රජය පසුගියදා ගත් තීරණයක් පරිදි ආනයනික සහල් සඳහා පනවා තිබූ විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද කිලෝවකට ශත 25 දක්වා පහළ හෙලා තිබේ. මුලින් බලපැවැත්වූ කිලෝවකට රුපියල් 65ක් වූ බද්ද මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂගේ අත්සනින් යුතුව නිකුත් කළ ගැසට් නිවේදනය අනුව රුපියල් 64.75කින් අඩුකර තිබේ. එසේම රජය ගත් තවත් තීරණයක් වූයේ මෙයට පෙර ලක් ස.තො.ස.ට සහ පෞද්ගලික ව්‍යාපාරිකයන් කිහිප දෙනකුට පමණක් සීමා වී තිබූ හාල් ආනයනයට ඕනෑම අයෙකුට අවසර හිමිකර දීමය. මෙයට පෙර සහල් ආනයනයට රජයෙන් බලපත්‍රයක් ලබාගත යුතුව තිබුණු අතර දැන් එවැනි සීමා කිරීමක් නැත.
රජය විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්දෙන් හිමිවන මිලියන ගණනක බදු මුදල අහිමිකරගෙන බදු නිදහසක් දීමේ පරමාර්ථය වූයේ ජනතාවගේ ප්‍රධාන ආහාරය සාධාරණ මිලට ලබාදීමේ මූලික මිනිස් අයිතිවාසිකම සාක්ෂාත් කිරීමය. එසේ වුවද ජනතාවට එම සහනය ඒ ලෙසටම ලැබේද යන්න පිළිබඳ සාධාරණ සැකයක් ඇතිවන්නේ නුදුරු අතීතයේ සිදුවූ සිද්ධි පිළිබඳ ප්‍රත්‍යවේක්ෂා කරන විටය. පසුගිය දිනවල සීනිවලට පනවා තිබූ කිලෝවකට රුපියල් 50ක් වූ විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ශත 25ට බැස්සුවේ පාරිභෝගිකයාට අඩු මිලට සීනි ලබාදීමේ අපේක්ෂාවෙනි. එහෙත් සිදුවූයේ කූට ව්‍යාපාරිකයන් ශත 25 බද්දට විශාල ලෙස සීනි ආනයනය කර ගබඩාකර තබාගෙන සීමිත සීනි තොග වෙළෙඳපොළට නිකුත්කර ඉහළ මිල මට්ටම එසේම පවත්වාගෙන යාමය. ශ්‍රී ලංකාවේ මෙතෙක් සිදුවූ බිලියන 4ක් පමණ වන මෙම සීනි බදු වංචාව නිසා විශාල ධනස්කන්ධයක් උපයා ගැනීමට අතලොස්සක් වූ ව්‍යාපාරිකයෝ වාසනාව ලැබූහ.
එම අත්දැකීමෙන් පාඩමක් ඉගෙන ගෙන ඇති ජනතාව මෙම සහල් බදු අඩුකිරීමෙන්ද සිදුවන්නේ එම ප්‍රතිඵලම බවට උපකල්පනය කිරීම සාධාරණය.
රජය සහල්වලට පනවා තිබූ පාලන මිල ඉවත්කර ව්‍යාපාරිකයන්ට මිල තීරණය කිරීමට පසුගියදා අවස්ථාව සලසා දුන්නේ සහල් හිඟය අවමකර මිල පහළ යාවි යැයි යන බලාපොරොත්තුවෙනි. ව්‍යාපාරිකයන් රජය සමඟ තිබූ එකඟතාව බිඳ දමමින් විශාල ලාභයක් තබාගෙන හාල් විකිණීමට කටයුතු කිරීම නිසා රටේ සහල් මිල තිබුණාටත් වඩා ඉහළ ගියේය. කෙටි කාලයක් තුළ දෙවරක් මිල ඉහළ දැමීමට ක_ර මෝල් හිමියෝ කටයුතු කළහ. අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය පිළිබඳ කොමසාරිස් ජනරාල්වරයකුද පත්කර ගබඩා වටලා එම සහල් ජනතාවට නිකුත් කිරීමට ගත් පියවරද අසාර්ථක විය. එතැනදී සිදුවූයේ හාල් ගෝනි 100-200 තබා සිටි ගබඩා වැටලිම මිස දස දහස් ගණන් ගබඩා කර තිබූ මහ මුදලාලිලා අහලකින්වත් නොයාමය.
