2021 නොවැම්බර් 13 වන සෙනසුරාදා

එක කඩුල්ලකින් පැනගත් ආණ්ඩුවට ජාත්‍යන්තර ණය බාධා

 2021 නොවැම්බර් 13 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 31

2022 වසර සඳහා අයවැය යෝජනා කෙරෙහි රටම බලාපොරොත්තු සහගතව සිටියේය. කොව්ඩ් තර්ජනය හා ආර්ථික ගැටලු ඉදිරියේ සිටින ආණ්ඩුවට කළ හැකි දේ සීමා සහිතය. ඉතාම දුෂ්කර කාල පරිච්ඡේදයක දී ඉතාම අවම විදේශ සම්පත් ප‍්‍රමාණයක් පවතින අවස්ථාවක සකසුරුවම් සහගතව ක‍්‍රියා කරන්නට සිදුවී ඇත. ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීමේ ආයතන මෙරට ණය ආපසු ගෙවීමේ හැකියාව අවදානමකට පත්ව ඇති බව නැවත වතාවක් පුරෝකථනය කර තිබේ. ලබන වසර ගැන අපේක්ෂා දල්වන නමුත් තවත් වටයකින් අපහසුතා ඇතිකරනු ඇත. 

මෙම මොහොත වනවිට ශ‍්‍රී ලංකාව සතු නිල විදේශ සංචිතය ඇමරිකානු ඩොලර් බිලියන තුනකටත් වඩා දක්වා අඩු වී තිබේ. තෙල් ආනයනය පවා අවදානමක බව කියැවේ. ඉන්දියාවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 500ක චක‍්‍රීය ණය මුදලක් ඉල්ලා ඇත. ඕමාන රාජ්‍යයෙන් ද ඇමරිකානු ඩොලර් බිලියන 3.5 ක බොරතෙල් මිල දී ගැනීමේ ණය පහසුකමක් ඉල්ලා තිබේ. දිගින් දිගටම වාණිජ ණය ගනිමින් කරන ගමන අනතුරුදායකය. 

• ලබන වසරේ බිලියන පහක විදේශ ණයක්

පසුගිය ජූලි මාසයේදී ඇමරිකානු ඩොලර් බිලියනයක ස්වෛරීත්ව බැඳුම්කර පියවන  ලද ශ‍්‍රී ලංකාව එයින් ඇතිකරන ලද කැළැඹීම තුරන් කරගැනීම සඳහා රටවල් ගණනාවක සහාය ගත්තේය. රජයේ ලේඛන අනුව 2022 වසරේ ඇමරිකානු ඩොලර් මිලියන 500 ක බැඳුම්කරයක් පියවන්නට සිදුවෙයි. ජුලි මාසයේ දී තවත් ඇමරිකානු ඩොලර් බිලියනයක කල්පිරුණ බැඳුම්කරයක් පියවන්නට සිදුවනු ඇත. දළ වශයෙන් කිසිම දෙයක් නොකර ණය පමණක් ඇමරිකානු ඩොලර් බිලියන 4.5-5.0 අතර ප‍්‍රමාණයක් ගෙවන්නට නියමිතය. ලබාගත් ණය සහ අනිවාර්යයෙන් ගෙවිය යුතු පොලිය මෙහි දැක්වෙන බව සඳහන් කළ යුතුය. ණය ගෙවන්නට නම් විනිමය උපයන්නට අවශ්‍යය. විදේශ විනිමය ගෙන එන ප‍්‍රධාන බලකණු අවහිර වී ඇති කාලයකි. අංක එකට මැද පෙරදිග ඇතුළු රටවල සේවය කරන පිරිස් එවන විනිමය ප‍්‍රමාණයයි. එහි යම් අඩුවක් තිබේ. අනෙක ඇඟළුම් කර්මාන්තයෙන් ලැබෙන ආදායමද අවහිර වී ඇත. පසුගියදා ශ‍්‍රී ලංකාව සිය ගමනානතය සුරක්ෂිත බව කියා තිබේ. කොවිඩ් වසංගත තත්ත්වය පාලනය වී ඇත. එන්නත ලබාගත් විදේශිකයන්ට ශ‍්‍රී ලංකාවට එන්නට ඉඩ දෙන අතර එයට එකම හේතුව ඔවුන්ගෙන් ලැබෙන විදේශ විනිමය ප‍්‍රමාණයයි. 

