ගලගොඩඅත්තේ ඥානසාර හිමිගේ සභාපතිත්වයෙන් පත්කළ එක රටක් එක නීතියක් සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකාය සම්බන්ධව නිර්මාණය වූ මතබේද තවමත් නිමා වී නොමැත. ගලගොඩඅත්තේ ඥානසාර හිමිගේ සභාපතිත්වයෙන් එකී බලකාය පත්කිරීම සම්බන්ධව ආණ්ඩුවේ මෙන්ම විපක්ෂයේද විවිධ පාර්ශව චෝදනා කරමින් සිටිති. කෙසේ වෙතත් මෙම නව කාර්යසාධන බලකාය ස්ථාපිත කළ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙම පත් කිරීම් සාධාරණීයකරණය කොට තිබේ.
මෙවන් වටපිටාවක් තුළ මෙම කාර්ය සාධන බලකායේ කාර්යභාරය පිළිබඳව මෙන්ම ඥානසාර හිමියන් එහි සභාපතීත්වයට පත්කිරීම සම්බන්ධව පුළුල්ව විමසා බැලීමට අපි උත්සාහ කෙළෙමු.
නව කාර්ය සාධන බලකාය නිර්මාණය කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පළමුව නිකුත් කළ අතිවිශේෂ ගැසට් පත්‍රයට අනුව මූලික කාර්යයන් ද්විත්වයක්ද මේ හරහා ඉටුකර ගැනීමට අපේක්ෂිතය.
1. ශ්‍රී ලංකාව තුළ එක් රටක් එක් නීතියක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් අධ්‍යයනය කර ඒ සඳහා පනත් කෙටුම්පතක් සකස් කිරීම.
2. අධිකරණ අමාත්‍යංශය විසින් මේ වනවිට මෙයට අදාළව සකස්කර ඇති නීති කෙටුම්පත් හා සංශෝධනයන් අධ්‍යයනය කර ඒවායේ යෝග්‍යතාව හා සුදුසු සංශෝධන වේ නම්, ඒ සඳහා යෝජනා ඉදිරිපත් කිරීම හා යෝජනා යෝග්‍ය පරිදි අදාළ කෙටුම්පතට ඇතුළත් කිරීම.
මෙම කාර්යය ඉටුකිරීමේදී කාර්ය සාධක බලකාය විසින් මසකට වරක් ජනාධිපතිවරයා වෙත වාර්තා ඉදිරිපත් කළ යුතුවේ. එසේම අවසන් වාර්තාව 2022 වසරේ පෙබරවාරි 28 හෝ ඊට පෙර ඉදිරිපත් කළ යුතු බවට ජනපති ගැසට් පත්‍රයෙන් නියම කොට තිබේ. මීට අමතරව කාර්යසාධක බලකා ඒ කටයුතු පහසු කරනු පිණිස කිසියම් රාජ්‍ය සේවකයකු හෝ කිසියම් අමාත්‍යාංශයක, රජයේ දෙපාර්තමේන්තුවක, රාජ්‍ය සංස්ථාවක හෝ වෙනත් එබඳු ආයතනයක නිලධාරියකු අදාළ කාර්ය සාධක බලකාය විසින් පවරන ලබන රාජකාරි ප්‍රමාද කරන හෝ පැහැර හරින සියලු අවස්ථා තමා වෙත වාර්තා කරන ලෙසද ජනාධිපතිවරයා නියම කර ඇත.
මෙම කාර්ය සාධක බලකාය පළමු ගැසට්ටුවට අනුව සාමාජිකයන් 13 දෙනකුගෙන් සමන්විත වූයේය. ගලගොඩඅත්තේ ඥානසාර හිමි සභාපති ධුරයට පත්කොට තිබූ අතර මහාචාර්ය දයානන්ද බණ්ඩා, මහාචාර්ය ශාන්තිනන්දන විජේසිංහ, මහාචාර්ය සුමේද සිරිවර්ධන, එන්.ජී. සුජීව පණ්ඩිතරත්න, නීතිඥ ඉරේෂ් සෙනවිරත්න, නීතිඥ සංජය මාරඹේ, එරන්ද නවරත්න, පානි වෑවල, මව්ලවි මොහොමඩ් (ගාල්ල උලමා සභාව), කථිකාචාර්ය මොහොමඩ් ඉන්තිකාබ්, කලීල් රහුමාන්, අසීස් නිසාර්දීන් යන පිරිස සාමාජිකයෝ වූහ. එසේම මෙම කාර්ය සාධක බලකායේ ලේකම් ලෙස ජනාධිපති ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් ජීවන්ති සේනානායක මහත්මිය පත්කර තිබුණි.