මේ සියල්ල අසාර්ථක වූ පසු මෙවර රජය සිදුකළේ විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ශත 25ට බැස්සවීමය. එහෙත් එයින් ප්‍රයෝජනයක් ලැබේද යන්න පැවසීමට තවම කල්වේලා වැඩි අතර තව සති දෙක තුනකින් ඔවුන් ආනයනය කළ සහල් වෙළෙඳපොළට ලැබෙන තුරු බලා සිටීමට සිදුව ඇත.
මේ අතර පසුගිය 9දා කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර සිටියේ මෙරට සහලින් ස්වයංපෝෂිත වී ඇති අතර ආහාර සුරක්ෂිතතාව පිළිබඳ කිසිවකු බියක් ඇතිකර ගත යුතු නොවන බවය.
ඉදිරි කන්නය සඳහා වගාකළ යුතු හෙක්ටයාර අට ලක්ෂයෙන් මේ වනවිට පන්ලක්ෂ විසිපන්දහසක් වගාකර තිබෙනවා. ඒ නිසා කිසිවෙකුත් ඉදිරියේදී සහල් හිඟයක් ඇතිවේ යැයි බිය විය යුතු නැති බව මම වගකීමෙන් ප්‍රකාශ කරනවා.*
ඒ කතාව එසේනම් සහල් ආනයනය කිරීමට පහසුකම් වැඩිකර ඇත්තේ ඇයිද යන්න ජනතාවට ඇමැතිවරයාගෙන් ඇසිය යුතුව තිබේ.
අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය අපනයනකරුවන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක නිහාල් සෙනෙවිරත්න:
සහල් ආනයනයේදී ඩොලර් හිඟකමේ ගැටලුව බලපානවා. ඇනවුම් කළ සහල් ගෙනාවාට පසු ඒවා නිදහස් කර ගැනීමට නොහැකිව වරායේ කන්ටේනර්වල තබා ගැනීමට සිදුවෙනවා. දැනටමත් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය කන්ටේනර් රුසක් වරායේ තියෙනවා. සහල් ආනයනය කළත් ඒවාටද අත්වෙන්නේ එම ඉරණම තමයි. කොහොම හරි අමාරුවෙන් ණයවර ලිපි බැංකුවලින් නිකුත් කළත් අපට අවශ්‍ය වූ විට ඩොලර් මුදාහරින්නේ නැහැ. දැනටමත් සහල් මෙට්‍රික් ටොන් 15,000ක් පමණ තොග වෙළෙඳුන් ඇණවුම් කර තිබෙනවා. තව සතියකින් දෙකකින් මේ කන්ටේනර් වරායට පැමිණේවි. එහෙම ආවත් එතැනින් එහාට වැඩ සිදුවන්නේ නැතිනම් අපේක්ෂාව ඉටුවන්නේ නැහැ. සහල් ඉක්මනින් වෙළෙඳපොළට ආවොත් පමණයි මිල අඩුවෙන්නේ. ඒ නිසා මේවා වරායෙන් මුදාගැනීම පිළිබඳ වැඩපිළිවෙළක් මේ සතියේදීවත් රජය ඇතිකර ගත යුතු වෙනවා.