ශ‍්‍රී ලංකාව ආයෝජන සඳහා අවස්ථාව සම්පාදනය කළ යුතුය. සෘජු හෝ වක‍්‍රමාර්ග වලින් විනිමය ආකර්ශනය කරගන්නා පියවර දිරිමත් කරන්නට අවශ්‍යය. කොටස් වෙළඳ පොලට පවා අලුත් සමාගම් ප‍්‍රවේශ විය යුතු අතර එහි ගනුදෙනු ලිහිල් සහ විනිවිද පෙනෙන පැති කරා දියුණු කරන්නට උවමනා කෙරේ. අපනයනයෙන් හා සමානවෙනත් මාර්ගවලින් ද විනිමය ලබාගැනීම සුදුසු ක‍්‍රියාමාර්ගයන්ය. ආනයන සීමා කිරීම එකම විකල්පය සේ කල්පනා කරන නමුත් ගෙන්වීමේ දී අය කරන බදු ආදායම නොලැබීම කනස්සල්ලට කරුණකි. ආනයන බදු අඩුවන විට ජාතින ආදායම පහත වැටේ. එක පැත්තකින් දේශීය ආර්ථිකය නංවන අතර අනෙක් පැත්තෙන් විදේශීය ආයොජන සඳහා සුදුසු තැනක් බවට හැරවීම අවශ්‍ය කෙරේ.

• අත ඇති මුදල් ණය ගෙවන්නට මදි

කොවිඩ් වසංගත තත්ත්වය සමග ශ‍්‍රී ලංකාවට තියුණු ආර්ථික බලපෑමක් එල්ල වූ බව නොරහසකි. ආදායම පහත වැටිණ. වියදම ඉහළ නැග ගියේය. උද්ධමනය පීඩාකාරී තත්ත්වයට පත්වූ අතර දෙස් විදෙස් ණය ගන්නට සිදුවිය. 2020 වසර තුළ ඇමරිකානු ඩොලර් බිලියන 2.5ක පමණ කලින්ගත් විදේශ ණය ඒවායේ පොලිය ගෙවන්නට සිදුවිය. මෙම වසරේ ගෙවන්නට සිදුවී ඇති විදේශ ණය ප‍්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 4.5ක් පමණ වෙයි. විදේශ ණය දෙපාර්තමේන්තු වාර්තා අනුව 2021-25 කාලය තුළ ශ‍්‍රී ලංකාවේ විදේශ ණය කලමනාකරණය සඳහා පමණක් ඇමරිකානු ඩොලර් බිලියන 23 ක් අවශ්‍යය. රුපියල් තුන්සියයක් පමණ අත ඇති පුද්ගලයෙකු රුපියල් දෙදහස් තුන්සියයක ණය ගෙවීම හා සමානය. ණය ගෙවන්නට පමණක් නොව විදේශ වෙළඳාමටද විනිමය අවශ්‍යය. ඉතාම දුෂ්කර කාලවකවානුවකි. පාලනය කරන්නේ කොතැනින්ද කවදා තෙක් පාලනය කරන්නද යන ප‍්‍රශ්නවලට මුහුණදෙන්නට සිදුවී තිබේ.

විනිමය උත්පාදනය ඉතාම සීමිත තැනක පසුවන අවස්ථාවක කලින් ගත් විදේශ ණය පියැවීම පහසු නැත. ණය පියවන අතරවාරයේ වෙළඳ පොළ ඉල්ලුම දෙසද අවධානය යොමු කළ යුතුය. පොදු ජනතාවගේ ඉවසීමටද සීමාවක් තිබේ. ශ‍්‍රී ලංකාව මුහුණ දී ඇති වාතාවරණය ගැන හොඳ අවබෝධයක සිටින මැති ඇමැතිවරු, මෑතක දී ඔවුන්ගේ පරිහරණය සඳහා බදු රහිත වාහන ඉල්ලා කරන ලද කලබැගෑනිය අමතක නැත. වාහන ගෙන්වීම සඳහා විවෘත කරන ලද ලිපි අවසාන මොහොතේ දී අවලංගු කිරීමට පවා කැබිනට් මණ්ඩයට සිදුවිය. වාහන අවශ්‍යතාවය ගැන මතු කරන කාරණා තවමත් යටපත් වී නැත. ආණ්ඩු පක්ෂය පමණක් නොව විපක්ෂ මන්ත්‍රීවරු පවා බදු රහිත වාහන බලපත‍්‍රය ලබා ගැනීමට සුදානම්ය. සාමාන්‍ය ජනතාව කරන කැපවීම ගැන කෘතවේදී විය යුතුය.

