එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ රාජ්‍ය නායක සමුළුව පසුගිය සතියේ ස්කොට්ලන්තයේ ග්ලාස්ගොව්හිදී පැවැත්විණි. කොප් 26 සමුළුව නමින් පැවැත්වුණු එම සමුළුවේදී 2040 වනවිට ගල් අඟුරු භාවිතයෙන් සම්පූර්ණයෙන්ම ඉවත් වීමට රටවල් 40කට වැඩි ප්‍රමාණයක් ප්‍රතිඥා දී තිබේ. දේශගුණික විපර්යාස සඳහා විශාලතම බලපෑමක් සිදුවන්නේ ගල් අඟුරු මගිනි. එය ගෝලීය උෂ්ණත්වය වර්ධනය කරන කාබන්ඩයොක්සයිඩ් විමෝචනය අධිකම ප්‍රභවයක් වන අතර ඒවා භාවිතයෙන් ඉවත්වීමට අවශ්‍ය පියවර ගැනීම කොප් 26 සමුළුවේ ප්‍රධානතම අරමුණ විය.
කොප් 26 සමුළුවේ පස්වන දිනයේදී බලශක්තිය කෙරෙහි අවධානය යොමු කිරීමේ වැඩසටහනේ එක් අංගයක් ලෙස මෙම තීරණයට එළඹ තිබේ. තින්ක් ටෑන්ක් සංවිධානයේ සමාජ අධ්‍යක්ෂ ක්‍රිස් ලිට්ල්කොට් ප්‍රකාශ කළේ: “ගල් අඟුරු පිළිබඳ මෙම කැපවීම නිසැකවම විශාල ඉදිරි පියවරක් වන අතර මින් වසරකට හෝ දෙකකට පෙර එවැන්නක් සිතාගැනීමටවත් නොහැකි විය. එය ප්‍රගතියේ සැබෑ ලක්ෂණයකි.” යනුවෙනි.
පෝලන්තය, යුක්‍රේනය, ඉන්දුනීසියාව, වියට්නාමය, දකුණු කොරියාව සහ චිලී ඇතුළු විශාල වශයෙන් ගල් අඟුරු භාවිත කරන රටවල් මේ ප්‍රතිඥාව ලබා දුන් රටවල් අතරින් ප්‍රධානය. ඒ අනුව තම රටවල නව ගල් අඟුරු බලාගාර ඉදිකිරීම සහ බලපත්‍ර නිකුත් කිරීම නතර කිරීමටත්, අවසානයේ ෆොසිල ඉන්ධන භාවිතයෙන් සම්පූර්ණයෙන්ම ඉවත් වීමටත් ඔවුන් පොරොන්දු වී තිබේ. එහෙත් තවමත් ගල් අඟුරු භාවිතයෙන් සමස්ත විදුලියෙන් පහෙන් එකක් පමණ නිපදවන එක්සත් ජනපදය ප්‍රතිඥාවට අත්සන් කර නැත. එමෙන්ම ලොව 11 වැනි විශාලතම ගල් අඟුරු පරිභෝජකයා සහ ප්‍රධානතම අපනයනකරුවා වන ඔස්ට්‍රේලියාව මෙන්ම, ලෝකයේ ගල් අඟුරුවලින් දල වශයෙන් තුනෙන් දෙකක් පමණ දහනය කරන චීනය හා ඉන්දියාවත්, ජපානය, දකුණු කොරියාව ඇතුළු ලෝකයේ විශාලතම ගල් අඟුරු මත යැපෙන රටවල් කිහිපයකුත් මෙම ප්‍රතිඥාවට අත්සන් තබා නොමැත. එක්සත් ජනපදය ස්වදේශීය ගල් අඟුරු භාවිතය නතර කිරීමට එකඟ නොවූ නමුදු ඉන්ධන, ගෑස් සහ ගල් අඟුරු සඳහා විදේශයනට අරමුදල් සැපයීම නතර කිරීමට පොරොන්දු වී තිබේ.
ඔවුන් එක්සත් රාජධානිය, කැනඩාව සහ නවසීලන්තය ඇතුළු තවත් රටවල් 19 ක් සමඟ එක්ව, විදේශීය ෆොසිල ඉන්ධන ව්‍යාපෘති සඳහා මුදල් සැපයීම නතර කරන බවට ප්‍රතිඥා දී තිබේ. අනවසර ෆොසිල ආශ්‍රිත බලශක්ති ව්‍යාපෘති සඳහා ආයෝජනය කිරීම සමාජීය සහ ආර්ථික අවදානම්වලට වැඩි වැඩියෙන් බලපාන අතර රජයේ ආදායම, දේශීය රුකියා, බදු ගෙවන්නන්, උපයෝගිතා අනුපාත ගෙවන්නන් සහ මහජන සෞඛ්‍ය කෙරෙහි ඍණාත්මක බලපෑම් ඇති කරයි.* යනුවෙන් එම රටවල් සඳහන් කර තිබේ.
ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම සෙල්සියස් අංශක 1.5 දක්වා සීමා කිරීමේ අවශ්‍යතාවට අනුකූලව කටයුතු කළ යුතු බවද ඒ සඳහා පිරිසිදු බලශක්ති ප්‍රභවයන් ඇති කිරීම සඳහා ආධාර ලබා දීමටද එක්සත් රාජධානිය ඇතුළු රටවල් සහ මූල්‍ය ආයතන ප්‍රතිඥා දී තිබේ.
ප්‍රතිඥාව අනුව 2022 අවසානය වනවිට විදේශ ෆොසිල ඉන්ධන ව්‍යාපෘති සඳහා ලබා දෙන මූල්‍යමය ආයෝජන ක්‍රමානුකූලව අවම කිරීමට හෝ නවතා දැමීමට ධනවත් රටවල් එකඟ වී තිබේ. දේශීය හා ජාත්‍යන්තර වශයෙන් නව ගල් අඟුරු බලශක්ති උත්පාදනය සඳහා වන සියලුම ආයෝජන අවසන් කිරීමට මෙම ගිවිසුමට අත්සන් කළ රටවල් කැපවී සිටිති.
2019 වසරේ චීනය, ඉන්දියාව සහ එක්සත් ජනපදයේ ෆොසිල ඉන්ධන විමෝචනය ලොව සමස්ත විමෝචනයෙන් 49.5 ක් විය. ගෝලීය වශයෙන් ගල් අඟුරු භාවිතය අවම කිරීමේ ප්‍රගතියක් ලබා ඇතත්, තවමත් ලොව විදුලි නිෂ්පාදනයෙන් 37෴ ක් පමණ නිපදවීම සඳහා යොදා ගැනෙනුයේ ගල් අඟුරුය. දකුණු අප්‍රිකාව, පෝලන්තය සහ ඉන්දියාව වැනි රටවලට එයින් ඉවත් වීමට නම් විශාල වශයෙන් ආයෝජන අවශ්‍ය වනු ඇත. චීනය, ඔස්ට්‍රේලියාව සහ රුසියාව මෙම දශකයේ කාබන් විමෝචනය අවම කිරීම සඳහා නව ඉලක්ක ඉදිරිපත් කිරීමට අපොහොසත් වී සිටියි. පුනර්ජනනීය බලශක්තිය සැලකිය යුතු ලෙස වැඩි කිරීමට ඉන්දියාව මෙම සමුළුවේදී ප්‍රතිඥා දුන් නමුදු, ඉන්දියාවේ විදුලියෙන් වැඩි ප්‍රමාණයක් සැපයෙන්නේ ගල් අඟුරුවලිනි. එහෙයින් ඉදිරි දශකය තුළද ගල් අඟුරු එරට බලශක්තියේ ප්‍රධාන ස්ථානයක් ගනු ඇත. 2030 වනවිට කාබන් විමෝචනය 50 කින් අඩු කරන බව බ්‍රසීලය නිවේදනය කළ නමුදු එම පොරොන්දුව ඉටු නොවනු ඇතැයි යන්න බොහෝ නිරීක්ෂකයන්ගේ මතය වී තිබේ.
2030 වසර වනවිට ධනවත් රාජ්‍යයන්ද, 2040 වන විට දිළිඳු රාජ්‍යයන්ද ගල් අඟුරු භාවිතයෙන් ඉවත් වීමට එකඟ වී ඇතැයි එක්සත් රාජධානිය පවසයි. ප්‍රධාන බැංකු කිහිපයක් ගල් අඟුරු කර්මාන්තයට මුදල් සැපයීම නැවැත්වීමට එකඟ වීමත් සමඟ විවිධ සංවිධාන විශාල සංඛ්‍යාවක් එම ප්‍රතිඥාවට අත්සන් තබා තිබේ. “ගල් අඟුරුවල අවසානය ළඟා වී ඇතැයි.* එක්සත් රාජධානියේ ව්‍යාපාරික හා බලශක්ති ලේකම් ක්වාසි ක්වාර්ටෙන්ග් සඳහන් කර තිබේ. &"ලෝකය නිවැරදි දිශාවට ගමන් කරන අතර ගල් අඟුරු භාවිතය අවසන් කිරීමට සහ පිරිසිදු බලශක්තියෙන් බල ගැන්වෙන අනාගතයක් ගොඩනංවා පාරිසරික හා ආර්ථික ප්‍රතිලාභ වැළඳ ගැනීමට ලෝකය සූදානමින් සිටී." යනුවෙන් ඔහු කියා තිබේ.
