේ පප්පා ලෝකයේ සිටි හොඳම මහජන සම්බන්ධතා නිලධාරියා වෙන්න ඇති. ඒ තරම්ම ඔහු කාරුණික පුද්ගලයෙක්. පැවසුවාය.

ලුණුවිල පොල් පරීක්ෂණාගාරයේ වත්තේ ඇවිදිමින් සිටියදී හෘදයාබාධයකින් 1958 දෙසැම්බර් 03 වැනිදා පෙරේරා මහතා මිය යනවිට ඔහු 44 වැනි වියේ පසුවිය. පෙරේරා මහතා මිය යනවිට එමලි බ්‍රොන්ටේගේ වදරිං හයිට්ස් නවකතාව පරිවර්තනය නිමකොට පර්ස් එස්. බක්ගේ නවකතාවක් පරිවර්තනය කරමින් සිටියේය.