• විවෘත වෙළඳ පොළෙන් ගත් ණය

දැනට පවතින විනිමය සංචිතය, දළ වශයෙන් මාස තුනක පමණ රටට ප‍්‍රමාණවත්  මිල දී ගැනීම් සඳහා සෑහෙන බව දැක්වෙයි. ගෙවුම්ශේෂ අර්බුදයකට තල්ලු නොකර පවත්වා ගැනීමට අවදානම් පසුබිමක් සකසා ඇති බව කියැවෙයි. එහෙත් ක‍්‍රමයෙන් තවත් නරක අතට හැරෙන බවක්ද පෙනෙන්නට තිබේ. රජයේ ඉලක්කම්වලට අනුව ඉකුත් අප්‍රේල් වන විට මෙරට සම්පූර්ණ විදේශ ණයගැති භාවය රු. බිලියන 35.16 කි. මෙම ණයවලින් සියයට හතළිහක් ඉදිරි වසර දහය තුළ පියැවිය යුතුය. සියයට හැටක් වාණිජ ණය බව දැක්වෙයි. වාණිජ ණය වඩා බරපතළ අවදානමක් සහිතය. විවෘත වෙළඳ පොළෙන් ලබා ගෙන ඇති මෙම විදේශ ණය වලට සහන නැති අතර වැඩි පොලියක් අය කෙරේ. ආසියානු සංවර්ධන බැංකුවට ගෙවිය යුතු ප‍්‍රමාණය සියයට දහ තුනකි. ජපානයට හා චීනයට පියැවිය යුතු කොටස සියයට දහය බැගින්ය. ඉන්දියාවට සියයට දෙකක පමණ කොටසක් බව අනාවරණය වෙයි. වාණිජ ණය අවම කරගැනීමට අනුගමනය කළ හැකි ක්‍රියා පිළිවෙළ පැහැදිලි නැත. මුල්‍ය බලය සහිත ශ‍්‍රී ලංකාවේ බලධාරීන්ට බරපතළ වගකීමක් තිබේ. අනවශ්‍ය පොලිය ගෙවනු වෙනුවට රාජ්‍ය අතර සහන ණය ඉතා වැදගත්ය. 

සංචාරක අංශයේ ඉපැයීම් පහත වැටීම බරපතළ ප‍්‍රශ්න ඇති කර තිබේ. ආර්ථික ගමනට අවහිර කරන ප‍්‍රධාන කාරණයකි. සංචාරක කර්මාන්තයෙන් ඇමරිකානු ඩොලර් බිලියන දහයක් දක්වා ඉපැයීම් අපේක්ෂා කරන ලද අතර අද එය බිංදුවට වැටී තිබේ. සංචරකයන් සඳහා පහසුකම් සලසන ලද ශ‍්‍රී ලංකන් ගුවන් සේවාව විශාල වශයෙන් පාඩු ලබන තැනක් බවට පත්ව ඇත. ගුවන් ගමන් නොකර සිටීම තවත් අවාසියකි. විකල්ප සොයාගැනීම සුදුසුය. නැවත වතාවක් පෞද්ගලීකරණය ගැන අදහසක් පළ වී තිබේ. රටට අවස්ථා ලබාගත හැකිතැන් අවහර කිරීම ඥානාන්විත නැත. ඉදිරියේ දී බලයට පත්වන ආණ්ඩුවකට පවා මෙම ණය පියවන්නට සිදුවන බව මතක තබා ගත යුතු කරුණකි. බලයේ සිටින ආණ්ඩුව ලවා අවශ්‍ය ප‍්‍රතිසංස්කරණ කරගෙන ණය බර අඩු කරගන්නා තෙක් බලාසිටීම සුදුසුය. 2014 දී ශ‍්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 72 ක් වූ වවිද්ශ ණය බර දැන් සියයට 101 ක් තෙක් වර්ධනය වී ඇත.

