2021 නොවැම්බර් 13 වන සෙනසුරාදා

පොලිෂ් කරන්න ඕනෑ පොලිසිය

 2021 නොවැම්බර් 13 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 24

ශ්‍රී ලංකා පොලීසිය ගැන පහුගිය ටිකේ වාර්තාවුණු තොරතුරු එතරම් හොඳ නැත. මොකක් හෝ අලකලංචියක් කාලයකට සැරයක් කරගැනීම ශ්‍රී ලංකා පොලීසියේ පුරුද්දක් වී ඇත. වැඩිම ගැටුම්ය. නැත්නම් අල්ලස්ය. දැන් දැන් මත්ද්‍රව්‍යවලටද ඇතැම් අයගේ නම් ගම් ගෑවෙන්න පටන්ගෙන ඇත.

මේ මෑතකම වාර්තාවුණු සිද්ධිය වන්නේ සබරගමු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කුගේ මහමග නාඩගමය. මහ මඟදී රියදුරෙකු අත්අඩංගුවට ගැනීමත් එහිදී සිදුවන බහින්බස් වීමත් සමාජ මාධ්‍යයේ සංසරණය වුණේය. එහිදී එම රියැදුරු පවසන්නේ රන්මල් කොඩිතුවක්කු බීමතින් සිටින බවයි. එහි ඇත්ත නැත්ත දන්නේ නැත. එම රියදුරු කළ වරද දන්නේ නැත. එහෙත් ඒ අවස්ථාවේ පොලිස් ලොක්කාත් ගෝලයෝ දෙදෙනත් හැසිරෙන ආකාරය අන්තිම කැතය. අවසානයේ රන්මල් මාරු කළේය. එහෙත් රියදුරු සිදුකළ පැමිණිල්ලට අනුව අඩුම තරමේ පොලිස් ලොක්කාට හෝ ගෝලයන්ට කිසිදු දඬුවමක් නැත. ඒ සම්බන්ධයෙන් සොයා බැලීමේදී දැනගන්නට ලැබුණේ ඔහු වෙනුවෙන් එක්තරා දේශපාලකයෙක් මැදිහත් වන බවය.

එසේම මේ අතර පසුගියදා අ‍යථා ලෙස ධනය රුස් කිරීමේ චෝදනාව මත දෙමටගොඩ රුවන්ව අත් අඩංගුවට ගත්තේය. එසේ අත්අඩංගුවට ගත්ත රුවන්ගෙන් ප්‍රශ්න කිරීමේදී හෙළිවුණේ එක්තරා පොලිස් ලොක්කෙක් රුවන්ගෙන් යැපී ඇති බවය. ඌරු මස් කෑමට කෑදර මේ පොලිස් ලොක්කා එකට කා බී එකට රාත්‍රී සමාජ ශාලා ආස්සෙහි රිංගා නාඩගම් නැටූ අයෙකු බව පරීක්ෂණවලදී පවා හෙළිවී ඇත. එහෙත් අදටත් ඔහු නිදැල්ලේය.

කෙසේ වෙතත් මෙම සිදුවීම් ගැන පොලිස් පොඩ්ඩෝ දැනුවත්ය. ඔවුන් සඳහන් කරන්නේ ලොකු ලොක්කන්ගේ සබඳතා නිසා බේරුණත් පොඩ්ඩන්ට එවැනි සමාවක් නැති බවය. ඒ නිසා පොලිස් පොඩ්ඩන් බහුතරයක් සිටින්නේ කලකිරීමෙන්ය. ඔවුන් පවසන්නේම දේශපාලන වාසි මත සියල්ල වෙනස් වන බවය. මේ අතර පොලිස් පොඩ්ඩන් බහුතරයක් යහපාලන සමය ගැන සිටින්නේ ද ඉතාම කලකිරීමෙනි. ස්වාධීන කොමිසම හරහා පොලිස් පොඩ්ඩක් බහුතරයකට අසාධාරණයක් වු බව ඔවුහු සඳහන් කරති. ඒ පසුගියදා සහකාර පොලිස් අධිකාරීවරු උසස්වීමත් සමඟය. එම පිරිස් අතර ඇතැම් නිලධාරීන් යහපාලන රජය කාලේ ඊට පෙර පැවති මහින්ද රාජපක්ෂ ආණ්ඩුව හරහා අසාධාරණයට ලක් වූ බව කියමින් පසුපසට දින දමා උසස් වීම් ලබාගත් බවත් නැවත මේ ආණ්ඩුවේ දේශපාලන පලිගැනීම් කමිටුව හමුවේ ඔවුන්ට උසස්වීම් ලබාදීමේදී යහපාලන රජයේදී අසාධාරණකම් සිදුවූ බව පවසමින් නැවත උසස්වීම් ලබාගෙන ඇති බවටත් ඔවුහු චෝදනා කරති. සුළු පිරිසක් මේ ආකාරයෙන් දේශපාලන සබඳතා හරහා උසස් වීම් ලබාගෙන තිබූ බව ඔවුන් කීය. එහිදී එකම කණ්ඩායමේ ඇතැම් නිලධාරීන් ප්‍රදාන පොලිස් පරීක්ෂක තනතුරේ සිටියදී ඒ කණ්ඩායමේම ඇතැම් අය පොලිස් අධිකාරී තනතුර දක්වා උසස්වීම් ලබා ඇති බවද එම පොලිස් පොඩ්ඩක් පැවසූහ. කෙසේ වෙතත් මේ ක්‍රමය නිසා ඇතැම් 80 දශකයේ අග සහ අනුව දශකයේ මුල් බාගයේ පොලීසියට බැඳුණු කණ්ඩායම්වල ඇතැම් පිරිස් සබඳතා මත ඉහළට යන විට තවත් අය කිසිදු දෙයක් නැතිව එකතැන පල්වන බවටත් ඔවුන් චෝදනා නැගෙයි.