ගෙවුණු සතියේ නොවැම්බර් 6 වැනිදා නිකුත් වූ නවතම ගැසට්ටුවට අනුව නීතියක් ජනාධිපති කාර්ය සාධක බලකායට තවත් සාමාජිකයන් 03 දෙනෙක් පත්වූහ. ඒ අනුව, නව සාමාජිකයන් ලෙස රාමලිංගම් චක්‍රවර්තී කරුණාකරන්, අයියාම්පිල්ලෙයි දයානන්ද රාජා සහ යෝගේෂ්වරී පද්ගුණරාජා යන පිරිස පත්වීම් ලැබුවෝය. කෙසේ නමුත් පළමු ගැසට් සඳහන් වූ මහාචාර්ය දයානන්ද බණ්ඩාගේ, කථිකාචාර්ය මොහොමඩ් ඉන්තිකාබ් යන අයවරුන්ගේ නම් දෙවැනි ගැසට්ටුවේ සඳහන් නොවීම විශේෂත්වයක් විය. ඔවුන් විවිධ හේතු දක්වමින් කාර්ය සාධන බලකායෙන් ඉවත් වී ඇති බවටද මාධ්‍ය වාර්තා පළවී තිබුණි.
මීට අමතරව දෙවැනි ගැසට්ටුවට අනුව මුලදී කාර්ය සාධන බලකායට පවරා තිබූ කාර්ය බලතල වල වෙනසක් සිදුව ඇති බව පැහැදිලිවම පෙනී ගියේය. නව ගැසට් නිවේදනය අනුව එම කාර්යය සාධක බලකායට මින් ඉදිරියට පැවරෙන්නේ ශ්‍රී ලංකාවේ එක රටක් එක නීතියක් යන සංකල්පය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් විවිධ පාර්ශ්වයන් දරන අදහස් හා මතවාද සැලකිල්ලට ගනිමින් සහ එකී සංකල්පය අධ්‍යයනය කිරීමෙන් අනතුරුව ඒ සඳහා ශ්‍රී ලංකාවට ආවේණික වූ සංකල්පමය රාමුවක් සකස් කිරීම සඳහා යෝජනාව ඉදිරිපත් කිරීම පමණි. ඒ අනුව ජනාධිපතිවරයා විසින් පළමුව නිකුත් කළ ගැසට් නිවේදනය අනුව අදාළ කාර්ය සාධක බලකායට හිමිවූ අධිකරණ අමාත්‍යාංශයේ පනත් කෙටුම්පත් පිළිබඳව සලකා බැලීම යනාදී බලතලද දෙවැනි ගැසට්ටුවට හරහා අහිමි වී තිබේ.
ආණ්ඩුවේ අභ්‍යන්තරයෙන් මෙන්ම විපක්ෂයෙන්ද එල්ල වූ විවේචන සැලකිල්ලට ගනිමින් සංශෝධිත ගැසට් පත්‍රය නිකුත් කොට ඇති බව පැහැදිලිවේ. ආරම්භයේදී ඥානසාර හිමියන්ගේ සභාපතිත්වයෙන් අධිකරණ අමාත්‍යාංශයටද බලපෑම් කළ හැකි පරිදි මෙම කාර්යය කාර්ය සාධක බලකාය ස්ථාපිත කිරීම සම්බන්ධව අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා සිය අප්‍රසාදය පළ කළේය. ඔහු ජනපතිගේ තීරණයට විරෝධය පාමින් සිය ඇමති ධූරයෙන් සහ මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමටද සැලසුම් කළේය. එය විශාල දේශපාලන ආන්දෝලනයකටද හේතු විය.
ඒ අතර ආණ්ඩුවේ හවුල්කාර පක්ෂද මෙම පත්කිරීම සම්බන්ධව විරෝධය ගොනු කළේය. ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ නායකයකු වන අතාවුල්ලා මහතාගේ විරෝධය කැපී පෙනුණි. පසුගියදා පැවති ආණ්ඩුවේ පක්ෂනායක හමුවේදීද මෙම ගැටලුව සාකච්ඡාවට බඳුන් විය. පක්ෂනායක හමුව උණුසුම් වීමටද මෙම කරුණ බලපෑවේය. ඒ අතර දෙමළ සන්ධානය ඇතුළු බොහෝ පාර්ශ්ව මෙම කාර්ය සාධන බලකායේ දමිළ නියෝජනයක් නොවීම සම්බන්ධව ප්‍රශ්න කර සිටියේය. කෙසේ වෙතත් ඒ සඳහා ඉඩකඩ වෙන්කොට තමා පළමු පත්වීම සිදුකළ බව ආණ්ඩුව පැවසීය. සමගි ජනබලවේගය තුළින්ද එහි හවුල්කාර මුස්ලිම් දේශපාලන පක්ෂ තුළින්ද සැලකිය යුතු තරමේ විරෝධයක් එල්ල විය.