බලධාරීන් වෙළෙන්දන්ට දොස් කීවාට වැඩක් වෙන්නේ නැහැ. ආනයනකරුවන්ගේ ගැටලු ගැන කවුරුවත් බලන්නේ නැහැ. ඉක්මනින් මුදා නොගත්තොත් ප්‍රමාද ගාස්තු ගෙවන්න වෙනවා. නැව් ගාස්තු, වරාය ගුදම් ගාස්තු සහ කන්ටේනර් ගුදම් ගාස්තු ඉහළ ගිහින්. ඒවාට තව ප්‍රමාද ගාස්තුද එකතු වුවහොත් පිරිවැය තවත් වැඩිවෙනවා. මෙහිදී මිල වැඩි කරනවා යැයි වෙළෙන්දන් වැරදිකරුවන් කරන එක වැරදියි.
බදු අඩුකිරීම නිසා අපේ සංවිධානයේ සාමාජිකයන් හැර වෙනත් ව්‍යාපාරිකයන්ද සහල් ආනයනය ගැන උනන්දුවක් දක්වනවා. ඒ අයද ආනයනයට එනවා. ඉතින් මෙලෙස ආනයනය කරන අයටද සාධාරණය ඉටුකළ යුතු අතර, ගෙන එන සහල් වෙළෙඳපොළට බෙදාහැරීමට රජය වැඩපිළිවෙළක් ඇතිකළ යුතුයි. එසේ නොකර ගබඩාකර තබාගන්න ගියහොත් බලාපොරොත්තු වන ප්‍රතිලාභ අත්වෙන්නේ නැහැ. ඉන්දියාවේ පසුගිය දිනවල පැවැති දීපවාලි උත්සවය නිසා වැඩ නැවතී සිට පසුගිය සඳුදායි යළි ආරම්භ වූයේ. දැන් සහල් ආනයන කටයුතු ආරම්භ වෙනවා. මොනවා කරන්නත් බඩු රටට එන්න ඕනෑ. එතෙක් සිදුවන්නේ කුමක්ද කියල කියන්න බැහැ.
මහ කනදරාවැව ඒකාබද්ධ ගොවි සංවිධානයේ සභාපති ආර්.එම්.ආර්. රාජපක්ෂ:
රජය ආනයන බදු අහෝසිකර, විවෘතව ආනයනය කිරීමට ව්‍යාපාරිකයන්ට අවසරදීම ගොවියා සහ පාරිභෝගිකයා යන දෙපාර්ශ්වයටම අහිතකර බව කිවයුතු වෙනවා. රජය මෙයට පෙර ගත් අමනෝඥ තීරණ වගේම මෙයද අකුලාගන්න සිදුවන දිනය වැඩි ඈතක නොවෙයි. එහෙම අවලංගු නොකළොතින් ගොවියාට විශාල ගැටලුවකට මුහුණපාන්නට වෙනවා. පාරිභෝගිකයාටද ඉහළ මිලට ගන්නයි වෙන්නේ. මේ වනවිට ආණ්ඩුව, ගොවියා තලලා ඉවරයි. ඉතිරි වෙච්ච ටිකත් අවසන් කරන්නයි මෙයින් කටයුතු සිදුවෙන්නේ. කූට ව්‍යාපාරිකයන්ට විශාල ලාභයක් උපයන්න මෙයින් හැකිවෙනවා. සීනි ගෙනාවා වගේ බදු නැතුව සහල් ගෙනත් දැනට පවතින මිලට ආසන්න මිලකට අලෙවි කරලා ජනතාව ගසා කන්නට අවස්ථාව ලැබී තිබෙනවා. ගොවියාටද තම වී නිෂ්පාදන විකුණා ගන්න බැරිවෙනවා. මුදලාලිලා පිටරටින් ගෙනෙන සහල් විශාල ලෙස මිලට ගෙන ගබඩා කර තබාගෙන ඒ අයගේ මිලට අලෙවි කරාවි. එසේම පිටරටින් සහල් ගෙනෙන බව ප්‍රකාශ වී ඇති නිසා ගොවියාගේ වී වල මිල බහිනවා. මහ මෝල්කරුවන් ගොවියාගෙන් වී මිලට නොගෙන ආනයන සහල් මිලට ගෙන දේශීය සහල් සමග කළවම් කරලා අධික ලාභ ලබා ගනීවි. මෙයට පෙරත් එය සිදුවුණා.
