2021 නොවැම්බර් 06 වන සෙනසුරාදා

කෝප් කමිටුවේ රැව් දුන් ස්ලිට් මගඩිය

 2021 නොවැම්බර් 06 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 24

රාජ්‍ය භාරයේ වූ ආයතනයක් වන මාලබේ පිහිටි ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය (SLIIT) පසුගිය වසර කිහිපය තුළ රාජ්‍ය භාරකාරත්වයෙන් ඉවත් කර අනියම් ලෙසින් පෞද්ගලික හිමිකාරීත්වයක් වෙත පවරා දීමේ දූෂිත ගනුදෙනුවක් එම ආයතනයේ ඉහළ ක්‍රියාකාරීත්වය වෙතින් කූට ලෙස සිදු කරගෙන ආ බවට මේ වන විට තොරතුරු සමාජගත වෙමින් පවතී.

මෙම තත්ත්වය හෙළිවන්නේ පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව විසින් පාර්ලිමේන්තුවට පසුගියදා ඉදිරිපත් කෙරුණු විශේෂ විමර්ශන වාර්තාව මගිනි. එමගින් ක්‍රමානුකූලව ස්ලිට් ආයතනය රජයේ භාරකාරීත්වයෙන් ඉවත් කර ක්‍රමානුකූලව පෞද්ගලික අංශයට පැවරීමේ කූට උපක්‍රමය ගැන පැහැදිලි කෙරේ. මෙම ක්‍රියාවලියේ ස්වරෑපය තේරුම් ගැනීම සඳහා කෝප් කමිටුව විසින් විශේෂ කරුණු ගණනාවක් පෙන්වා දී තිබේ. කෝප් කමිටුව 2021 අප්‍රේල් මස 26 වැනිදා ස්වකීය දෙවැනි වාර්තාව යටතේ පිටු 466කින් සමන්විත විමර්ශන වාර්තාවක් ප්‍රකාශයට පත් කර ඇත. මේ පිළිබඳ අදහසක් ඇතිකර ගැනීම සඳහා මෙම ආයතනය ආරම්භ කිරීමේ පරමාර්ථය සහ මෙතෙක් කල් එහි ගමන් මග පිළිබඳ පැහැදිලි කිරීමක් සිදු කළ යුතුව තිබේ.

ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය පිහිටුවීම සඳහා රජයේ අනුමැතිය ලැබී ඇත්තේ මහපොළ උසස් අධ්‍යාපන අරමුදල පිළිබඳ වූ 1981 අංක 66 දරණ පනත ප්‍රකාරව 1988 අප්‍රේල් 01 දින ඉදිරිපත් කෙරුණු අමාත්‍ය මණ්ඩල සංදේශයක් මගිනි. එම අමාත්‍ය මණ්ඩල සංදේශය අනුව මෙම ආයතනය සඳහා පනතක් ඉදිරිපත් කරන තුරු එය පවත්වාගෙන යාම සඳහා අන්තර්කාලීන සමාගමක් පිහිටවිය යුතු බවට 1999 ජනවාරි මස 28 දින අමාත්‍යාංශ ලේකම්ගේ නිර්දේශය ප්‍රකාරව 1999 මාර්තු 26 දින ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සමාගම පිහිටුවා ඇත. එම සමාගමේ මූලික ප්‍රාග්ධනය ලෙසට මහපොළ උසස් අධ්‍යාපන භාර අරමුදල රුපියල් මිලියන 500ක් මුදාහැර ඇති අතර ගොඩනැගිලි ස්ථාපනය සඳහා මාලබේ අක්කර 25ක ඉඩමක්ද අරමුදල මගින් ලබා දී තිබුණි.

සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය සඳහා අදාළ ක්ෂේත්‍රයට සම්බන්ධ රාජ්‍ය ආයතන කිහිපයක නියෝජිතයන් පත් කර ඇති අතර අධ්‍යක්ෂ මණ්ඩලයට මොරටුව විශ්වවිද්‍යාලයේ තිදෙනකු අන්තර්ජාතික වාණිජ්‍ය සහ ආහාර අමාත්‍යාංශයේ දෙදෙනකු සමඟ ආයෝජන මණ්ඩලයේ සභාපති සහ අපනයන මණ්ඩලයේ සභාපති යන අය පත් කර තිබේ. එසේම මෙම ආයතනය මොරටුව විශ්වවිද්‍යාලයේ පරිගණක පීඨය බවට පාර්ලිමේන්තු පනතක් මගින් සම්මත කරගෙන තිබේ.

