ගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ඇතිවූ අඩු පීඩන කලාපය හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක බොහොමයක ඇතිවූ ධාරානිපාත වර්ෂාව දින ගණනාවක් පුරාවට පැවතිණි. මෙම අයහපත් කාලගුණය හේතුවෙන් ප්‍රදේශ රැසක ඇතිවූ ගංවතුර, නාය යාම් හේතුවෙන් ජීවිත බොහොමයක් අවතැන් වී ඇති අතර මෙම කාලගුණ තත්ත්වය හේතුවෙන් ජීවිත අහිමි වූ සංඛ්‍යාව විසි පහකි.
දින දහයකට වැඩි ගණනක් එකදිගට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් දිස්ත්‍රික්ක 17ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 126ක් බලපෑමට ලක්වී තිබේ.
පසුගිය දිනෙක රාත්‍රියේ කෑගල්ල පුස්වැල්ල ප්‍රදේශයේ අක්කර අටක පමණ කොටසක් සමඟ කිරුළුගලකන්ද නිවෙසක් නාය යාම හේතුවෙන් එම නිවසේ පදිංචිව සිටි මව, පියා සහ පුතා පස් කන්දට යටවී තිබුණි. ප්‍රදේශවාසීන්ගේ සහ මුදාගැනීමේ කණ්ඩායම් එක්ව මහත් පරිශ්‍රමයක් දරා මොවුන් තිදෙනා බේරාගැනීමට උත්සාහ කළ අතර පස් කන්දට යටව සිටි මව සොයාගැනීමට මුදාගැනීමේ කණ්ඩායම්වලට හැකි විය. යුහුසුළුව එම තැනැත්තිය කෑගල්ල මහ රෝහලට රුගෙන යාමට කටයුතු කර තිබුණි. පැය ගණනාවක් තිස්සේ අධික වර්ෂාවත් සමඟ සිදු කළ මෙහෙයුම අතරතුර පස් කන්දට යටවී සිටි පුතා සහ පියාගේ සිරුරුද සොයා ගැනීමට මුදාගැනීමේ කණ්ඩායම්වලට හැකි විය. ඒ වන විටත් ඔවුන් දෙදෙනාම මිය ගොස් සිටියහ. මෙසේ මිය ගොස් ඇත්තේ 74 හැවිරිදි ඩබ්ලිව්.ආර්. රණසිංහ සහ 32 හැවිරිදි දමිත් රණසිංහය.
පවතින අයහපත් කාලගුණය මගින් ඇතිවූ ගංවතුර, නාය යාම් සහ දැඩි සුළං තත්ත්වය හේතුවෙන් සිදුවූ ගස් කඩා වැටීම් නිසාද ජනතාව පීඩාවට පත්ව සිටිති. මේ හේතුවෙන් මිනිස් ජීවිතවලට මෙන්ම දේපල හානි රුසකට දැඩි අලාභහානි සිදුව ඇත. ගංවතුරෙන් පීඩා විඳි ජනතාව බේරාගැනීමට නාවික හමුදා සහන කණ්ඩායම් මහත් පරිශ්‍රමයක් දරති. මෙම අයහපත් කාලගුණ තත්ත්වයෙන් වැඩි බලපෑමක් සිදුව තිබුණේ පුත්තලම දිස්ත්‍රික්කයටය.
කුලියාපිටිය පරණගම ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි තරංග ප්‍රියශාන්ත සිය පුතු වන 11 හැවිරිදි අමෝධ්‍ය සමඟ නිවෙසට පැමිණෙමින් සිටියේ දරුවාගේ උපකාරක පන්තිය අවසන් වූ පසුවය. එහෙත් පියාට සහ පුතුට නිවෙසට ඒමට හැකි වූයේ නැත. පරණගම ඔයේ සැඩ පහරට හසුවූ පියා සහ පුතු ජීවිතක්ෂයට පත්වූහ. එදිනම පියාගේ මළසිරුර ජලය මත පාවෙනු ප්‍රදේශවාසීන් දැක තිබූ අතර අමෝධ්‍යගේ මළසිරුර සොයාගෙන ඇත්තේ පසුවදාය.
