2021 නොවැම්බර් 06 වන සෙනසුරාදා

බෝගම්බර සිරකරුවන් ෆෝන් විකිණු දොස්තර

 2021 නොවැම්බර් 06 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 38

නීතිය ඉදිරියේ වරදකරුවන් වූ කවුරුත් මහ උළුගෙදරට කොටු කිරීම අවසන් තීරණයයි. පාතාලයන් ජාවාරම්කරුවන් මෙන්ම ඉහළ තනතුරු හෙබවූ රාජ්‍ය නිලධාරීන් දේශපාලනඥයන් මෙන්ම සියලු පුරවැසියන්ට ඉරණම එයයි. පොලීසිය තුළ හෝ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තුළ රැඳවුම් බාරයේ කොටුවනවාට වඩා පාතාලයන් ජාවාරමුන් මෙන්ම කූඨ දේශපාලනඥයන් බන්ධනාගාර ගතවීමට කැමැතිය. ඒ රුඳවුම්භාරයේ සිරවනවාට වඩා බන්ධනාගාරය තුළ පහසුකම් හා නිදහස ඕනෑතරම් භුක්ති විඳිය හැකි නිසාය.

අධිකරණය මගින් වරදකරුවකු බන්ධනාගාර ගත කිරීමට නියෝග කිරීමෙන් පසුව එම රැඳවියා සිරමැදිරියක තැබීම සිරිතය. ඊට අකමැති රැඳවියෝ සිය පෞද්ගලික සුඛවිහරණය කෙසේ වෙතත් අවම පහසුකම නිදහසේ භුක්ති විඳීමට බොරු ලෙඩක් පෙන්වා බන්ධනාගාර රෝහලට හෝ පැන ගනිති. සිරමැදිරියක බිම ලගිනවාට වඩා බන්ධනාගාර රෝහලේ ඇඳ උන්ට සම්පතක් වැනිය.

බන්ධනාගාරය පමණක් නොව අද රටේ බොහෝ රාජ්‍ය ආයතනද හොර ගුහාවන්ය. දූෂණ වංචා සිදුනොවන තැනක් සෙවීමත් අපහසුය. එවැනි තත්ත්වයක් තුළ බන්ධනාගාරගත කරන සොරුන් වංචාකාරයන් හා ජාවාරම්කරුවන් රැඳෙන ස්ථානයක අකටයුතුකම් පුදුමයක් නැත. එහෙත් ගැටලුව අදාළ බන්ධනාගාරවල පරිපාලනය බාර නිලධාරීන් හා සේවකයන් පවා රුඳවියන් යටතේ පසුවීම සහ රැඳවියන්ට අවශ්‍ය වුවමනා එපාකම් ඉටුකිරීම සඳහා සිය රාජකාරි කාලය හා ශ්‍රමය යොදවමින් කූඨ ව්‍යාපාරවල නිරතවීමය.

බන්ධනාගාර රුඳවියන් හා නිලධාරීන් අතර සිදුවනවා යැයි කියන අක්‍රමිකතා හොර මගඩි අතර අලුත් කතාවක් වාර්තා වූයේ මහනුවර බෝගම්බර බන්ධනාගාරය ස්ථානගත කොට ඇති දුම්බර බන්ධනාගාරය තුළිනි. ඊට සම්බන්ධව ඇත්තේ එම බන්ධනාගාර රෝහලේ ප්‍රධාන වෛද්‍ය නිලධාරිවරයාය. බන්ධනාගාර රෝහලේ ප්‍රධාන වෛද්‍ය නිලධාරිවරයා තමන් හමුවට ප්‍රතිකාර ලැබීම සඳහා පැමිණි බන්ධනාගාරයේ රුඳවියන්ව සිටි රෝගීන්ට තහනම් උපකරණ විකිණීම සිදුකර ඇතැයි වාර්තා වේ. පසුගිය ඔක්තෝබර් 29 වැනිදා එම බන්ධනාගාරයේ කාන්තා අංශයේ රුඳවියකුට ඇතිවූ රෝගී තත්ත්වයක් හේතුවෙන් ප්‍රතිකාර ලබාගැනීම සඳහා බන්ධනාගාර රෝහලට ගොස් ඇතැයි පැවසේ. මෙකී කාන්තාවට සත්‍ය වශයෙන්ම අසනීපයක් සිදුව තිබුණාදැයි වාර්තා නොවන අතර එය සැක කටයුතු වශයෙන් සලකනුයේ ඇය අසනීපය උපක්‍රමයක් ලෙස භාවිත කළේද යන්න සැකයෙනි. 

