2021 නොවැම්බර් 13 වන සෙනසුරාදා

කොරෝනාවේ ගැලවුම්කරුවා කවුද?

 2021 නොවැම්බර් 13 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 51

විද්‍යාඥයින් විසින් මුලින්ම සෙම්ප්‍රතිශ්‍යාවට හේතු වූ මිනිස් කොරෝනා වෛරසයක් හඳුනාගනු ලැබුවේ 1965දී ය. එම දශකය අවසානයේ පර්යේෂකයන් විසින් සමාන මානව හා සත්ත්ව වෛරස් සමූහයක් සොයාගත් අතර ඒවායේ ඔටුන්න වැනි පෙනුම අනුව කොරෝනා යන නම තැබූහ. කොරෝනා වෛරස් හතක් මිනිසුන්ට ආසාදනය වන බව දැනට විශ්වාස කෙරේ. 2002 දී දකුණු චීනයේ සාර්ස් (SARS) රෝගය ඇති වූ අතර එය රටවල් 28 කට වේගයෙන් ව්‍යාප්ත විය. 2003 ජූලි මාසය වනවිට පුද්ගලයින් 8,000 කට වැඩි සංඛ්‍යාවකට සාර්ස් රෝගය ආසාදනය වී ඇති අතර ඉන් 774ක් මිය ගියහ. 2004 දී සාර්ස් මගින් ඇති වූ රෝග ව්‍යාප්තිය ඉතා සීමිත වූ අතර තවත් රෝගීන් හතරක් පමණ එහිදී හඳුනා ගන්නා ලදී. මෙම කොරෝනා  වෛරසය උණ, හිසරදය සහ කැස්ස සහ හුස්ම හිරවීම වැනි ශ්වසන ආබාධ ඇති කරනු ලැබේ.

කොරෝනා වෛරස් යනු විවිධ වෛරස්වලින් සමන්විත විශාල පවුලකි. ඒවායින් සමහරක් මිනිසුන් තුළ සෙම්ප්‍රතිශ්‍යාව ඇති කරයි. අනෙක් අය වවුලන්, ඔටුවන් සහ ගවයින් ඇතුළු සතුන්ට රෝග ආසාදනය කරති. මැද පෙරදිග ශ්වසන සින්ඩ්‍රෝමය (MERS) සහ දරුණු උග්‍ර ශ්වසන සින්ඩ්‍රෝමය (SARS) පිටුපස ඇති කොරෝනා වයිරස් ආරම්භ වූයේ එලෙස ය. 2012 දී සෞදි අරාබියේ MERS රෝගය ආරම්භ විය. මැදපෙරදිග ජීවත් වූ  හෝ සංචාරය කරන පුද්ගලයින් රෝගීන් 2500 කට ආසන්න සංඛ්‍යාවක් එයින් පීඩාවට පත් විය. මෙම කොරෝනා වෛරසය එහි SARS වෛරසයට වඩා අඩු බෝවන ප්‍රවනතාවයකින් යුක්ත වුවද පුද්ගලයින් 858 දෙනෙකු ඉන් ජීවිතක්‍ෂයට පත් විය. 2019 (COVID-19) නව කොරෝනා වෛරස් රෝගයට හේතු වී ඇත්තේ උග්‍ර ශ්වසන සින්ඩ්‍රෝමය කොරොන වෛරස් 2 (SARS-COV-2) වන අතර, විශේෂඥයින් පවසන්නේ SARS-CoV-2 ආරම්භ වූයේ වවුලන්ගෙන් බවය. නව කොරෝනා වයිරස් මූලාරම්භය හඳුනා ගැනීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් මෙහෙයවනු ලබන පර් යේෂණ හා පරීක්ෂණ තවමත් සිදු වෙමින් පවතී. 