ජනපති සහ අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා අතර පසුගියදා පැවති සාකච්ඡාවකින් අනතුරුව සංශෝධිත ගැසට් පත්‍රය නිකුත් කර ඇති බව වාර්තා වෙයි. මේ තාක් ඥානසාර හිමියන් ගේ සභාපති ධූරයේ වෙනසක් සිදු කිරීමට ආණ්ඩුවේ අපේක්ෂාවක් නොමැති බව පෙනී යයි. කෙසේ වෙතත් ජාතික සංවිධාන ලෙස පෙනී සිටි ආණ්ඩුවට සහයෝගය ලබාදුන් පාර්ශව කිහිපයක්ද ඥානසාර හිමියන්ගේ පත් පත්වීම අභියෝගයට ලක් කරමින් සිටියි. ඒ අනුව අවසානයේ කිව යුත්තේ එක රටක් එක නීතියක් සඳහා වූ ජනාධිපති කාර්ය සාධන බලකාය සම්බන්ධව පවා රට තුළ එක මතයක් නොවීම කණගාටුවට කරුණක් බවයි.
භික්ෂූන් වහන්සේ නමක් ලෙස මා තරම් නිර්දය ලෙස විවේචනයට බඳුන් වූ භික්ෂුවක් නොමැති තරම්. වෙලාවකට මේක නෝර්වේ කුමන්ත්‍රණයක් කිව්වා. ඒ කාලෙ අපි මේ කතාකරන කාරණාවලට විසඳුම් හොයන්න මහන්සි වෙනවා වෙනුවට අපි කතාකරන හැඩය ගැන වචන ගැන වගේ අනවශ්‍ය දේවල් වල එල්ලුණා මිසක් මේ කියන පණිවිඩය තේරුම් ගත්තෙ නෑ සමහර අය. ඉතින් මේ රටේ ගොඩක් විෂයන් සම්බන්ධයෙන් ජනාධිපති කාර්ය සාධක බලකායන් එකක් දෙකක් නොව සමහර විෂයන් සම්බන්ධයෙන් දෙක තුනක් පිහිටවල තියනවා. කවුරුත් ඒ පිළිබඳ කතාකරන්නෙ නෑ. හැම කෙනාගෙම ප්‍රශ්නය තමයි ඥානසාර හාමුදුරුවෝ සභාපති කිරීම. අපි මුස්ලිම් ජනතාවට එරෙහිව වැඩපිළිවෙළක් ගෙන ගියා කියන එක ඇත්ත නෙවෙයි.
අපි මුස්ලිම් ජනතාවගේ අවධානය දිනාගන්න යම් යම් දේවල් භාවිත කළා. එහෙම කිව්වොත් තමා හරි. මම දැක්කා ඕකට හොඳ උත්තරයක් ලියලා තියනවා. සමාජ සම්මතයේ හැටියට, අපිත් එක්ක වැඩකරන අය නෙවෙයි වාමවාදී බලවේග, ජනතා විමුක්ති පෙරමුණ වෙන්න පුළුවන් ඔය කියන වෙනත් දේශපාලන බලවේගවලට හරිම හිතේ අමාරුව තියෙන්නෙ. මේ ආණ්ඩුව කරන්න ආපු සියල්ලට, මේ ඔක්කොටම වගකියන්න ඕන අපි තමයි. ඒ ආණ්ඩුව කාලෙත් එහෙම තමයි. මාස හය හතකින් ආණ්ඩුව පිරිහෙනකොට ඒ වෙනුවෙන් කඩේ ගියපු අයට මුහුණදෙන්න බැරි තත්ත්වයක් උදාවුණා. අදත් ඒක ඒ විදිහටම වලංගුයි. මොකද මම පක්ෂ දේශපාලනයට අයිති කෙනෙක් නෙවෙයි. නමුත් අපි මතවාදයක් වෙනුවෙන් පෙනී සිටිනවා. ගෝඨාභය වගේ කෙනෙක් රටේ ජනාධිපති කරන්න ඕන කියල ජනතාව තීරණය කළ පළවෙනි දේ ජාතික ආරක්ෂාව, ඉස්ලාම් අන්තවාදයට වැට බැඳීම, අවශ්‍ය නීති රීති අණ පනත් සකස් කරගන්න වගේ කාරණා. නමුත් දැන් අවාසනාවට ගුරු ප්‍රශ්න, නැව් ප්‍රශ්න, රසායනික ප්‍රශ්න, තෙල් ප්‍රශ්න ඉවරයක් නැති ප්‍රශ්න කෝටියක්. ඒ ප්‍රශ්න මැද්දේ අර අපි කතාකරපු ප්‍රධාන මාතෘකාව වන එක රටක් එක නීතියක් ගැන කතාකිරීම අසාධාරණ නැහැනෙ. කවුරුත් ඒ ගැන ප්‍රහාර එල්ල කළයුතු නැහැ මොකද මේකෙන් ලැබෙන යහපත හැමෝටමයි.