ආයතනයේ ප්‍රථම අධ්‍යක්ෂ මණ්ඩලය සඳහා ඒ ඒ ආයතන නියෝජනය කරමින් පත්වූ අධ්‍යක්ෂවරුන් අතරින් මොරටුව විශ්වවිද්‍යාලයෙන් පත්වූ තිදෙනා සහ ආයෝජන මණ්ඩලයේ සභාපති ලෙස පත්වූ එවකට සිටි එහි සභාපතිවරයා සමාගම් අධ්‍යක්ෂ මණ්ඩලයේ 2021 වර්ෂය දක්වාම වසර 23ක් තනතුරුවල කටයුතු කරමින් සිටිති. ඉහත කී අධ්‍යක්ෂවරුන් සිව් දෙනාගෙන් එක් අයකු සමාගමයේ සභාපතිවරයා ලෙස හා තවත් අයකු එහි ප්‍රධාන විධායක ලෙස අද දක්වාම සේවය කරමින් සිටින බවද එම කෝප් වාර්තාවේ සඳහන් වෙයි. එහි සඳහන් වන්නේ රාජ්‍ය ආයතන නියෝජනය කරමින් පත්වූ අයවලුන් පිළිබඳ දැනුවත් වීම හා ක්‍රියා කලාපය මෙම අර්බුදයේ තරම මැන ගැනීමට වැදගත් වන බවය.

ස්ලිට් සමාගම සහ මහපොළ අරමුදල අතර ඇතිකරගත් ගිවිසුම් හතරක් ඇති අතර ඒ ගිවිසුම හතර අතරින් 2015 මැයි 12 දින 3 හා 4 වැනි ගිවිසුම් මගින් ස්ලිට් සමාගමේ අයිතිය මහපොළ අරමුදල වෙතින් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය වෙතට ලබාදීමේ උත්සාහයක නිරත වන බව කෝප් සභාපතිවරයා එම වාර්තාවේ දක්වා තිබීම මෙහි විශේෂ සිද්ධියක් වෙයි. මෙම තත්ත්වය තවදුරටත් වර්ධනය වීමේ ප්‍රතිඵලයක් ලෙස 2017 මැයි 04දා අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් මගින් ස්ලිට් ආයතනයේ අයිතියෙන් එයට මූලිකව ආයෝජනය කළ මහපොළ අරමුදල සම්පූර්ණයෙන් ඉවත් කිරීමට කටයුතු කර ඇතැයි සභාපතිවරයා පාර්ලිමේන්තුවට වාර්තා කර ඇත.

පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ සභාපති මහාචාර්ය චරිත හේරත් මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති වාර්තාවේ දැක්වෙන්නේ ඉහත සඳහන් කරුණු ඇතුළුව මහජන මුදලින් ගොඩනැගුණු රාජ්‍ය ආයතනයක් ක්‍රමානුකූලව රාජ්‍ය භාරයෙන් ගලවා දැමීමේ උත්සාහයක නිරත වෙමින් සිටින බවය. රාජ්‍ය සම්පතක් ලෙස පවතින මෙම ආයතනය සුරක්ෂිත කිරීම වෙනුවෙන් පාර්ලිමේන්තුව වෙන නිර්දේශ ඉදිරිපත් කරන බව සභාපතිවරයා පවසයි.

ස්ලිට් අධ්‍යක්ෂ මණ්ඩලයට එවකට පත්ව සිටි අය වූයේ එවක පාරිභෝගික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් මොරටුව සරසවියේ එවකට උප කුලපතිව සිටි සමරජීව කරුණාරත්න, මොරටුව විශ්වවිද්‍යාල ඉංජිනේරු පීඨයේ එවක සිටි පීඨාධිපති ලක්ෂ්මන් රත්නායක, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපතිව සිටි තිලාන් විජේසිංහ, මොරටුව විශ්වවිද්‍යාලයේ පරිගණක සේවා මධ්‍යස්ථානය භාරව සිටි ලලිත් ගමගේ සහ අපනයන සංවර්ධන මණ්ඩලයේ ඒ කාලයේ සභාපතිව සිටි ආර්.ඒ.පී. ගුණතිලක යන මහත්වරුන් බව සභාපතිවරයා සඳහන් කර සිටී. 1999 මාර්තු මස 26 වැනිදා මෙම අධ්‍යක්ෂ මණ්ඩලය යටතේ ආයතනය &ඇපයෙන් සීමිත සමාගමක්* ලෙස වැඩ ආරම්භ කර තිබේ.

