මුතුරාජවෙලත් හරියට හිත හොඳ ගෑනි වගේය. ප්‍රශ්නවල නිමක් නැත. ඔක්කොම කුණු බේරුවල් බොක්කට කීවා සේ කොළඹට උතුරින් පිහිටි මේ තෙත්බිම අත්පත් කර ගැනීම්, ඉඩම් ගොඩ කිරීම්, කොළඹ කුණු ගෙන ගොස් දැමීම්, වනාන්තර විනාශ කිරීම් ගැන නිතරම අහන්නට ලැබේ. මුතුරාජවෙල ගිල ගැනීමට බලා සිටින බහිරවයන් නිමක් නැත. මේ සෑම එකකටම එරෙහිවීමට නිතර උද්ඝෝෂණය කිරීමට මුතුරාජවෙල මායිමේ මීගමුවට යනකම් ජීවත් වන ජනතාවට මෙන්ම කතෝලික පල්ලිවල පියතුමන්ලාට ද පරිසරවේදීන්ට ද සිදුව ඇත. කොවිඩ් අවදානමත් දරාගෙන මේ දිනවල යළිත් ඔවුන්ගේ උද්ඝෝෂණ පැන නැගී ඇත්තේ පසුගිය ඔක්තෝබර් මස 7 වැනි දින ජනාධිපතිවරයා මුතුරාජවෙල හෙක්ටයාර් 5800ක් නාගරික සංවර්ධන අධිකාරියට පවරමින් ගැසට් නිවේදනයක් නිකුත් කිරීම හේතුවෙනි.
කැලණි නදී මෝයේ සිට මීගමුව කලපුව අතර මුතුරාජවෙල තෙත්බිම් පද්ධතිය පිහිටා තිබේ. කොළඹට කි.මී. 20ක් උතුරෙන් ආරම්භ වී, කි.මී. 30ක් දුර පිහිටි මීගමුව කලපුව දක්වා එය විහිද යයි. මුහුදට සමාන්තරව ඇදී යන මෙම තෙත්බිම බටහිරින් හැමිල්ටන් ඇළට සහ නැගෙනහිරින් පැරණි ඕලන්ද ඇළටත් සීමාවෙන අතර වත්තල සහ ජාඇළ මැතිවරණ කොට්ඨාසවලට අයත්ය.
මේ වන තෙක් මුතුරාජවෙල භූමියෙන් විශාල ප්‍රමාණයක් පැවතුණේ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ අභය භූමියක් ලෙසය. තෙත් බිමේ උතුරු දෙසට වන්නට හෙක්‌ටයාර 1028.62ක භූමි ප්‍රදේශයක් 1996 ඔක්‌තෝබර් 31 වැනි දින අභය භූමියක් ලෙස ප්‍රකාශයට පත් කළ අතර අභය භූමියට ඇතිවිය හැකි බලපෑම අවම කිරීම සඳහා ප්‍රේරණ කලාපයක් ද නම් කෙරිණි. අභය භූමියට නිරන්තරව ප්‍රබල පරිසර හානි සිදුවීම නිසා විශේෂ ගැසට් නිවේදනයක් මගින් ප්‍රේරණ කලාපය, පාරිසරික ආරක්‍ෂණ කලාපයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට ද මධ්‍යම පරිසර අධිකාරිය කටයුතු කොට තිබේ. මුතුරාජවෙල මීගමු කලපුවත් සමඟ ගත් විට හෙක්‌ටයාර් 6232කට ආසන්න ප්‍රදේශයක ව්‍යාප්ත වී තිබේ. ශ්‍රී ලංකාවේ වැදගත්ම තෙත්බිම් 12 අතරට ද මුතුරාජවෙල අයත්ය. මුතුරාජවෙල අභය භූමියට වඩා විශාල බිම් ප්‍රමාණයක් ගැසට් නිවේදනයක් හරහා නාගරික සංවර්ධන අධිකාරියට පැවරීමත් සමඟ පරිසරවේදීන් මෙන්ම මුතුරාජවෙල අවට පදිංචි ජනතාව අතරත් ආන්දෝලනාත්මක තත්ත්වයක් හටගෙන පවතී.