පසුගිය දිනවල මහා මෝල් ගබඩා වටලනවා යැයි ප්‍රදර්ශනය කරමින් සුළු වශයෙන් සහල් තියාගෙන හිටිය ව්‍යාපාරිකයන් ගොවියන්ගේ සහල් පවරාගෙන අලෙවි කළා. මහ මෝල් හිමියන්ට දැනුණේවත් නැහැ. බලධරයන් තීරණ ගන්නේ පහළින් නොවේ ඉහළින්. පෑනෙන් ගොවිතැන් කරන අය සමග තමා සාකච්ඡා කරන්නේ. නියම ගොවියන් සමග නොවෙයි. ඉතින් එලෙස ගන්නා තීරණ අසාර්ථක වෙනවා. මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති වෙලා සිටින සමයේදී අයවැය ලේඛනය තැනීමේදී ගොවින් සමඟ සාකච්ඡා කරනවා. ඒත් මෙවර අයවැයේදී නියම ගොවියා සමග කිසිම අදහස් හුවමාරුවක් කළේ නැහැ.
ගොවියන් බොහෝ දෙනා වර්තමාන ආණ්ඩුව බලයට පත් කිරීමේ කොටස්කරුවන් වුණත් දැන් ඔවුන් සැමදෙනාම අමතක කරලයි වැඩ කරන්නේ. තම පෞද්ගලික ලාභ ප්‍රයෝජනවලට උපදෙස් දෙන අය නිසා ආණ්ඩුව අමාරුවේ වැටෙනවා. පොහොර ප්‍රශ්නය වුණත් මේ විදියට අවුල් වුණේ අවශ්‍ය අය සමඟ සාකච්ඡා නොකර තීරණ ගත් නිසයි. සහල් ආනයනයට වෙන්නෙත් එය තමා.
පාරිභෝගික අයිතීන් සුරුකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ පවසනුයේ සහල් ආනයන බදු අඩුකළා සේම ආනයනික සහල් අලෙවි කළ හැකි උපරිම මිල ගණන් රජය මගින් නිවේදනය කළ යුතු බවය. අනෙකුත් පාරිභෝගික භාණ්ඩවල මෙන්ම සහල්වල මිල තීරණය කිරීමට ආනයකරුවන්ට අවස්ථාව දුනහොත් එයින් සිදුවන්නේ සීනි බදු අයකිරීමේ ප්‍රතිඵලයම බව ඔහු අවධාරණය කරයි. ඒ නිසා පාරිභෝගිකයා සූරාකෑමට තෙවන පාර්ශ්වයකට ඇති නිදහස ඇහිරීම අත්‍යවශ්‍ය බව ඔහු පෙන්වා දෙයි.
සහල් මිල පාලනය කිරීම ඉවත් කළ පසු දැන් සිදුව ඇත්තේ ලක් සතොස හැර සෙසු සියලුම වෙළෙඳුන් හිතූ හිතූ මිලට සහල් අලෙවි කිරීමක්. මෝල් හිමියන් පවා මේ වනවිට දෙවරල් සහල් මිල ඉහළ දමා තිබෙනවා. ඒ විදියට සහල් ආනයනකරුවන් මිල තීරණය කළහොත් පාරිභේගිකයා කබලෙන් ලිපට වැටෙනවා ඇති. ඒ නිසා සහල්වල ගැනුම්කාර රටවල මිල සහ ආනයන වියදම් සලකා බලා සහල් කිලෝවක තොග සහ සිල්ලර මිල රජය මගින් තීරණය කළ යුතු වෙනවා. සහල් ආනයන රෙගුලාසි බුරුල් කිරීමේ පරමාර්ථය පාරිභෝගිකයාට සහන සැලසීම නම් එය ප්‍රායෝගිකව සිදුවීමට පරිසරය ආණ්ඩුව සකස් කළ යුතුයි. එසේ නැතුව සියල්ල කටගාවට එනතුරු බලා සිටිය යුතු නැහැ.