SARS-CoV-2 වුහාන්හි එළිමහන් වෙළඳපොළ තුළදී මිනිසුන් වෙත බෝවූ බවට විශ්වාස කෙරේ. මෙයට අමතරව චීනයේ පර් යේෂනාගාරයක ඇති කරන ලද්දක් බවටද, ඇමරිකාවේ විවිධ ආයතන විසින් නිෂ්පාදනය කරන ලද්දක් බවටද විවිධ මතවාද පවතී.  2019 දෙසැම්බර් මස චීනයෙන් මෙම වෛරසය  හඳුනා ගැනීමෙන් පසුව 2020 මුල් භාගයේදී ලෝක සෞඛ්‍ය සංවිධානය SARS-CoV-2 නව වෛරස් වර්ගයක් ලෙස හඳුනා ගන්නා ලදී. වසංගතය ඉක්මනින් ලොවපුරා ව්‍යාප්ත විය. ප්‍රධාන වශයෙන් පුද්ගලයාගෙන් පුද්ගලයාට ඇති සම්බන්ධතාවය හරහා අනෙකුත් කොරෝනා වෛරස් මෙන් එයද ව්‍යාප්ත වේ. ආසාදන මෘදු සිට මාරාන්තික දක්වා පරාසයක පවතී. වසංගතය කොපමණ කාලයක් පවතිනු ඇත්දැයි කිව නොහැක. වෛරසයේ පැවැත්ම තීරණය වනුයේ, රෝගය පැතිරීම මන්දගාමී කිරීමට මහජනයා දරන උත්සාහය, වෛරසය ගැන වැඩිදුර දැන ගැනීමට පර් යේෂකයන් දරණ උත්සාහය, ඔවුන් විසින් නිශ්චිත ප්‍රතිකාරයක් සෙවීම සහ එන්නත් වල සාර්ථකත්වය ඇතුළු සාධක ගණනාවක් මතය. 

කොරෝනා සහ අපි

2021 ඔක්තෝම්බර් 18 දින වනවිට අප රට තුළ සමස්ත වාර්තා වී ඇති රෝගීන් ප්‍රමාණය 532,218 ක් වන අතර මරණ සංඛ්‍යාව 13.507කි. දැනට දිනකට වාර්තා වන රෝගීන් සංඛ්‍යාව 500ක් පමණ වේ. 2020 ජනවාරි මස අග භාගයේදී චීන ජාතික කාන්තාවක් පළමු කොවිඩ්-19 වෛරස රෝගියා ලෙස ශ්‍රී ලංකාවේ වාර්තා වූ අතර පළමු දේශීය රෝගියා එම වසරේ මාර්තු දෙවන සතියේදී හඳුනා ගන්නා ලදී. එතැන් සිට, ශ්‍රී ලංකා රජය සමාජ දුරස්ථභාවය වැඩි දියුණු කිරීම, පාසල් සහ අධ්‍යාපන ආයතන වසා දැමීම, මහජන රැස්වීම් අඩු කිරීම, නිවසේ සිට වැඩ කිරීම, සංචාරක තහනම හඳුන්වා දීම සහ දිවයින පුරා දැඩි ලෙස සංචාරක තහනම සහ ඇතැම් ප්‍රදේශ පූර්ණ වශයෙන් වසා දමමින් කොරෝනා පාලනය සඳහා විවිධ ක්‍රියා මාර්ග ගන්නා ලදී. ඇඳිරි නීතිය පැනවීම මඟින් ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය පද්ධතියට සහ සමස්ත ප්‍රජාවට රෝගයේ ව්‍යාප්තිය අවම කර ගැනීමට කටයුතු කරන ලදී. 

වසංගතයේ පළමු රැල්ල හැසිරවීමේදී අප ආණ්ඩුව සාර්ථක වූවත්, වසංගතයේ දෙවන හා තුන්වන රැලි හැසිරවීමට රජය අපොහොසත් වීම හේතුවෙන් 2020 නොවැම්බර් සිට COVID-19 මරණ ඉහළ යාම ආරම්භ විය. 2021 අප්‍රේල් සිංහල හා දෙමළ අලූත් අවුරුද්දේදී සෞඛ්‍ය සීමා ලිහිල් කිරීමෙන් පසු රෝගය සීඝ්‍ර ලෙස ව්‍යාප්ත වූ අතර 2021 අගෝස්තු මාසයේ සිට රටේ සැලකිය යුතු ඉහළ මරණ අනුපාතයක් ඇති විය. 2021 අගෝස්තු වනවිට ලංකාව ජෝර්ජියාව, ටියුනීසියාව සහ මැලේසියාවට පිටුපසින් ජනගහනය අනුව ලොව සිව්වන විශාලතම දෛනික මරණ අනුපාතයක් ඇති රට බවට පත් විය. මෙයට ප්‍රධාන සාධකය වූයේ ඩෙල්ටා ප්‍රභේදය ය. රජයේ නොසලකා හැරීම්, ගුරුවරුන්ගේ විරෝධතා සමඟ සාමාන්‍ය ජනතාවගේ නොසැලකිලිමත් හැසිරීම් මෙම රෝගීන් සහ මරණ සංඛ්‍යාව වාර්තා කිරීමට දායක වී ඇත. රෝගය ව්‍යාප්ත වීම අනුව අප රටේ ප්‍රධාන කාල පරාසයන් තුනක් හඳුනා ගෙන ඇත. 