කෙසේ වෙතත් අදාළ මොහොතේ ප්‍රතිකාර ලැබීමට පැමිණි කාන්තාවට වෛද්‍යවරයා විසින් ජංගම දුරකතන ආරෝපණ උපකරණයක් හා ජංගම දුරකතන බැටරි 2ක් අලෙවි කර ඇත. එම අවස්ථාව ඇස ගසාගෙන සිටි බන්ධනාගාර නිලධාරීන් පිරිසක් සැකකාර වෛද්‍යවරයා අත්අඩංගුවට ගනු ලැබ ඇත. පසුව සිදුකළ ප්‍රශ්න කිරීමේදී වෛද්‍යවරයා ප්‍රකාශ කර ඇත්තේ තමා රුඳවියන්ට ජංගම දුරකතන හා උපාංග අලෙවි කිරීමට උත්සාහ කළ බවය. එසේම මීට ඉහතදීත් එවැනි උපකරණ කාන්තා රුඳවියන්ට මුදලට අලෙවි කළ බව කියා ඇත. ඒ අනුව අත්අඩංගුවට ගනු ලැබූ වෛද්‍යවරයාට එරෙහිව නීතිමය පියවර ගැනීම සඳහා පල්ලෙකැලේ පොලීසිය වෙත බාරදී තිබුණි.

අනතුරුව නඩු අංක B 1563/21 යටතේ 2021.10.30 වැනිදා සැකකාර වෛද්‍යවරයා තෙල්දෙණිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය. එහිදී නියෝග කෙරුණේ ඉදිරි විමර්ශන කටයුතු අවසන් වනතෙක් ඔහු රිමාන්ඩ් භාරයේ තබන ලෙසය. සැකකරු නැවත නොවැම්බර් 12 වැනිදා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර ඒ වනතෙක් කෑගල්ල බන්ධනාගාරයේ රඳවා සිටින බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර අධිකාරි (පාලන) චන්දන ඒකනායක මහතා පැවසීය.

බන්ධනාගාර රෝහලේ වෛද්‍යවරයකු පිළිබඳ කතාව එසේ වෙද්දී බන්ධනාගාර නිලධාරීන් පිළිබඳවද විවිධ චෝදනා හා අක්‍රමිකතා වාර්තා වේ. ඒ අනුව කිවයුත්තේ බන්ධනාගාරගතව සිටි පාතාල කල්ලි නායකයන් හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමඟ සබඳතා පැවැත්වූ හා ඔවුන්ගෙන් ආර්ථික වාසි ප්‍රයෝජන ලැබූ බන්ධනාගාර නිලධාරීන් පිරිසක් ස්ථාන මාරු කිරීමට පියවර ගත් බවය. මේ ආකාරයට බන්ධනාගාර නිලධාරීන් 21 දෙනකු සඳහා වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීම් ලබාදීමට පියවර ගෙන තිබිණ.

මෙසේ ස්ථාන මාරුවීම් ලැබූ බන්ධනාගාර නිලධාරීන් අතර බූස්ස බන්ධනාගාරයේ නිලධාරීන් 10ක් මීගමුව බන්ධනාගාරයේ නිලධාරීන් 9ක් වාරියපොළ බන්ධනාගාරයේ සහ දුම්බර බන්ධනාගාරයෙන් එක් නිලධාරියකු වශයෙන් වන බව වාර්තා විය. මේ අතර කියැවුණේ විවාහ මංගල උත්සවයක් සඳහා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන රැඳවියකුගෙන් මිල අධික මත්පැන් බෝතල් 100ක් ලබාගෙන සිටි සේවයේ නියුතු ජේලර්වරයකුද ස්ථාන මාරුකිරීමට ලක්ව ඇති බවය.

මේ ආකාරයට පාතාලයට හා විවිධ අපරාධ සිදුකරන ජාවාරම්කරුවන් සමඟ ඇතැම් බන්ධනාගාරවල දැන උගත් නිලධාරීන් සබඳතා පවත්වන බව සැබෑවකි. ඔවුන්ගේ සහාය මත බන්ධනාගාරගතව සිටි පාතාල ක්‍රියාකාරකම් හා හෙරොයින් ජාවාරම මෙහෙයවන සංවිධානාත්මක අපරාධකරුවන් සිටින බව ප්‍රසිද්ධය. මේ ආකාරයට පාතාල නායකයන් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් බන්ධනාගාරයේ සිට කරන අපරාධ මෙහෙයුම් වහාම නතර කරවිය යුතු බවට වරෙක ජනාධිපතිවරයා අවධාරණය කොට තිබුණි. නමුත් එවැනි ජාවාරමුන්ට සහාය දෙන බන්ධනාගාර නිලධාරීන්ගේ අත යට ගනුදෙනු ඊට පෙර නතර කළ යුතුව ඇත.

 සමන්ත ප්‍රදීප් විල්තෙර

 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:05