ඒ අනුව සහල් කිලෝවක් මෙරටට ළඟා වනවිට වැයවන මුදල අනුව සීමිත ලාභයක්ද තබාගෙන ආනයනකරු කිලෝව කීයට තොග වශයෙන් අලෙවි කළ යුතුද? එසේම සිල්ලර වෙළෙන්දා කිලෝව කීයට අලෙවි කළ යුතුද යන්න ගැන දත්ත සකස්කර ක්‍රියාත්මක කළයුතු වෙනවා. එහෙම නැතිනම් අතරමැදි පාර්ශ්වය විශාල ලෙස ලාභ ලබනවා ඇති. කොහොම වුණත් අපේ ප්‍රධාන ආහාරය වන සහල් මිල පාලනයට රජය මැදිහත්ව ක්‍රියා කළ යුතු වෙනවා. එහෙම නැතුව විවෘත ආර්ථිකය යැයි පවසා අක්‍රියව සිටිය යුතු නැහැ. එහෙම සිදුවෙන්නේ පාරිභෝගිකයා සූරා ගැනීමට ව්‍යාපාරිකයන්ට අවස්ථාව ලැබීමක්. සැමවිටම අපේ රටේ කරල පැහුණේ පාරිභෝගිකයාගේ නොවෙයි. ව්‍යාපාරිකයාගෙයි. පාරිභෝගිකයා රකින්න කුමන නීති ගෙනාවත් ඒවායින් රුකුණේ ව්‍යාපාරිකයායි. ඒ නිසා සහල් ආනයන බද්ද ශත 25ට අඩුකළා වගේම ඒ ප්‍රතිලාභ පොදු ජනතාවට ලබාදීමට පියවර ගැනීම පාලකයන්ගේ යුතුකමක් බව පැවසිය යුතුයි.*
සමස්ත ලංකා ගොවිජන සේවා සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න:
රජයේ සංඛ්‍යාලේඛන අනුව 2022 වසරේ මැද වනතුරු අපට සහල් තිබිය යුතුයි. ඒ දත්ත සත්‍ය නම් අපට සහල් හිඟවන්න කිසිදු හේතුවක් තියෙන්න විදිහක් නැහැ. අපට වසරකට අවශ්‍ය වන සහල් ප්‍රමාණය මෙට්‍රික් ටොන් ලක්ෂ 37ක්. ලක්ෂ 36ක් ආහාර සඳහා සහ ලක්ෂ 1ක් බිත්තර වී සඳහායි. 2019 වසරේ නිෂ්පාදනය සහල් මෙට්‍රික් ටොන් හතළිස් හත් ලක්ෂ අනූ දෙදහසක්. ඉතිරිය ටොන් ලක්ෂ අනූ දෙදහසක්. 2020 දී නිෂ්පාදනය කරන වී ප්‍රමාණය මෙට්‍රික් ටොන් පනස් ලක්ෂ තිස්අට දාහක්. 2020 වසරේ ඉතිරියද එකතු වූ විට ලක්ෂ 60ක සහල් අතිරික්තයක් තිබිය යුතුයි. එය එසේ නම් මෙලෙස සහල් ආනයනය කරන්නට සිදුවන්නේ ඇයිද? මෙහි කොතැන හෝ වරදක් තිබෙනවා. ඇති පමණටත් වඩා සහල් නිපදවීමේ නම් ඒවාට මොකද වෙන්නේ? මෙය කෘත්‍රිමව ඇතිකළ හිඟයක්. ආණ්ඩුවක් අවශ්‍ය වන්නේ මෙම තත්ත්වය නැතිකර සහල් වෙළෙඳපොළට ලැබීම කළමනාකරණය කිරීමටයි. ඒත් එහෙම නොකර හිඟ වුණාම කිසිවක් බලන්නේ නැතුව පිටරටින් ගේනවා නම් ආණ්ඩුවක් කුමටද? ඕනෑම මුදලාලි කෙනෙකුට එය කළ හැකියි. ආණ්ඩුවේ බලධාරීන් කිසිවක් සොයා නොබලා මෙලෙස එකවරම ආනයනයට මැදිහත් වන්නේ වෙනත් අත යට ප්‍රතිලාභ ලබා ගැනීමට දැයි සැකයක් ඇතිවෙනවා.