පළමු රැල්ල

27 ජනවාරි - 2020 ඔක්තෝබර් 3

රෝගය ව්‍යාප්ත වීම රජය විසින් ඉතා ඉක්මනින් පාලනය කරන ලද අතර විදේශීය ප්‍රසාදයට හේතු විය. 

දෙවැනි රැල්ල

4 ඔක්තෝබර් 2020 – 14 අප්‍රේල්  2021 

2020 ඔක්තෝබර් 4 දින ගම්පහ ඇඟලුම් නිෂ්පාදන කම්හලක සේවයේ නියුතු 39 හැවිරිදි කාන්තාවක් COVID-19 සඳහා ධනාත්මක බව පරීක්‍ෂා කළ අතර ඔක්තෝබර් 4දා මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ප්‍රදේශයේ වසංගතයක් ආරම්භ වූ අතර ඇඳිරි නීතිය පනවා ඇත. බ්‍රුන්ඩික්ස් විසින් ගෙනඑන ලද ඉන්දියානු ජාතිකයින්ගෙන් වෛරසය සම්ප්‍රේෂණය වීමෙන් නව පොකුර ඉස්මතු වී ඇත යනුවෙන් මතයක් පැතිර ගිය අතර එම ආයතනය විසින් එය ප්‍රතික්ෂේප කරන ලදී. රජය විසින් ආර්ථිකමය සාධක මත අගුලු දැමීම බලාත්මක කිරීමට රජය මැලිවිය. ඉන් පසුව, කටුනායක ආයෝජන කලාපය හා පෑලියගොඩ මාළු වෙළඳ පොළ සමගින් බොහෝ ව්‍යාපාරික ස්ථාන ආශ්‍රයෙන් රෝගය ව්‍යාප්ත වීය.

තුන්වැනි රැල්ල

15 අප්‍රේල් 2021 සිට අද දක්වා

සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද සඳහා නීති ලිහිල් කිරීමෙන් මෙම තුන්වැනි රුල්ල ඇති වූ බවට විශ්වාස කරනු ලැබේ.
අප රටේ රෝග ව්‍යාප්තියෙහි වර්ධනයක් මැයි හා ජූනි මාසයේ කලින් මාස හා සාපේක්ෂව පැහැදිලිව දක්නට ලැබේ. මෙයට හේතු ලෙස අලුත් අවුරුදු නිදහස මෙන්ම ඩෙල්ටා වෛරස ව්‍යාප්තියද හේතු විය හැක. අප රටේ ඩෙල්ටා වෛරසය මුලින්ම හඳුනා ගනු ලැබුවේ මෙම වසරේ ජුනී මාසයේදීය. මෙම මැයි හා ජූනි මාස දෙකෙහිම සීඝ්‍ර වර්ධනයක් පෙන්නුම් කරනු ලබන අනිකුත් ආසියාතික රටවල් වන්නේ තායිවානය, තායිලන්තය, වියට්නාමය, භූතානය හා ශ්‍රී ලංකාවයි. නමුත් සැප්තැම්බර් මාසයේදී රෝග ව්‍යාප්තිය පෙර මාසය හා සැසඳීමේදී වර්ධනය වී ඇති රටවල් වන්නේ ජපානය, මොන්ගෝලියාව සහ අප රටෙහිය. අප රටේ රෝග ව්‍යාප්තියේ මෑතකාලීනව දැකිය හැකි තවත් ලක්ෂණයක් වන්නේ සෑම මාස දෙකකට වරක් රෝග ව්‍යාප්තියේ වර්ධනයක් ඇතිවන බවය.

එමනිසා කොරෝනා වසංගතය මගින් ඇතිවූ යහපත් හා අයහපත් ප්‍රතිඵල විධිමත් පර්යේෂණ මගින් ගණනය කර අවබෝධ කර ගැනීම වැදගත්ය. කෙසේ වුවද, කොරෝනා රෝගයෙන් නිදහස් වීමේ වගකීම ආණ්ඩුවට මෙන්ම රටේ මහජනතාවද සතු වේ.