විශේෂයෙන් මෙහිදී පොලිස් නිලධාරීන් ඉල්ලා සිටියේ පොලිස් කොමිසමට හෝ පොලීසිය සම්බන්ධයෙන් කමිටුවකට යම් අයකු පත් කරනවා නම් පොලීසියේ සිටිය අයකු පත් නොකළ යුතුබවය. විශේෂයෙන් ඔවුන් ඇතැම් අවස්ථාවල ඇතැම් නිලධාරීන්ට සේවයෙදී ඇති වූ ගැටුම්වල වාඩුව ගන්නා බවය. එපමණක් නොව ඔවුන් පොලීසියේ රාජකාරි කර තිබියදී හෝ පොලීසිය හදා ගැනීමට නොහැකි වුවා නම් තවත් පොලීසිය හදන්නේ කෙසේද යන්න ප්‍රශ්නයක් බව ඔවුහු කියති.

මේ අතර තවත් පොලිස් නිලධාරීන් කණ්ඩායමක් කියන්නේ තමන් කෙතරම් රාජකාරි නිසිලෙස ඉටුකළත් ඔවුන්ගේ වැටලීම් සඳහ හිමිවිය යුතු ත්‍යාග මුදල් නොලැබෙන බවය. ලැබීමට නියමිත මුදල්ද ඇතැම් අවස්ථාවල අඩුකර දමා ඇති බවට ඔවුහු මැසිවිලි නගති. විශේෂයෙන් කුඩු වැටලීම් වලදී නියමිත මුදල් නිසි වෙලාවට වගේම නිසි මුදලම නොලැබෙන තත්ත්වයකට පත්ව ඇති බව සඳහන් කරන්නේ ඉතාම වේදනාවෙනි. මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ එක්තරා පොලිස් නිලධාරියෙක් පවසා සිටියේ &අපි මේව කරන්නේ ජීවිත අවදානම අරගෙන ඒත් ඒවට නියමිත වටිනාකම ලැබෙන්නේ නැත්තන් කොල්ලන්ගේ මොරාල් බහිනවා" කියාය. ඒ නිසා පොලිස් පොඩ්ඩන් ඉල්ලන්නේ ත්‍යාග මුදල් නිසි කලට ලැබෙනවා නම් පොලිස් නිලධාරින් තව තවත් දිරිමත් වන බවයි.

කෙසේ වෙතත් මේ අතර සමහර නිලධාරීන් පවසන්නේ ඇතැම් මාරුවීම් සඳහා එක්තරා දේශපාලකයකුගේ පුත්‍රයකු සම්බන්ධ වී ඇති බවය. එම පුත්‍රයාට බලයක් නැතත් ඇතැම් පොලිස් නිලධාරීන් එම පුත්‍රයාව හමුවී මාරුවීම් ලබාගැනීමට උත්සහ කරගන්නා බවත් තමන්ගේ තාත්තට කියා එම මාරුව කරදෙන බවට ඔහුට හිතවත් නිලධාරීන්ට පොරොන්දු වී ඇති බවය. එවැනි මාරුවීම් සිදුකර ඇති ද යන්න විමසීමේදී සඳහන් කළේ දැන් ලේසිම ක්‍රමය එය වගය.

කෙසේ වෙතත් මේ ආකාරයට පොලිසීයේ ඇතැම් ක්‍රියා හේතුවෙන් දැන් දැන් පොලිස් නිලධාරීන් බහුතරයක් සිටින්නේ කනගාටුවෙන් බව ඔවුහු කියති.මේ තොරතුරු ලබාදෙන ඇතැම් පොලිස් නිලධාරීන් නිසි කලට පෙර විශ්‍රාම යන්න පවා තීන්දු කර ඇත.ඔවුන් පවසන්නේ තමන් සමඟ එකට පොලීසියට බැඳුනු පිරිස් ඉහලට යන විට කිසිදු වැරුද්දක් නොකර සේවයම පමණක් සිදුකළ තමන්ට දේශපාලන සබඳතා නිසා උසස් වීමක් නැත්තන් විශ්‍රාම යාම හොඳම දේ බවය.
මහින්ද රාජපක්ෂ මහතා 2006 වසරේදී සියලුම නිලධාරීන්ට උසස්වීම් ලබාදීම අවස්ථා ගණනාවකදී කරගෙන ආ බවත් එහෙත් එය පොලිසියේම උසස් නිලධාරීන් විසින් මැදිහත් වී නවතා දැමුණු නිසා අද වනවිට සියල්ල කනපිට හැරී ගොස් ඇති වගත් ඇතැම් නිලධාරීහු සඳහන් කරති. එය තව තවත් කනපිටට හැරවූවේ යහපාලන රජයෙන් බවට ඔවුහු චෝදනා නගති.

මේ ආකාරයෙන් පොලිසිය තුල ප්‍රශ්න එමටය.ඒවා විසඳුම් ලැබිය යුතු ප්‍රශ්නය. ඒ ප්‍රශ්න විසඳන්න පොලිස් උෂ්ණය ඇති තාත්තලා වෙනුවට පුතාලා ඉදිරිපත් වෙනාවා නම් එය ඉතාම භයානකය.ඒ නිසා වගකිවයුත්තන්ගේ ඇස් ඇරේවා යයි පොලිස් පොඩ්ඩෝ පවසති.

 ගයාන් ගාල්ලගේ

 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:05