දිර්ඝ කාලීනව මුතුරාජවෙලට යාබදව පදිංචිව සිටි පුද්ගලයන්ට මෙමඟින් සිය ගම්බිම් පවා අහිමි විය හැකි බවට විවිධ පාර්ශ්වවලින් චෝදනා එල්ලවෙමින් පැවතීම නිසා ජනතාව අවිනිශ්චිත තත්ත්වයකට පත්ව සිටිති.
ගැසට් නිවේදනය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් පසුගියදා ඉදිරිපත් කර තිබේ. සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන සහ එම ප්‍රදේශයේ පදිංචි ධීවරයකු වන කේ.එස්.එන්. ප්‍රනාන්දු එම පෙත්සම්කරුවෝ වෙති.
අගමැති මහින්ද රාජපක්ෂ මහතා, රාජ්‍ය ඇමැති නාලක ගොඩහේවා මහතා, නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍යාංශ ලේකම්වරයා, වනජීවී අධ්‍යක්ෂ ජනරාල් චන්දන සූරියබණ්ඩාර මහතා, වත්තල, මීගමුව, ජා-ඇළ ප්‍රාදේශීය ලේකම්වරුන්, නීතිපතිවරයා ඇතුළු 14 දෙනකු එහි වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇත.
පෙත්සම්කරුවන් අධිකරණයට පෙන්වා දෙන්නේ මුතුරාජවෙල මීගමුව කලපුව ආශ්‍රිත ප්‍රදේශයේ පුද්ගලයන් ලක්ෂ 3ක් පමණ ජීවත් වන අතර එයින් 5,000ක පමණ පිරිසක් එම තෙත්බිම ආශ්‍රිතව ධීවර හා වගා කටයුතුවල නිරත වන බවයි.
රුම්සා තෙත්බිමක් ලෙස නම් කළ පසු ඊට මහජනතාවට අනවසරයෙන් ඇතුළුවීම සහ භාවිතය තහනම් කෙරෙන අතර මේ නිසා ප්‍රදේශයේ පදිංචිකරුවන්ගේ ජීවන කටයුතුවලට දැඩි අගතියක් සිදුවිය හැකි බවයි පෙත්සම්කරුවන් පෙන්වා දී ඇත්තේ.
ඒ අනුව නීතිවිරෝධී ගැසට් නිවේදනයක් මාර්ගයෙන් මුතුරාජවෙල පාරිසරික සංවේදී කලාපයේ ඉඩම් පවරා ගැනීමට ගෙන තිබෙන තීරණය හරහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළින් ස්ථාපිත කර තිබෙන මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වීමක් සිදුවන බවට තීන්දුවක් ලබාදෙන ලෙස පෙත්සම්කරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා ඇත.
මුතුරාජවෙල මෙන්ම ආසියානු තෙත්බිම් නාමාවලියේ ලේඛනගත වී ඇති මීගමු කලපුව, ශී‍්‍ර ලංකාවේ පිහිටි මුහුදු තෘණ බිම් හා කඩොලාන පරිසර පද්ධති මගින් මසුන් හා කකුළුවන් ඇතුළු ජලජ සත්ත්ව විශේෂ රාශියකට පෝෂණය හා රුකවරණය ලබා දෙන බිමකි. කලපුවේ විශාලත්වය හෙක්ටයාර් 3164කි. එය ධීවරයන් 3500කට පමණ ඍජුවම රුකියා සපයමින්, ධීවර යාත‍්‍රා 2500කට පමණ නැංගුරම් පහසුකම් සපයයි. ශ්‍රී ලංකාවේ නැංගුරම්ලන ධීවර යාත්‍රාවලින් 15%ක් පමණ මුතුරාජවෙල කලපු තීරය නැංගුරම්පළක් ලෙස භාවිත කරන බව වාර්තා වේ.