අනතුරුව 2020 වසරේ සිට ක්‍රමානුකූල වර්ධනයක් මෙම ආයතනය පෙන්නුම් කර තිබේ. 2003 මාර්තු 19 සහ 2005 නොවැම්බර් 14 දිනවල ආයතනය සහ මහපොළ භාරකාර අරමුදල එකඟතා දෙකකට පැමිණෙයි. එහි අදහස වන්නේ ආයතනය මහපොළින් ඈත්කර ස්වාධීනව පෙනී සිටීමට දරණ ප්‍රයත්නයයි. මෙහිදී අනාවරණය වන වැදගත් කරුණ වනුයේ 2015 වසරේ අලුත් ආණ්ඩුවක් පත්වීමෙන් අනතුරුව ආයතනය ගැන සොයා බැලීමට වික්‍රම වීරසූරිය මහතා පත් කිරීමය. ඔහුද ස්ලිට් ආයතනයේ භාරකරුවෙක් විය. මෙහිදී 2015-04-16 වැනිදා ස්ලිට් ආයතනයේ සභාපතිවරයාට වික්‍රමසූරිය ලිඛිතව දන්වන්නේ ආයතනය මහපොළින් ගලවා එහි පාලනය මුළුමනින්ම ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩලයට බාරදීමට තීන්දු කරන බවකි.

කෝප් සභාපති චරිත හේරත් පෙන්වා දෙන්නේ ඔහු ගත් මෙම තීන්දුවට කිසිදු පදනමක් නැති බවය. එයට හේතුවන්නේ එම තීරණයට මහපොළ භාරකාර අරමුදලේ අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතියක් ලබා නොතිබීමය. එයින් නොනැවතී ඔහු ස්ලිට් සහ මහපොළ අතර එකඟතාවයක් නිර්මාණය කිරීම සඳහා 2015 අප්‍රේල් 20දා අධ්‍යක්ෂ මණ්ඩල පත්‍රිකාවක් යොමුකර ඇති අතර එහිදී ඔහු අපූරු ක්‍රමවේදයක් අනුගමනය කර තිබේ. මෙය අධ්‍යක්ෂ මණ්ඩලය රුස් නොකර අනුමැතියට ඉදිරිපත් කර ඇති අතර එය by Cerculation ක්‍රමය ලෙස හැඳින්වෙයි. මැයි 11දා ඔහු යළිත් ස්ලිට් සභාපතිට දන්වා ඇත්තේ ආයතනයේ හිමිකාරීත්වය ගිවිසුමක් මගින් අධ්‍යක්ෂ මණ්ඩලය භාරදීමට හැකියාව ඇති බවය.

අනතුරුව ඒ දැනුම්දීම අනුව ආයතනය හා මහපොළ අතර විශේෂ එකඟතාවක් සඳහා වූ ලියැවිල්ලක් සකස්කර තිබේ. මෙම ලියැවිල්ලට ආයතනය වෙනුවෙන් ලලිත් ගමගේ සහ රත්නායක යන අයද මහපොළ අරමුදල වෙනුවෙන් වික්‍රම වීරසූරිය සහ ඒ.එම්.පී. රාජකරුණා යන අයද අත්සන් තබා ඇති බව කෝප් සභාපති පවසයි. අමතර වශයෙන් එයට සාක්ෂි ලෙස එවකට ආණ්ඩුවේ ප්‍රබල ඇමැතිවරුන් දෙදෙනකුගේ අත්සන්ද ලබාගෙන තිබේ. අනිත් විශේෂ තොරතුර වන්නේ මෙම ලියැවිල්ල ස්ලිට් ආයතනයට බාරදී ඇත්තේ එවකට අගවිනිසුරුව සිටි ශ්‍රී පවන් මහතා මගින් වීමය. මෙලෙස බාරදීමට සැලැස්වීමේ හේතුව වනුයේ මහපොළ අරමුදලේ නීත්‍යානුකූල සභාපතිවරයා අගවිනිසුරු වීමය. එහෙත් අගවිනිසුරුවරයා ජනාධිපති විමර්ශන බාරදුන්නා විනා එහි අඩංගු දේ ගැන නොදැන සිටි බවය. (එහිදී ඔහු බළල් අතක් කරගෙන ඇති බව පැහැදිලිය.)

මෙම සුවිශාල ක්‍රියාවලිය 2015.04.19 සිට එම වසරේ මැයි 12 දක්වා වූ කෙටි කාලයක් තුළ සිදුව තිබීමම කෝප් කමිටුවේ සැකයට තුඩු දී ඇති බව සභාපතිවරයා පැහැදිලි කර ඇත. මහපොළ භාරකාර අරමුදලේ ලිපිගොනුවල ලියුම් රුසක් ඇති නමුත් මෙය සැකකාර ගනුදෙනුවක් බව කෝප් සභාව අවධාරණය කර තිබේ. මෙහි ඉතාම බරපතළ තීරණයක්ද ගෙන ඇති අතර එය නම් මහපොළ ස්ලිට්වලට ආයෝජනය කළ රුපියල් මිලියන 500 මුදල ණයක් සේ සලකා ස්ලිට් ගිණුමෙන් මහපොළ ගිණුමට බැර කිරීමට තීරණය කිරීමය.