• තව තවත් ණය ගැනීමට අවධානය

පරිවර්තනයකින් තොරව පැවැත්මක් නැත. අලුත් වෙනස්කම් වලට ඉඩ නැති ශ‍්‍රී ලංකාව තුළ විදේශ විනිමය හිඟය පියවන්නට තවත් තැන් වලින් ණය ඉල්ලමින් සිටී. ඉකුත් වසරේ මාර්තු මාසයේ දී චීන වාණිජ බැංකුවක් ඇමරිකානු ඩොලර් බිලියන 1.5 ක මුදලක් සපයා තිබේ. බංගලාදේශයෙන් ලබා ගත් ස්වැප් පහසුව ඇමරිකානු ඩොලර් මිලියන 500 කි. ඉන්දියානු රිසව් බැංකුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 400 ක් ලබා ගෙන ඇත. ජනාධිපතිවරයා ඉන්දීය අගමැති අමතා සංචිත සඳහා ඇමරිකානු ඩොලර් බිලියන 1.1ක මුදලක් ඉල්ලා තිබේ. එම පහසුකම ගැන ගිවිසුම තවමත් ප‍්‍රමාදය. කෙසේ වෙතත් තෙල් මිල දී ගැනීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 500 කට එකඟ වී ඇත. ඉන්දීය ණය යෝජනා ක‍්‍රමයක් යටතේ සූර්ය විදුලියට ඇමරිකානු ඩොලර් මිලියන 100ක් සහ මෙරට බෞද්ධ කටයුතු නංවනු සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 150ක් වෙන් කර ඇත. ඇමරිකාව ව්‍යවසායකත්වය සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 85ක් නිකුත් කර තිබේ. මේවාද රටට එන විදේශ මුදල්ය. ඒවා ලැබුණ පසු රට තුළ සංචිතය තරවෙයි.  සංවර්ධන බැඳුම්කර වලින් වානිජ ණය නොගෙන සිටින්නට හේතුවකි. කාර්යක්ෂමතාව සහ පිළිවෙළ ඉතා වැදගත්ය. තව තවත් ණය ගැනීම වෙනුවට ලෝකයේ කොතැනකින් හෝ සහාය රටට උවමනා කර තිබේ.
රටට විනිමය කොපමණ අවශ්‍යද යත් රටට ගෙන එන එක ඩොලරයක් වෙනුවෙන් අතිරේකව රුපියල් දෙකක් ගෙවන්නට මෙරට වාණිජ බැංකු සූදානම්ය. බිට්කොයින් වැනි නොපෙනෙන මුදල්වලට අවස්ථාව සම්පාදනය කරන්නට යයි. රටට ගෙන එන විනිමය ප‍්‍රශ්න කිරීමකින් තොරව ආයෝජනයට නීති සම්පාදනය කර තිබේ. පළමු අවශ්‍යතාව ලබන වසරේ නියමිත දිනවලට ණය ආපසු ගෙවන කාලසටහනක් සකස් කැර ගැනීමය. එසේ නොකළහොත් ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීමේ ආයතන නැවත වටයකින් අවදානමක කතාවක් ගැන ප‍්‍රකාශ කරන්නට ඉඩ තිබේ. අපට අවශ්‍ය රටට ගැලපෙන ක‍්‍රමයකි. ජාත්‍යන්තරයේ නැගෙන මතවාදය කෙසේ වෙතත් හිස ඔසවාගෙන සිටින පිළිවෙළකි. සියලු පාර්ශව එකතු වී එයට වැඩ පිළිවෙළක් සකස් කරගත යුතුව ඇත. බලයේ සිටින ආණ්ඩුව පමණක් නොව බලයට එන්නට සිටින ආණ්ඩුවටත් මෙම ණය ආපසු ගෙවීමේ වෑයම ගැන අවබෝධයක් අවශ්‍යය.

 සාරා කන්දෙගොඩ