පාරිභෝගික සේවා අධිකාරියේ විධායක අධ්‍යක්ෂ සාලිය සරත් කුමාර පවසන්නේ මේ අවස්ථාවේදී රජය බදු ආදායම අහිමිකරගෙන ආනයන බද්ද ශත 25ට අඩුකර ඇත්තේ පාරිභෝගිකයා ගැන සිතා බැලීම නිසා බවයි.
මුලදී රජය සහල් ආනයනය කිරීමට කිලෝ එකකට රුපියල් 65ක බද්දක් අයකළේ දේශීය ගොවියා ආරක්ෂා කිරීමටයි. මේ අධික බදු මුදල නිසා ආනයනය දුර්වලවීමෙන් දේශීය නිෂ්පාදන දිරිගැන්වෙනවා. ගොවියාට හොඳ මිලක් දීලා පාරිභෝගිකයාත් රුකගැනීම තමා අපේක්ෂාව වුණේ. ඒත් බලාපොරොත්තු වූ විදියට පාරිභෝගිකයාට සහනයක් සැලසුනේ නැහැ. අතරමැදියන් ප්‍රයෝජන ගත්තා. දේශීය වෙළෙඳපොළේ සහල් හිඟයක් ඇතිකරලා මිල ඉහළ නැංවූවා.
ඊළඟට රජයට සහල්වලට පනවා තිබූ මිල සීමාව ඉවත් කරන්න සිදුවුණා. එහි ප්‍රතිඵලයක් හැටියට ව්‍යාපාරිකයන්ට සහල් මිල තීරණය කරන්න පුළුවන් වුණා. වී මෝල් හිමියන් තමන්ම තීරණය කළ මිල කිසිදු හේතුවක් නැතිව යළි යළිත් ඉහළ නැංවූවා. මෙම අසීමාන්තික මිල ඉහළ නැංවීමෙන් පාරිභෝගිකයා අසරණ වුණි. එයට ගත් උත්සාහයන් අසාර්ථක වීම නිසා සහල් ආනයනය කිරීමට සිදුවුණා. සීමාවකින් තොරව අවශ්‍ය කෙනෙකුට සහල් ආනයනය කිරීමට දැන් අවස්ථාව උදාවෙලා තියෙනවා. සහල් සැපයුම වැඩිවිම නිසා මිල පහළ යා යුතුයි. අපි පාරිභෝගික සේවා අධිකාරියට මේ පිළිබඳ උනන්දුවෙන් ඉඳලා සිදුවන්නේ කුමක්ද කියලා බලලා අපේ පරමාර්ථ ඉටුකරන්නට පියවර ගන්නවා. සහල්වල වෙළෙඳපොළ මිල පිළිබඳ අප අවදියෙන් සිට යම් වෙළෙන්දෙක් වෙළෙඳාමෙන් අධික ලෙස ලාභ උපයනවා නම් එය පාලනය කිරීමට පියවර ගන්නවා.
යසවර්ධන රුද්රිගු