මුතුරාජවෙල තෙත්බිම නාගරික සංවර්ධන අධිකාරියට පවරා ගැනීම ගැන මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ද ශ්‍රේෂ්ඨාධිකරණයට රීට් පෙත්සමක් ඉදිරිපත් කර තිබෙන අතර ගැසට් නිවේදනය බල රහිත කරවමින් රීට් ආඥාවක් නිකුත් කරන ලෙස එම පෙත්සම මගින් ඉල්ලා තිබේ.
වෙනදා ආණ්ඩුවේ ගැසට්වලට විරුද්ධ වන්නේ විපක්ෂය පමණක් වුවත් මුතුරාජවෙල ගැසට්ටුවට ආණ්ඩුව තුළින්ම දෝස්මුර එල්ල විය. පාර්ලිමේන්තුවේ දී කතා කරමින් පසුගිය නොවැම්බර් 8 වැනිදා රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා කීවේ තම පාරම්පරික ඉඩම් ද මෙම ගැසට් නිවේදනය මගින් පවරාගෙන තිබෙන බවයි.
ජනතාව අවුරුදු 150-200ක් වැනි දීර්ඝ කාලයක් ජීවත්ව සිටින ඉඩම් පමණක් නොව පන්සල් සහ දේවස්ථානවල ඉඩම් ද මෙම ගැසට් නිවේදනය මගින් පවරාගෙන ඇති බව නිමල් ලංසා උද්වේගයෙන් අදහස් දක්වමින් කීවේය. තමන්ට ගමට යාමට නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇති බව පැවසූ ඔහු ආණ්ඩුව අනවශ්‍ය ප්‍රශ්න ඇතිකර නොගෙන ගැසට්ටුව අවලංගු කරගත යුතු බව කීවේය.
සුරකිමු මුතුරාජවෙල සංවිධානයේ කැඳවුම්කරු මහින්ද ජයසිංහ පවසන්නේ ගැසට් නිවේදනයේ අභය භූමිය කියන එක හිතාමතා හලලා තිබෙන බවත් එහි සඳහන් කර ඇත්තේ ‘මුතුරාජවෙල වගුරුබිම’ කියලා බවත්ය. ඕන අයෙකුට හිතෙනවා වගුරුබිමක් නම් ගොඩ කළාට කමක් නැහැ කියලා. දැන් සූදානම් වෙන්නේ පවුල් 8,000කුත් මේකෙන් එළියට ඇදලා දාලා අනික් පැත්තෙන් අභය භූමියත්, මීගමුව කලපුවත් වනසන්න." යයි ඔහු පවසා සිටී.
මාධ්‍ය හමුවක් පවත්වමින් අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ද මේ සම්බන්ධයෙන් පැවසුවේ නාගරික සංවර්ධන අධිකාරියට මේ පළාතම භාර දෙන ගැසට් එකක් ගහලා පිස්සු නටන බවයි. උන්වහන්සේ මෙසේ ද පැවසූහ: මේ මිනිස්සු අවුරුදු 100ක් 200ක් මේ පැත්තේ හිටියා. UDA කියන්නේ කවුද? ඒගොල්ල කොහේ ඉඳලා ආපු කට්ටියද? මේ පැත්තේ මන්ත්‍රීතුමන්ගෙන් ඇහුවාම එයා කියනවා, එයත් දන්නේ නැහැ කියලා. ඔහුටත් ඒ ගැන නොකිව් බවයි කියන්නේ.
නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ප්‍රසාද් රණවීර ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් පැවසුවේ හෙක්ටයාර් 6,000කට අධික භූමිභාගය තුළ පවුල් 2,000කට ආසන්න ප්‍රමාණයක් ජීවත්ව සිටින බවත් අදටත් තෙත්බිමේ බොහෝ තැන් ගොඩකරමින් ඉදිකිරීම් කරන බවත්ය. ඒක මුතුරාජවෙලට තියෙන තර්ජනයක් නිසා සම්පූර්ණ කලාපයම එකතු කරලා සැලස්මක් හදලා, මේ සැලැස්මේ අපි එකින් එක ඉදිරියට හඳුන්වලා දෙනවා. දැනට පදිංචිව ඉන්න අයට නිවාසවලට හානියක් වන්නේ නැහැ.* ඔහු කියා සිටි කරුණකි.