රිදීගම පොරොත්ත උඩපොත්ත කන්ද^ නාය යාමෙන් අසල තිබූ නිවෙස් දෙකකට දැඩි හානි සිදුවී තිබුණි. නාය යාමෙන් සම්පූර්ණයෙන්ම විනාශ වී ගිය නිවෙසක පදිංචිව සිටි 73 හැවිරිදි සිරිසේන සහ 70 හැවිරිදි ගුණවතීගේ මළසිරුරු මහත් පරිශ්‍රමයක් දැරීමෙන් සොයා ගැනීමට මුදාගැනීමේ කණ්ඩායම්වලට හැකි විය. දරුවන් නොමැති මේ අඹුසැමි යුවළ නිවෙස් ජීවත්ව ඇත්තේ තනිවමය. නාය යාමෙන් අසල තිබූ සිමෙන්ති ගල් නිෂ්පාදනය කරනු ලබන ආයතනයකට ද දැඩි හානි සිදුවිය.
මිනිස් ජීවිත මෙන්ම වගාබිම් බොහොමයක් එකම ගංගාවක් බවට පාවෙමින් ජලය සමඟ ගසාගෙන ගියේය. පොළොව සමඟ කාලය වැය කරමින් මහත් වෙහෙස වී වගා කළ බොහෝ අස්වනු එක දිනකින්, දෙකකින් ගංවතුරට ගසාගෙන ගොස් තිබුණි. බොහෝ ගොවීන්ට සිදුව ඇත්තේ එක යායට ජලය පිරුණු වගාබිම් දෙස බලා සිටීම පමණි. මේ හේතුවෙන් ඉදිරි කාලය තුළදී එළවළු මිලද විශාල ලෙස ඉහළ යනු ඇත. මෙම ආපදාවලට මුහුණ දුන් ජනතාව අතර කොවිඩ් රෝගීහුද වෙති. අවතැන් කඳවුරුවලද කොවිඩ් ආසාදිතයන් ඇතැයි ඇතැම්හු සැක පළ කරති. මේ හේතුවෙන් පවතින අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ වෙනදාට වඩා ප්‍රවේශම් වන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවට දැනුම් දෙයි.
නාය යාම් සම්බන්ධයෙන් රතු නිවේදන නිකුත් කර තිබියදී ඉවත් වෙන්නේ නැති කණ්ඩායම් අවවාද පිළි නොගන්නා කණ්ඩායම් පොලීසිය යොදවා උසාවි මාර්ගයෙන් බලහත්කාරයෙන් හෝ ඉවත් කිරීමට දිසාපතිවරුන්ට බලය ලබා දී තියෙනවා. ජාතික ආරක්ෂාව අනුව මෙලෙස කරන්නට අපිට සිදුවෙලා තියෙනවා. ඒ වගේම පවතින වසංගත තතත්ත්වය හා ආපදා තත්ත්වයන් තිබියදීත් විනෝද ගමන් සහ අපරීක්ෂාකාරී තැන්වලට යන අය වෙනුවෙන් ද නීත්‍යානුකූලව කටයුතු කිරීමටත් මින් ඉදිරියට අපි බලාපොරොත්තු වෙනවා.* යැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන අධ්‍යක්ෂ, විශ්‍රාමික මේජර් ජෙනරාල් සුදත්ත රණසිංහ මහතා මාධ්‍යයට පැවසීය.
පවතින අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ අනවශ්‍ය ගමන් බිමන් යාම, අපරීක්ෂාකාරීව ජල මාර්ගවල පිහිනීම, තාවකාලිකව අටවා ගන්නා ලද දේවල් මත නැගී ඔරු පැදීම, ජල ක්‍රීඩාවල නිරතවීම වැනි ක්‍රියාවන් මගින් ද අනතුරු සහ ජීවිත හානි සිදුවූ බවට වාර්තා පළ වේ. වාර්තා වන මිය යාම්වලින් දියේ ගිලී මිය යාම් 13ක් වාර්තා වන බවද ඒවායින් කිහිපයක්ම වළක්වා ගත හැකිව තිබූ මියයාම් බවද ආපදා කළමනාකරණය මධ්‍යස්ථානය පෙන්වා දෙයි.
