2021 නොවැම්බර් 13 වන සෙනසුරාදා

වරාය නගරයේ ඉදිවූ ලංකාවේ මුල්ම වැලි කඳු ධාවන පථය

 2021 නොවැම්බර් 13 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 37

ශ්‍රී ලංකාවේ පළමුවරට තැනූ වැලි කඳු ධාවන පථය පසුගියදා කොළඹ වරාය නගරයේදී විවෘත විය. Crate Adventure පෞද්ගලික ආයතනය මඟින් පවත්වාගෙන යනු ලබන මෙම ATV ධාවන පථය සඳහා මේ වනවිට දෙස් විදෙස් සංචාරකයන්ගෙන් හොඳ ප්‍රතිචාරයක් ලැබෙනා බව එම ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂිකා පත්මලතා අබයසිංහ මහත්මිය දේශයට පැවසීය.

වරාය නගරයේ අක්කර පහක පමණ භූමි ප්‍රදේශය පවත්වාගෙන යනු ලබන මෙම වැලිකඳු ධාවන පථය කිලෝමීටර් තුනහමාරක පමණ ප්‍රදේශයක පැතිර ඇත. මෙය ධාවන පථ තුනකින් සමන්විතය. මෙය හඳුන්වනු ලබන්නේ &කලම්බු ඩියුන්ස්* (Colombo Dunes) යන නමිනි.

ලංකාවේ සංචාර ක්ෂේත්‍රයට ATV ධාවන පථයක ලොකු අඩුවක් තිබුණා. ඒක ලංකාවට විතරක් නොව දකුණු ආසියාවටම තිබුණ හිඩැසක්. ඒ අනුව අපි 2018 වසරේදී ගම්පහ, බුත්පිටිය, මාලිගාවත්ත ප්‍රදේශයේ අක්කර පනහක භූමි භාගයක &Colombo Mountain* නමින් ATV ධාවන පථයක් ආරම්භ කළා. එය දකුණු ආසියාවේ මුලින්ම නිර්මාණය වුණු ATV ධාවන පථයයි. ඒ සඳහා දෙස් විදෙස් සංචාරකයන්ගෙන් විශාල ඉල්ලුමක් ලැබුණා.* යැයි අබයසිංහ මහත්මිය සඳහන් කළාය.
ATV යනු ඕනෑම භූමියක පහසුවෙන් පැද යා හැකි සැහැල්ලු වාහනයකි. මෙය අප රටට පමණක් නොව දකුණු ආසියාවටම අලුත් අත්දැකීමකි. ඇමෙරිකාව වැනි යුරෝපා රටවල්වල ජීවත්වන පිරිමි මෙන්ම කාන්තාවෝද ATV බයිසිකලය ත්‍රාසජනක, අත්දැකීමක් මෙන්ම, ක්‍රීඩාවක් ලෙසටත් පාවිච්චි කරති. මෙම ත්‍රාසජනක ක්‍රීඩාව අපේ රටේ ජනතාවට අලුත් අත්දැකීමකි. කොවිඩ් වසංගතයට පෙර විදෙස් සංචාරකයින්ගෙන්ද මාලිගාතැන්න ප්‍රදේශයේ පිහිටා ඇති ATV ධාවන පථයට විශාල ඉල්ලුමක් පැවැති බවත් එය විදේශ විනිමය අප රටට ලැබෙන තවත් එක් අවස්ථාවක් බවත් එම ආයතනය පවසයි. මාලිගාතැන්න ATV ධාවන පථය කළුගල් අතර සැකසුණු ධාවන පථයකි.

බොහෝවිට මෙවැනි ATV වැලි ධාවන පථ සාදා ඇත්තේ ඩුබායි වැනි කාන්තාර ඇති රටවල්වලය. ඒ අනුව වරාය නගරය තුළ මෙම බිහිසුණු වැලිකඳු මත ධාවනය කෙරෙන ATV ධාවන පථය නිර්මාණය වුණි. Colombo Dunes ලෙසින් හැඳින්වෙන මෙය ධාවන පථ තුනකින් සමන්විතය A නමින් හැඳින්වෙන ධාවන පථයේ ATV රථය ධාවකයාගේ අතට හුරුවන්නට පැදීමට සලසා ඇති සරල ධාවන පථයකි. එය සාමාන්‍ය වේගයකින් ධාවනය කළ හැකි පථයකි &B* නමින් හැඳින්වෙන ධාවන පථයේ ඉංග්‍රීසි අකුරුවලින් Portcity ලෙස නිර්මාණය කර ඇත. B ධාවන පථයේ ධාවනය කරද්දී P අකුරෙන් පැද අවසන් කරනු ලබන්නේ Y අකුරෙනි. එය ඉතා හොඳ අත්දැකීමකි. කායිකව හා මානසිකව ගත හැකි හොඳ ව්‍යායාමයකි. &C* ධාවනය පථය අතිශය ත්‍රාසජනක ධාවන පථයකි. එම ධාවන පථයේ ATV පැදීමට හොඳහැටි අතට හුරු, බයක් නැති, මානසික ශක්තියකින් පැදිය හැකි කෙනෙකු විය යුතුවේ. මෙතෙක් පැමිණි බොහෝ ධාවකයන් මේ අලුත් ත්‍රාසජනක අත්දැකීම ලබන්නට වැඩි කැමැත්තක් දක්වා ඇත.

Colombo Dunes ධාවන පථය කිලෝමීටර් තුනක්, තුනහමාරක් අතර පවතිනවා. සමහරුන් මේ අපූරු අත්දැකීම මේ වැහි කාලයට ලබාගන්නට වැඩි කැමැත්තක් දක්වනවා. වැහි කාලයේදී වැලි මත ධාවනයේ යෙදීමක් එක්තරා අපූරු අත්දැකීමක්. Crateadventure.com වෙබ් අඩවියෙන් හෝ දුරකථන අංකයට කතාකොට වෙලාවක් වෙන්කර ගැනීමෙන් ඔබටත් මේ අපූරු අත්දැකීම විඳින්න පුළුවන්* යැයි පත්මලතා අබයසිංහ මහත්මිය පැවසීය.

දේශීය, විදේශීය සංචාරකයන්ට දින හතම විවෘත කර ඇති මෙම ධාවන පථයේ ATV එක පැදීමට අවසර දී ඇත්තේ අවුරුදු දහසයට වැඩි අයට නමුත් අවුරුදු දහයක්, දාසයක් අතර වයස සීමාවේ පසුවන, මෙම අත්දැකීමක් ලබන්නට කැමැති කෙනෙකු සිටී නම් ආයතනයේ මඟ පෙන්වන්නකු යටතේ ආසන දෙකේ ATV රථයක මේ අත්දැකීම ලබන්නට පුළුවන්කමක් ඇත. සැහැල්ලු රථය ධාවනය කරනා අතරම විනාඩි කිහිපයක් ඇතුළත එහි පැදයාම ඉගෙන ගැනීමට හැකියාවක් පවතින අතර ඉතා කෙටි කාලසීමාවක් ඇතුළත තමන්ගේ කැමැත්ත සහ උනන්දුව මත ඒ සම්බන්ධව ඉගෙන ගැනීමට හැකියාව ඇත. ඒ අනුව ඉතා කෙටි කාලයකින් පසුව ධාවන පථ තුනම දිනකින් පැද අවසන් කළ හැකිය.

 දිශානි ජයමාලි කරුණාරත්න
සේයාරූ - සුමුදු හේවාපතිරණ