එහෙත් ජනතාවට ආණ්ඩුවේ නිලධාරීන් කියන දේවල් ගැන ශත පහක විශ්වාසයක් නැත. ඒ ඔවුන්ගේ අතීත ක්‍රියා කලාපය අත්දැකීමෙන් දන්නා නිසාය.
නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් උදය නානායක්කාර මාධ්‍ය හමුවක දී පැවසුවේ ද මුතුරාජවෙල තෙත්බිම සංරක්ෂණය කිරීම මෙහි මූලික අරමුණ බවයි. ඔහු මෙසේ වැඩිදුරටත් ඒ ගැන විස්තර කළේය.
මේ පිළිබඳව ප්‍රදේශයේ ජනතාවගේ සහ කතෝලික ප්‍රජාවගේ අවශ්‍යතාවය සලකා බලා නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍යංශයත්, වනජීවී සංරක්ෂණ අමාත්‍යංශයත් හා පරිසර අමාත්‍යංශයත් ඒකාබද්ධව ඉදිරිපත් කරන ලද කැබිනට් පත්‍රිකාවක ප්‍රතිඵලයක් ලෙස තමයි මෙම ගැසට් නිවේදනය නිකුත් කොට තිබෙන්නේ. මේ රාජ්‍ය ආයතන සියල්ල ඒකාබද්ධ වී පරිසරය ආරක්ෂා කර ගැනීමේ වැඩපිළිවෙලක නිරත වෙමින් සිටිනවා. මෙම ආයතන තුන කිසි දිනෙක මුතුරාජවෙල තෙත්බිම විනාශ වීමට ඉඩදෙන්නේ නැහැ.
බලධාරින් මෙසේ පවසන අතර මුතුරාජවෙල අවට ජනතා උද්ඝෝෂණ අඛණ්ඩව සිදුවිය. මේ අතර පසුගිය නොවැම්බර් 9දා වන විට වාර්තා වුණේ ආණ්ඩුව මුතුරාජවෙල ගැසට් එක රිවස් කිරිමට මූලික පියවර ගැනීමට සූදානම් වෙමින් සිටින බවයි.
ජනතාව පදිංචිව සිටින ප්‍රදේශ ඉවත් කර රක්ෂිතය ආරක්ෂා කිරීමට කටයුතු කරන ලෙස ජනාධිපතිවරයා අදාළ අංශ වෙත උපදෙස් දුන් බව රාජ්‍ය අමාත්‍ය නිමල් ලංසා මාධ්‍යවලට පවසා සිටියේය.
එම ගැසට් පත්‍රය සම්බන්ධයෙන් පවතින ගැටලු පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පසුගිය 9දා සාකච්ඡාවක් ද පවත්වා ඇති අතර පරිසර අමාත්‍ය මහින්ද අමරවීර, වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍ය සී.බී. රත්නායක, නාගරික සංවර්ධන, වෙරළ සංරක්ෂණ, අපද්‍රව්‍ය බැහැරවීම හා ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා ඇතුළු පිරිසක් එම සාකච්ඡාවට එක්ව සිටියහ.
වත්තල, ජාඇළ, කටාන, මීගමුව යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල පදිංචි ජනතාවට බාධාවක් නොවන පරිදි මහුතුරාජවෙල රක්ෂිතය ආරක්ෂා කර ගැනීමට කටයුතු කරන ලෙස ජනාධිපතිවරයා උපදෙස් ලබා දී ඇති බවත් වාර්තා වේ.
කුසුම්සිරි විජේවර්ධන