ආයතනය ගැන කරුණු සොයා බැලීමට පත්කළ වික්‍රම වීරසූරිය මේ කාලයේදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ උපදේශකයකු ලෙසද කටයුතු කර තිබූ අයෙකි. ඔහුගේ ද්විත්ව රඟපෑම වන්නේ මහපොළ සභාපති ලෙස මෙහි සකස්කළ ලේඛනවලට අතිරේකව හිටපු ජනාධිපතිගේ නමින්ද කැබිනට් පත්‍රිකාවක් සකස් කිරීමය. 2017.06.04දා කැබිනට්ටුවට ජනාධිපතිගේ නමින් මෙම කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කර ඇති අතර, මාලබේ තොරතුරු තාක්ෂණ ආයතනය රජයට අයත් නොවන ස්වාධීන ස්වෛරී ආයතනයක් ලෙස පිළිගන්නා ලෙස ඉල්ලමින් ආයතනය කිසිදු අමාත්‍යංශයක් යටතට නොගැනෙන ආයතනයක් බවට පත්කර තිබේ. වීරසූරිය මහතාගේ මැදිහත්වීම 2015 මැයි මස සිට 2017 දක්වාම පැමිණ තිබෙන බව සභාපති චරිත හේරත් පවසයි.

කෝප් සභාපතිවරයා අවධාරණය කරන්නේ ස්ලිට් ආයතනය ජනපතිගේ විෂය පථයට නොගැනුණු අතර, ඒ වනවිට එය අයිතිව තිබී ඇත්තේ වෙළෙඳ සහ මුදල් යන අමාත්‍යංශ දෙකට බවය. ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාව අනුමත වී ඇති අතර, 2017 ජූනි 28 දින හිටපු ජනපති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත්තේ 2017 මැයි 16දා සිට ස්ලිට් ආයතනය කිසිදු අමාත්‍යංශයක් යටතට නොගැනෙන බවටය. 2026/35 යන විශේෂ ගැසට් නිවේදනය මගින් මෙය සිදුකර ඇත. අවසාන විග්‍රහයේදී 2015.04.19 සිට මැයි 12 දක්වා වූ දින 23 තුළදී වික්‍රම වීරසූරිය විසින්ම අකුරු අමුණා සකස් කරන ලද ලේඛන 2017 මැයි මාසයේදී ජනාධිපතිවරයාගේම ගැසට්ටුවකින් ප්‍රකාශ කිරීම දක්වා සිදුව තිබීමම බරපතළ කරුණක් බව චරිත හේරත් අවධාරණය කරයි. මෙය රාජ්‍ය දේපළක් පිළිබඳ ප්‍රශ්නයක් ලෙස සලකන අතර, විවෘත වෙළෙඳපොළ හා නිදහස් අධ්‍යාපනය පිළිබඳ ප්‍රශ්නයක් ලෙස නොසැලකිය හැකි බවද හෙතෙම කියයි.

මෙහිදී කෝප් කමිටුව පාර්ලිමේන්තුවට නිර්දේශ කර ඇත්තේ 2017 දී මෛත්‍රීපාල ජනාධිපතිවරයා ඉදිරිපත් කළ සාවද්‍ය කැබිනට් පත්‍රිකාව ආපසු කැඳවා ස්ලිට් ආයතනය රාජ්‍ය අමාත්‍යංශයක් යටතට පත් කරන ගැසට් නිවේදනයක් නිකුත් කරන ලෙසටය. ආයතනය වහාම ක්‍රියාත්මක වන පරිදි රජයේ භාරකාර මණ්ඩලයක් යටතට පත්කරන ලෙසද ඉල්ලා ඇත. මෙවැනි සිදුවීම් මෙයට පෙරද වෙනත් ආයතන මගින්ද සිදුකර ඇතත් කෝප් කමිටු අනාවරණය සමග ඒවා යළිත් මහජන ආයතන බවට පත්කර තිබේ. එම ප්‍රතිපත්තිය මෙම ආයතනය සඳහාද ක්‍රියාත්මක කළ යුතු බවට කෝප් සභාපතිවරයා යළි අවධාරණය කරයි.

(කෝප් වාර්තාව ඇසුරිනි)

 යසවර්ධන රුද්රිගු