2021 නොවැම්බර් 13 වන සෙනසුරාදා

අනුන්ගේ ගෑස් නැතිව අපේම ගෑස්

 2021 නොවැම්බර් 13 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 113

පසුගිය ඔක්තෝබර් මාසයේදී ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අධිකාරිය නමින් නව රාජ්‍ය ආයතනයක් නිර්මාණය කිරීමට වත්මන් ආණ්ඩුව කටයුතු කළේය. ඔක්තෝබර් අට වැනිදා සිට ක්‍රියාත්මක 2021/21 දරන නව ඛනිජ තෙල් සංවර්ධන පනත යටතේ මෙම ආයතනය ස්ථාපිත විය. ශ්‍රී ලංකාවට අයත් ඛනිජ තෙල් සහ ස්වභාවික ගෑස් සම්පත ගවේෂණ, සංවර්ධන සහ නිෂ්පාදන සම්බන්ධ නියාමන කටයුතු මෙම ආයතනය පැවරී තිබේ. තවදුරටත් පැහැදිලි කළහොත් ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අධිකාරිය යනු ස්වාධීන නියාමන අධිකාරියකි. මෙම ආයතනය පිළිබඳ මෙන්ම එහි කාර්යභාරය පිළිබඳ විමසා බැලීමට අපි උත්සුක වීමු. අපි ඒ සඳහා ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂිකා ප්‍රීනි විතානගේ මහත්මිය සම්බන්ධ කර ගත්තෙමු.

ශ්‍රී ලංකාවේ තෙල් නිධි මෙන්ම ස්වාභාවිකව ගෑස් නිධිද ඇතැයි අප අසා ඇත්තේ අදක ඊයෙක නොවේ. ඒ හා සම්බන්ධ කැණීම් කලක් තිස්සේ සිදුවූ බව අපි දනිමු. විදේශීය ආයෝජකයන් විසින් ආදාළ ගවේෂණ සිදුකරනු ලැබුවේය. එම ආයෝජකයන් සම්බන්ධ රාජ්‍ය නියාමන කටයුතු මෙතෙක් සිදුකරනු ලැබුවේ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන ලේකම් කාර්යාලය නම් ආයතනයක් විසිනි. එහෙත් එය ව්‍යවස්ථාපිත ආයතනයක් නොවුණි. එම නිසාම විෂයානුබද්ධ කටයුතුවලදී බාධා රුසක් විය. ඛනිජ තෙල් සම්පත් සංවර්ධන ලේකම් කාර්යාලය, ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අධිකාරිය බවට පත් කිරීමට කටයුතු සකස් වන්නේ මෙවන් පසුබිමකය.

ස්වාභාවික ගෑස් සහ ඛනිජ තෙල් පිළිබඳ ගවේෂණ කටයුතු දැනට සිදුවන්නේ ශ්‍රී ලංකාව වටා ඇති මුහුදු තීරයේය. ඒ අනුව මෙරට කුඩා ගවේෂණ බිම් කොටස් 871ක් හා විශාල ගවේෂණ බිම් කොටස් 3ක් පවතියි. දැනටමත් විශාල ගවේෂණ බිම් කොටස් දෙකක් වෙනුවෙන් ආයෝජකයකු පැමිණ ඇත. එම ආයෝජකයා සමඟ අදාළ ගිවිසුම් සඳහා එළඹීමට අවශ්‍ය එකඟතාවන් ඇතිකර ගැනීමට ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අධිකාරිය මේ වනවිටත් කටයුතු කරමින් සිටියි. එසේම ඉදිරි වසරේදී ඉතිරි සියලුම බිම් කොටස් වෙළඳපොළ වෙත යොමු කිරීමට සැලසුම්ද ඔවුන් සකසා ඇත. එම බිම් කොටස් වෙත ආයෝජයන් ආකර්ෂණය කර ගැනීමට අවශ්‍ය යාන්ත්‍රණය ඔවුන් සකසා ඇති බව කියැවේ. එසේම ඉදිරි කටයුතු සඳහා අවශ්‍ය නියාමන ප්‍රතිපත්තීන් ද ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අධිකාරිය විසින් සකස් කරනු ලබයි.

ශ්‍රී ලංකාවේ ඛනිජ තෙල් ගවේෂණ ආරම්භ වී ඇත්තේ 1964 දීය. 1984 වනවිට මෙරට ළිං කැනීම් හතක් සිදුකොට තිබුණි. පේසාලේ ස්වාභාවික ගෑස් ඇති බව හෙළිදරව් වන්නේද මෙම කැනීම්වල ප්‍රතිඵලයක් ලෙසය. එහෙත් එම වකවානුවේ පැවති තාක්ෂණික ගැටලු හා යුද්ධයේ ආරම්භය සමඟ වසර තිහක් පුරා කිසිදු ගවේෂණ කටයුත්තක් සිදුනොවුණි. 2001 වසරේදී ශ්‍රී ලංකා රජය තවත් ආයතනක් සම්බන්ධ කර ගනිමින් මන්නාරම් ද්‍රෝණියේ තෙල් කැණීම් පිළිබඳ යම් දත්ත ප්‍රමාණයක් රුස් කළේය. මෙම දත්ත ඉතා දිරිගන්වන සුළු වූ අතර ස්වාභාවික ගෑස් සහ ඛනිජ තෙල් පැවතීම පිළිබඳ තහවුරු කරන පාෂාණ හමුවී තිබුණි. නමුත් අදාළ පාෂාණ තිබූ පමණින්ම තෙල් සහ ගෑස් ඇති බව තහවුරු නොකළ අතර ඒ සඳහා ළිං කැනීම් සිදුකළ යුතුම වේ.