මෙම අඩු පීඩන කලාපය හේතුවෙන් ගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ සහ දිවයිනේ දකුණු දිග මුහුදු ප්‍රදේශවල තද වැසි සමඟ විටින් විට හමන සුළං පැයට කිලෝමීටර් හැටක් හැත්තෑවක් දක්වා ඉහළ යා හැකි බැවින් ගිනිකොණ දිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ සහ දිවයිනේ දකුණු දිග මුහුදු ප්‍රදේශවල ධීවර හා නාවික කටයුතුවලින් වැළකී සිටින ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිවේදනය කර තිබිණි.
උතුරු, වයඹ, බස්නාහිර සහ සබරගමුව පළාත්වලද, අනුරාධපුරය, ත්‍රිකුණාමලය, නුවර, නුවරඑළිය, මාතලේ, පොළොන්නරුව, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලද ඇතැම්විට මි.මී. 100 – 150 අතර තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
දින කිහිපයක් එකදිගට පැවති අධික වර්ෂාව හේතුවෙන් බොහෝ වැව් පිටාර ගොස් තිබූ අතර ජලාශ ද වාන් දමා තිබුණි. මේ හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල පහත්බිම් රැසක් ජලයෙන් යට විය. අවදානම් සහිත නාය යාම්, පස් කණ්ඩි කඩා වැටීම්, අවදානම් ගස් කඩා වැටීම් වැනි තත්ත්වයන් පිළිබඳව සැලකිලිමත් වන ලෙස ද එවැනි අවදානමක් ඇතිනම් ක්ෂණිකව එම ස්ථානවලින් ඉවත්වන ලෙසද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවට දැනුම් දෙයි. ඇතිවිය හැකි ආපදා අවදානම් තත්ත්වය පිළිබඳ අවශ්‍ය සහයෝගය ලබාගැනීමට හෝ ආපදා තත්ත්වයන් පිළිබඳ දැනුවත් කිරීමට 117 හදිසි ඇමතුම් අංකයට දැනුම් දීමට කටයුතු කරන ලෙස ද එම මධ්‍යස්ථානය ජනතාවගෙන් ඉල්ලා සිටියි.
දිශානි ජයමාලි කරුණාරත්න
එක දිගට දින ගණනාවක් පැවති වැස්ස නිසා කඩුගන්නාව ගල විදපු හන්දියට පහළින් ඇති පහළ කඩුගන්නාව ප්‍රදේශයේ මාර්ගයේ නාය යාමේ අවදානමක් නිසා පසුගිය 10 කොළඹ නුවර පාර වසා දැමීමට සිදුවිය. ඒ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ දැනුම්දීමක් සමඟයි. ගොඩනැගිලි පර්යේෂණ ආයතනයෙන් ද මේ සිද්ධිය ගැන තාක්ෂණික අධ්‍යයනයක් ආරම්භ කර ඇත. 98 වැනි කිලෝමීටර් කණුව අසල නාය යාමේ අවදානම හටගෙන තිබේ. ඒ හේතුවෙන් පසුගිය 10දා රාත්‍රී 10.00ට පහළ කඩුගන්නාවෙන් තාවකාලිකව කොළඹ නුවර මාර්ගය වසා දැමුණු අතර විකල්ප මාර්ග භාවිත කරන ලෙස වාහනවලට දැනුම් දුනි. මේ කොළඹ නුවර පාර මෑත ඉතිහාසයේ නාය යාමේ අවදානමකින් වසා දැමුණු මුල්ම අවස්ථාවයි.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ මහනුවර සහකාර අධ්‍යක්ෂ දේශප්‍රිය බණ්ඩාර අප සමඟ පැවසුවේ ගලෙහි පැල්මක් නිරීක්ෂණය වන අතර නාය යාමේ අවදානමට ඉඟි සපයන මඩ වතුර ගලා යාමක් ද දැකගැනීමට ලැබුණු බවයි. ගල් පර්වත සහිත නිතර දිය උල්පත් මතුවන මේ මාර්ගය ඉහළින් ගමන් ගන්නේ දුම්රිය මාර්ගයයි. පහළ කඩුගන්නාව අයිති කෑගල්ල දිස්ත්‍රික්කයට නිසා මේ ස්ථානයේ අවදානම ගැන වැඩිදුරටත් කටයුතු කරන්නේ කෑගල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසිනි. පසුව කොළඹ නුවර පාර විවෘත කළත් ඒ අවට මාර්ගයේ කඳු බෑවුම පාමුල පළතුරැ කඩ විශාල ප්‍රමාණයක් පවතින අතර ඔවුන්ට එම් ස්ථානයෙන් ඉවත් වන ලෙස දැනුම් දී තිබේ.
පේරාදේණිය විශ්වවිද්‍යාලයේ භූ විද්‍යා අංශයේ මහාචාර්ය අතුල සේනාරත්න පවසන්නේ මෙහි නාය යාමේ අවදානමක් පවතින බවයි. මේ නිසා ඒ අවට මීටර් 250ක කොටසක කඩපේළි 25ක් වහාම ඉවත් කළ යුතු බව ඔහු පවසා සිටී. කඳුවැටියේ සිට පහළට එන ජල පහර නිසා කඳුවැටියේ කොටසක් ද සමඟ නාය යාමට ඉඩ ඇති බව මහාචාර්යවරයා පවසා තිබේ. මේ නිසා මෙහි පළතුරැ කඩවල වෙළෙන්ඳන් ඉවත් කිරීම මාවනැල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය විසින් සිදු කරමින් පවතී.
වර්ෂ 2018 දීත් කඩුගන්නාව බිංගේ ගලෙහි පැල්මක් හේතුවෙන් එතුළින් වාහන ගමනාගමනය සහමුලින් තහනම් කිරීමට මාර්ග සංවර්ධන අධිකාරිය පියවර ගෙන තිබුණි. බිංගෙයට යටින් ඉදිකර ඇති ගල් බැම්මද එකල පුපුරා තිබෙනු දක්නට ලැබුණි. කොළඹ මහනුවර මාර්ගය ඉදිකිරීමේදී මෙම බිංගෙය ක්‍රි.ව. 1828 - 1830 දී පමණ ඉදිකර ඇති බව එහි ඇති සමරැ ඵලකයේ සඳහන් වේ. මාසයකට ආසන්න කාලයක පටන් මෙම ඓතිහාසික ගලේ කොටසකින් ගල් කඩා වැටෙමින් තිබූ බව එකල දැනගත හැකිවිය.
උඩරට රාජධානි කාලේ පැවති කොළඹ නුවර පාර ගමන් කළේ කඩුගන්නාව හරහා නොවේ. මාවනැල්ල, බලන කපොල්ල හරහා එකල නුවර පාර ලෙස පැවතුණේ අඩි පාරකි. ඉංග්‍රීසින් වඩාත් පහසු ලෙස වාහනවලට ගමන් කිරීමට හැකි පරිදි කොළඹ නුවර පාර කඩුගන්නාව කන්ද කපා ඉදිකළේ 1820 දශකයේදීය. ඉන් පසු දුම්රිය මාර්ගය ද කඩුගන්නාවේ මහා මාර්ගයට ඉහළින් ගල් පර්වත විද සකස් කෙරැණි. පසුකාලීනව මේ අවට වනාන්තර වැස්ම ඉවත් කිරීම සහ ඉදිකිරීම් බහුල වීම නිසා ස්වභාවික පරිසරය වෙනස්වීම සිදු විය.
කුසුම්සිරි