මට ඇත්තටම හතුරො වැඩියි. මොකද මම ඇත්ත කතාකරනවා. මම දැක්ක ලස්සන කතාවක් තියෙනවා පන්තියේ නරකම ළමයට ශිෂ්‍ය නායකකම දුන්නම ඌ පන්තියත් හදල ඌත් හැදෙනවා කියල. අවලාද නගන අයට කියන්න තියෙන්නෙ අපි එහෙමවත් හිතල බලමු. හාරමාසෙකට පස්සෙ රිසල්ට් එක බලලා කියන්න කරපු වැඩේ හොඳයිද නරකයිද කියල. නිකන් පිස්සො වගේ දඟලන්නෙ නැතුව ඉන්න කියල තමයි කියන්න තියෙන්නෙ. අපිට ගැසට් එකේ කාරණා දෙකයි කියල තියෙන්නෙ. එක රටක් එක නීතියක් සම්බන්ධයෙන් කෙටුම්පතක් සකස් කරන්න. මොකද අපි නෙවෙයිනෙ නීති හදන්නෙ. අපිට මෙන්න මෙහෙමයි විය යුත්තේ කියල මෙතුවක් කල් කතාකරපු කරුණු ටික ගොනු කරලා සකස් කරන්න තියෙන්නෙ. අපි ප්‍රශ්නෙ හොඳටම දන්නවා. මේකට සුදුසුයි කියල හිතනවා මොකද හැම ක්ෂේත්‍රයකම පන්නරය ලැබුවනේ. හිරේ ගියා. හිරේ තත්ත්වෙත් දන්නවා, උසාවිවලට ගියා. උසාවිවල තත්ත්වෙත් දන්නවා, නීතීඥ මහත්තුරු සහ මේ නීතියේ තියන හිඩැස් නඩු අවනඩු වෙන හැටි, මේ සියල්ල ගැන ප්‍රත්‍යක්ෂ අවබෝධයක් මට තිබෙනවා. අපිට අවශ්‍ය එක රට දියුණු ජාතික් විදිහට තම තමන්ගේ සිරිත් විරිත් සංස්කෘතික අංග මේවා ආරක්ෂා කරගෙන එකිනෙකාට ගරු කරමින් ජීවත් වෙන්න පුළුවන් රටක්. මම අපිනම් ඒකට බාධකරල තියෙන්නෙ අපිට ඒ වගකීම දුන්නහම අපි ප්‍රශ්නෙ දන්න නිසා උත්තරේ හරියට ලියන්න පුළුවන්. ප්‍රශ්නෙ අඳුරගත්තොත් තමයි උත්තරේ හරියට ලියන්න පුළුවන්. මේ බලය ලබාගන්නවා, බලය ලබාගත්තට පස්සෙ ඒ අවුරුදු පහේ සැලසුම් සහගතව ප්‍රශ්න තියනව නම් ඇතුලෙ සාකච්ඡා කරලා ගහගෙන මොනවා හරි කරල අදාළ කරුණු ටික සඵල කරනවා වෙනුවට මේ යක්කු දඟලන්නෙ ඊළඟ අවුරුදු පහේ බලය අරගන්න වැඩේ කරන්නෙ කියලා. හැමදාම ඔය ප්‍රශ්නනෙ යටගියේ ඔය විදිහටනෙ. මේක දේශපාලන පත්වීමක් ලෙස සලකන්න එපා මොකද මේ රටේ ජාතිකවාදී බලවේග දිනාගත්තු සුවිශාල ජයග්‍රහණයක් මේක.
(BBC සිංහල සේවයේ සංවාදයක් ඇසුරිනි)
චමිඳු නිසල් ද සිල්වා