2008 වසරේදී ඉන්දියානු කයිම් ඉන්දියා (Cairn India) සමාගමත් සමඟ ශ්‍රී ලංකාව ගිවිසුම් ගතවන්නේ අදාළ කැණීම් වෙනුවෙනි. 2011දී ස්වභාවික ගෑස් නිධි දෙකක් නිශ්චිතව සොයා ගැනීමට ශ්‍රී ලංකාව සමත් වන්නේ ඒ අනුවය. ඉන්දියානු සමාගම මෙම කැණීම් වෙනුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 240 ක් ඒ වනවිටත් වැයකොට තිබුණි. අනතුරුව මෙම ගෑස් නිධිය ගොඩ ගැනීමට වසරක පමණ කලයක් ශ්‍රී ලංකා රජය සමඟ මෙම ඉන්දියානු සමාගම සාකච්ඡා කළේය. ගෑස් නිධිය සොයා ගැනීමට ඇමරිකානු ඩොලර් මිලියන 240ක් වැය වුවද එහි පැතිරීම පිළිබඳ ඉතිරි කැණීම් සිදුකිරීමේ සිට තවත් ඇමරිකානු ඩොලර් මිලියන 100ක් පමණ වැයවේ. අවසාන අවශයෙන් ගෑස් නිධිය ගොඩ ගැනීමට දළ වශයෙන් තවත් ඇමරිකානු ඩොලර් බිලියනයක් පමණ වැයවෙයි. සැබවින්ම මෙය දැවැන්ත ආයෝජනයකි.

මෙහිදී වැදගත් වන ප්‍රධාන කරුණු තුනකි. පළමුවැන්න ගෑස් සම්බන්ධ රජයේ ප්‍රතිපත්තියයි. දෙවැන්න තාක්ෂණයයි. තෙවැන්න ලෝක වෙළෙඳ පොළයි. අදාළ සාකච්ඡා සිදුවූ 2013 වසර වනවිට මෙරට ගෑස් සම්බන්ධ ප්‍රතිපත්තියක් නොවුණි. එසේම 2013 -2016 අතර කාලයේදී ලෝක වෙළඳපොළ තත්ත්වය යහපත් නොවුණි. වියදම අධික වීම හේතුවෙන් ඩොලර් මිලියන 240ක් වියදම් කළ ඉන්දියානු සමාගම අවසානයේ මෙරටින් පිටව යෑමට තීරණය කළේය. කෙසේ වෙතත් මෙම ඛනිජ සම්පත් සම්බන්ධ අප අවබෝධ කොට ගතයුතු යථාර්ථය නම් රටක් ලෙස අපට මෙම ගවේෂණ කිරීමට පවා වත්කම් නොමැති බවයි.

ආයෝජකයන් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට නම් යම් යාන්ත්‍රණයක් තිබිය යුතුමය. රාජ්‍ය ප්‍රතිපත්තියක්ම සේම ආයතනික ව්‍යූහයක්ද අවශ්‍යය. ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අධිකාරිය නමින් ආයතනයක් නිර්මාණය කිරීමේ අවශ්‍යතාව මතුවන්නේ එවිටය. පෙරදී මෙම සියලු කටයුතු සිදුකරනු ලැබුවේ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන ලේකම් කාර්යාලයයි. 2020 වනවිට ඔවුන් ගෑස් සම්බන්ධ රාජ්‍ය ප්‍රතිපත්තියක්ද නිර්මාණය කළේ ආයෝජනයන් ආකර්ෂණය කර ගැනීමේ අරමුණිනි. එසේම දිගින් දිගටම ආයෝජකයන් ආයතන ව්‍යූහය සම්බන්ධවද ප්‍රශ්න කර සිටියේය. බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා මැදිහත් වී මෙම ආයතනය ස්ථාපිත කිරීමට කටයුතු කරන්නේද එබැවිනි. ඒ අනුව මෙරට ඛනිජ තෙල් සහ ස්වභාවික ගෑස් සම්බන්ධ අන් කවරදාටත් වඩා බලාපොරොත්තු සහගත තත්ත්වයක් නිර්මාණය වී තිබේ.

ඛනිජ තෙල් සංවර්ධන අධිකාරිය මේ දිනවල ප්‍රමුඛතාව ලබා දී ඇත්තේ දත්ත රුස්කිරීමටයි. මෙරට ඛනිජ සම්පත පිහිටා ඇත්තේ මුහුදු පත්ලේ සිට කිලෝමීටර් දෙකක් පමණ ගැඹුරේය. එම නිසාම ආයෝජකයන් වානිජමය අවදාමකට මුහුණ දීම වළකා ගැනීමට දත්ත ඉතා වැදගත් සාධකයයි. එම නිසාවෙන් තවත් ආයතන කිහිපයක් සමඟ එක්ව දත්ත ගවේෂණ සිදුකරයි. එම දත්තවලින්ද ශ්‍රී ලංකාවට ලාභ ලැබීමට අවකාශ උදාවී තිබේ. මෙම දත්ත හේතුවෙන්ම ආයෝජකයන් ගවේෂණ සඳහා ඇති කැමැත්ත මේ වනවිටත් ප්‍රකාශ කොට තිබේ. එය සාධනීය තත්ත්වයකි. නියාමන ප්‍රතිපත්තිය සකසා අවසන් වීමත් සමඟ විශාල වෙළඳපොළ ආකර්ෂණයක් අපට බලාපොරොත්තු විය හැකිය. අදාළ කැනීම්වල සාර්ථකත්වය වීම කවදා සිදුවුණද ආයෝජකයන් අපට ගෙවීම් සිදුකළ යුතුවේ. එසේ හෙයින් මෙය සුභවාදී ප්‍රවේශයකි.

සංවාද ඇසුරෙන් සටහන:

චමිඳු නිසල් ද සිල්වා