එක්සත් රාජධානියේ ඡායාමාත්‍රික ව්‍යාපාරික ලේකම් එඩ් මිලිබෑන්ඩ් පැවසුවේ දේශීය වශයෙන් ගල් අඟුරු භාවිතය අවම කිරීමට කැපවී නොමැති චීනය සහ අනෙකුත් රටවලින් සිදු කෙරෙන අධික විමෝචන ක්‍රියාවලියේ කැපී පෙනෙන හිඩසක් ඇති බවයි. එම රටවල් ගල් අඟුරු භාවිතය අවම කිරීමට හෝ ඉන්ධන හා ගෑස් භාවිතයෙන් ඉවත් වීම සඳහා කිසිදු ක්‍රියාමර්ගයක් ගෙන නොමැති බවද ඔහු සඳහන් කළේය.
කොප් 26 සමුළුවේදී ග්‍රීන්පීස් නියෝජිත කණ්ඩායමේ ප්‍රධානියා වන ජුවාන් පැබ්ලෝ ඔසෝර්නියෝ කියා සිටියේ සමස්තයක් වශයෙන් මෙම තීරණාත්මක දශකය තුළ ෆොසිල ඉන්ධන අවම කිරීමේ අභිලාශය සීමා සහිත බවයි.
එක්සත් ජනපදය ස්වදේශීය ගල් අඟුරු භාවිතය නතර කිරීමට එකඟ නොවී සිටීමට ගත් තීරණය ඇමරිකානු දේශපාලනය විසින් මෙහෙයවන ලද්දක් බව දේශපාලන විචාරකයන්ගේ මතය වී තිබේ.
ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන්හට බටහිර වර්ජිනියාවේ ඩිමොක්‍රටික් සෙනෙට් සභික ජෝ මැන්චින්ගේ සහය අවශ්‍යය. මැන්චින්ගේ ප්‍රාන්තය ගල් අඟුරු සහ ගෑස් නිධිවලින් පොහොසත්ය, මැන්චින්ට ගල් අඟුරු කර්මාන්තය සමඟ මූල්‍ය සබඳතා ඇති අතර ෆොසිල ඉන්ධනවලට හානිදායක ඕනෑම ප්‍රතිපත්තියකට ඔහු තියුණු ලෙස විරුද්ධ වන්නෙකි. ග්ලාස්ගොව්හි පරිපාලන නිලධාරීන් දෙදෙනෙකු සඳහන් කර ඇත්තේ ගල් අඟුරු අවසන් කිරීමේ ප්‍රතිඥාව සම්බන්ධයෙන් එක්සත් ජනපදය හා බ්‍රිතාන්‍ය රජය අතර සාකච්ඡා පසුගිය බදාදා රාත්‍රිය දක්වා විහිදුණු බවත්, කාබන් ඩයොක්සයිඩ් ග්‍රහණය කර ගබඩා කිරීමේ තාක්‍ෂණය සහිත ගල් අඟුරු බලාගාර පවත්වාගෙන යෑම සඳහා අනුමැතිය ලබා දිය යුතු බවට එක්සත් ජනපදය තර්ක කරන බවත්ය. (මේ දක්වා එක්සත් ජනපදයේ ඉදිකර ඇත්තේ එවැනි එක් කම්හලක් පමණක් වන අතර එයද 2021 සිට අක්‍රිය තත්ත්වයක පවතී.)
කෙසේ වුවද, අවසානයේදී, එක්සත් ජනපද නිලධාරීන් තීරණය කළේ, මෙම ප්‍රතිඥාව අත්සන් කිරීම මගින් මැන්චින් මහතා කෝපයට පත් කළ හැකි බැවින් එයට අත්සන් නොකර සිටින්නටය. ධවල මන්දිර ජාතික ආරක්ෂක කවුන්සිලය බ්‍රහස්පතින්දා අග ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ ගල් අඟුරු ප්‍රතිඥාව ෆෙඩරල් රජයේ නීත්‍යානුකූල හා තාක්‍ෂණික සමාලෝචනයට ලක්කර ඇති බවටය.
එක්සත් ජනපදයේ ගල් අඟුරු භාවිතය 2007 දී උච්චතම අවස්ථාවට පත් වූ අතර මිල අඩු ස්වභාවික වායු, සුළං සහ සූර්ය බලශක්තිය යොදා ගනිමින් ක්‍රමයෙන් ගල් අඟුරු භාවිතය අවම කිරීමට ඔවුහු පියවර ගනිමින් සිටිති.
ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා